අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

අධිකාරිවාදි දේශපාලනය යනු කුමක්ද?

බර්නාඩ් එදිරිසිංහ

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයකට  ආවේණික ගති ලක්ෂණ මොනවාදැයි ජන සම්මතයක් තිබේ. ඒවා අතර බහුත්වාදය, විසම්මුතිය,ස්ත්‍රි පුරුෂ සමාජභාවය, සිවිල් සමාජ අවකාශය, මාධ්‍ය නිදහස, නිතීයේ ආධිපත්‍ය, බලතල බෙදීම, පාලකයින් ගේ සුපිළිපන්න බව වැනි අංග ප්‍රමුඛත්වයක් ගනී. මෙම ගති ලක්ෂණ අද වන විට ප්‍රජාතනනත්‍රවාදි යැයි සම්මත දේශපාලන ක්‍රමයන්ගෙන් දිය වි යමින් තිබේ යැයි   Verities of Democracy 2020 සිය වාර්ෂික වාර්තාවේ සඳහන් කරයි. (සම්පුර්ණ වාර්තාව මෙතින් කියවන්න.  https://bit.ly/2Zrnwem )

 එම වාර්තාවට අනුව 2001 පසු ප්‍රථම වතාවට ලෝකයේ රාජ්‍ය 92 ක, ලෝකයේ ජනගහනයෙන් සියයට 52 අද ජිවත්වන්නේ අධිකාරිවාදි පාලන තන්ත්‍රයන් තුළය. ලෝක ජනගහනයෙන් තවත් සියයට 35 හෙවත් බිලියන 2.6 ක් ජිවත් වන්නේ කෙමෙන් කෙමෙන් අධිකාරිවාදය කරා පියවර තබමින් සිටින රාජ්‍යයන් තුළය. ලොව සම්මත ප්‍රජාතන්ත්‍රවාදි කලාපය ලෙස සැලකු යුරෝපීය සංගමයට අයත් හංගේරියාව දැන් අධිකාරිවාදි රාජ්‍යයක් ලෙසට නාමකරණය ‌කොට ඇත. එම වාර්තාවට අනුව  ‘අධිකාරිවාදයේ තෙවන රැල්ල’ මේ වන විට ඇමරිකානු එක්සත් ජනපදය, ලතින් ඇමරිකාවේ බ්‍රසීලය, මැද පෙරදිග රාජ්‍යයක් වුවත් යුරෝපයේ එළිපත්ත ලෙස සලකන තුර්කිය, ආසියාවෙන් ඉන්දියාව අධිකාරිවාදි දේශපාලන ක්‍රමයක ලක්ෂණ ප්‍රකට කරන්නට ආරම්භ කොට තිබෙන රාජ්‍යයන්  බවද එම වාර්තාව තවදුරටත් සඳහන් කරයි. 

එසේ නම් අධිකාරිවාදි දේශපාලන ක්‍රමයක ලක්ෂණ අපි හඳුනා ගන්නේ කෙසේද? 

දේශපාලන විද්‍යාඥයෙක් වු  යුහාන් ලින්ස් (Juan Linz) අධිකාරිවාදි පාලන ක්‍රමයක ප්‍රධාන ලක්ෂණ කිහිපයක් පෙන්වා දුන්නේය. ඒ අනුව අධිකාරිවාදය; 

1- බහුත්වාදය සීමා කරයි. දේශපාලන දර්ශනයක් වශයෙන් බහුත්වවාදය යම් කිසි දේශපාලන සමාජයක තිබෙන විවිධත්වය පිළිගන්නා අතර  සහ බහුත්වාදය පවත්නා බවට  සහතික වෙයි. විවිධ ජනවර්ගයන්ට සිය සංස්කෘතික ආගමික අන්‍යතාවයන් , බැඳීම, ජිවන විලාශය  ආරක්ෂා කර ගනිමින් සාමකාමි ලෙසට එකට ජිවත් විය හැකිය. එකිනෙක වෙන් වු මිනිස් වටිනාකම් සාධාරණ හා ඵළදායි ලෙස පවත්වා ගෙන යා හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ක්‍රමයක් තුල යැයි පිළි ගනී.  

නමුත් අධිකාරිවාදි පාලන ක්‍රමයක් වර්ධනය වන විට එක් ජාතියක් එක් ආගමක් එක් සංස්කෘතියක් එක් ජීවන විලාසිතාවක් වැනි කාරණා හුවා දක්වන අතර එවිට එම ජන සමාජයන් හි සිටින අවශේෂ ජන කොටස් රාජ්‍ය අනුදැනුම ඇතිවම විවිධාකාර හිංසා පීඩාවන්ට‍ ගොදුරු වේ. මෙම ක්‍රියාවලිය නොයෙකුත් නිතී අණ පනත් සම්මත කිරිම මගින්, දේශපාලන පක්ෂ තහනම් කිරීම හෝ සීමා කිරීම මගින් එසේත් නැතහොත් ජනතාව පාලකයින් විසින් උසු ගැන්වීමෙන් සිදුවිය හැකිය. 

මේ සම්බන්ධයෙන් කදිම උදාහරණයක් ලෙස දේශපාලන විද්‍යාර්ථින් සලකන්නේ ඉන්දියානු අගමැති නරේන්දර මෝදි ආණ්ඩුව විසින් 2019 සම්මත කරන ලද ‘පුරවැසි (සංශෝධන)පනතයි. එම පනත එරට මුස්ලිම් ජනතාව ගේ අයිතිවාසිකම් වලට එරෙහිව සම්මත කළ පනතක් ලෙස සැලකේ.  

2- පාලකයා සිය දේශපාලන අධිකාරිය සාධාරණිකරණය කරන ආකාරයයි: අධිකාරිවාදි පාලකයෝ අසාමාන්‍ය ලෙස සිය රට තුළ මතුවි ඇති ගැටලු ඉස්මතු කර පෙන්වමින් තමන් ගේ පැවැත්ම සනාථ කරන්නට උත්සාහ දරයි. බහුලවම යොදා ගන්නා මාතෘකාව වි ඇත්තේ ‘ත්‍රස්තවාදි’ භීතිය පැතිරවීමයි. අද වන විට ‘මුස්ලිම් ෆෝබියාව’ නමින් හඳුන්වන මුස්ලිම් ආගම අදහන තැනැත්තන්ට එරෙහිව ලොව විවිධ රටවල රාජ්‍යයන් විසින් දියත් කර ඇති මර්දනය  ඒ ඒ රටවල සිය බලය තහවුරු කර ගැනීමේ මෙවලමක් වී තිබේ. 

මෝදි යටතේ ඉන්දියාව සහ ඩොනල්ඩ් ට්‍ර්ම්ප් යටතේ ඇමරිකා එක්සත් ජනපදය මේ සම්බන්ධයෙන් මෑත කාලීන උදාහරණ දෙකක් වේ. 

මානව සංහතියේ අනාගත ගමන් මග වෙනස් කරන ගෝලීය ව්‍යසනයක් වු කෝවිඩ්-19 දැඩි වසංගත තත්ත්වය බොහෝ රටවල ආණ්ඩු සිය බලය අසීමිත ලෙස වර්ධනය කර ගැනීමට යොදා ගත් බව වාර්තාවේ. 2020 දෙසැම්බර් වන විට ආර්ජන්ටීනාව කොවිඩ් 19 පිළිබඳ ව්‍යාජ පුවත් පළ කිරිම දණ්ඩ නිතී සංග්‍රහය යටතේ අවුරුදු 6 බරපතළ වැඩ සහිත සිර දඩුවම් ලැබිය හැකි වරදක් කොට නව නිතී පැනවීමත්, ශ්‍රී ලංකාවේ කෝවිඩ්-19 ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය හමුදා නායකත්වය යටතට පත් කිරීමත් ඇතුලු උදාහරණ කිහිපයක් මේ සම්බන්ධයෙන් වාර්තාවක් පළ කළ ජාත්‍යන්තර සංවිධානයකක් වන IDEA සංවිධානය පෙන්වා දෙයි. වාර්තාව මෙතින් කියවන්න  https://bit.ly/3u0BK49

3- දේශපාලන සහභාගිත්වය සහ අධිකාරි විරෝධි දේශපාලන ක්‍රියාකාරකම් මර්දනය කිරීම: ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ක්‍රමයක ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමේදි ජනතාව ගේ අදහස් උදහස් ලබා ගැනිම වඩාත් දියුණු ප්‍රජාතන්ත්‍රවාදි ලක්ෂණයක් ලෙස පිළි ගැනින. 

නමුත් මෑතක සිට දේශපාලන විද්‍යාර්ථීන් අවධානය යොමු කරන වැදගත් ප්‍රවණතාවයක් නම් දේශපාලන නායකයින් සිය ජනහමු වලදි පවත්වන කථා මගින් නිකුත් කරන සංඥා විසින් පවත්නා දේශපාලන ව්‍යුහය ශක්තිමත් කිරීම හෝ දිය කර හැරීම සිදු කළ හැකි බවයි. 

අධිකාරිවාදි ප්‍රවණතාවයන් පෙන්වන ඉන්දියාවේ මෝදි විසින් කරනු ලබන කථා මුස්ලිම් ජනතාවට එරෙහිව එල්ල කළ අතර ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් සුදු ජාතීන්ගේ උත්තරීතරභාවය ඉස්මතු ‌කළ ආකාරය ඒ ඒ රටවල් ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යුහයන්ට කළ බලපෑම උදාහරණ වශයෙන් පෙන්වා දිය හැක.

මේ හා සමඟම බැදුණු අනෙක් කාරණය වන්නේ දේශපාලන ප්‍රතිවාදීන් මර්දනය කිරිමට අධිකාරිවාදි පාලකයින් දරන වෑයමයි. මෙවැනි අවස්ථාවලදි අධිකාරිවාදි පාලකයින් ගේ ආසන්නම ගොදුරු වන්නේ විසම්මුතිය වාර්තා කරන ලබන මාධ්‍යවේදීන්ය. 

4- විධායක බලතල අනිර්වචනීය කිරීම: ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩුක්‍රමයකදි විධායක බලතල සංචරණ හා තුලන ක්‍රමයකට භාජනය වේ. මුලධර්මයක් ලෙස ව්‍යාස්ථාදායකය සහ ජනතා සහභාගිත්වය අගය කිරීම හා ප්‍රවර්ධනය අඛණ්ඩව සිදුවිය යුතුයැයි පිළි ගැනේ. 

නමුත් ඒකාධිකාරි ප්‍රවණතාව ප්‍රදර්ශනය කරනු ලබන රාජ්‍යයන් හි සිදුවන්නේ මෙහි අනිත් පැත්තයි. විධායකය සිය බලතල වර්ධනය කර ගන්නා අතර සිය බලය සංවරණ හා තුලනයට ලක් කිරීමට තිබෙන විධිවිධාන කඩා බිඳ දමයි. ව්‍යාවස්ථාදායකයන් බෙලහීන කරන අතර අධිකරණ ස්වාධීනත්වය සිය ග්‍රහණයට ගනී. 

යම් කිසි රාජ්‍යයක් තූළ මෙම අංග ලක්ෂණ අඩුවැඩි වශයෙන් වර්ධනය වන විට ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යයන් අධිකාරිවාදි රාජ්‍යයන් ලෙස දේශපාලන විද්‍යාර්ථින් හඳුන්වනු ලබයි.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts