සාමය

සිංහල ගමත් ලැයිමත් යාකළ සාමෙල්

නිමල් අබේසිංහ

උසේ තරමට මහතින් යුත් මේ සද්දන්ත පුරුෂයාගේ අතපය මිල්ල කොවුල් වැන්න. ගමන ද ඍජුය. කළුපාට නූලක රඳවා ගෙලෙහි එල්ලුණ සුදු යකඩ කුරුසියත්, මුතුවන් පැහැයෙන් යුත් දසන් පාමින් මුවේ රැඳුණ මන්දස්මිතයත් ඔහු වෙතින් සිහිපත් කරනුයේ කතෝලික මුනිවරයකුගේ ස්වභාවයකි.

කාගේවත් සිතක් බිඳෙන්නට වදනකුදු නොදොඩන සාමෙල් නම් වූ දෙමළ ජාතික කම්කරුවා කෑගල්ල පළාතේ සිංහල ගම්වල කොයි කාගේත් සිත් දිනා ගත්තෙකි.

අපේ ගමට ගම් හතකට එහායින් වූ කොම්පැණිවත්තේ ලැයිමක දිවි ගෙවූ සාමෙල් හිමිදිරි පාන්දරම  ස්වකීය වෘත්තිය වූ ගස් කැපීමට ලැයිමෙන් පිටත් වෙයි.

ඔහු ගස් කපන තැනට යන්නට ගම්වැසි දුප්පත් කොලු කුරුට්ටෝ දැක්වූයේ අසීමිත කැමැත්තකි. ගස් කපන්නට සූදානම් වන ඔහු සිය සහායකයාට කිසිවිටෙක ගසට නැග අතු කඳු බාන්නට ඉඩ නොදෙයි. 

“අයියා ඉන්න. මම ගහට නගින්නම්. අනෙක් ගහ කපන කොට අයියා නගින්න.” ඔහුගේ මුවින් පිටවන්නකි. එහෙත් කිසිදු අවස්ථාවක අනෙක් ගසට නගින්නට ඉඩ නොදෙයි.

“සමෙල් උඹ විතරනෙ ගස් නගින්නේ.” එවිට ඔහුගේ සහායක ගමරාළ අසයි. 

“නෑ අයියා ඔයාට පොඩි ළමයි ඉන්නවනෙ.” සුපුරුදු මදහස පාමින් එවිට සාමෙල් කියන්නේය.

කපන්නට නියමිත ගසට නගින සාමෙල් අත්තෙන් අත්ත බිමට කපා හෙළන්නේ සූක්ෂ්මවය. අසල තිබෙන වෙනත් ගහක් කොළයකට හානියක් නොවන ආකාරයට ගසේ අතු බිම හෙළන්නට සාමෙල් අති දක්ෂයෙකි. එහෙත් ගස කපන තැනට කොල්ලො කුරුට්ටන් කිහිප දෙනෙකු පැමිණ සිටී නම් ගස අසල තිබෙන පොල් ගසක කුරුම්බා වල්ලක් දෙකක් බිම වැටෙන විදියට අත්තක් හොල්ලන්නට ද ඔහු අමතක නොකරයි. කුරුම්බා කොලු ගැටවුන්ගේ භුක්තියටය. සාමෙල් ගසින් බසින්නටත් පෙරාතුව ගමරාළගේ බැණුම් ද නොසලකා විසිරී ගිය කුරුම්බා ගෙඩි අහුලාගෙන ගල් උඩ තබා තලාගෙන හෝ බීමට කොල්ලෝ රුසියෝය.

“යකෝ කොල්ලනේ ඔය සාමෙල්ටත් ගෙඩියක් තියපියව්.” එවිට සාමෙල්ගේ මිතුරු ගමරාළ කෑගසයි.

“නෑ අයියා ඔය මල්ලිලා ඔක්කොම ගත්තාවේ. අපි කහට ටිකක් රත්කරගෙන බොමු.”

සියලු අතු පාහින සාමෙල් අනතුරුව ගස කඳ මුදුනේ බැඳි කඹය දිගේ පහළට බසින්නේ පළපුරුදු සර්කස්කරුවෙකු ලෙසිනි. ඒ වනවිටත් ගමරාළ ගල් තුනක් මැදිකර දර කෝටු එකතු කර ගිනිලූ ළිපෙහි මැටි මුට්ටියට දිය දමා රත්කර හමාරය.

ගසෙන් බැස දෑතින්ම ඇඟපත පිසගන්නා සාමෙල් පත්තර කඩදාසියක ඔතා ගස් දෙබළක රඳවා තැබූ පාන්ගෙඩිය ගෙනැවිත් දෙකට කපා ඉන් වැඩි ප්‍රමාණයක් සහිත කෑල්ල ගමරාළට දී ඉතිරිය ඔහු කැකුළෙන්ම භුක්ති විඳියි. අනතුරුව උණුවතුර මුට්ටියටම තේ කොළ දමා ගිනිපෙනෙල්ලකින් කාල් ගා පොල් කටුවකට වත් කරගෙන එය ගමරාළට දී තුමු ද කහට පොල්කට්ට ගෙන අත්ලට දමා ගත් සීනි ලෙවකමින් කහට බොයි. ඒ නිමාව බීඩියක් පත්තු කර ගෙන අහසට දුම්රොටු යවමින් හිස් අහස දෙස බලා හිඳී.

ඒ අතරවාරයේ ගස මුදුනේ බැඳි කඹයේ අග එල්ලී කොල්ලෝ ඔන්චිලි පදිති. සාමෙල්ට කිසිදා අහල පහල ගම්වල කිසිදු හතුරෙකු නොවීය. ගමක තොවිලයක් වුවහොත් තොවිලයට අවශ්‍ය කුකුළා අනාරාධිතවම ගෙනත් දෙන්නේ සාමෙල්ය. මඟුල් තුලාවක් වූ විට ඒ නිවෙසට කෙසෙල් කැණක් ගෙනත් දීම සාමෙල් අනිවාර්යයෙන් කරන්නකි.

සිංහල දෙමළ අලුත් අවුරුද්දට ගමරාළගේ නිවෙසට නොවරදවාම සාමෙල් තරමටම උස ඇඹුල් කෙසෙල් කැණක් නම් සාමෙල්ගෙන් වරදින්නේ ම නැත. එතරම් මිතුරුකමක් ඔහු සිය වෘත්තීය සගයා සමග පවත්වාගෙන ගියේය. ගම්මුන් සමග ද අපූරු සබඳකමක් පවත්වාගෙන ගිය ඔහු වැඩිහිටියන්ට සාමෙල් වුවත් සියලු දරුවන්ට සාමෙල් මාමා වූයේය. ඉන් ඔබ්බට ඔහු ගැන කිසිදු විස්තරයක් ගම්මු හෝ දරුවන් නොදැන සිටියා මෙන් ම ඒ ගැන සොයන්නට ද උවමනාවක් නොවූයේය. ඈත පින්දෙණිය වත්තේ උඩකන්ද ලැයිමේ සිට එන මේ සහෘදයා තමන්ගේ ම කෙනෙකු තරමට ම ඔවුනට ලෙන්ගතු වූයේය. කාලය වසර දහයක් පහළොවක් පමණ වෙද්දී ඒ ප්‍රදේශයෙන් බැහැර ප්‍රදේශයකට සිය රැකියාව සඳහා ගිය ඉඳහිට තමන් මිතුරන් බලන්නට සාමෙල් පැමිණියේ සුපුරුදු සිනහවත් රැගෙන ම වීම විශේෂත්වයකි. සිංහල මිනිසුන් ඇසුරේ තමන්ට ලැබෙන සතුට මෙන් ම ඔවුන්ගෙන් ලැබෙන ලෙන්ගතු බවට ලොබ බඳින්නට ඇතිවාට සැක නැතිය.

කලක් ගෙවෙන විට සාමෙල්ගේ පැමිණීම අඩුවී නැත්තට ම නැතිවී ගියේය. සාමෙල් සමග ගස් කැපූ මිතුරු ගමරාළ එවර ඔහු සොයා ගියේ තම පුතෙකු හා තවත් අසල්වැසි ගැටවෙකු ද සමගය. පා ගමනින් ම පින්දෙණිය වත්තට ගිය ඔවුහු කන්දත් තරණය කොට උඩකන්දට සම්ප්‍රාප්ත වී සාමෙල්ගේ ලැයිම සොයා ගියහ. සාමෙල්ගේ නම කියා විමසූ විට ඔවුනට තවත් දහයයි දහයේ ලැයිම් කාමරයක් පෙන්වනු ලදුව එහි ගොඩ වැදුණහ. පිරිසිදුකමින් පමණක් අනෙක් ලැයිම් කාමරවලින් වෙනස් වූ ඒ කාමරයට ගොඩ වැදුණු ඔවුනට දකින්නට ලැබුණේ මහලු කාන්තාවක පමණි. 

ඇය විපිළිසරව කාමරයට ගොඩ වැදුණ අමුත්තන් දෙස බැලුවාය. 

“කෝ සාමෙල්. මම එයාගේ යාළුවෙක්.” ගමරාළ ඉස්සර වූයේය.

“ආ අයියා අපේ මනුස්සයගෙ යාළුවෙක්ද? එයා මැරිල දැන් මාස තුනකටත් වැඩියි අයියා. හිටපු ගමන්ම එයාට පපුවේ අමාරුවක් හැදුණා. ඉස්පිරිතාලේ ගෙනියන්නවත් ඉස්සරින් මගදිම මැරුණා.”

දරුවන්ගේ මෙන් ම ගමරාළගේ ද දෙනෙත්වල කඳුළු පිරවුණේ තම හිතෛෂියා ගැන සිහිපත් වීමෙනි.

“ඉඳගන්ඩ අයියා. අපි එයාගේ යාළුවො ගැන මොනවත් දන්නේ නෑ. ගොඩක් අය එයාව හොයාගෙන ආවා. එතකොට එයා මැරිල මාස තුනත් පහුවෙලා. අපි දන්නේ නෑනේ එයාට එච්චර යාළුවෝ හිටිය කියල.”

තවත් වැඩි විස්තර කතා කරද්දී ඔවුනට සාමෙල් ගැන තවත් විස්තර දැනගන්නට ඔවුනට හැකිවිය. දරුවන් නොමැති සාමෙල් යුවළ අඬ දබරයකින් තොරව ගත කළේ ප්‍රීතිමත් දිවියකි. බීඩියක් බීවා හැර සාමෙල් වෙනත් කිසිදු දුරාචාරයක නොයෙදුණි. සාමෙල්ගේ බිරිඳගේ කුකුළු කොටුවෙන් සාමෙල් කුකුළකු රැගෙන ගියහොත් කිසිදා ඔහු ඒ සඳහා මුදල් දෙන්නේ නැත. කෙසෙල් කොටුවෙන් කෙසෙල් කැණක් කපාගෙන ගියහොත් ඒ වෙනුවට ද මුදල් නොලැබේ. සාමෙල්ගේ බිරිඳ ඒ ගැන විමසුවහොත් “අම්මා වම් අතින් දුන්න දේ දකුණු අතවත් දැනගන්න ඕනේ නෑ නේද?” යන ප්‍රශ්නය පෙරළා ඇයගෙන් ඇසුවා මිසෙක ඊට නිශ්චිත පිළිතුරක් දුන්නේ ද නැත. සාමය සංහිදියාව වචනවත් භාවිතයේ නොතිබුන සමයක සාමෙල්ලා ගමරාළා සාමයෙන් ජීවත් යුගයක අරුමය සිහිපත් වෙද්දි ඒ අතීතයට ආපසු යාමට ඇත්නම් කොපමන අගේදැයි සිතෙනවාර අනන්තය. 

.

(1970 – 80 දශකවල දී කෑගල්ලේ සිදුවූ සත්‍ය සිදුවීමක් ඇසුරිණි.) 

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් කතුවරුන්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts