සාමය

ශරීරයක් ඇති හදවතක් නැති යුද්ධය – ආරුගම්බේ පාළුවට ගොසිනි

කපිල කුමාර කාලිංග

එය දකින්නෙකුගේ සිත තුළට ද, ඒ මුසල පාළුව කඩා වදින්නෙ, ශෝකී හැඟීම් සමුදායක් ද සමගිනි.

යුද සමයේදී වත්, අරුගම්බේ සංචාරක පුරය මෙතරම් ජන ශූන්‍ය වී නොගියේ ය. එහෙත් කොරෝනා වසංගතය යුද්ධයටත් වඩා  සැහැසි වී ඇත.

මෙවර මා ආරුගම්බේ පැමිණියේ, කී වෙනි වතාවට දැයි හරිහැටි මතකයක් නැත. මීට පෙර පැමිණියේ, දේශීය හා විදේශීය මිතුරන්, පවුලේ සාමාජිකයන් සමග මෙන්ම රාජකාරි කටයුතු සඳහා තනිවමය.

ආරුගම්බේ යාමට අවස්ථාවක් උදා වූ සෑම විටම මා ඊට සූදානම් වූයේ මහත් ආශාවෙනි. ශ්‍රී ලංකාවේ සංචාරක පුර සැමෙකම වාගේ නිතර සැරිසරා ඇති නමුදු, ආරුගම්බේ කෙරෙහි මා තුළ වූයේ විශේෂිත කැමැත්තකි, ඒ කුමක් නිසා ඇති වූවක් දැයි ඇසුවොත්, ඊට දීමට ඍජු පිළිතුරක් මට නැත. [එහෙත්, ඇතැම් විට මේ ලිපිය ඊට නිසි පිළිතුරක් වීමටද ඉඩ ඇත.]

දිවයිනේ, නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයට අයත්, ආරුගම්බේ (ආරුගම්බේ බොක්ක) නොහොත් ආරුගම්- කුඩා ජනගහනයකින් යුත් ප්‍රදේශයකි. එහි වෙසෙන බහුතරය මුස්ලිම් ජාතිකයන් ය. අඩ කවාකාර වෙරළ තීරයකින් යුත්, ආරුගම්බේ මුහුද,  ලෝකය පුරා විසිර සිටින සංචාරකයින් අතර වඩාත් ප්‍රසිද්ධියක් උසුළන්නේ උස් රළ  පතරෙහි, සමබරව පාවෙන “සර්ෆ්” ක්‍රීඩාව සඳහා ඉතා සුදුසු ස්ථානයක් ලෙසිනි. ඒ නිසා ලොව නන් දෙසින්, ” සර්ෆ් ලෝලීහු” මෙහි ඇදී  එති. නගරය පුරාම, සර්ෆ් පුවරු (Surfboard) කුලියට දෙන කඩ දක්නට ඇත. එය එහි වැසියන්ගේ හොඳ ආදායම් මාර්ගයකි. ඊට අමතරව, විවිධ මට්ටම්වල සංචාර හෝටල්, සංචාරක නිවාස, කුටි, ආපනශාලා ආදියෙන්, ආරුගම්බේ  නගරය හා වෙරළ තීරය පිරී ඇත. විශේෂයෙන් ම, ජූලි හා අගෝස්තු මාසවල දී විදේශිකයන්ගෙන් ආරුගම්බේ පිරී යන්නේ, එය ‘සර්ෆ් ක්‍රීඩාව’ සඳහා යෝග්‍ය කාලයකැයි ( උස් මුහුදු රළ හා යහපත් කාලගුණය නිසා) සැළකෙන බැවිනි.

නගරයේ වෙළඳ ආධිපත්‍යය, මුස්ලිමුන් සතුව පැවති අතර, තරමක් ඈතින් පිහිටි ගම්මාන වල වෙසෙන දමිළ හා සිංහල ජනයා, ප්‍රධාන වශයෙන්ම යැපුණේ ධීවර කර්මාන්තයෙනි.  සමහරු වී හා හේන් ගොවිතැන ද කළහ.

සිංහල, බෞද්ධ දේශීය සංචාරකයින් ට ආරුගම්බේ වැදගත් වූයේ, එහි වෙරළ තීරයේ කෙළවරක පිහිටි මුහුදු මහා විහාරය නිසාය. දුටුගැමුණු රජුගේ මව වූ විහාර මහා දේවිය සමඟ මුහුදේ පා කර එවූ යාත්‍රාව, ගොඩ බිමට ළඟා වූ ස්ථානය ලෙස, මෙය සැලකේ. වන්දනා ගමන් යන සිංහල බෞද්ධ වැසියන්, මෙහි පැමිණීම ද බොහෝ විට සිදු වුණද, යුද්ධය ඇවිළ යාමත් සමඟ එය වැළකුණි, පසුව නැවතත් එය ඇරැඹිණි, විහාරයද කලින් කලට, නවීකරණය කර ඇත.

මේ වතාවේ, විහාර භූමියට නුදුරු තැනක අප ගමන් ගත් වෑන් රථය නවතා තිබියදී, 

 ආරුගම්බේහිදී දැන හැඳින ගත්, හලීම් නැමැති මහළු ව්‍යාපාරිකයා, නැවතත් මගේ මතකෙට නැඟුණි. ආරුගම්බේ එන හැම විටකම, මම හලීම් හමුවීමට අමතක නොකෙළෙමි.

 හලීම් ගේ වයස 60ත් 70 අතර වූ නමුදු, ඔහුගේ දුෂ්කර ජීවන ගමන විසින් ඊට වඩා වියපත් පෙනුමක් ලබා දී තිබුණි.

මුහුද පෙනෙන තෙක් මානයේ පිහිටි කඩ විදියේ කෙළවරක හලීම්ගේ කඩයද පිහිටා තිබු අතර, ඔහු පදිංචිව සිටියේ ඊට මඳක් දුරිනි. කඩ වීදියටම සුපුරුදු පරිදි, හලීම්ගේ කඩය ඉදිරියේද “සර්ෆ් පුවරු” උඩු අතට හේතු කර තිබුණි. සංචාරකයෝ පැමිණ පැය ගණනට හෝ දවස් කුලියට, ඒවා ගෙන යති. සංචාරකයන්ම ඉලක්ක කරගත්, සිසිල් බීම, බිස්කට්, පලතුරු ආදිය ද හලීම්ගේ කඩේ විය. ඊට අමතරව ඔහු, තේ සහ කෝපි ද, සුළු කෑම වර්ග ද විකිණීම කළේය. ඒ නිසා අසල්වැසියෝ ද, නගරයට පිටින් එන අය ද, හලීම් ගේ කඩයට ගොඩ වැදුණෝ ය.

හලීම්ගේ බිරිඳ මිය යන විට, ඔහුගේ එකම පුතාට- අසාද්ට- වයස 15 කි. නැවත විවාහයකට යන මෙන් ඥාතීන් බල කළ ද, හලීම්, එසේ නොකොට, පුතාද බලා කියාගෙන ජීවත් වුණේ ය.

මේ දෙදෙනාම, මුස්ලිම් හුරුවට වුවත්, හොඳින් සිංහල කතා කළහ. හලීම්  ඉංග්‍රීසි කතා කළේය. අසාද් ට ඉංග්‍රීසි පමණක් නොව ජර්මන් හා ඉතාලි භාෂාවලින් ද “ජාම්” බේරා ගත හැකි විය.  එය, සංචාරක ව්‍යාපාරයේ දායාදයක් මෙන්ම අවශ්‍යතාවයක් ද විය.

මා මේ දෙදෙනා හඳුනා ගන්නා විට, යුද්ධයේ අඳුරු සෙවණැලි උතුරු- නැගෙනහිර පළාත් පුරා, විසිර පැතිර තිබිණි. සංචාරකයින්ගේ පැමිණීම, ක්‍රමයෙන් අඩු වෙද්දී ආරුගම්බේ ජනතාවට ද, එය දැනෙන්නට විය. එහෙත් සියල්ල ඇණ හිටියෙම නැත. ඉඳහිට හෝ විදේශීය සංචාරක කණ්ඩායම්, සර්ෆින් සඳහා පැමිණි අතර, ඔව්හු පෙර පැමිණ, පුරුදු කාරයෝ ද වූහ.

කඩේ වෙළදාම අඩු වූයෙන්, අසාද් රෙදිපිළි වෙළඳාමක් පටන් ගත්තේය. මඩකලපුවේ සිටි මිත්‍රයෙකු ගෙන් ලබාගන්නා රෙදිපිළි වර්ග, තැනින් තැන ගොස් විකුණූ අසාද්, ඇතැම් විට දින දෙක තුන ගෙදර පැමිණියේද නැත. මෙය, හලීම්ගේ හිතට කරදරයක් විය. පුතා නැති විට, ඔහුට තදින් ම තනිකම දැනුණේය. විශේෂයෙන්ම, පුතා දෙමළ ප්‍රදේශවල වෙළෙඳාමේ යාමට ඔහු බිය විය. යුද්ධයත් සමඟ පැමිණි ආරංචි ද ඔහු ගේ සිත නොසන්සුන් කළේය.

මුල් කාලයේදී, එල්.ටී.ටී.ඊ. නොහොත් කොටි සංවිධානයෙන්, මුස්ලිම් ප්‍රජාවට ඍජු බලපෑමක් සිදු නොවීය. කොටි සංවිධානයට කලින් බිහිවූ, වෙනත් දෙමළ සටන්කාමී සංවිධාන තුළ, මුස්ලිම් තරුණයෝ ද සිටියහ. එහෙත්, කොටි සංවිධානය, ක්‍රම ක්‍රමයෙන් මුස්ලිම් ජනයා දෙස බලන්නට වූයේ සැකයෙනි. දෙමළ නිජ බිම් තුළ, මුස්ලිම් වාසභූමි පවතිනවාට ඔව්හු විරුද්ධ වූහ. මුස්ලිම් ගම්මානවල ට ද පහරදීමට  පෙළඹුණි. එහි දරුණුතම හා තීරණාත්මක අවස්ථාව වූයේ, යාපනයේ ජීවත් වූ මුස්ලිම් ජනයාට පැය විසි හතරක් තුළ, පිටව යන මෙන්, කොටි සංවිධානය විසින් නියෝග කිරීමයි.

හලීම්  යුද්ධයට අකමැති විය. ඒ ඔහුට සාමය අවශ්‍ය වූ බැවිනි. හලීම් ට, සාමය අවශ්‍ය වූයේ නිදහසේ වෙළදාමක් කරගෙන ජීවත් වීමටය. යුද්ධය නිසා, ඊට  බාධාවක් නොවන්නේ නො වන්නේ නම්, ඔහුට යුද්ධය හා සාමය යන දෙකම එකය. 

ජාතියක කොඳු නාරටිය වන්නේ ඔවුන්ගේ භාෂාව යැයි කියමනක් ඇත. එහෙත්, ශ්‍රී ලංකාවේ, මුස්ලිම් ප්‍රජාව ගේ ප්‍රධාන භාෂාව වූයේ දෙමළ ය. සාමාන්‍ය මුස්ලිම් ජනයාගේ දූදරුවෝ, සිංහල හා දෙමළ මාධ්‍යයන්ගෙන් ඉගෙනුම ලැබූහ. ඉහළ පංතියේ මුස්ලිම් ජනතාව, තම දරුවන්ට උගැන්වූයේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි.

දෙමළ භාෂාව හරහා, මුස්ලිම් – දෙමළ ජන වර්ගයන් අතර පාලමක් ගොඩනැගී තිබුණද, කොටි සංවිධානය බිහි වීමෙන් පසු, එය බිඳී ගියේ ය. දෙමළ කතා කරන පමණින්, මුස්ලිම් ජනතාව තම හිතෛෂීන් ලෙස  පිළිගැනීමට ඔවුන් ක්‍රියා කළේ නැත.

මේ නිසා, මුස්ලිම් ජනතාවට ද, තමන් දෙමළ බස කතා කරන නමුදු, දෙමළ ජනයාගෙන් ඉවතට විසිවූ, වෙනත් සුළුතරයක් ලෙස හැඟෙන්නට විය. එහිදී ඔවුනට තිබූ එකම විකල්පය වූයේ. සිංහල ජනතාවගේ හිත දිනා ගැනීමය.

 

මම, දිනක් හලීම් ගෙන් මෙසේ ඇසුවෙමි .

“දෙමළ මිනිස්සු යුද්ධ කරන්නේ වෙනම රටක් ඉල්ලලා. හලීම් ඒ ගැන මොකද හිතන්නේ ?”

ඔහු, එතරම් කල්පනා නොකර ම පිළිතුරක් දුන්නේය.

“ඒගොල්ලො එහෙම කරන්නේ සිංහල ආණ්ඩුව ගැන විශ්වාසයක් නැති හින්ද”

හලීම්, උගතෙකු නොවුණද  මෝඩයෙකු ද නොවේ. එහෙත් එම පිළිතුර, ඔහුගේ සිතින්, ස්වාධීනව උපන්නකැයි ඇයි මම නොසිතමි.

“හලීම්ගෙ පුතා මොකද හිතන්නේ, ඊළමක් එනවට?”

මම ඇසුවෙමි.

“එයා කැමතියි.. තරුණ ළමයි නෙ.” 

“ඒත් හලීම්, ඊළාම් රාජ්‍ය කියන්නේ දෙමළ මිනිසුන්ගේ රටක්.. ඒක මුස්ලිම් මිනිස්සුන්ට අයිති නෑ. අනික ඒක ඒගොල්ලන්ගෙ සටනක ප්‍රතිඵලයක්..”

එවර, හලීම් නිරුත්තරව, ඉවත බලා ගත්තේය.

එකම භාෂාවක් කතා කරන ජාතීන් දෙකක් වුවත්, ඔවුනට එකතුවීමට නොඑසේනම් සහජීවනයෙන් කටයුතු කිරීමට හරස් වන තවත් සාධකයක් විය. එනම් ආගම ය. දෙමළ ජනතාව ප්‍රධාන වශයෙන් හින්දු ආගමිකයන් වුවද, ක්‍රිස්තියානි, කතෝලික හා බෞද්ධ පිරිස් ද ඔවුනතර සිටියහ. එහෙත් දෙමළ කතා කරන මුස්ලිමුන් අතර සිටියේ, ඉස්ලාම් බැතිමතුන් ම පමණි.

මුස්ලිමුන්, කිසිදිනෙක හින්දු කෝවිල් වඳින්නට යන්නේ නැතුවා සේම, ද්‍රවිඩයෝ ද කිසි කලෙකත්, මුස්ලිම් පල්ලි වෙත යන්නේ ද නැත. මෙය, ආගම් භක්තිය හමුවේ, “භාෂා ප්‍රේමය” පසු බසින අවස්ථාවකි.

හලීම්, ආරුගම්බේ අතැර ගොස් ඇති බව මට දැන ගැනීමට ලැබුණේ, ඊට දෙතුන් වසරකට පමණ පසුවය. මට ඒ පිළිබඳ තොරතුරු කියුවේ, දැන් හලීම් ගේ කඩය අයත් කරගෙන සිටින ඔහුගේ ඥාතියෙකුගෙනි. එහෙත්, හලීම්  දැන් කොහි සිටිනවා දැයි ස්ථීරව කීමට ඔහු ද නොදනී. සමහර විට, ඒ පුත්තලම, මන්නාරම හෝ බේරුවල විය හැකි යැයි ඔහු අනුමාන කරයි. මේ වන විට, ජීවතුන් අතර නොසිටින්නට ද ඉඩ ඇත. අවසාන කාලයේ, ඔහු හෘදයාබාධයකින් පෙළෙමින් සිටි හෙයිනි.

හලීම් ගේ ජීවිතය ශෝකාන්තයක් බවට හැරෙන්නේ, ඔහුගේ පුතා අතුරුදන් වීමෙනි. 

අසාද්  විවාහ වී සිටියෙ, රෙදි වෙළදාමේ යන අතර මිතුරු වූ, දෙමළ තරුණියක සමඟිනි. හලීම් ඊට බලවත් සේ විරුද්ධ විය. අසාද් කිසි දිනක තම බිරිඳ සමඟ ආරුගම්බේ ආවේද නැත. විවාහය මඳ කලකට පසු තව පියා බලන්නට ආවේ, ඔහු අසනීපව සිටින බව ආරංචි වීමෙනි.

මුහුදු කොටින්ට ඉන්ධන සැපයුවේ යැයි සැක පිට, රජයේ හමුදා විසින් අසල් ගමක මුස්ලිම් තරුණයින් කීප දෙනෙක් අත්අඩංගුවට ගත් පුවතින්, අරුගම්බේ  වැසියෝ සළිත වූහ. අසාද් ද, ඒ පිරිස අතරේ වී යැයි සමහරු සැක කළද, හමුදා කඳවුරට ගිය හලීම්ට එය එසේ නොවේ යැයි දැනගන්නට ලැබුණි.

කෙසේ වෙතත්, ඒ සිද්ධියෙන් පසු යළි කිසි කිසි දිනෙක අසාද්, යළි ගමට නාවේය. ඔහුගේ බිරිඳ සහ පවුලේ උදවිය ද,  පළා ගොස් ඇතැයිද හලීම්ට සැළවුණි.  සත්‍යය කුමක් දැයි දන්නේ, අල්ලා දෙවියන් වහන්සේ ම පමණි.

 අවසානයේ දි , හලීම් රෝගාතුර වුණි. වෙළඳාම කඩා වැටුණි. අතුරුදහන් වූවන්ගේ නාමාවලියට අයත් නොවූවද, ඔහු ද අතුරුදහන් චරිතයක් බවට පත්වුණි.

ඒ අසරණ මනුෂ්‍යයාගේ  ඉරණමට වගකිව යුත්තේ,  යුද්ධය ද නැද්ද යන්න තීරණය කිරීම මම ඔබට බාර කරමි.

පසු සටහන

යුද්ධය පිළිබඳව, මාගේ සිතට කාවැදී ඇති අදහස් දෙකක් මෙසේය,

 යුද්ධයට ශරීරයක් තිබුණද හදවතක් නැත.

 යුද්ධය, තමා දෙස බලා සිටින්නාට මෙන්ම ඉවත හැරී සිටින්නාට ද එක සේ සලකයි.

රුසියානු ලේඛක ඇලෙක්සි තෝල්ස්තෝයිගේ  සුප්‍රකට කෙටිකතාවක් වූ ‘රුසියානු චරිතය’ “The Russian character” තුළ මෙබඳු කියුමක් ඇත.

” යුද්ධයකදී, මරණය අබිමුවේ නිතර සිටීම හේතු කොටගෙන, මිනිස්සු බෙහෙවින් හොඳ අතට හැරෙති.”

මා දන්නා තරමින, යුද්ධය විසින් පිරිසිදු කිරීමට තරම් නරකක්, හලීම්ගේ හෝ අසාද් තුළ නොවීය.

හලීම්, යුද්ධයේ දී ඉවත බලා සිටියෙකි. අසාද් වක්‍රව හෝ, ඊට මුහුණ පෑවා විය හැකිය.

කෙසේ හෝ වේවා මගේ අදහසේ හැටියට, යහපත් මිනිසුන් ලෙස සැලකිය හැකි වූ ඒ පිය- පුතු දෙදෙන, මෙලොව හෝ එලොව, සාමයෙන් පිරි තැනකදී යළි මුණ ගැසී, සතුටින් කල් ගෙවනු ඇතැයි සිතීමට මම වඩා කැමැත්තෙමි.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් කතුවරුන්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts