Environment

වන විනාශයෙන් සිදුවන සමාජයීය ආර්ථික බලපෑම්

තනුජා නානායක්කාර

වන විනාශය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවෙනුයේ කලින් කලට මහා රක්ෂිත වනාන්තර පවා හෙළි පෙහෙළි කෙරෙන බැවිනි. දැව ජවාරම්කාරයන්ට අමතරව රාජ්‍ය අනුග්‍රහයෙන්ද මෙසේ වනාන්තර විනාශයට අනුමැතිය දුන් අවස්ථා ඕනෑ තරම්ය. විල්පත්තු හා යාල වනාන්තරවල අක්කර දහස් ගණන් මෙසේ සෘජුවම හෙළි පෙහෙළි වූ අතර තවත් වනාන්තර ආශ්‍රිත ප්‍රේරණ කලාපයද විවිධ සංවර්ධන වැඩසටහන් සදහා යොදා ගැනීමෙන්ද වන විනාශයන් සිදු විය.

ලංකාවේ සෑම රක්ෂිත වනාන්තරයක් තුළම පාහේ දැව ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වීමද මෙරට වන ගහණය සීඝ්‍රයෙන් අවම වීමට තවත් හේතුවක් වී ඇත. 

වනාන්තර විනාශය ගැන සාකච්ඡා කිරීමේදී මූලිකවම අවධානය යොමු වන්නේ විවිධ ශාක කපා දැමීම සතුන්ගේ ජීවන රටාවට බාධා වීම හා ඔවුන් මිය යාම හෙවත් ජෛව පරිසර පද්ධති කඩා වැටීමයි. මේ හේතුවෙන් අධික උණූසුමක් ඇති වීම හා වැසි තත්ත්වයන් අවම වීමද දැකිය හැකිය.

වන විනාශයේ මූලික ප්‍රතිඵල එසේ හදුනා ගත්තද ඉවක් බවක් නොමැතිව වනාන්තර විනශයෙන් වන සමාජීය ගැටලුද රැසක් හදුනාගත හැකිය.

වනාන්තරයක් යනු හුදෙක්ම ගස්වැල්වලින් ගහන භූමි ප්‍රදේශයක් නොවේ. එහි එක් එක් මට්ටමේ ශාක වර්ග පවතින අතර ඒවා එකින් එකට අන්තර් සම්බන්ධතාවත් සහිතය.  විශාලම ශාකයේ සිට කුඩා ශාකය දක්වා එකක් මත එකක් යැපෙමින් පද්ධතියක් ආකාරයට පැවතීම වනාන්තරයක ලක්ෂණයකි. රූස්ස ගසක් කපා දැමූ විට ඊට පහළින් තිබෙන ශාක විශාල ප්‍රමාණයක් ඊට යටවී  විනාශ වන අතර එම කපා දැමූ ශාකය තුළ පිහිටි අපිශාකද විනාශයට පත්වේ. එසේම වනාන්තරයක සතුන්ගේ පැවැත්ම සලකා බැලීමේදී එක් සතකු මත තවත් සතෙකු යැපීමේ ක්‍රියාවලිය හෙවත් ආහාර දාමය හොදින්ම ක්‍රියාත්මක වන්නේ වනාන්තර තුළය.උදාහරණයක් ලෙස  වන විනාශය මගින් කොටි වැනි විලෝපිතයන් මිය ගියහොත් ඊට පහළ ආහාර දාමය වන මුවන් ගෝනුන් වැනි සතුන්ගේ ගහනය වැඩි වී එය තෘණ මත වැඩි බලපෑමක් එල්ල කරයි.එමගින් වනාන්තර අවට තෘණ භූමි කාදනයට ලක්වීමෙන් ක්‍රම ක්‍රමයෙන් වනාන්තර ප්‍රදේශය අවම වීමට එය හේතුවක් වෙයි.තෘණ භූමි වල පාශු හායනයක් සිදු වීමෙන් පස නිසරු වන අතර එමගින්  වනාන්තර ආසන්නයේ කෙරෙන වගාව නිසරු වෙයි.එම නිසා ව්‍යාපාරික නොවන හේන් වගාවටද සෘජුවම රසායනික පොහොර යෙදීමට සිදු වීමෙන් තවදුරටත් පස හානියට පත්වෙයි.රසායනික පොහොර භාවිතයෙන් රෝගී තත්ත්වයන්ටද ලක්වීමට ඉඩ තිබේ. මෙය ඉතා සෙමින් සිදුවන බැවින් මේවා එකම ගැටලුවක හේතු බව හදුනාගැනීමටද අපහසුය.

වනාන්තර විනාශය හේතුවෙන් සතුන්ගේ වාසස්ථාන අහිමි වීම නිසා උන් ගම් වැදීමට පටන් ගැනීම තවත් සමාජ ගැටලුවකට හේතුවකි.වනාන්තර භූමි ප්‍රමාණය අඩු වීම හේතුවෙන් වන සතුන් ගම් වදින අතර අලි මිනිස් ගැටුම එහි ප්‍රධානම ගැටලුවකි. වන අලි ගම් වැදීමෙන් වගාව විනාශ කර දමන අතර එමගින් ගොවි ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉතාම පහළට වැටේ. ණය වී කරන ලද වගාවක් නම් තත්ත්වය තවත් බරපතල වන අතර මේ නිසා ගොවීන් සියදිවි  නසා ගත් අවස්ථාද  වාර්තාවෙයි. මීට අමතරව වන අලි නිවාස කඩා දමා නිවාස තුළ තිබෙන ආහාරද පරිභෝජනය කරයි. ආර්ථිකය අඩපණ වූ අවස්ථාවක නිවාස කඩා දැමීම නිසා එම ගොවි පවුල්වල සමාජීය තත්ත්වය ජීවන තත්ත්වය පහළ වැටේ. අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර, මොනරාගල, හම්බන්තොට, කුරුණෑගල හා ඇතැම් උතුරු ප්‍රදේශ වලත් මෙම අලි මිනිස් ගැටුම ප්‍රබලව වාර්තා වෙයි.අලි ගම් වැදීමේදී සිය පවුල රැක ගැනීමට ඉදිරිපත් වන්නෙත් පැල් රැකීමට ගිය අවස්ථාවේ වන අලි ප්‍රහාරවලට ලක් වන්නේත් ගෘහමූලිකයා බැවින් වල් අලි ප්‍රහාර බහුලව සිදුවන ප්‍රදේශවල ගෘහමූලිකයා මිය යාම සුලභ සිද්ධියකි. එමගින් පවුල්වල යම් බිද වැටීමක් සිදුවන අතර ආර්ථික තත්ත්වයද අයහපත් වීමෙන් පවුලේ මවට රැකියාවක් හෝ වගා කටයුතුවලට ඍජුව යොමු වීමට සිදුවේ. එමගින් පවුලේ රැකවරණය,  දරුවන්ට ආදරය මෙන්ම අධ්‍යාපන අවස්ථාවල යම් යම් සීමාවන් ඇති වේ. එය සමාජීය ගැටලුවක් දක්වා ද වර්ධනය වන අවස්ථා දක්නට ලැබේ. විශේෂයෙන් ශ්‍රම බලකාය මිය යාම හේතුවෙන් ප්‍රදේශයේම ආර්ථික තත්ත්වයටද මෙය බලපායි.

වන අලින්ට අමතරව කොටි ගම් වැදීමද ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වෙයි.නුවරඑළිය, බදුල්ල, මාතලේ, මන්නාරම හා හම්බන්තොට වැනි ප්‍රදේශවල තේ වතු ආශ්‍රිතව කොටින්ගේ පහර දීමෙන් පුද්ගලයින් මිය ගිය අවස්ථාත් ඔවුන් ගෘහාශ්‍රිත සත්ත්ව ගොවිපළවලට පහර දෙන අවස්ථාත් වාර්තා වෙයි.එහි ප්‍රතිඵලයද අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵලයට සමානය.

අලි කොටින්ට අමතරව මුවන්, ගෝනුන්, වල් ඌරන්, ඉත්තෑවන්,  රිලවුන්, වදුරන් හා  මොණරුන්   වැනි සතුන්ද ගම් වැදී වගා හානි කරන අතර බොහෝ ගොවීන් වගා අතහැර  වෙනත් රැකියාවලට මාරු වීමද සුලභව සිදුවේ. දිවා රාත්‍රී භේදයක් නැතිවම පැමිණෙන රිලවුන් වැනි සතුන්ගේ හානිය  අන් සියල්ලන්ටම වඩා ප්‍රභලය.මේ සියල්ලටම හේතුව වන ප්‍රදේශය කුඩා වීම නිසා එමගින් ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීමට වන සතුන්ට නොහැකි වීමය.යාල වන විනාශය හේතුවෙන් කතරගම ප්‍රදේශයට මෙම තත්ත්වය දැඩිව බලපා තිබේ. වගා හානි හේතුවෙන් ඇතිවන ආර්ථික ගැටලු එම ජනතාවගේ අනිකුත් සියලුම සමාජීය ප්‍රශ්නවලට හේතුවක් වේ.

වන විනාශය මගින් කාලගුණ වෙනස්කම් ඇති කිරීම හා දේශගුණ රටාවේ වෙනස්කම් ඇති වීම තවත් ප්‍රධාන ගැටලුවකි. වර්ෂාපතන රටාව වෙනස් වී නියං සමය දිගු වීමත් වාර්ෂිකව ගං වතුර තත්ත්ව ඇති වීමත්  සමාජීය වශයෙන් ගැටලු ඇති කරයි. බොහෝ නිවාස එක්වරම ජලයෙන් යට වී යාමෙන් උන්හිටි තැන් අහිමි වීම, වගා හානි වීමෙන් ආර්ථික තත්ත්වය කඩා වැටීම ප්‍රබලම සමාජීය ගැටලුවකි.

එසේම  දේශගුණ රටාව වෙනස්වීම හේතුවෙන්  ආර්ථික ක්‍රමය උඩු යටිකුරු වීමද දැකිය හැකිය. භෝග වර්ගවලට අවශ්‍ය ජලය නොමැති වීමත් ජලය අවම අවශ්‍යතාවක් ඇති භෝගවලට අධික වර්ෂාව ලැබීමත් සිදුවේ. එසේම උළු ගඩොල්, බ්ලොක් ගල් වැනි නිෂ්පාදන කෙරෙන ප්‍රදේශවලට අධික වර්ෂාපතනය ලැබීමෙන් ඔවුන්ගේ ජීවනෝපායට බලපෑම් එල්ල වේ.

මීට අමතරව වන විනාශය හේතුවෙන් ජල මූලාශ්‍ර සිදී යාමෙන් පානීය ජල ගැටලු ඇති වීමද සිදුවේ.  එම නිසා ජලය සොයා කිලෝ මීටර ගණන් දුර ගෙවා යාමට සිදුවන අතර දවසේ වැඩි කොටසක් වැය වන්නේ ජලය එක් රැස් කිරීමට වීමෙන් පවුලේ අනෙකුත් කාර්යයන් අතපසු වෙයි.එසේම ජලාශ වැව් පොකුණු වියළී යාම හේතුවෙන් ඒ ආශ්‍රිතව කළ මඩ හා ගොඩ ගොවිතැන් පාළු වීමත් ජලාශ ආශ්‍රිතව මිරිදිය මත්ස්‍ය තර්මාන්ත මෙන්ම නෙලුම් මල් අල, කීර හෙවත් පලා වර්ග ආශ්‍රිත රැකියා විශාල ප්‍රමාණයක් අහිමි වෙමින් පවති.මේ සියල්ලටම මූලික හේතුව ඉවක් බවක් නොමැති වන විනාශය වන අතර ඉන් ග්‍රාමීය ජීවනෝපාය ක්‍රම, රැකියා ,ජිවන තත්ත්වය, ආර්ථිකය බිද වැටෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ග්‍රාමීය ජනතාව රැකියා සොයා නගරයට සංක්‍රමණය වේ.නගරයට කොටු වී නගරයේම නතර වී කුමක් හෝ රැකියාවක නිරත වන ඔවුන් ගමට යාම සිදුවන්නේද කලාතුරකිනි.එමගින් පවුල් සංස්ථා බිද වැටීමද දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයන්ට ආදරය රැකවරණය අහිමි වීමද හේතුවෙන් සමාජීය ගැටලු හට ගනී. එමෙන්ම නාගරික ජනගහණය ඉහළ යාමෙන් නාගරිකව ඇති ඉඩකඩ සීමා වෙයි. එය නව ආරක ගැටලු මතු කරන අතර අධික ජනගහණය හේතුවෙන් රෝග බෝවීම,  විවිධ අයථා ක්‍රි,යා ජාවාරම්වලට මග පෑදීම, මතුද්‍රව්‍යවලට හුරුවීම වැනි සමාජීය ගැටලු ඇති වෙයි. මෙම ගැටලු සියල්ල එකම මූලයක ප්‍රභවයක් බැවින් තාවකාලික විසදුම්වලින් ඵලක් නොවන බව පෙනේ.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts