තොරතුරු දැනගැනීමේ අයිතිය

ලංකාවේ තැනක් නැති පොලිස්ථාන

එන්.එම් නස්රාන්

සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේ තවත් එක් කර්තව්‍යක් ලෙස හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් අනතුරුව 2020 සහ 2021 යන දෙවසර තුළ දිවයිනම ආවරණය වන පරිදි නව පොලිස් ස්ථාන 105ක් පිහිටුවා ඇත. මෙම පොලිස් ස්ථාන පිහිටුවීම හා එම පොලිස් ස්ථාන ආරම්භ කිරීම ඉතාමත් උත්කර්ෂවත් අයුරින් පටන් ගනු ලැබුවත් වර්තමානයේ මෙම ගොඩනැගිල්වල තත්ත්වය හා ඒ හා සම්බන්ධ කටයුතු සිදුවන ආකාරය ගැටළුකාරී වී ඇත. පසුගිය කාලය තුල පිහිටවූ පොලිස් ස්ථාන  දිස්ත්‍රික්ක වශයෙන් ගත්කළ  කලුතර 04, ගම්පහ 05, කොළඹ 04, අනුරාධපුරය 17, පොලොන්නරුව 04, අම්පාර 06, මඩකලපුව 02, ත්‍රිකුණාමලය 01, කිලිනොච්චිය 01, මුලතිව් 03, වව්නියාව 02, මන්නාරම 01, රත්නපුර 06, කෑගල්ල 04, පුත්තලම 09, කුරුණෑගල 12, බදුල්ල 09, මහනුවර 04, නුවරඑළිය 01, මාතලේ 03, ගාල්ල 02, හම්බන්තොට 03, මාතර 02 ලෙස වේ.මෙය තවත් සවිස්තරාත්මකව පෙන්වා දෙන්නේ නම්, එය පහත පරිදි දිස්ත්‍රික්ක අනුව පිහිටවූ නව පොලිස් ස්ථාන ලෙස බෙදී යයි.

අනු අංකයනව පොලිස් ස්ථානදිස්ත්‍රික්කය
01.ඉත්තෑපාන, පිංවත්ත, හිරණ, අළුබෝමුල්ලකලුතර
02.බෙම්මුල්ල, අත්තනගල්ල, දංඔිවිට, දිවුල්දෙනිය (නාල්ල), එඩේරමුල්ලගම්පහ
03.කඩුවෙල, මාළඹේ, කැස්බෑව, මිහිජය සෙවනකොළඹ
04.ඔයාමඩුව, කල්ලංචිය,හුරිගස්වැව, වාහල්කඩ ඩී-4, ඇලයාපත්තුව, ගිරානේගම, දිවුල්වැව, පිහිඹියගොප්ලෑව, කොකවැව, ගාලදිවුල්වැව, මරදන්කඩවල, ප්‍රියංකරගම, සිවලාකුලම, ඇටවීරගොල්ලෑව, මඩාටුගම, කවරක්කුලම්, කපුගොල්ලෑව
අනුරාධපුර 
05.දියබෙදුම, සිරිපුර, මනම්පිටිය, මීගස්වැවපොලොන්නරුව
06.බන්ඩාරදූව, එරගම, සයින්දමරිදු, කාර්තිවු,නින්දවූර්, නට්ටපට්ටිමූන (පෙරියනිලාවනි)
අම්පාර
07.කොකුවිල්, සන්දිවේලිමඩකලපුව
08.ඊච්චලන්පත්තුවත්‍රිකුණාමලය
09.මරදන්කේනිකිලිනොච්චිය
10.අයියන්කුලම, කෝකිලායි, නට්ටකන්ඩාල්මුලතිව්
11.සිදම්බරපුරම්, නෙළුන්කුලමවව්නියාව
12.උයිලංකුලමමන්නාරම
13.සමනළ වැව, ඇන්දාන, ඇලපාත, පොතුපිටිය, දෙල්වල, සූරියකන්දරත්නපුර
14.ඉඹුල්ගස්දෙනිය, නූරිය, ගලපිටමඩ, දෙහිඕවිටකෑගල්ල
15.මහකුඹුක්කඩවල, මදුරන්කුලිය, තොඩුවාව, උදාසිරිගම, ගිරිඋල්ල, මොරගොල්ලාගම, නාගොල්ලාගම, ඇහැටුවැව, නාන්නේරිය
පුත්තලම
16.කඳානේගෙදර, අරෑපොල, වැලිපැන්නගහමුල, බෝගමුව, තලමල්ගම, මැල්සිරිපුර, මදුරාගොඩ, දෙල්විට, වෙලගෙදර, ඉඟුරුවත්ත, බෝයවලාන, දොරටියාව
කුරුණෑගල
17.දිවුලපැලැස්ස, හිඟුරුකඩුව, කහටරුප්ප, අරාව, ගලඋඩ, නමුණුකුල, ලියන්ගහවෙල, කැප්පෙටිපොල, බල්ලකොටුව
බදුල්ල
18.බොක්කාවල, අලදෙනිය, පොත්තපිටිය, පෙරට්ටාසිමහනුවර
19.පොල්පිටියනුවරඑළිය
20.මකුළුගස්වැව, කන්දෙනුවර, හඳුන්ගමුවමාතලේ
21.ගෝනපීනූවල, ඕපාතගාල්ල
22.හම්බන්තොට වරයා, මත්තල, ඕකේවෙලහම්බන්තොට
23.බංගම, තුර්කි (මිදීගම)මාතර

මෙලෙස නව පොලිස් ස්ථාන 105 ක් පිහිටුවා ඇති අතර, මේ අතරින් පොලිස් ස්ථාන 43ක් පමණක් රජය සතුගොඩනැගිලි වල සහ රජය සතු  ඉඩම්වල පිහිටුවා ඇත. ඉතිරි නව පොලිස් ස්ථාන සියල්ල පිහිටුවා ඇත්තේ මාසික කුලී ගෙවීම් පදනම මත ලබාගත් පුද්ගලික ගොඩනැගිලිවල වේ. මෙම පුද්ගලික ගොඩනැගිලි තුල පිහිටුවා ඇති පොලිස් ස්ථාන සඳහා මාසිකව රුපියල් 993,500.00 ක මුදලක් ගෙවනු ලබයි.

එහෙත් ගැටළු සහගත කරුණ නම් මෙම පොලිස් ස්ථාන පිහිටුවීමට තිබූ උවමනාව හා හදිසිය කුලී පදනම මත ලබාගැනිමට තිබු ගොඩනැගිලි සඳහා කුලී නොගෙවිමය. මෙම ගොඩනැගිලි තුල මෙම නව පොලිස්ථාන පිහිටුවා වසර දෙකක කාලයක් පමණ මේ වන විට ගතවී තුබුණත්, තවමත් මේ සඳහා කුලීගෙවීමට කටයුතු කර නොමැත. මේ පිළිබදව විමසීමකදී පොලිස් දේපළ කළමණාකරණ කොට්ඨාශය සඳහන් කර සිටියේ ගෙවීමට ඇති සියළුම හිඟ මුදල් ගෙවීම සඳහා භාණ්ඩාගාර ලේකම්ගේ විශේෂ අවසරය ලබාගැනීමෙන් අනතුරුව, දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටු නිර්දේශය මත අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතිය සඳහා යොමුකිරීමට කටයුතු කර ඇති බවයි. මෙහිදී මතුවන ගැළුව වන්නේ මෙම ගොඩනැගිලි ලබාගෙන ඇත්තේ ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරවද යන්නය..තවද නව පොලිස් ස්ථාන පිහිටුවීමට පෙර අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතිය ලබාගෙන ඇතිද යන්නත් ගැටළුවකි. 

මෙම ගොඩනැගිලි ලබාගෙන ඇත්තේ වසර දෙකක කුලී පදනම මතයි. මේ වන විට එම කාලය අවසන් වීමට නියමිතය. තවද මෙම පොලිස් ස්තාන වසර දෙකක් කාලයක් පමණ පවත්වාගෙන ගියද සමහර පොලිස් ස්ථාන සඳහා තවමත් ගිවිසුම්ද අත්සන් කර නොමැත. ඒ පිළිබඳව විමසීමකදී පොලිස් දේපළ කළමණාකරණ කොට්ඨාශය සඳහන් කරනුයේ අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතිය ලැබී ඇති නව පොලිස් ස්ථාන සඳහා ගිවිසුම් අත්සන් කර ඇති අතර අනෙකුත් පොලිස් ස්ථාන සඳහා අනුමැතිය ලද පසු ගිවිසුම් අත්සන් කිරීමට කටයුු කරන බවයී. මෙම පිලිතුර මගින් පෙනී යන්නේ අමාත්‍යාංශ ලේකම්ගේ අවසරයකින් තොරවත් මොවුන් විසින් නව පොලිස් ස්තාන පිහිටුවා පවත්වාගෙන යනු ලබන බවයී.

මේ වන විට කුලී පදනම මත ලබාගත් ගොඩනැගිලි සඳහා මසකට ගෙවීමට ඇති මුළු කුලී මුදල රු.1,952,000.00 වේ. මෙම මුදල් ගෙවීම තවම සිදුකර නොමැති පසුගිය වසර කිහිපය තුලම අයවැය තුලින් වැඩිපුරම මුදලක් වෙන්කරනු ලැබුවේ ආරක්ෂාව සඳහා වේ. යුද්ධය පැවැති කාලයේ ආරක්ෂාව සඳහා වැඩිම මුදලක් වෙන්කිරීම සාධාරණය. එහෙත් යුද්ධයක් නොමැති කාලයේද ආරක්ෂාව සඳහා අයවැය තුලින් වැඩිම මුදලක් වෙන්කිරීම සිතා බැලිය යුතු කරුණකි. තවද එලෙස විශාල මුදලක් වෙන්කොට ඇති මොහොතක අදාල විෂය පථයට අදාලව පොලිස් දොපාර්තමේන්තුව මෙලෙස නව පොලිස් ස්ථාන සඳහා මාසික කුලී නොගෙවා සිටින්නේ මන්ද? මතුවී ඇති සියළු ගැටළුකාරී ප්‍රශ්නයන් හමුවේ  උපකල්පනය කළ හැකි වනුයේ නිසි ක්‍රියාවලියකින් හා අධීක්ෂණයකින්, අවසරයකින් තොරව මෙම නව පොලිස් ස්ථාන පිහිටුවීම කර තිබේය යන්නය

(මේ සියළු තොරතුරු පොලිස් දේපල කොට්ඨාශය වෙත  තොරතුරු ඉල්ලුම්පතක් යොමුකර ලබාගත් තොරතුරු වේ. එම තොරතුරු මගින් මෙම ලිපිය ලියා ඇත.)

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts