ආර්ථික සමාජ

රෝගවලින් ජීවිතය බේරාගන්නද ? කුසගින්නෙන් ජීවිතය බේරාගන්නද?

අරුල්කාර්ක්කි.

බණ්ඩරාවෙල නගරයේ ඉදිකිරීම් සහායකයෙකු ලෙස දෛනික රැකියාවේ නිරත වෙන කුමාර් එමඟින් තම ජීවිතය ගෙවා ගනියි. තිදරු පියෙකු වන ඔහුගේ බිරිඳ වතු කම්කරු කාන්තාවකි. දෙදෙනාගේම ආදායම මෙම පවුලේ ජීවන වියදම් පියවා ගැනීමට උපකාරී වෙයි.

සංචරණ සීමා, හුදකලා කිරීම සහ නිවසට වී සිටින්න වැනි කොරෝනා වැළැක්වීමේ පියවර නිසා කුමාර්ට විශාල දුෂ්කරතාවකට මුහුණ දෙන්නට සිදු විය. 

 “මම බණ්ඩරාවෙල නගරයේ පෙදරේරුවෙකු ලෙස සේවය කළා. ලොක්ඩවුන් කිරීම නිසා රැකියාවට යන්නත් බැහැ. අපේ ගමේත් කිසිම කුලී වැඩක් ලැබුනේ නැහැ. මේ තත්ත්වය දිගටම පැවතුනොත්……. ” කුමාර් හැඬුම්බරව පවසයි. 

රෝගවලින් ජීවිතය බේරා ගන්නේද? කුසගින්නෙන් ජීවිතය බේරාගන්නේද? කුමාර්ගේ ජීවිතය මේ දෙක අතරමැද අරගලයක් බවට පත්ව ඇත. වතුකරයේ වෙසෙන දෛනික වැටුප් ලබන කම්කරුවන්ගෙන් බහුතරයකගේ තත්වය මෙයයි. වතුකරයේ රැකියාවලින් ඉවත් වී වෙනත් දෛනික රැකියාවන්හි යෙදී සිටි පුද්ගලයෝ ද එම රැකියා කර ගත නොහැකිව ආදායමක් නොමැතිව සිටිති. කොරෝනා නම් මාරාන්තික රෝගය දුප්පත් පොහොසත් භේද බලමින් බෝවන්නේ නැත. එය පොදුවේ සෑම මිනිසෙකුටම බලපාන රෝගයකි. මෙම රෝගයෙන් ආරක්ෂා විය හැක්කේ සමාජ සම්බන්ධතා වලින් වැළකීම, හුදෙකලාව සිටීම හා පිරිසිදුව සිටීම මඟිනි. එම කරුණු පිළිපදින්නේ නම් කොරෝනාවෙන් බේරිය හැකිය.  නමුත් දුප්පත්කමින්  හා කුසගින්නෙන් එසේ බේරිය නොහැක. කොවිඩ්-19 නිසා බැටකන ජනතාවට ආධාර කරන බව රජය පවසයි. එය කවදා කෙසේ සිදුවේදැයි නිශ්චිත නැත. ඕනෑම අවස්ථාවකදී මෙවැනි තත්වයන් මඟහරවා ගැනීමට දුප්පතුන් සඳහා ඇති මාර්ගය කුමක්ද? මෙම දුප්පත්කමට මඟ පෙන්වූ සමාජ සාධක මොනවාද? සමහරුන්ට පාරම්පරිකව දුප්පත්කම උරුම වන්නේ ඇයි?

කුමාර්ට ඇති වී ඇති තත්වය කෙරෙහි සමාජ ආර්ථික සාධක සෘජුවම බලපායි. කුමාර්ගේ පවුල පරම්පරා ගණනාවක් තිස්සේ රෙදි සෝදන කම්කරුවන් ය. ඔහුගේ සීයා සහ පියාද කලේ එම රැකියාවමය. ආරම්භයේදී වතුකරයේ රෙදි සෝදන කම්කරුවන් ‘ඩෝබි’ යන නමින්ද කොණ්ඩය කැපීම කල අය ‘බාබර්’ යන නමින්ද හැඳින්වූ අතර ඔවුන්ට වතු කළමනාකාරිත්වය විසින් වැටුප් ගෙවන ලදී. කාලයත් සමඟ සිදු වූ වෙනස්වීම් නිසා ඔවුන්ගේ රැකියාවන්ද අහිමි විය. ඔවුන් වතු වැඩ සඳහා සම්බන්ධ වුයේද නැත. 

එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගෙන් පසු පරම්පරාව නගරයට ගොස් කුලී කම්කරුවන් ලෙස දෛනික වැටුපට රැකියා කිරීමට පටන් ගත්හ. මෙම ජනතාව තවමත් සමාජයේ පහළ මට්ටමේ සිටිති. කුමාර් වැනි තව බොහෝ පුද්ගලයින්ට අද වන විටත් ස්ථිර රැකියා නැත. සමාජය ඔවුන් දෙස බලන්නේ පිළිගැනීමක් නැති පුද්ගලයින් ලෙසය. කුමාර්ගේ ප්‍රකාශය පිටුපස සැඟවී පවතින ඇත්ත මෙයයි.

එවැනි කුලය පදනම් කොට ගෙන ඇති වූ සමාජ ව්‍යුහයන් තවමත් වතුකරයේ ප්‍රජාව තුළ පවතී. සමාජමය වශයෙන් විවිධ අගතීන් සිදුවුවද, මේ ජනතාව තව දුරටත් මෙම මට්ටමේම සිටීමට ප්‍රධානතම හේතුව වන්නේ ඔවුන්ගේ උත්සහවන්තභාවය නොමැති කම බව කුමාර් සමඟ කල සාකච්ඡාවේදී පැහැදිලි විය. 

“මම වතුකරයේ පාසලක හය ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබුවා. මට නිවැරදි මග පෙන්වීමක් නොලැබුණු නිසා පාසල් යාම නතර කර දැමුවා. එම කාලයේදී මට රැකියාවකට යාමට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. නමුත් මම ඉගෙනීමට වඩා මාගේ පියාට උදව් කිරීමට කැමැත්තක් දැක්වූවා. ඒ දිනවල පියාටද වැඩ අධිකව තිබූ නිසා මම පියාට උදව් වීමට පටන් ගත්තා. මම පාසල් නොයාම පිලිබඳ ඔහු වැඩි සැලකිල්ලක් දැක්වූයේත් නැහැ. මේ නිසා අධ්‍යාපනය නැවතුණා. අපට පරම්පරාවෙන් හිමිවුණු වෘත්තියක් ද නැහැ. කුලී රැකියාවක් හැර වෙන මොකක් කරන්නද? ” යයි පවසමින් කුමාර් දුක්වන්නේය. කුමාර්ට අද වී ඇති තත්වයට හේතුව මෙයයි.  එමඟින් වතුකර ප්‍රජාවේ පසුගාමී සමාජ කණ්ඩායම් සමකාලීන තත්වය පිළිඹිබු කරයි.  

කුමාර් මෙන් නොමිලේ අධ්‍යාපනය ලබා ගත හැකිව තිබියදීත් අප රටේ මූලික අධ්‍යාපනය ලබා ගැනීමට පවා  උනන්දුවක් නොදක්වන බොහෝ පිරිසක් සිටිති. සමහරු දරිද්‍රතාවය හේතුවක් ලෙස දැක්වුවද නිදහස් අධ්‍යාපනය, නොමිලේ ආහාර සහ නොමිලේ නිල ඇඳුම් ලබා ගනිමින් බොහෝ පිරිසක් සිටිති. අනිවාර්යයෙන්ම අධ්‍යාපනය පිළිබඳ අප අවධානය යොමු කල යුතුය.

තම ජීවිතය වෙනස් කිරීමට අවස්ථාවක් තිබුණද එය නිසි ලෙස භාවිතා කිරීමට අපොහොසත් වූ බව සිතමින් කුමාර් කණගාටු වෙයි . තම දරුවන්ට ද මෙම තත්වය ඇතිවීම වැළැක්වීමට උත්සාහ කළ ඔහු ඔහු අද විශාල අභියෝගයකට මුහුණ දී සිටී. කෝවිඩ් වසංගතය මඟින් කුමාර්ගේ පවුලේ ආදායම ප්‍රශ්නාර්ථයක් බවට පත් කර ඇත. ජීවිතය ගතවන්නේ ණය සමඟය. බිරිඳ වතුකරයේ රැකියාවට ගොස් ලැබෙන වැටුපෙන් ජීවිතය ගතවෙයි.  

කුමාර්ගේ දරුවන් තිදෙනාම පාසල් අද්‍යාපනය ලබන දරුවන්ය. දැන් පවතින වාතාවරණය හේතුකොටගෙන දරුවන්ගේ අධ්‍යාපනය ගැන සිතීමට නොහැකි තත්වයක් ඔවුන්ට උදා වී තිබේ. එහෙත් මෙම දරුවන්ට අධ්‍යාපනය සඳහා උනන්දු කරවීම  සම්පුර්ණයෙන් දෙමව්පියන්ගේ වගකීම වේ. 

වතුකර දේශපාලන වෘත්තීය සමිති පවා කුල භේදය මත වෙනස් කොට සැලකීම පිළිබඳ කුමාර් වැනි පුද්ගලයින් උදාහරණ වේ. දේශපාලන වෘත්තීය සමිති ව්‍යුහයන් අවධානය යොමු කරන්නේ තමන්ට අවශ්‍ය වැටුප් ශ්‍රමිකයන් නිර්මාණය කරගැනීමට පමණි. මිනිසුන් දෛනික වැටුප් ලබන කුලී කම්කරුවන් ලෙස තබාගැනීමට අවශ්‍ය නම් අධ්‍යාපනයේ අවශ්‍යතාවක් පවතින්නේ නැත. එබැවින් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුත්තේ එම ජනතාවමය. 

ඒ අතරම, ස්වයං රැකියාවක් ආරම්භ කිරීම සඳහා බොහෝ දෙනෙකුට උපකාර ලැබෙන අතර කුමාර් වැනි අයට එම අවස්ථාවන් අහිමි කරතිබේ. මෙයට හේතුව තම සමාජ හා පන්ති පරතරය බව කුමාර් තරයේ විශ්වාස කරන්නේය. 

වතුකර දේශපාලන පක්ෂ නායකත්වයේ සිට වතු කංකානම දක්වා කුල ව්‍යුහය පදනම් වී ඇත. එසේම මේ සඳහා පහළ සමාජ පංතිවලට අයත් පුද්ගලයින් හට ඇතුල් විය නොහැකි වන ලෙසට දැඩි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කෙරෙන ආකාරයද දක්නට ලැබේ. නමුත් සියලුම ජන කොටස් ඡන්දදායකයින් ලෙස තම යුතුකම ඉටු කරති. කුමාර්ගේ පෞද්ගලික අත්දැකීම් වල පසුබිම කෙරෙහි අවධානය යොමු කරන විට විවිධ සන්දර්භයන් තුළ ඔහුව වෙනස් කොට සැලකීමට දේශපාලන හේතු ද ඇති බව සැලකිය යුතු ය. කුමාර්ගේ ප්‍රකාශයෙන් අපට මෙය පැහැදිලිවම  තේරුම් ගත හැකිවේ. කුමාර් තම දරුවන් හරහා මෙම සමාජ තත්වය වෙනස් කිරීමට  උත්සාහ කිරීම ඉතාමත් සතුටුදායකය.

වර්ථමානයේ පවතින ආර්ථික තත්වය හමුවේ ස්ථිර රැකියාවන්හි නිරත පවුල්ද  දුෂ්කරතාවයට පත්ව සිටින මොහොතකදී, කුමාර් වැනි තරුණයන් දහස් ගණනකගේ  ජිවිත ඛේදනීය ඉරණමකට මුහුණ දී තිබේ. රට පවතින අර්බුදකාරී තත්වයෙන් මිදුනද යලි යථා තත්වයට පත් වන්නට බොහෝ කාලයක් ගත වනු ඇත. මෙම අතරමැදි කාලය තුල ආන්තික පරිසරයක දිවි ගෙවන මෙවැනි පවුල් වල එදිනෙදා ජීවිතය විශාල අභියෝගයකට ලක්වනු ඇත.

කුමාර්ගේ විරැකියාවට හේතු වුයේ කොරෝනා වසංගත තත්ත්වය වුවද, අර්බුදකාරී තත්ත්වයකදී ඔවුන්ගේ ආදායම අස්ථාවර වීමට විවිධ සමාජ සාධක අඩිතාලම දමා ඇත. එය කුමාර් වැනි පහළ සමාජ පංතිවල පුද්ගලයින් කෙරෙහි සෘජුවම බලපෑම් ඇති කර තිබේ. පරම්පරාවෙන් ගෙන ආ තම පවුලේ අනන්‍යතාවය අධ්‍යාපනයෙන් වෙනස් කළ හැකි බව කුමාර් තරයේ විශ්වාස කරයි. ඔහු අහිමි කරගත් එම අවස්ථාව තම දරුවන්ද අහිමි කරගත යුතු නොවේ යන පදනමින් කුමාර් විශ්වාසයෙන් හා අධිෂ්ඨානයෙන්  කටයුතු කරමින් සිටියි. 

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts