Environment

කැලෑ කැපිල්ල ආණ්ඩුව සහ චක්‍රලේඛ

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

ඉහළ යන බඩුමිල, කොරෝනා වසංගතය,යන කරුණු දෙවැනි තුන්වැනි තැන්වලට පසුබස්වමින් පරිසර විනාශය ලංකාවේ ප්‍රධාන ප්‍රශ්ණය බවට පත්ව ඇත. මේ සිදුවෙන මහා පරිසර විනාශයට සෘජුවම චෝදනා එල්ල වනුයේ රජයටය. මේ වන විට එකී චෝදනා රජයට කෙතරම් හිසරදයක්ව ඇත්දැයි පවසතොත් අවමංගල උත්සවයක් අමතන රජයේ මැති ඇමැත්තෝ පවා ආණ්ඩුව කැලෑ නොකපන බව කියමින් අඬා වැටෙනා තැනට පත්ව ඇත. එහෙත් පසුගිය 24 දා මාධ්‍ය හමුවක් අමතමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර රට තුළ පරිසර හානි සිදුවෙන බව පිළිගත්තේය. එමතුද නොව පසුගිය සතියේ ලෝක වනාන්තර දිනය සමරන්නට හම්බන්තොට ගිය වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක රටේ කැලෑ නොකපන බවට පාරම්බද්දී එම සභාවේ සිටි හිමිනමක් නැගිට යාබද කෙසෙල්වගාවක් පෙන්වා ඒ මීට ටික කලකට පෙර අලි ඇතුන් සිටි වනාන්තරයක් බව පහදා දී රාජ්‍ය අමාත්යවරයා නිහඬ කළේය.

මේ කැලෑ කැපිල්ල හුදු අහම්බයක් නොවේ . වත්මන් රජය බලයට පත්වූයේම වන සංහාරයනට තිබූ නෛතික බාධාවන් ඉවත් කර ගනිමිනි. ඒ අවශේෂ වනාන්තර නමින් හැඳින්වූ කැලෑ ඉඩම් හෙක්ටයාර 694100 ක් සංරක්ෂකගේ පාලනයට යටත් කර තිබු 5/2001 චක්‍රලේඛණය අහෝසි කර දැමීම මගිනි.එකී චක්‍රලේඛණය අහෝසි වූ පසු එම වනාන්තර වල පාලනය සෘජුවම ප්‍රාදේශීය ලේකම් වරුනට පැවරූ අතර එමගින් සංවර්ධණය සහ කෘෂිකාර්මික  අවශ්‍යතා ඉදිරියට දමා වනාන්තර ඉඩම් කොල්ලයට දෙශපාලන අධිකාරියට සහ ඔවුනගේ ආශීර්වාදය සහිත පාර්ශවයනට හැකිවිය. 

  ඉඩම් ගැටළු වලට පිළිතුරු ලබා දීම, වන රක්ෂිතයන්ගේ නීති විරෝධිලෙස වගා කටයුතුවල යෙදුන අනවසර ගොවීනට එකී ඉඩම්වල වගා කිරීමේ අයිතිය ලබාදීම වැනි අරමුණු ඉලක්ක කොට ජනාධිපතිගේ සහභාගීත්වයෙන් සිදු කෙරෙනා ”ගම සමග පිලිසදර” වැඩ සටහන ප්‍රාදේශීය දේශපාලනඥයෝ ජනාධිපති පවා නොමග යවමින් රක්ෂිත වනාන්තර මතු නොව අභය භූමි පවා කොල්ල කෑමට යොදා ගත්හ.

මෑත භාගයේ සිදුවූ සාහසිකම වනාන්තරා කොල්ලය ලෙස දහයියාගල අභය භූමිය සහ එම අලි මංකඩ ගොවින්ගේ වෙස් ගත් දේශපාලන ආධර කරුවන්ට කොල්ලකෑමට ඉඩදීම දැක්විය හැක. ඊට මුල්වූයේ තණමල්විල කුකුල්කටුව වැව් තාවුල්ලේ පැවැති ගමසමග පිළිසඳරේදී 

අනවසර ගොවීනට පවරා ඇති නඩු ඉවත් කර ගන්නා ලෙසත්, ඉඩම් ඔවුනට නිදහස් කරනා ලෙසත්  ජනාධිපතිවරයා වනජීවී නිළධාරීන්හට  වාචිකව පැවසීමය. එකී ප්‍රකාශයෙන් පැය 24 ක් යන්නටත් පෙර ක්‍රියත්මක වූ ප්‍රාදේශීය දේශපාලන්ඥයන් සිය ආධාර කරුවන් දහයියාගල අභයභූමියට රිංගවා ගස් කපා දමන්නටත්,. ලණු ඇද මායිම් ලකුණු කර ඉඩම් බෙදා ගන්නටත් පටන් ගත්තේය. දේශපාලන මැරබලය සහ ජනපතිගේ වාචික නියෝගය හමුවේ වනජීවී නිළධාරීහු අසරණ වූහ. අභයභූමියක් ප්‍රකාශයට පත් කිරීමේදී හෝ වෙනයම් ආකාරයකට ඉඩම් රජයට පවරා ගැනීමේදී එකී ඉඩම් වල පුද්ගලික අයිතිය අහෝසි වීම සාමාන්ය ස්වභාවයයි. එමෙන්ම අභය භූමියක් තුළ හෝ එහි මායිමේ සිට මීටර් සියයක් අතුළත පවතින පුද්ගලික ඉඩමක පවා සංවර්ධන කටයුත්තක් හිමිකරුවනගෙ හිතූ මනාපයට කළ නොහැක. එවැනි නෛතික ප්‍රතිපාදන තුට්ටුවකට නොතකා දහයියාගල අභය භූමිය විනාශ කිරීම මෑත කාලීන ශ්‍රී ලංකාවේ වර්තාවෙන ලොකුම වන අපරාධය වෙයි.

දහයියාගල යනු උඩවලවේ වනෝද්‍යානයේ උතුරු මායිමය .එය එම වනෝද්‍යානයේ වෙසෙනා හස්තීනට පමණක් නොව ලුණුගම් වෙහෙර, යාල, කුමණ යන වනෝද්‍යානවල  වෙසෙනා අලි ඇතුනගේද පර්යටන ක්‍රියාවලියේ හමුවෙන සුවිශේෂී අලි මංකඩකි. වැටහිරකන්ද මායිම ඔස්සේ  ලුණුගම්වෙහෙර දෙසින් එන අලි ඇතුන්ද  බෝගහපට්ටිය යෝජිත අභයභූමීයට සංක්‍රමණය වනුයේ දහයියාගල අලි මංකඩ ඔස්සේය. ඊට අමතරව සමනළ වැව රක්ෂිතය, බදුල්ල දිස්ත්රික්කයේ පිහිටි අධිසංවේදී හල්දුම්මුල්ල සොරගුණේ පරිසර කළාපය වෙත සංක්‍රමණය වීමටද අලි ඇතුතු මෙම අලිමංකඩ යොදාගනි. යෝජිත බෝගහපට්ටිය අභය භූමියේ කරමැටිය ප්රදේශයෙ ඇති ස්වාභාවික ලවණ නිධියේ ලවණ මිශ්‍රිත පස් කැමට එන උඩවලව,ලුණුගම්වෙහෙර,වැනි වනෝද්යානවල නිවැසි අලි මේ අලිමංකඩ නිතර භාවිත කරති.

අලිමංකඩ  අත්පත් කරගැනීම සහ ඒ ආශ්‍රිත මානව ක්‍රියායාකාරකම් ඉහළ යෑම දහයියාගලින් නතර වන්නක් නොවේ. සිහරාජ වැසි වනන්තරය ආශ්‍රිත වනාන්තරයන්හී දිවි ගෙවනා අවසන් හස්තීන් දෙදෙනාගේ සංක්‍රමණ මාර්ගයේ හමුවෙන මාණික්කවත්ත බෝවිටියතැන්න අලිමංකඩද හරස් කරමින් හෝටල් දෙකක් ඉදිවෙමින් පවති. පසුගියදා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් භාග්‍යා අබේරත්න නම් යුවතිය රටේ අවධානය යොමුකළේ මේ ඉදිකිරීම් පිළිබඳය. ඉත දිගු ඉතිහාසයක් පුරා හස්තී සංක්‍රමණ මාර්ගයක්වූ මෙම ප්‍රදේශය වනජීවී සහ වන සංරක්ෂක බළධාරීන් විධිමත්ව අලි මංකඩක් ලෙස ප්‍රකාශයට පත් කර නැත. එකී කරුණ ඉදිරියට දමා එම ඉඩම් වලට හිමිකම් කියනා පාර්ශව මේ හෝටල් දෙක ඉදිකරමින් තිබේ.1980/47 දරණ ජාතික පාරිසරික පනත යටතේ ප්‍රකාශිත 1993/6/24 දිනැති අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර 1 ට වැඩි වනබිමක් එළි කිරීමේදී පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක් ලබා ගැනීම අනිවාර්ය වේ. එවැනි වාර්තාවක් ලබාගැනීමෙන් තොරව මෙකී හෝටල් ඉදිකරනා බව පරිසරවේදී සජීව චාමිකර මහතා පවසයි. සිංහරාජයේ වන විනශයන් සිදුවෙනුයේ මෙම ස්ථාන දෙකෙ පමනක් නොවේ .රක්වාන ප්‍රදේශයේ  පන්නිල වනන්තරයේ රොස්මේරිය කොටසේ සහ කලවාන ප්රදේශිය සභා බල ප්රදේශයේ දෙල්ගොඩ රක්ෂිතයේද මහා පරිමාණ වන විනාශයක් සිදුවෙමින් පවතී .

 සිංහරාජය සම්බන්ධ මෑතකදී වාර්තාවූ වඩාත් ආන්දෝලනාත්මක පුවත වනුයේ හම්බන්තොට ප්රදේශයට ජලය ගෙනයාමට එහි වැව් දෙකක් ඉදිකිරීමට ආණ්ඩුව ගන්නා උත්සහයයි.  ඊට එරෙහිව වහා නැගී ආ ජනතා විරෝධය නිසා එය හුදු යෝජනාවක් පමණක් බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය . (මෙම යොජනාවෙන් තහවුරු වනුයේ හම්බන්තොටට වතුර දෙන්නට ක්‍රියත්මක කළ උමාඔය ව්‍යාපෘතියේ අසාර්ථ්ක බවයි.) මාදුගැටේ සහ  අම්පනාගල ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත මෙකී ජලාශ දෙක ගිං නිල්වලා ගංගා ද්‍රෝණි සංවර්ධණ යෝජනා ක්‍රමය යටතේ යෝජනාවී අසාර්ථක බව තහවුරු වීම නිසා අතහැර දමන ලද බව ප්රදේශවාසීහු පවසති.

සැබැවින්ම මේ ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනුයේ සාමාන්‍ය ජනයාට පාණීය සහ වාරි ජලය ලබා දීමට නොව හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 15000ක ක්‍රියත්මක කිරීමට යෝජිත චීන කර්මාන්ත පුරය වෙනුවෙන් බව පරිසර පරිසරවේදීහු පෙන්වා දෙති. එමතුද නොව විරෝධතා නොතකා ලංකාගම මාර්ගය ඉදිකළේ මෙකී ජල ව්‍යාපෘතියට  අවශ්‍ය යටිතල පහසුකම් වර්ධනයට බවට එදා නැගූ චෝදනාවද ඕවුහු යළි සිහි කරති. කෙසේ වෙතත් 25/3/21 දින පැවැති සාකච්චාවකදී මෙම වැඩසටහන අත හැරීමට රජය එකඟවූ බව යුනෙස්කොවේ ශ්‍රීලංකා නියෝජිත කාර්යාලය නිවෙදනයක් නිකුත් කර තිබේ. එහෙත් ඒ පිළිබඳ නිළ නිවේදනයක් නිකුත් කර නැත.

මීට අමතරව මහඔය ප්‍රදේශයේ වටවලකණ්ඩිය වනාන්තරයේ අක්කර 5000 ක් පමණ මහපරිමාන වගාවන් සඳහා සමාගම්වලට බදු දීමට මහවැලි අධිකාරිය කටයුතු කර තිබේ. රට පුරා සිදුවෙන පස් ජවාරම අනෙක් බරපතල ගැටළුවයි.පස් ජාවාරම් කරුවන් කෙතරම් බලවත්වීදයත් අධිකරණ නියෝගය පවා නොතකා දැරණියගල ප්‍රදේශයේ පස් කැපීම සිදුවෙයි. 

 දකුණේ දේශපාළන අධිකාරිය මෙලෙස හැසිරුණද රජයේ අවශ්‍යතාවයාකට එළිකිරීමට ගිය නගෙනහිර පළාතේ ඉඩම් අක්කර 1500 ආරක්ෂා කර ගන්නට දෙමල ජාතික සන්ධානය මැදිහත්වූ පුවත වාර්තාවූයේ දෙසතියකට පෙරය

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts