
ආසාදිතයින් සොයාගැනීම පහසු කිරීමට හඳුන්වාදුන් තාක්ෂණික ක්‍රමවේදය (QR Code)
අයි. කේ ප්‍රභා
හුදකලා කර ඇති ප්‍රදේශවල නිරෝධායන නීති කඩකරමින් හැසිරෙන පිරිස් ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කර හඳුනාගැනීමේ ක්‍රමයක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඩ්‍රෝන රෙජිමේන්තුවක් පිහිටුවීම පසුගිය නොවැම්බර් 12 දින සිදු කෙරිණ. කොවිඩ් 19 ආසාදිතයන් ආ ගිය ස්ථාන පිළිබඳ තොරතුරු කඩිනමින් හා නිවැරදිව හඳුනා ගැනීමට මෙන්ම එම තොරතුරු ගබඩා කිරීමේ නව ක්‍රමවේදයක් ලෙස QR Code ක්‍රමය හඳුන්වා දීම පසුගිය නොවැම්බර් 09 දා සිදු කළේය. එය ලංකාවේ තාක්ෂණික භාවිතය පිළිබඳව විවිධ සමාජ ස්ථරයන්ට නව එළඹුමකි. සතුටට කරුණකි. ඒ අතරින් ප්‍රධාන වශයෙන් QR Code ක්‍රමය පිළිබඳව අවධානය යොමු මෙම ලිපියේ අරමුණ වේ.
එම QR Code ක්‍රමය නම් කර ඇත්තේ ‘සුවෙන් සිටිමු’ ඩිජිටල් ව‍්‍යාපෘතිය යනුවෙනි. යම් ස්ථානයකට පුද්ගලයෙකු ඇතුළු වූ විට ඒ බව සන්නිවේදන තාක්ෂණය හරහා රජයේ දත්ත පද්ධතියක තොරතුරු සටහන් කිරීම මෙම ක්‍රමය මගින් සිදුවේ. මෙම QR Code භාවිත කිරීම සඳහා පළමුවෙන්ම www. Staysafe.gov.lk යන වෙබ් අඩවියට ඇතුළුවී ආයතනය ලියාපදිංචි කරගත යුතුය. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාශා තුනෙන්ම ඔබට තොරතුරු ලැබෙනු ඇත. ඉන් පසු එම කේතය මුද්‍රණය කර අදාළ පරිශ්‍රයට ඇතුළු වන අයට පෙනෙන සේ ප්‍රදර්ශනය කළ යුතුය.
තවද මේ පිළිබඳව ICTA ආයතන ප්‍රධානීන් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ,
‘තාක්ෂණය යනු කොරෝනා වෛරසය පාලනය කළ හැකි මැජික් උණ්ඩයක් නොවේ. සමාජ දුරස්ථතාවය, සනීපාරක්ෂාව, මුඛාවරණ පැළදීම හා තවත් බෙහෝ ක්‍රම වලට අතිරේක වශයෙන් හඳුන්වා දෙන QR Code තාක්ෂණය, සම්බන්ධතා ලුහු බැඳීම සඳහා පමණක් භාවිත කළ හැක්කේ ජනතාවගෙන් 60% පමණ පිරිසක් එහි අඩංගු උපදෙස් නිවැරදිව අනුගමනය කරන්නේ නම් පමණක් බව, ඔක්ස්ෆර්ඩ් සරසවියේ මහචාර්ය ක්‍රිස්ටෝෆ් ෆ්‍රේසර්ගේ පර්යේෂණයන් මගින් අනාවරණය කර ඇති බවත් නැතිනම් එය රට වසා දැමීමේ අවධානම දක්වා දුර දිග යන බවයි’
මෙහිදී පැන නගින මූලික ගැටලුව වන්නේ උක්ත ක්‍රමය මගින් ආසාදිතයින් හඳුනාගත්තේ නම් එම ආසාදිතයින් ගණන කොපමණද? එම ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා කොපමණ මුදලක් වැය වුණිද? එසේ හඳුනාගන්නා ලද ආසාදිතයින්ගේ තොරතුරු, දත්ත හා වාර්තාවන් මහජනයාට ඉදිරිපත් කරන්නෙහිද? ඒ කෙසේ ද? තවද, QR Code භාවිතය පිළිබඳ මූලික දැනුමක් නොමැති කුඩා ප්‍රමාණයේ ව්‍යාපාර වල නියැලෙන්නන්, ස්වයං රැකියාවල යෙදී සිටින්නන්, එදිනෙදා ගෙයින් ගෙට ගොස් ව්‍යාපාර කටයුතු වල නිරත වන පුද්ලගයින්, ජංගම දුරකථනය අමතකවී විවිධ ස්ථානවලට ගමන් කරන අයවලුන්, ජංගම දුරකථන භාවිත නොකරන පිරිස්, තාක්ෂණික භාවිතාවන් පිළිබඳව දැනුමක් නොමැති වයසින් වැඩිහිටි පිරිස්, ග්‍රාමීය ජනයා, ප්‍රජා කණ්ඩායම් හා පාසල් අධ්‍යාපනය ලබන දරුවන් මෙම ක්‍රමයට අනුකූල කරගන්නේ කෙසේද යන්නයි.
මෙම රෝගය වැල දීමේ වැඩි අවදානමක් පවතින්නේ, වයස්ගත පුද්ගලයින් සහ ඇඳුම, දියවැඩියාව, හෘදයාබාධ ආදී රෝග වලින් පෙළෙන්නන්ටය. අධි රුධිර පීඩනය, පෙනහලු දුර්වලතා සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල පුද්ලයින්ට මෙම වෛරසයේ බලපෑම අධික විය හැකිය. දරුවන්ට කොරෝනා වෛරසයේ බලපෑම සාපේක්ෂව අවම මට්ටමක ඇති බව පෙනේ. ලොව පුරා ළමුන් හා යෞවනයන් මිලියන 91%ක අධ්‍යාපනයට මෙමගින් බලපෑම් එල්ලල වී ඇති බව යුනෙස්කෝ සංවිධානය පවසයි.
පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ව්‍යාප්ත වන්නේ කෙසේ ද යන්න තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැත. මීට සමාන වෛරස් බෝවීම සිදු වන්නේ කැස්ස, කිවිසුම්, ඛේටය හෝ සෙම මගිනි. තවද, ආසාදිත පුද්ගලයෙකුගෙන් පිටවන ඛේටය හෝ සෙම් බිඳිති යම් මතුපිටක තැවරී තිබිය හැකි නිසා වෛරසය දින ගණනාවක් ක්‍රියාකාරීව පවතින බව විශේෂඥයෝ පවසති. වෛරසය ආසාදනය වූ අවස්ථාවේ සිට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම සඳහා දින 14ක කාලයක් ගත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඇතැම් පර්යේෂකයින් පවසන්නේ රෝග ලක්ෂණ මතුවීම සඳහා දින 24ක් දක්වා කාලයක් ගත වන බවයි. සෞඛ්‍ය අමාතයාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ, අදාළ රෝග ලක්ෂණ ඇත්නම් වහා රෝහල් කරා ගොස් ප්‍රතිකාර ගත යුතු බවය.
QR Code ක්‍රමවේදය හඳුන්වා දෙන්නන් මූලික වශයෙන් අවදානය යොමු කළ යුත්තේ එවැනි ක්‍රමවේදයන් ඉතාමත් ඉක්මනින් හා පහසුවෙන් ජනතාව වෙතට ලඟා කරන්නේ කෙසේ යන්නයි. එමෙන්ම මෙවැනි තාක්ෂණික භාවිතාවන් පිළිබඳව නිවැරදි අවබෝධයක් හා සාක්ෂරතාවයක් නොමැති අයවලුන් උදෙසාද ඒ හා සමාන නව ක්‍රමවේදයන් හඳන්වාදීමේ හැකියාව ඇත. තවද අන්තර්ජාලය හා සාම්ප්‍රධායික මාධ්‍ය බහුලව භාවිත කරමින් මෙවැනි ක්‍රම පිළිබඳව පුළුල් ප්‍රචාරයන් දියත් කළ යුතුය. තාක්ෂණ සාක්ෂරතාවයක් නොමැති පුද්ගලයින් සඳහා ඇඟිලි හා අක්ෂි ක්‍රමවේදයන් පිළිබඳව ප්‍රජා පොලිස් හෝ ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන් මාර්ගයෙන් දැනුවත් කිරීම් කළ යුතුය. තවද හඳුනා ගන්නා ලද ආසාදිතයින් පිළිබඳව නිවැරදි දත්ත හා තොරතුරු වාර්තා ප්‍රකාශයට පත් කිරීම මගින් ජනතාවට රජය කෙරෙහි පවත්නා විශ්වාස ආරක්ෂා කරගත යුතුය.
2020 වර්ෂය වනවිට ලෝක ජනග්‍රහණයෙන් දුරකථන භාවිත කරන ප්‍රතිශතය 67% කි. එයින් අන්තර්ජාලය භාවිත කරන්නන්ගේ ප්‍රතිශතය 59% පමණ වන බවත්, එයිනුත් සක්‍රීයව අන්තර්ජාලය සමග සම්බන්ධවී ඇත්තේ 49% ක් වැනි පිරිසකි. නමුත් ශ්‍රී ලංකාවේ ජනග්‍රහනයෙන් 149% ජංගම දුරකථන භාවිත කරයි. එයින් 47% අන්තර්ජාලය භාවිත කරන අතර, 30% පමණ පිරිසක් සක්‍රියව අන්තර්ජාලය සමග ගනුදෙනු කරන බව ඩිජිටල් දත්ත වාර්තා පෙන්වා දෙයි. උක්ත දත්තයන්ට අනුව නිගමනය කළ හැකි වන්නේ ලාංකික සමාජය තුළ තවමත් අන්තර්ජාල භාවිතය අවම මට්ටමක පවතින බවයි. එවන් තත්ත්වයක් යටතේ මෙවන් ව්‍යාපෘති උපරිම අකාරයෙන් සාර්ථක කර ගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තව දුරටත් කල්පනා කළ යුතුව ඇත.
(https://datareportal.com/reports/digital-2020-sri-lanka)
වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු සමීපව ඇසුරු කළේ නම් ඔබ ස්වයංව හුදකලා වීම සුදුසු බව එංගලන්තයේ මහජන සෞඛ්‍ය ආයතනය පවසයි. ශ්වසන රෝග සඳහා භාවිත කරන ආරක්ෂිත ක්‍රමවේද කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ද පිළිපැදිය හැකි බව වෛද්‍යවරු පවසති. ඒ සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන් පහත පරිදි වේ.
- නිතරම තම දෑත් සබන් ගා සෝදා ගත යුතු අතර මෙය පොදු ස්ථානයක සිටී නම් කළ යුතුමය. සබන් වෙනුවට දෑත් පිරිසිදු කරන වෙනත් ආදේශක වුවද භාවිත කළ හැකිය.
- කසින විට සහ කිවිසුම් පිට කරන විට ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසියක් මුව සහ නාසය වසා ගැනීම සඳහා භාවිත කළ යුතුය. ටිෂූ කඩදාසි භාවිතයෙන් පසු ක්‍රමානුකූලව ඉවත දැමිය යුතුය. කසින විට සහ කිවිසින විට වැලමිට නවා මුව සහ නාසය ආවරණය වන පරිදි එය කළ යුතුය.
- සෑම විටම ශ්වසන රෝගීන් ඇසුරෙන් ඉවත් වී සිටිය යුතු අතර පොදු ස්ථානවල නිකරුණේ ගැවසීමෙන් වැළකී සිටිය යුතුය.
- ශ්වසන රෝග ලක්ෂණ පහළ වූයේ නම් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමුවී ප්‍රතිකාර ලබාගත යුතුය.
මෙවැනි යහපත් සෞඛ්‍ය පුරුදු නිතර නිතර පුහුණු කිරීමෙන් කොරෝනා වෛරසයෙන් පමණක් නොව බෝවන රෝග බොහෝමයකින් ආරක්ෂාවී නීරෝගී ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබේ. එබැවින් මෙම පණිවිඩය සමාජගත කිරීමෙන් සැමගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කරගැනීමට හැකිවනු ඇත.