ස්ත්‍රී පුරුෂ භාවය සහ අනන්‍යතාවය

ස්ත්‍රීවාදය ශ්‍රී ලංකාවට නොගැලපෙන සංකල්පයක්ද?

නතාලි සොයිසා

මම ස්ත්‍රීවාදිණියෙක් නොවේ යැයි සිතමින් මම බොහෝ කාලයක් ගත කළෙමි. 

මෙය මා විසින් තනිව කරන ලද නිගමනයක් නොවේ. මන්ද මා පවා එය ලංකාවට නොගැලපෙන්නේයැයි සිතුවෙමි. ඔවුන් භාවිතා කල වචන ගැන මට තැකීමක් හෝ අවබෝධයක් නොතිබූනි. ඇත්ත වශයෙන්ම කිසිවෙකුත් එය මට පැහැදිලි කර දුන්නේ නැත. මට තනිවම, මා එතෙක් එල්බ සිටි මතයන් දුරු කරගනිමින් අද සිටින තැනට පත් වන්නට සිදු විය. 

මට නොදැනිණු ඒ දේ කුමක්ද? එනම් පණිවිඩයයි. ඔවුන් කියන්නට උත්සහ කල දේ අවසානයේ මට තේරුණු අතර එය මා වෙනුවෙන්ම වූ දෙයක් බව හැඟුණි. 

බොහෝ ලාංකිකයන් ස්ත්‍රීවාදය හා ස්ත්‍රීවාදී න්‍යාය තුළ ඉදිරිපත් කර ඇති දේවල් හෝ සංකල්ප ගැන මනා දැනුමක් හෝ සැලකිල්ලක් නොදක්වයි. ඔවුන් මේ වටා වූ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් ද ඒ හා සමාන මානසිකත්වයක් දරයි. වසංගතයක් පැතිරෙන මෙවන් සමයක දැන් ඇති ප්‍රමුඛතා වෙනස්ය. දැන් ඇති එකම අභියෝගය ආහාර වේලක් සපයා ගැනීම සහ සෞඛ්‍ය අර්බුධයෙන් ගැලවීම මිස අනෙකක් නොවේ. ඉතින් එවන් සමයක මෙවන් මාතෘකාවක් ජනගත කළ හැක්කේ කෙසේද? 

උපකල්පන එමටයි

ස්ත්‍රීවාදීන්ගේ ව්‍යාපාර ශ්‍රී ලංකාව තුළ සිදුවන්නේ නොගැලපෙන ලෙස හෝ අඩුලුහුඬකම් සහිතව යැයි මම විශ්වාස කරමි. එය බොහෝ විට කෙරීගෙන යන්නේ දේශීය සංස්කෘතිය හා මුසු නොවී, ලෝකයේ වෙනත් රටවලින් ස්ත්‍රීවාදය ඇති සැටියෙන්ම ආනයනය කළාක් ලෙස ය. සමහරවිට ලාංකිකයන් ද මේ සංකල්පවලට තවම සූදානම් නොමැති වනවා ද විය හැකිය. පුරුෂාධිපත්‍යය හෝ මාන්නාධික පුරුෂාධිපත්‍යය වැනි වචන යනු මොනවාද, සහ එය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳව මහජනතාව දැනුවත්ව සිටිනවාය යන උපකල්පනය ද ඇති බවක් පෙනේ.

මෙම ස්ත්‍රීවාදී ව්‍යාපාර බොහෝ විට ස්ත්‍රීවාදය පිළිබඳ ශාස්ත්‍රීය අවබෝධයක් ඇති අය විසින් නිර්මාණය කරනු ලබන අතර, ඔවුන්ගේ තර්කනය සහ චින්තන රටාව රටේ සැමට ඇතැයි සමහරුන් උපකල්පනය කරති. එනමුත් එය එසේ නොවේ. ඒවා තේරෙන අය පවා ඒ ගැන නොතකති. අවසානයේ සියල්ල නිශ්ඵල අවසානයක් කරා ගමන් කරයි. 

මහජනතාවගේ දැනට පවතින සහ අනුමාන පක්ෂග්‍රාහී බව ස්ත්‍රීවාදීි ව්‍යාපාර සැලසුම් කිරීමේදී සලකා බලා නොමැත. ස්ත්‍රීවාදය කෙරෙහි විවිධ අයට විවිධාකාර ආකල්ප ඇත, සමහරු ස්ත්‍රීවාදීන් දකින්නේ පුරුෂයන්ට වෛර කරන්නන් ලෙසය. තවත් සමහරු ස්ත්‍රීවාදීන්ව විහිළුවට ගනිති. බොහෝ දෙනා ස්ත්‍රීවාදය පිළිබඳව කතාබහ කිරීම ද මගහැර යන්නේ ස්ත්‍රීවාදීන් මතු කරන කරුණු ගැන උනන්දුවක් නැති වීම සහ එම කරුණ ගැන කතා කරන ආකාරය ගැන ඇති අකමැත්ත නිසාය. ස්ත්‍රීවාදය බෙදාගැනීම මෙන්ම, මෙවන් අභියෝග ජය ගැනීමත් එක සේ වැදගත් ය. 

මානුෂීය දැක්මේ අඩු ලුහුඬු බව

ඵලදායී සන්නිවේදනයේ ප්‍රධාන කරුණ නම් තමා අමතන්නේ කාටද යන්න වටහා ගැනීමයි. ඔබ කතා කරන්නේ කා සමඟද යන්න සොයා බැලීමට ඔබට නොහැකි නම් සහ එමගින් ඔවුන් හා සම්බන්ධ වීමට නොහැකි නම්, එය ගඟට කැපූ ඉණි වැනි ය.  

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට අසාධාරණ ලෙස සලකන බව අපි දන්නා කරුණකි. අසාධාරණ වැටුප් පරතර, ස්ත්‍රී දූෂණ, ගබ්සාව, රැකවරණය, අපයෝජනය වැනි ගැටළු ගැන පුරවැසියන් දනියි. නමුත් ඒ ගැන උනන්දුවකුදු නොමැත. අපි ඊට හඬක් නැගුවත් එය කරන්නට වන්නේ පුරුෂාධිපතීත්වයෙන් පිරි දේශපාලනඥයෙකු වෙත ය. ස්ත්‍රීන්ට හා ගැහැණු ළමයින්ට අඩු අවධානයක් ලැබෙන්නේ, හුදෙක් දුර්වල ලිංගිකයන් ඇති බවට වන පදනම මත වන අතර, එය ඔවුන්ගේ ඉල්ලීම් බැහැර කිරීමට හේතු වේ. මෙම සන්දර්භය තුළ ජීවත් වීමට කාන්තාවන් ඉගෙන ගෙන තිබෙන නමුත්, ඉන් අදහස් වන්නේ සැම කාන්තාවක්ම මෙම තත්වය පිළිගන්නා බව නෙවේ. මෑතකදී තරුණ පරිසරවේදිනී භාග්‍යා අබේරත්න වෙත පුරුෂ නීතීඥයන් කණ්ඩායමක් ස්වේච්ඡාවෙන් සහාය ලැබීම සතුට ඇති කරන්නක් විය. ගැට`ඵව නම් එවන් සහායයක් නිතර ලැබෙනු දක්නට නොලැබීමයි.  

අපි ගැටලුව දන්නා නමුත් එය විසඳීමට ක්‍රියාකාරීව කටයුතු නොකරන්නෙමු. රටේ සියල්ලෝම තත්ත්වය කෙතරම් බරපතල වුවත්, “ඕවා ඔහොම තමයි, මොනවා කරන්නද?” කියා කිසිවක් නොකර කරබාගෙන සිටී. ස්ත්‍රීවාදීන් ශ්‍රී ලාංකිකයන් තුළ කිඳා බැසගෙන ඇති මෙම ආකල්පය මගහැර කටයුතු කිරීමෙන් සිදුවන්නේ සියලු උත්සහයයන් ව්‍යවර්ථ වීම ය. 

ඩිජිටල් සමයේ ස්ත්‍රීවාදය

ඩිජිටල් යුගය සංවාද බිහිකිරීමට උචිත කාලයකි. එය එක් පාර්ශවයකගේ හඬ පමණක් ඉදිරිපත් කරවන පුවත්පත් හා රූපවාහිනියෙන් ඔබ්බට යමින් දෙබස් බිහි කිරීමට සමත් වන්නකි. දේශීය ස්ත්‍රීවාදී ව්‍යාපාරවලට මේ වාසිය අමතකව ගොස් ඇතිවා සේ ය. සමාජ ජාලවල “පුරුෂාධිපත්‍යය පිටුදකිමු” යැයි පළකර අහක බලා සිටීමෙන් පලක් නැත. එයට වටිනාකමක් ලැබෙන්නේ තවත් අයගේ අදහස් ලැබෙන ලෙස හැඩගස්වා පළ කිරීමෙනි. 

දැනට සිදු කෙරෙන ප්‍රචාරයන් බොහෝ විට ලැබෙන්නේත්, අවබෝධ කරගන්නේත් දැනටමත් ස්ත්‍රීවාදීව සිටින කාන්තාවන් පමණි. දන්නා අය සිටින තැනම කතා කරමින් කාලය ගත කිරීමෙන් සිදු වන යමක් නොමැති අතර, ඒ කණ්ඩායම්වල සිටින අය නව ජනතාවක් වෙත ළඟා වීමට ද අකමැත්තක් දක්වනවා විය හැකිය. නැතහොත්, ඵලදායී සන්නිවේදනයට අවශ්‍ය සම්පත් නොමැතිව සිටිනවා විය හැකිය. සැබවින්ම ගැටලුව මෙය නම් මේ සඳහා  අවශ්‍ය සම්පත් ලබා ගත යුතුය, තවද ලාභ නොලබන ආයතන වලින් පරිභාහිරව ඇති දැනුම ලබා ගත යුතුය.  

ඊට එක් විසඳුමක් වන්නේ වෘත්තීය සන්නිවේදකයන්ගේ සහාය ලබා ගැනීමය. ලාබ ලබන ආයතනවලට සාර්ථක මෙවලම්, සන්නිවේදන මාධ්‍ය යොදා ගනිමින් ජනතාව වෙත ළඟා වීමට දැනටමත් හැකියාව ලැබී තිබේ. ස්ත්‍රීවාදය ද එලෙසම ජනතාව කරා ගෙන යාමට අපේ රටේ සිටින මෙම ව්‍යාපාර ප්‍රවර්ධන මාධ්‍යකරුවන් දායක කරවා ගත හැකිය. වානිජ ලෝකය භාවිත කරන සන්නිවේදන උපකරණ ස්ත්‍රීවාදීන්ගේ අවශ්‍යතා සමඟ සහමුලින්ම නොගැලපුනද, යම් සමබරතාවක් සකසා ගැනීම වැදගත්ය. 

කෙටියෙන් කිවහොත් සිදුවිය යුතු එකම දේ නම්, ස්ත්‍රීවාදයේ පණවිඩය, මුළු මහත් ශ්‍රී ලාංකික ප්‍රජාවටම ලැබෙන ලෙස සන්නිවේදනය කිරීමය.

Is Feminism An Alienating Concept In Sri Lanka?

இலங்கையில் பெண்ணியவாதம் தூரமாக்கும் கருதுகோளாக உள்ளதா?

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts