
ශක්තික නිදහස් කිරීම සහ ප්රකාශනයේ නිදහස
ජයසිරි ජයසේකර
කෙටිකතාවක් ලියා සිය ෆේස්බුක් ගිණුමේ පළ කිරීම හේතුවෙන් දෙවසරකට ආසන්න කාලයක් අධිකරණ ක්‍රයාවලියකට මුහුණ දී සිටි නිර්මාණකරුවකු වූ ශක්තික සත්කුමාර පසුගියදා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරිණි. ඒ පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිිකරණයෙහි විභාග වූ එම නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමට හේතු නොමැති බවට නීතිපතිවරයා විසින් අධිකරණය වෙත කරන ලද දැනුම්දීම හේතුවෙනි.
වසර දෙකකට පසු, නඩු නිමිත්තක් නොමැති බවට නීතිපතිවරයා විසින් තීරණය කරන තුරු ‘නීතිය අනුව වරදක් කර නැති‘ ශක්තික සත්කුමාරට පිරිමැසිය නොහැකි තරමේ පීඩා රැසකට මුහුණපෑමට සිදු විය. පළමුව භික්ෂූන්වහන්සේලා පිරිසක් ඔහු සේවය කරන රාජ්‍ය ආයතනයට කඩා වැදී ඔහු අපකීර්තියට පත් කොට රැකියාවෙන් නෙරපන ලෙස බලපෑම් කළ අතර, පසුව ‘බුද්ධාගමට අපහාස කළ බවට‘ ඔහුට එරෙහිව පොලිසියට කරනලද පැමිණිල්ලකට අනුව 2019 අප්‍රේල් 01 වැනිදා පොලිසිය විසින් ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ. ඔහුට චෝදනා ගොනු කර තිබුණේ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR පනත) යටතේ බැවින් ඔහුට ඇප ලබා ගත හැකි වූයේ මහාධිකරණට ඉදිරිපත් කෙරුණු ඇප අයදුම්පතක් මගින් 2019 අගෝස්තු 08 වැනිදාය. ඒ අනුව ඔහු බන්ධනාගාර ගතව සිටි කාලය දින 130කි. මාස 10කට වැඩි කාලයක් ඔහුට වෘතියෙහි නිරත වීමේ අයිතියද අහිමි විය.
නඩු නිමිත්තක් නැතැයි නීතිපතිවරයා විසින් නිගමනය කළ කරුණක් උදෙසා ලේඛකයකු මෙතරම් පීඩාවන්ට පත් වීම අප තේරුම්ගත යුත්තේ කෙසේද? සමස්ත ක්‍රියාවලියෙහිම කිසියම් බරපතළ වරදක් සිදු වී ඇති බව පැහැදිලිය. එසේ නම් ඒ කුමක්ද? මෙය අදහස් ප්රකාශනයේ අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් පිළිබඳ උනන්දුවක් දක්වන අයගේ අවධානයට යොමු විය යුතු ප්රශ්නයකි.
ශක්තිකගේ නඩුවට නිමිති වූයේ ඔහු විසින් ලියා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පළ කරන ලද ‘අර්ධ‘ නම් කෙටිකතාවකි. එමගින් බෞද්ධාගමට හා භික්ෂූන්ට අපහාසයක් සිදු වන බව පොලිසියට පැමිණිල්ල ඉදිරිපත්කළ භික්ෂූන්වහන්සේලාගේ චෝදනාව වූ අතර ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය දණ්ඩ නීති සංග්‍රහයේ අංක 291බී වගන්තිය යටතේ හා ICCPR පනතේ (3) (1) අනුව ඔහුට එරෙහිව චෝදනා ගොනු කළේය. මූලික වරද සිදු ව තිබෙන්නේ එතැනය. එනම් ආගමික අපහාසය පිළිබඳ චෝදනාවක් ඇත්නම් ඊට එරෙහිව ක්‍රියා කිරීමට දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රමාණවත් ප්‍රතිපාදන තිබියදී සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම උදෙසා ඇති ICCPR පනත ඒ සඳහා යොදා ගැනීමයි. මෙය සැලකිය හැක්කේ අදාළ පනත අවභාවිත කිරීමක් වශයෙනි. ශක්තිකගේ නඩුව ආශ්‍රිතව ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක් වූ ප්‍රධාන කරුණ වූයේද මෙයයි.
ශක්තිකට නඩු පැවරීමේ සිද්ධියෙන් පසුව ICCPR පනතේ භාවිතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විශේෂ අවධානය යොමු වූ අතර, සභාපති මහාචාර්ය දීපිකා උඩගමගේ අත්සනින් යුත් 25-04-2020 දිනැති ලිපිය මගින් ‘ICCPR පනතේ 3වන වගන්තියෙහි අන්තර්ගතය පිළිබඳ නීතිමය විශ්ලේෂණයක් හා එහි භාවිතය පිළිබඳව කොමිෂන් සභාවේ නිර්දේශ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත යොමු කෙරිණි. පනත භාවිතයට ගත යුතු ආකාරය පිළිබඳ එමගින් පැහැදිලි කර තිබේ.
ශක්තික නිදහස් කළ දාට පසු දිනම (පෙබ. 10) ඒ පිළිබඳව ප්‍රසාදය පළ කරමින් නිවේදනයක් නිකුත් කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, එම නඩු තීන්දුව පූර්වාදර්ශයක් කොට ගනිමින්, සමාජ මාධ්‍ය හා වෙනත් ආකාරයෙන් නිර්මාණ හා අදහස් පළ කරන්නන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමෙන් වළකින්නැයි පොලිසියට උපදෙස් දෙන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.
තමන් අයුක්තිසහගත ලෙස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශක්තික විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින අතර එම සිදුවීම සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසම වෙතද පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ශක්තික නිදහස් කිරීම කෙරෙහි එම සාධකවල බලපෑමද බැහැර කළ නොහැකි යථාර්ථයකි. කෙසේ වෙතත් මෙම සිදුවීම භාෂණයේ හා ප්රකාශනයේ නිදහස ශක්තිමත් කරන නිමිත්තක් බවට පත් කර ගැනීම පුරවැසියන්ගේ වගකීමකි.