සමාජ

වාර්ගිකත්වයන් ගේ මහා පොදු සාධකය සංහිඳියාවේ දියවර

සරත් මනුල වික්‍රම

අහසින් වැටෙන වැහි පොද ජාතීන් අනුව ගම් බිම් වැව් පොකුණු තෝරා මහ පොළවට ඇදහැළෙන්නේ නැත. එය කාගේත් කුසගින්න පිපාසය නිවයි. ඒ සත්‍යය පසක් කරමින් සාමය හා රටේ සශ්‍රීකත්වය පතන ජනයා හැට වසරක් පුරා දුටු සිහිනය සැබෑකරන්නට මුල්ගල තැබුණේ තන්තිරිමලේ  දී පසුගියදා ය.

මිනිසුන් සබඳින මාධ්‍යන් අතර ජලය ද ප්‍රධාන එකකි. මන්නාරම හා වව්නියා දිස්ත්‍රික්ක රජරටින් වෙන්ව ඇත්තේ භූගෝලීයව ය. භාෂා හා ආගම් ඒ දුරස්ථ බව තීව්‍ර කළේ ය. මල්මතු ඔය විටින් විට මේ දෙපස යාකළත් ජලය මෙන් මිනිසුන් පොදු  වුණේ නැත.සාමය හා රටේ සශ්‍රීකත්වය පතන මේ ජනයා හැට වසරක් පුරා දුටු සිහිනය සැබෑකරන්නට මුල්ගල තැබුණේ ය.ඒ තන්තිරිමලේ  දී පසුගියදා ය.

නිකරුණේ මන්නාරමින් මූදට ගලා යන මල්වතුඔය හරස්කර තන්තිරිමලේ ප්‍රදේශයේ  ජලාශයක් ඉදිකිරිමේ සැලැස්ම සැකසෙන්නේ 1969 දි පමණ ය. එහෙත් රටේ ඇතිවන විවිධ ප්‍රශ්න හමුවේ එවැනි සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රි ලංකා රජය අපොහොසත් වුණේ ය. පසුගිය දශකය තුළ පහළ මල්වතුඔය සැලැස්ම ලෙස මෙම සංකල්පය කරළියට ගෙන වාරිමාර්ග විෂය භාරව විටින් විට පත්  ඇමති වරුන් රැසක් සමඟ අඛණ්ඩව කථිකාවතට නැගූ චරිතය තන්තිරිමලේ විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපලාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ චන්දරතන නාහිමියන් ය.

තන්තිරිමලේ නාහිමියන් මේ සඳහා කර උර දෙන්නට ඉදිරිපත්වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බටහිර මායිමේ පිහිටි තන්තිරිමලේ සැමදා නියඟයෙන් බැටකන නිසා ය. අවුරුද්දේ වැඩි කාලයක් තන්තිරිමලේ නියඟයෙන් පීඩා විදී.එම ජන ජීවිතයට ගොවිතැන මිස වෙන සරණක් ද නොමැත. ඔවුන්ගේ ආහාර නිෂ්පාදනයටත් පානීය   අවශ්‍යතාවයටත් විසඳුම ස්ථිර ජල සම්පාදන ක්‍රමයක් ය. තන්තිරිමලේ ජනපදය හරහා ගලායන මල්වතුඔය ඒ කෙත්වතු වලට ගොඩවදින්නේ නැත.හේතුව භූගෝලීය පිහිටීම ය.

ගඩාපි සහ සිල්වා

මෙනිසා එම පෙදෙසට විධිමත් වාරි පද්ධතියක් සැකසීම පහළ මල්වතුඔය ව්‍යාපාරයේ අරමුණය. එමෙන්ම ඒ ඉදිකරන ජලාශයට පහළින් ඇති යෝධ වැවටද   ස්ථිර ජල සැපයුමක් අවශ්‍යව තිබේ. යෝධ වැව යටතේ මන්නාරම් දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර හතලිස් දහසක් පමණ යළ කන්නයේ වගා කෙරේ.එයද දැඩි අවදානමක් මැද්දේ කරන්නක් බව යෝධවැව ව්‍යාපාරයේ ගොවීහු කියති.

‘‘ අපේ කොට්ඨාසයේ වැඩිපුරම පදිංචි මුස්ලිම් ජනතාව. අපේ ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මය.සත්ව පාලනය කරන අයත් ඉන්නවා.ව්‍යාපාර කරන අයෙත් ඉන්නවා. ඒ මොනවා කළත් අපට අවශ්‍යම  දේ වතුර.අපේ කොටසේ තියෙන කුඹුරු අක්කර අක්කර 8500ක්  විතර ප්‍රමාණය ජලය ලබාගන්න හරිම අමාරුයි. මේ යෝජනා ක්‍රමයේ මුල් අදියරෙන් ඇළක් කපලා අපට වගාවට වතුර දෙන්න සැලසුම් කර තිබෙනවා කියලා රජය කියනවා.ඒ ගැන දැන් බලා පොරොත්තුවක් තිබෙනවා.ඒ අනුව ගොවිතැන් සරු වුණොත් අපට  අනුරාධපුරයි වව්නියාවයි මන්නාරමයි අතර ලොකු ප්‍රදේශයක කෘෂිකාර්මික වගේම වෙළඳ සම්බන්ධකම් ඇතිවෙනවා. එහෙම වෙයි කියලා බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා‘‘ යි පැවසූවේ  වෙප්පන්කුලම පදිංචි ගොවිසංවිධාන නියෝජිතයෙකු වන එ.එම්.ගඩාපි මහතා යි.

එම ගොවි ජනපදයේ ම පදිංචි එම්. වයබ් ෆරීඩ් මහතා පැවසුවේ මෙවැන්නකි.

‘‘අපේ ජීවිත කාලේ නියඟයටයි යුද්ධවලටයි අහුවෙලා හොඳ හරිය ගෙවිලා ඉවරයි. අනාගතේ දරුවන්ට මේ ජලාශය හදන එක හොඳයි. වතුර ප්‍රශ්නයට විසඳුම් ලැබෙනවා නම් මේ පලාතේ වටිනාකම් වැඩි වෙනවා.‘‘

උදයන් සහ ෆරීඩ්

නව ජලාශය එක්වන්නේ ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානය නම් වන්දනාකරුවන් හා සංචාරකයින් මන බැඳගත් පුරාණ උපතිස්ස ග්‍රාමයේ බැවින් එහි සංවර්ධනය සලකා රජය ජනතාව දැනුවත් කරමින් නව වැඩ පිළිවෙල ඇරඹුවේ ය.  නව නගරයක්, ප්‍රවේශ මාර්ග හා යටිතල පහසුකම් ආදිය වගාවට ලැබෙන ජලයට අමතරම ගැමියන්ට සෘජුව ලැබෙන ප්‍රතිලාභයන් ය. දැනට මෙම ප්‍රදේශයේ ජනයා මූණපා සිටින වකුගඩු රෝග අර්බුදයට ස්ථිර විසඳුම් වන්නේ පිරිසිදු පානීය ජලය බැවින් අනුරාධපුර නගරය දක්වා පානීය ජලය රැගෙන යාමේ මූලාශ්‍රයක් ලෙසද මෙම ජලාශය භාවිත කිරීමට අරමුණු කරගෙන තිබේ.

මිරිදිය ධීවර කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය හා සත්ව නිෂ්පාදනය ආදී ආදායම් උද්පාදන මාර්ග රාශියක් මෙම දිස්ත්‍රික්ක දෙකෙයි ජනයාට ඇතිකරදීම ව්‍යාපෘතියේ අරමුණ වේ. තන්තිරිමලේ ගැමියන් ඒ ගැන සිතන අයුරු තන්තිරිමලේ රත්ගම පාරේ පදිංචි ඩී.බි.ඩිංගිරිමැණිකා මහත්මියගේ කතාවෙන් පැහැදිලිවේ.

‘‘ මේ ප්‍රදේශයේ මංමාවත් දියුණු වෙනවා.අපේ ගම හරහා තමා විල්පත්තුවට පාර හැදෙන්නේ. එතකොට අපේ වෙළඳාම් ආදියට හොඳයි. අපට තිබුණු ඉඩම් ජලාශයට යටවෙනවා.ඒවාට ඔප්පු තිබුණේ නෑ. ඒත් ඒ වෙනුවට අපට වගාවට ඉඩම් ලැබේවි.අපේ සමහර අය ශිලාවතුරේ කජුවත්තේ ජීවත් වෙනවා. මේ හැම තැනකම අයට මේ වැඩපිළිවෙලින් මූලික ප්‍රශ්නයට විසඳුම හම්බවෙනවා ‘‘ ඇය පැවසුවා ය.

සංහිඳියාවේ දියවර නම් පිළිගැනීමේ තොරණ මැදින් තන්තිරිමලේට ආ ජනතාව

මෙම යෝජනාක්‍රමය ක්‍රියාත්මක කිරීමට රජය ගණන් බලා ඇති අන්දමට සමස්ත ආයෝජනය රුපියල්  කෝටි 2,290කි.  ජලාශයක් හැටියට තන්තිරිමලේ ජලාශය අක්කර අඩි 1 65 000කට අධික ධාරිතාවයක් රැස්කරයි. එය දෙවැනි වන්නේ සේනානායක සමුද්‍රයට පමණි.

යෝධ වැව යටතේ දැනට මාස්කන්නයේ පමණක් වගා කෙරෙන කුඹුරු අක්කර 40 000 මෙම ජලාශය ඉදිකිරීමෙන් පසු  යළ මහ දෙකන්නයේ දී ම වගා කළ හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන්කරයි. ඊට අමතරව අලුතින් අක්කර 3000ත් 4000ත් අතර ප්‍රමාණයක්  අස්වැද්දීමට හැකි වනු ඇත. දැනට නිරතුරු ජල හිඟයට මූණපාන කුඩා හා මධ්‍ය පරිමාණ වැව් 150කට අධික ප්‍රමාණයක් පෝෂණය කිරීමට ද මෙම ජලාශය ප්‍රයෝජනවත්වන බව වාරිමාර්ග අංශ කියයි.

දිස්ත්‍රික්ක තුනක භාෂා දෙකකින්  හා විවිධ ආගම්  හතරකින් විවධත්වයට ලත් ජනයාට පොදුවේ බෙදාගත යුතු සාධකය ලෙස තන්තිරිමලේ ජලාශය කේන්ද්‍රගතවන බැවින් එයට සංහිඳියාවේ දියවර ලෙස පටබැඳ තිබිණි. ඒ ජලාශය ඉදිකිරීම සඳහා මුල්ගල තැබුණු මහෝත්සවයේ දීය. උත්සවය දිස්ත්‍රික්ක තුනෙහි දහස් සංඛ්‍යාත මහජනයාගෙන් ද නිලධාරින්ගෙන් ද පිරී තිබිණි. මේ අතර වඩාත් සතුටින් තන්තිරිමලේට පැමිණ සිටි පිරිස යෝධවැවේ ගොවියෝ ය.

විවිධත්වයට ලත් ජනයා පොදුවේ බෙදාගත යුතු සාධකය ලෙස තන්තිරිමලේ ජලාශය කේන්ද්‍රගත වේ

එහි දී හමු වු යෝධවැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එම්.එස්.සිල්වා මහතා පවසා සිටියේ  කන්න දෙකක් වගා කිරීමේ සිහිනය සැබෑවන්නේ මෙය ඉදිකළහොත් පමණක් බවයි.

‘‘ මහ කන්නයටත් අක්කර 30 000 ක් විතර ඉතාම අමාරුවෙන් කරන්නේ. යළක් ගැන හිතන්නවත් බෑ.මේ වතුර ලැබුණොත් මන්නාරමේ ගොවින්ගේ ප්‍රශ්න ගොඩාක් විසඳෙනවා‘‘ යි සභාපති වරයා පැවසුවේ ය.

‘‘බොහෝම සන්තෝශයෙන් මේ උත්සවයට ආවේ.අපේ ප්‍රශ්න විසඳෙනවා නම් අපිත් කැමතියි මෙහෙම මේ පළාත්වලටත් ඇවදින්  ගොවිතැන් වැඩයි වෙළඳාම් කටයුතුයි කරගෙන සමගියෙන් ඉන්න‘‘ යි පැවසුවේ උයිලන්කුලමේ සිට පැමිනසිටි ටී.උදයන්  මහතායි.

ජලාශ වැව් පොකුණු මං මාවත් වලට ජාති භේද නැත.මිනිසුන්ට මෙන්ම සතුනට ඒ සියල්ල පොදුය. සහජීවනය ඇත්තේ එතැන බව මිනිස් වර්ගයා අවබෝධකරගත යුතුව ඇත.

This article was originally published on the catamaran.com

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts