ව්‍යසන අබිමුව සංහිඳියාවේ යථාර්ථය
නිමල් අබේසිංහ
සොබා දහම තරම් මිනිසාට පාඩම් උගන්වන තවත් නියාමයක් නැති තරම්ය. ලෙඩ රෝග, ගංවතුර උවදුරු, නියං සාගත ආදී නොයෙකුත් ව්‍යසන මගින් ඔහු මිනිස් වර්ගයාට පාඩම් කියා දේ. ඔහුගේ බලපෑම ජාති භේදවලින් තොරය. ආගම් භේදවලින් තොරය. කුලභේදයෙන් තොරය. එනිසාම කිසිදු ආකාරයකින් තෝරා බේරා නොගෙන සිය බලපෑම මේ කොයි කාට වුවද එකම අයුරින් බෙදයි.
මේ සඳහා ආසන්නම පමණක් නොව මේ මොහොතේ පවා අත්විඳින යථාර්ථයක් දැක්විය හැකිය. ඒ කොවිඩ් 19 නැතිනම් කොරෝනා වසංගතයය. කොරෝනා වසංගතය මුලින්ම ඇරඹෙන්නේ චීනයේ වූහාන් නගරයෙන්ය. එය පසුව චීනය පුරාත්, අනතුරුව ලොව පුරාත් වේගයෙන් පැතිර ගියේ විදුලි වේගයෙනි. ලොව පුරා එයට ගොදුරුව ලක්ෂ සංඛ්‍යාත සංඛ්‍යාවක් මිය ගියහ. මේ මොහොතේත් එය සිදුවෙමින් පවතී.
ශ්‍රී ලංකාවේ වුවද තත්ත්වය දරුණුය. රෝගයට ගොදුරු වීමේදී බාල, මහලු, වැඩිහිටි, ස්ත්‍රී පුරුෂ භේදයක් නැත. ජාති, ආගම්, කුලගොත් භේදයක් නැත. එය කිසිවෙකුටත් විශේෂයක් නොදක්වයි. අප වටහාගත යුතු වන්නේ මෙකී සත්තාවයය. ශ්‍රී ලංකාව දෙස බැලුවහොත් අප දුටු විශේෂ තත්ත්වයක් වනුයේ මාධ්‍ය ඔස්සේ සුවිශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ පතුරවමින් තිබූ ජාතීන් අතර සංහිඳියාවට, සාමයට එරෙහි වන ආකාරයේ වන වෛරී ප්‍රකාශයන් ප්‍රසිද්ධ කිරීම නැත්තටම නැතිවී ගිය බවකි. එවැනි ප්‍රකාශයන් නිකුත් කළ ප්‍රසිද්ධ කළ හා ඒවාට අනුබල දුන් අය එතැනින් විතැන් වූහ.
අප රටේ මෑතකාලීන අතීතයට ගියහොත් තිස් අවුරුදු යුද්ධයකින් පීඩා වින්දේය. එකල රට තුළ දැඩි දෙමළ විරෝධයක් වූයේය. මනුෂ්‍යත්වය යන්න වචනයට පමණක් සීමා වී තිබුණ අතර සියලු ආගම්හි පවතින සාමය, සහජීවනය යන සද් ප්‍රපංචයන් යට ගොස් වෛරය, ක්‍රෝධය හා අනෙකා නොඉවසීම යන ක්‍රියාකාරකම් ඉහළට පැමිණියේය. යුද්ධයේ නිමාවත් සමගම එය යම් තරමකට යටපත් වූයේ නමුදු වෙනත් වටයකින් උඩට පැමිණියේය. ඒ මුස්ලිම් විරෝධයය. වඳ කොත්තු, කාන්තා වඳ යට ඇඳුම් පිළිබඳ විවිධ අරුත්සුන් කතා ඉස්මතු කරමින් ජාතීන් අතර සංහිඳියාව විනාශ කරවමින් වෛරය වපුරවනසුලු ව්‍යාපාර ගෙන ගියෝ මිනිසත්කමට නිගා දෙන අයුරින් ක්‍රියාත්මක වූහ.
ඕනෑම ජන සමාජයක සාමයට, සංහිඳියාවට එරෙහි වන්නෝ සිටිති. එහෙත් එවන් පිරිස අල්පය. අල්ප වූ නමුදු කිරි කළයට හලන ගොම බිඳ සේ මොවුන් වෙතින් මහා සමාජයට සිදුවන විනාශය දැවැන්තය. බොහෝ දෙනා විචාරශීලීත්වයෙන් තොරව එකී අසත්‍ය ප්‍රකාශයන් පිළිගැනීමට පෙළඹෙන බැවිනි. එහිදී උගත්කම් යන්නද යට වේ. ඒ උගත්කමට සාපේක්ෂව බුද්ධිමත් භාවයක් එකී මිනිසුන් තුළ නැති බැවිනි. එය ජාතීන් අතර සාමය, සහජීවනය ජනිත කරවීමට පවතින ප්‍රබල බාධාවකි. අප බිඳිය යුත්තේ නැතිනම් නැතිකර දැමිය යුත්තේ එකී නරක වැට කඩුල්ලය.
රටේ පවතින කොරෝනා ව්‍යසන අවස්ථාව එකී බාධාව බිඳ දැමීමට ඉතාමත් සුදුසු අවස්ථාව නොවන්නේද?
කොරෝනා වසංගතයට පෙරාතුව මෙරට පැවති පසුබිම සලකා බැලීම වටනේය. රටේ බොහෝ ජනයා කල්ගත කළේ නිසරු පළක් රහිත කතාබහෙනි. බොරුවට, වංචාවට, රැවටීමට, ජාතීන් අතර සංහිඳියාවට වැට බැඳීමට, අකුල් හෙළීමට සමාජය තුළ ලැබී තිබුණේ ඉහළම ස්ථානයකි. දේශපාලනඥයාගේ පටන් සාමාන්‍ය මිනිසා දක්වා සියල්ලන්ම ජීවිකාව කරගත්තේ බොරුවය. එය ඒ තරමටම උත්කර්ෂයට පැමිණ තිබිණ. කලාකරුවාගේ පටන් ප්‍රේක්ෂකයා දක්වා සියල්ලන්ගේ රසෝස්පාදනය වූයේ මුසාවාදයය. සියලු ප්‍රකාශන මාධ්‍යයන් තුළ වැජඹුණේ බොරුවය. මේ සම්බන්ධයෙන් විවේකීව සිතා මතා බැලූවිට ඔබට එය ප්‍රත්‍යක්ෂ වනු ඇත. අනෙක් පසින් තවමත් එකී ව්‍යාජය අඩු වැඩි වශයෙන් සිදුවන බවද සිහිකටයුතුය.
පහත් පෙළේ හාස්‍ය නිර්ලජ්ජිත කතා ශෛලීන්, ජාතීන් අතර වන අන්‍යොන්‍ය සුහදතාව බිඳවනසුලු වූ ප්‍රකාශයන් ක්‍රියාකාරකම් කොරෝනා වසංගතයට පෙර සුලබව තිබුණේ නොවේද? සමාජ මාධ්‍ය ජාල මේවා බෙදාහරින ප්‍රබල මාධ්‍ය බවට පත්ව තිබුණේ නොවේද? එසේ වුවත් පාලකයා විසින් මේ මොහොතේත් භාවිතයට ගැනීමට උත්සාහ කරනුයේ ජාතීන් අතර සංහිඳියාව තව තවත් බිඳවනසුලු ක්‍රියාකාරකම්ය. සිංහල හෝ වේවා වෙනත් ජාතියක හෝ වේවා සත්‍යය වෙනුවෙන් පෙනී සිටින නිර්මාණකරුවන් අත්අඩංගුවට ගෙන අන්‍ය ආකාරයකින් ජාතීන් අතර වෛරය ඇතිකරවීමටත්, ඒ ඔස්සේ තම අභිමතාර්ථයන් මුදුන් පත්කර ගැනීමටත් උත්සාහයක යෙදී සිටින වගක් ද පෙනෙන්නට ඇත.මුස්ලිම් කසාද නීතිය,හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලාගේ සිදුවීම,අසාද් සාලි ආණ්ඩුකාරවරයා කළ ප්‍රකාශය,බුර්කාව තහනම් කරන පනතක් සම්මත කරන බවට සරත් වීරසේකර ඇමතිවරයා කළ ප්‍රකාශය,ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍යවල ප්‍රබල මාතෘකාව බවට පත්විය.දේශපාලකයන් වරදක් කර තිබේ නම් දඩුවම් ලබාදිය යුතුය.ඒ ගැන තර්කයක් නැත.නමුත් මෙම සිදුවීම් වල යටිපෙල අරුත වටහාගත යුතුය. රටෙහි ප්‍රජාව අවබෝධ කරගත යුතු සත්‍යයක් කොරෝනා වසංගතය ඔස්සේ පැමිණ තිබේ. ඒ කුමක්ද? මරණයට ජාතිය ද, ආගම ද, කුලය ද, රාජකීයයා ද, ධනවතා ද, දුප්පතා ද, භික්ෂුව ද, ආගමික නායකයා ද, වෙළෙන්දා ද, පාරිභෝගිකයා ද, උගතා ද, නූගතා ද යනුවෙන් වූ කිසිදු භේදයක් නොමැත්තේය. මරණය අබියස තමන් ආදරයෙන් ලාලසාවෙන් අල්ලා ගත් කිසිවක් වලංගු නොවේ. ඒ සියල්ල අත්හැර දමා යායුතුමය. අනෙක් පසින් මේවා කිසිවක් මරණයට ඇති අභියෝග ද නොවේ. මෙය සදාකාලික සත්‍යයක් වුව මිනිසා එය අවබෝධ කර නොගත්තකි. එය නොසලකා හරින ලද්දකි. එය නොසලකා හරිමින් සිදුකළේ සමාජ නපුර වෙනුවෙන් වන වෛරී ප්‍රකාශන ක්‍රියාකාරකම් සිදුකිරීමත්, ඒවාට අනුබල දීමත්ය.
මියගියවුන්ගේ සංඛ්‍යා ලේඛනවල මේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් හෝ වෙනත් කිසිදු ජාතියක ජනවර්ගයක ගණන් මිනුම් අන්තර්ගතද නැත. ඒවා හුදු මරණ ම පමණි.
මෙකී සත්තාව තුළ රටේ මුළු මහත් ප්‍රජාවම අවබෝධ කරගත යුතු වන්නේ අප තවදුරටත් ජාති, ආගම්, කුල වශයෙන් පමණක් නොව, රටවල් වශයෙන් වුව භේද භින්න විය යුතු ද යන්න ගැනය. එබැවින් මේ මොහොතේ සිට සියලු ප්‍රජාවන් අවධාරණය කරගත යුතු පරම සත්‍යය නම්, සහජීවනයෙන්, සාමයෙන් යුතු ප්‍රජාවන් සේ අප සියල්ලෝම ජීවත්විය යුතු බව නොවේද?
The Reality Of Reconciliation In The Face Of Disaster
பேரழிவு காலத்தில் வெளிப்படும் நல்லிணக்கத்தின் உண்மையான முகம்