වෛරී ප්‍රකාශ

යමෙක් ඔබට එරෙහිව වෛරී ප්‍රකාශයක් සිදු කරයි නම් ඔබට ෆැලන් මෙන් ඉවසා සිටිය හැකිද?

සචිනි ඩී. පෙරේරා

පසුගිය කාල වකවානුවේ ගීත ගායනා කිරීමට දක්ශ තරුණියක් අළලා නානාප්‍රකාර වෛරී ප්‍රකාශයන් අඩංගු ඡායාරූප හා සටහන් සමාජ මාධ්‍ය පුරාවට ව්‍යාප්ත වන්නට විය. ඇය අන් කවරෙකුත් නොව දෙරණ Dream Star තරඟාවලියේ 09 වන අදියරේ කුසලානයට හිමිකම් කී “ෆැලන් ඇන්ඩ්‍රියා ජෙන්සන්” නම් තරුණියයි. ඇය මෙම තරඟාවලියේ ජයග්‍රහණය ලැබීමට සුදුසු තැනැත්තියක් නොවන බවට සමහරක් පිරිස් ඇයට විරුද්ධව විවිධ අවලාදයන් නැඟූහ. මෙහි ප්‍රතිඵලයක්  ලෙස නින්දා සහගත ලෙස ඇයට එරෙහිව සමාජ මාධ්‍යන්හී ඵලවූ අදහස් වල නිදසුන් කිහිපයක් පහත දැක්වේ.

“මෙම තරඟාවලියේ කුසලානය ලැබීමට තරම් ෆැලන් සුදුසු තැනැත්තියක් නොවේ, මන්ද ඇය අනෙක් තරඟ කරුවන් දෙදෙනා තරම් දක්ෂ නොවේ.”

“වේදිකාවේ ඇය කළ එකම දේ වන්නේ ශරීරය ආවරණ නොවන සේ බටහිර ඇඳුමෙන් සැරසී රංගනයේ යෙදීම පමණී”

“ඇයට සම්භාව්‍ය ගීත ගායනා කළ නොහැක. ඇගේ හැකියාව ඇත්තේ ඉංග්‍රීසි ගීත ගායනයට පමණී”

“දෙරණ Dream Star වැඩසටහනේ එකම අරමුණ වන්නේ කතෝලික ලන්සි තරුණියක් ජනප්‍රිය කිරීම මඟින් ඔහුන්ගේ නාලිකාව නරඹන ප්‍රේක්ෂකයින්  වැඩි කර ගැනීම පමණි”

ගෝලීය සන්නිවේදනයේ බලපෑම මත සමාජය තුළ ඉතාමත් සීමිත කාලයකින් මෙවැනි ව්‍යාජ අන්තර්ගතයන් අඩංගු ප්‍රකෝපකාරී වෛරී ප්‍රකාශයන් හා කටකතා වැඩි වශයෙන් සමාජ මාධ්‍ය මඟින් ව්‍යාප්ත වීම නිසා සංස්කෘතික හා මානසික ගැටුම් පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති අතර, මේ හේතුව නිසාවෙන් පීඩාවට පත්වන තැනැත්තන් හා ඔවුන් වටා සිටින අනෙකුත් සාමාජිකයින්ට එල්ලවන බලපෑමද සුවිශාල බව පෙන්වා දිය හැකිය.

“ජාතිය, කුලය, ආගම හා ස්ත්‍රී පුරුෂ භාවය යනාදිය හේතු කොටගෙන එක් පුද්ගලයෙකුට හෝ සමාජයකට විරුද්ධව ප්‍රචණ්ඩත්වය වර්ධනය කරන ආකාරයෙන් ක්‍රියා කිරීම වෛරී ප්‍රකාශයක් සිදු කිරීමක්” යනුවෙන් කේම්බ්‍රිජ් විශ්වකෝෂය අර්ථ දක්වයි. මේ පිළිබඳව සමාජ විද්‍යාඥයින් අර්ථ දක්වා ඇත්තේ පාශ්චාත් නූතන යුගයේ මිනිසුන් තමන්ට කළ නොහැකි ‘සයිබර් හිරිහැරයන්’ (Cyber – bullying)  අන් අය විසින් සිදු කරන අවස්ථාවලදී එකහා සමාන මානසික මට්ටම් ඇති අය ඒ වටා එක් රොක්වී එය ශක්තිමත් කරමින් ප්‍රචණ්ඩත්වය වර්ධනය කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරන බවයි.

මිනිසුන් විශේෂයෙන්ම ප්‍රසිද්ධ පුද්ගලයින් අළලා මෙවැනි වෛරී ප්‍රකාශයන් බහුලව සිදු කිරීමට නැඹුරුවන්නේ මන්ද යන්න මීළඟ ගැටලුවයි. කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිරෝෂා කුලසේකර මහත්මිය මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටින්නේ, මිනිසුන් උපතේ පටන්ම පටු හැඟීම්බර මානසිකත්වයට හිමිකම් කියන නිසා ඔහුන් නිතර දෙවේලේ චිත්තවේගීව ආතතියට පත්ව ඇති බවත් තමා තමා තුළම සීතල යුද්ධයක් ගොඩනංවා ගනිමින් ඒ අනුව කටයුතු කිරීමට පෙළඹෙන බවත්ය. තවද මෙය මූලික වශයෙන් ඕනෑම පුද්ගලයෙක්ගේ සමාජ සංස්කෘතික පසුබිම, සමාජ තරාතිරම, මානසික ශක්තිය, තනි පුද්ගල නිදහස, ආර්ථික ස්ථාවරත්වය, ආකල්ප හා අන් අය සමග කටයුතු කරන ආකාරය මෙන්ම තවත් බොහෝ සාධක මත රදා පවත්නා බවත් ඇය පවසයි.

සිංහල බෞද්ධ ශ්‍රී ලාංකිකයින් මෙරට සිංහල බෞද්ධ රටක් ලෙස හඳුන්වා දීමට වැඩි කැමැත්තක් දක්වයි. නමුත් මෙම කුඩා දූපතේ ජීවත්වන සුළුතරයක් වූ ජනතාවට විරුද්ධව අදෘශ්‍යමාන ලෙස ජාතික හා ආගමික වශයෙන් බෙදීම් ඇති කිරීමට මෙය හේතු වන බව ඔබ දැන සිටියාද? එසේ හැඳින්වීමට කැමති පිරිස අතරින් බහුතරය සිංහල බෞද්ධ ජනතාව වන නිසා ඔවුන් මේ පිළිබඳව ප්‍රශ්න කරන්නේද නැත. ෆැලන් මෙරට සුළුතර ජන කොට්ඨාසය නියෝජනය කරන නිසාවෙන් ද ඇය ඉලක්ක කරගනිමින් බහුල වශයෙන් වාචික වෛරී ප්‍රකාශයන් එල්ල විය. ඉන් එක් සාධකයක් කැපී පෙනුණි. ඒ සංස්කෘතික වහල්භාවය පිළිබඳව වූ වෛරී ප්‍රකාශයන්ය. තවද ඇගේ හැසිරීම, ඇඳුම් විලාසිතා, ඇය නර්ථනයෙහි යෙදෙන විලාශය හා ඇගේ කට හඬ යනාදී කරුණු පවා සමහරක් පිරිසකගේ දෝශ දර්ශණයට ලක්විය. එනිසාවෙන්ම ශ්‍රී ලාංකිකයින් බහුතරයක් ඇගේ අනන්‍යතාවය හා පෞර්ෂය පිළිබඳව හඳුනාගෙන ඇත්තේ ඇය ලාංකික සංස්කෘතිය හා සභ්‍යත්වය කඩාකප්පල් කිරීමට සමත් සංස්කෘතික කම්පනයක් ඇති කළ හැකි තරුණියක් ලෙස සමාජ මාධ්‍ය තුලින් ලේබල් වන බවයි. ෆැලන් මෙන් තවත් බෙහෝ ප්‍රසිද්ධ තරුණියන් හා චරිත ඉලක්ක කරගනිමින් ලාංකික සමාජය තුළ වෛරී ප්‍රකාශයන් බහුලව වාර්තා වන ආකාරය දැක්ක හැකිය. ෆැලන්ගේ සිදුවීම මෑත කාලයේ සිදුවූ එක් සමීපතම සිදුවීමක් පමණි.

මිනිසුන් බහුතරයක් මේ ආකාරයෙන් ඒකාකෘතිකව කටයුතු කරන්නේ මන්ද යන්න සොයා බැලීමේදී අනාවරණය වූයේ මිනිසුන්ට තමන් එදිනෙදා ජීවිතයේ මුහුණදීමට සිදුවන සිදුවීම් හේතු කොටගෙන ඔවුන් සතු මානසික ශක්තිය හා දුර්වලතාවයන් ගොඩනැගෙන බව හා ඒවා අත්දැකීම් ඇසුරින් ප්‍රතිනිරූපණය වී ඒ අනුව ඔවුන්ගේ  අදහස් ව්‍යූහය හා පෞර්ෂය ගොඩනැගෙන බවයි. එවැනි රැඩිකල් අදහස් දරණ ශ්‍රී ලාංකිකයින් බහුතරයක් තම සීමා මායිම් හා මූලික ව්‍යුහයන් උල්ලංඝනය කිරීමට බිය වන බවත් ස්ත්‍රීන් අතර මෙය ඉතාමත් බහුලව දැක්ක හැකි ලක්ෂණයක් බවත්, මෙය ස්ත්‍රීවාදී අදහස් කුපිත කිරීමක් නොව ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව වෛරී ප්‍රකාශයන් ව්‍යාප්ත වන බව වටහාගත යුතු බවත් කථිකාචාර්ය කුලසේකර මහත්මිය පැහැදිලිවම සඳහන් කරයි. 

ශ්‍රී ලංකාව වැනි සංස්කෘතික රටක තනි පුද්ගල නිදහස අගය කිරීමට තරම් සමත් මානසික මට්ටමින් යුතු පුද්ගලයින් සිටින්නේ ඉතාමත් අතලොස්සක් පමණි. එය ඔහුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය තුළින්ද ප්‍රතිනිරූපණය වේ. ඒ අනුව යම් පුද්ගලයෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවයේ දිශානතිය, ආගමික අනන්‍යතාවය, ජනවාර්ගිකත්වය හා බාහිර පෙනුම යනාදිය මුල් කරගෙන එම තැනැත්තාව වෙන්කොට සලකා වෛරී ප්‍රකාශයක් සිදු කරයි නම් එය සැබැවින්ම සමාජ මාධ්‍ය මගින් සිදු වන සයිබර් හිංසනයකි. සමාජ මාධ්‍ය මගින් මෙලෙස වෛරී ප්‍රකාශයන් බවට පරිවර්තනය වන දෑ සාම්ප්‍රදායික මාධ්‍ය මගින් වාර්තා කරයි නම් එය ඉතාමත් සංකීර්ණ පහත් ක්‍රියාවකි.

මෙවැනි  පක්ෂග්‍රාහී, ජාතිවාදී, ඊර්ෂ්‍යා සහගත, අහංකාර හා වෛරී ප්‍රකාශයන් ඊනියා මාධ්‍ය භාවිතය තුළ ඉදිරිපත් කරන්නන් අන් අයට වඩා වෙනස් ආකාරයකින් උපත ලබා ඇති පුද්ගලයින් පිරිසක් බව කුලසේකර මහත්මිය වැඩිදුරටත් පවසයි. නව මාධ්‍ය හෙවත් සමාජ මාධ්‍ය භාවිත කිරීම මගින් සයිබර් අපරාධ සිදු කිරීම මානසික වශයෙන් සිදු කරන අපරාධයක් ලෙස අර්ථ දැක්විය හැකිය. එනයින් සමාජ මාධ්‍ය පරිශීලනය කරන්නන්ගේ ආචාර ධර්ම භාවිතය පිළිබඳව නැවත වතාවක් අවධානය යොමු කිරීම කාලීන අවශ්‍යතාවයකි.

යම් අයෙකුගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසත් තවත් අයෙකුගේ ජීවත් වීමේ අනන්‍යතාවයත් උල්ලංඝනය වන ආකාරයෙන් යමෙක් හෝ යම් පිරිසක් කටයුතු කරයි නම් ඒවාට අවනත වී ඒවා ඉවසා දෑරීමට තරම් අපි අත්‍යාවශයෙන්ම ඉවසීම ප්‍රගුණ කිරීම අනිවාර්ය නොවේ. ලාංකිකයින් වන අප පරම්පරිකව සාංස්කෘතික සභ්‍යත්වයන්ට ගරු කරන නමුත් අදටත් අපි යටත්විජිත මානසිකත්වයෙන් ජීවත් වන්නෙමු. මෙම දාමයන් සියල්ල බිඳහෙලීමට නම් වෙනස්වීම පිළිබඳව වූ ආකල්පයන් ඇති කරගත යුත්තේ අපගේ ඇතුලාන්තයෙන්ම ය. මෙය කට වචනයෙන් පැවසීමට පහසු වුණත් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම තරමක් අපහසුය. නව මාධ්‍ය භාවිතය මගින් සමාජය තුළ සිදු කරන උක්ත සදාචාර විරෝධී හැසිරීම සමනය කිරීමට නම් ලාංකිකයින් සතුව කාලාන්තරයක් සිට පැවත එන පාරම්පරික සංස්කෘතික ක්‍රියාකාරකම් ඔහුන්ගේ මනෝභාවයන් සමග මුසු කිරීමෙන් එය මර්ධනය කළ හැකි බව කුලසේකර මහත්මිය පවසයි. අපි අදටත් මෙරට ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයක් ලෙස හඳුන්වමු. ප්‍රජාතන්ත්‍රවාදය මගින් කිසි විටෙකත් අයුක්තිය, පක්ෂග්‍රාහී බව, වෛරී ප්‍රකාශ නැතිනම් ධාර්මික සමාජයට එරෙහිව සිදු කරනු ලබන කිසිදු ප්‍රචණ්ඩකාරීත්වය වර්ධනය කරන ක්‍රියාවක් අගය නොකරයි. වෛරී ප්‍රචාරයන් තුළ අන් අයගේ පෞර්ෂයට හානි කරන නිශේධනාත්මක අදහස් හා සදාචාර විරෝධී මතයන් බහුලව අඩංගුව ඇත.  එනයින්, අන්‍යන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, අනන්‍යතාවයට ගරු කිරීම හා ඔවුන්ගේ පෞර්ෂය අගය කිරීමට නොහැකි වීම යන සාධක නිසාවෙන්ම අපි ජාතියක් ලෙස අදටත් පසු බැස සිටින්නෙමු.  

මෙවන් පසුබිමක යම් අයෙක් වෛරී ප්‍රකාශයන් විවේචනය කිරීමට උත්සහ කිරීම ඔහුගේ  හෝ ඇයගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සීමා පැනවීමක් හෝ තහනම් කිරීමක් යනුවෙන් අදහස් නොවේ. වැරදි අරමුණකින් තමාට විරුද්ධව යමෙක් පීඩා කාරී ක්‍රියාවක් ක්‍රියාත්මක කිරීමට උත්සහ කරයි නම් එයට එරෙහිව නැගී සිටීමට හා ඒ පිළිබඳව තමන්ගේ අදහස් ස්ථිරසාරව ප්‍රකාශ කිරීමට අප සමත්විය යුතු අතර වෛරී ප්‍රකාශ සිදු කිරීම මගින් සෘණාත්මක බලපෑම් එල්ල කරන පුද්ගලයින්ගෙන් හා ඔහුන්ට සහය දෙන අයගෙන් දුරස්ව සිටීමත් ෆැලන් වැනි ප්‍රසිද්ධ චරිත සඳහා පමණක් නොව සෑම දෙනෙක්ටම යහපති.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts