බෙදුණු ජනතාවක් එක්සත් කිරීමඉතා අපහසු කාර්යයක්
කුරිංචි පාර්තන්
ජාතිවාදී හා ආගමික කණ්ඩායම් ගෙනයනක්රියාකාරකම්වලින් රටක් වැනසෙනවා මෙන්ම, එය ජාතිවාදී ගැටුම් ඇතිවීමට ද හේතුවකි. එවන් තත්ත්වයක් හමුවේ බෙදුණු ජනතාවක් එක්සත් කිරීම ඉතා අපහසු කාර්යයක් බව අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පවසයි.
මුස්ලිම් ජනතාව වර්තමානයේ මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳ ඔබගේ අදහස කුමක් ද?
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූ මුස්ලිම් ජාතිකයින් හේතුවෙන් සමස්ත මුස්ලිම් ජනතාවට බොහෝ අපහසුතාවන්ට මුහුණ දෙන්නට සිදු වුණා. සුළුතරයක් වූ ජාතිවාදී කණ්ඩායම් උපායශීලීව මුස්ලිම් ප්‍රජාවට එරෙහි පලිගැනීමේ ක්‍රියාවලියක නිරතවෙමින් සිටිනවා. විශේෂයෙන්ම වයඹ පළාතේ මුස්ලම් පල්ලි 29ක් ඇතුළුව මුස්ලිම් ජාතිකයන්ට අයත් ව්‍යාපාර හා දේපළ විනාශකර දැමුණා. මේවනවිට බහුතර මුස්ලිම් ප්‍රජාවක් හිංසනයට ලක් වීම නිසා ඔවුන්ට සිය ආගමික සිරිත් විරිත් සාමකාමීව පවත්වගෙන යාමට පවා නොහැකි වී තිබෙනවා.
ඡන්ද පදනම වැඩිකරගැනීමට අර්ථවත් දෙයක් කළ යුතුයි
ශ්‍රී ලංකාව වැනි රටවල ඡන්ද පදනම වැඩිකර ගැනීමේ අරමුණින් දේශපාලනඥයන් සිදුකරන ක්‍රියා ජනවාර්ගික හා ආගමික ගැටුම් ඇතිකිරීමට හේතුවන බවට චෝදනාවක් පවතිනවා. ඒ පිළිබඳ කතා කළොත්?
යම් ප්‍රජාවක් නියෝජනය කරන්නා තම ඡන්ද පදනම වැඩිකර ගැනීමට අපේක්ෂා කිරීම වරදක් නොවෙයි. ඡන්ද පදනම වැඩිකර ගැනීමේ අරමුණෙන් ජාතිවාදී හා ආගම්වාදී ආතතීන් නිර්මාණය කිරීම වරදක් බවයි මගේ හැඟීම. ජනවාර්ගික ප්රජාවන්ගෙන් බහුතරයක් ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක නියෝජනය කරනවා. ඡන්ද පදනම වැඩිකරගැනීමට නම් ප්‍රජාව වෙනුවෙන් අර්ථවත් දෙයක් කළ යුතුයි. එහිදී ඔහු ජාතිවාදියෙකු නොවිය යුතුයි. ජාතිවාදී දේශපාලනඥයන් හා ආගමික අන්තවාදීන් ගෙනයන ක්‍රියාකාරකම් වැළැක්වීමට නව නීති පද්ධතියක් හඳුන්වාදීම අත්‍යවශ්‍යයි.
ජනවාර්ගික හෝ ආගමික ප්‍රජා නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ තහනම් කළ යුතු බව ද ඔබ පවසන්නේ?
ඒක බොළඳ තර්කයක්. මේ රටේ ජීවත්වන සෑම ප්රජාවකටම පක්ෂයක් ගොඩනගා ගැනීමේ අයිතිවාසිකමක් තිබෙනවා. යම් අයෙක් එලෙස දේශපාලන පක්ෂ තහනම් කිරීමෙන් ත්‍රස්තවාදය වැලක්විය හැකියි යන මතය දරනවා නම් එය නිවට අදහසක්. ප්‍රහාරකයන් කිසිම අවස්ථාවක සුවිශේෂී සංස්කෘතියක් නියෝජනය කරන්නේ නෑ. ඔවුන් පෙනී සිටින්නේ අන්තවාදය වෙනුවෙන්. මගේ අදහස වෙන්නෙ මෙම ප්‍රහාරය පිළිබඳ වාර්ගිකත්වය මත පදනම් වුණු අදහස් ප්‍රකාශ කිරීමෙන් ජනවාර්ගික හා ආගමික ගැටුම් තවදුරටත් වර්ධනය වියහැකි බවයි.
මට එරෙහිව චෝදනා නගන්නෙ පොලිසිය හෝ හමුදාව නෙවෙයි
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ඇතැම් තොරතුරුවලට ඔබේ නම සම්බන්ධ වී තිබුණා. ඒ ගැන ඔබේ අදහස මොකක් ද?
විශේෂයෙන්ම 2018 ඔක්තෝබර් 26වන දින රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට අපගේ සහයෝගය ලබා ගැනීමේ උත්සාහය ව්‍යර්ථ වූ පසු පාර්ලිමේන්තු මන්ත්‍රීන් මට එරෙහිව චෝදනා නගනවා. අපේ පක්ෂය (සමස්ත ලංකා මුස්ලිම් කොංග්රස් පක්ෂය) කෙටි කාලයක් තුළ ඉතා ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ බැවින් ඔවුන්ට එය දරාගත නොහැකි වී තිබෙනවා. මට එරෙහිව චෝදනා නගන්නෙ පොලිසිය හෝ හමුදාව නම් මට ඒවා පිළිගන්න පුළුවන්. ඒ වෙනුවට මෙම චෝදනා නිර්මාණය කරන්නෙ විපක්ෂයේ සාමාජිකයන් හා රාවණා බලය, බොදු බල සේනා වැනි මූලධර්මවා දී සංවිධානයි. මේවනවිට 3000කට අධික මුස්ලිම් ජාතිකයන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර කිහිපදෙනෙක් පමණක් නිදහස් කර තිබෙනවා. බොහෝ දෙනෙක් තවමත් රඳවා තබාගෙන සිටින අතර ඔවුන්ව තවදුරටත් ප්‍රශ්න කිරීම්වලට ලක් කරනවා. කෙසේවෙතත්, මේවනතෙක් විමර්ශනයක් සඳහා මට කැඳවීමක් කර නෑ.
රජය සහ සිවිල් සමාජ නියොජිතයන් ජාතිවාදී ගැටුම් අවසන් කිරීමට යම් මැදිහත්වීමක් කළත්, එය නිසි සාර්ථකත්වයක් අත් කර ගෙන නැති බවයි පෙනෙන්නෙ. මෙයට හේතු ලෙස ඔබ දකින්නේ මොනවා ද?
බෙදුණු ප්‍රජාවක් එක්සත් කිරීම ඉතා අපහසු කාර්යයක්. විශේෂයෙන්ම ජාතිවාදී හා ආගමික කණ්ඩායම් ගෙනයන ක්‍රියාකාරකම්වලින් රට විනාශවෙනවා මෙන්ම, එය ජාතිවාදී ගැටුම් ඇතිවීමටත් හේතුවක් වෙනවා. මෙවැනි කණ්ඩායම් හඳුනාගෙන මුලිනුපුටා දැමීමට අදාළ පියවර ගතයුතු යි. රජය මේ සම්බන්ධයෙන් විවිධ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. එමඟින්මේ පිරිසගේ සියලු උත්සාහ ව්‍යර්ථ වී තිබෙනවා යැයි අපට කියන්නට බැහැ. මේ ළඟා කරගෙන තිබෙන සාර්ථකත්වය ප්‍රමාණවත් නොවන බවයි මගේ හැඟීම.
රටේ සියලුම ජනතාව ශ්‍රී ලාංකිකයන් යන හැඟීමෙන් ක්‍රියාකළ යුතු බවයි ඔබ පවසන්නෙ. මෙරට මුස්ලිම්වරුන් ශ්‍රී ලංකාවේ පවතින මුස්ලිම් සංස්කෘතියට වඩා ඉස්ලාමීය රටවල පවතින සංස්කෘතිය අනුගමනය කරන බවට චෝදනා එල්ලවෙනවා?
සමස්ත ලෝකය පුරා විවිධ සංස්කෘතීන් දක්නට ලැබෙනවා මෙන්ම තාක්ෂණය හරහා මෙම සංස්කෘතීන් සමඟ අන්තර් ක්‍රියා ද ඉතා පහසුවෙන් සිදු වෙනවා. එමනිසා අරාබි සංස්කෘතිය පමණක් ශ්‍රී ලාංකීය මුස්ලිම් සංස්කෘතියට බලපෑම්කර තිබෙනබව පැවසීම යෝග්‍ය නෑ. අරාබි රටවල්වලට යන මුස්ලිම් ජාතිකයන් ඔවුන් කැමති ඇඳුම් අඳිනවා මෙන්ම බටහිර රටවලට යන පිරිස් බටහිර විලාසිතා සහිත ඇඳුම් භාවිතා කරනවා. ඒ අයුරින් බලද්දී මෙය එතරම් විශාල ලෙස කතාබහට ලක්කළ යුතු දෙයක් නෙවෙ යි.
අරාබි භාෂාව කියන්නෙ එක් ප්‍රධාන භාෂාවක්
නැගෙනහිර පළාතේ අරාබි භාෂාව බොහෝ අවස්ථාවලදී යොදාගෙන ඇති අයුරු දැකගත හැකි යි. ඔබ එය දකින්නේ කෙසේ ද?
ලංකාවේ මුස්ලිම් පල්ලි 3000ක් පමණ තියෙනවා. බොහෝ මුස්ලිම් ගම්මාන තියෙනවා ඒවගේම, සමහර ගම්වල අරාබි නම් සහිත පුවරු තිබුණත් හැමතැනකම අපිට ඒවා දකින්න ලැබෙන්නෙ නෑ. එක්සත් ජාතීන්ගේ ප්‍රධාන රාජ්‍ය භාෂා පහ අතුරින් අරාබි භාෂාව කියන්නෙ එක් ප්‍රධාන භාෂාවක්. අරාබි රටවල්වලින් පරිත්‍යාග සිදුකළ අවස්ථාවල දී ඇතැම් අය එය අරාබි භාෂාවෙන් ප්‍රදර්ශනය කරන්න කැමැත්තක් දක්වනවා වගේම පල්ලියේ ඇතැම් නිවේදනත් අරාබි භාෂාවෙන් පළ කරනවා. එපමණයි. ශ්‍රීලංකාව තුළ බහුල වශයෙන් අරාබි භාෂාව භාවිත වීම සිදුවන්නේ නැහැ. මේ තත්ත්වය බරපතල ප්‍රශ්නයක් ලෙස සළකා ක්‍රියාකිරීම අසාධාරණ යි.
මුස්ලිම් ප්‍රජාවට එරෙහිව පවතින වෛරී සහගත පසුබිම මුලිනුපුටා දැමීම සඳහා පවතින යෝජනා මොනවා ද? මුස්ලිම් ජනතා නියෝජිතයෙකු ලෙස ඔබ මේ සඳහා ගන්නා ක්‍රියාමාර්ග කවරේ ද?
ඇතැම් පාර්ශව මුස්ලිම් ප්‍රජාවට එරෙහිව වෛරී සහගත ස්වරූප නිර්මාණය කිරිමට උත්සාහ කරමින් සිටිනවා. කෙසේවුවත්, තනි පුද්ගලයෙකු ලෙස එය සම්පූර්ණයෙන්ම නැවැත්වීමට මට හැකියාවක් නෑ. ත්රස්තවාදයට ඉස්ලාම් ධර්මය සමඟ කිරීමට කිසිවක් නෑ. මෙම පණිවිඩය සියලු දෙනාටම පැහැදිලිව ලබාදිය යුතු යි. දීර්ඝ කාලීන සැලසුමක් මේ සඳහා අවශ්‍ය වෙනවා. අතීතයේ සිටම මූලධර්මවාදී පාර්ශව මුස්ලිම් ජාතිකයන් මෙන්ම ඉස්ලාම් ආගම වැරදි ලෙස අර්ථකතනය කෙරුණා. මෙම ක්‍රියාවලිය වෙනස්කිරීමට අප පොදුවේ වැඩකළ යුතු යි.
මුස්ලිම් අමාත්‍යවරුන් සිය ඇමති ධුරවලින් ඉල්ලා අස්වීම රටේ අන් ජන කොටස් වෙතින් මුස්ලිම් ජාතිකයන් දුරස් කිරීමක් බවට චෝදනා එල්ලවෙනවා. ඒ පිළිබඳ ඔබගේ ප්‍රතිචාරය කෙබඳු ද?
මේ රටේ ජීවත්වන මුස්ලිම් ජාතිකයන් සහමුලින්ම ඉවත්කිරීමේ කුමන්ත්රණයක ඇතැම් ආගමික පාර්ශව නිරත වී සිටින බවට හැඟීමක් අප තුළ පවතිනවා. මුස්ලිම් ජාතීන් ආරක්ෂා කිරීමට වගේම අපගේ ජාතික කීර්තියට වියහැකි හානිය වළක්වා ගැනීමට අපි ඇමති ධූරවලින් ඉල්ලා අස්වුණා. අප ඉල්ලා අස්වුණේ ජාතිවාදීන් හෝ ආගම්වාදීන් නිසා නෙවෙයි. ජාතිවාදීන්ගේ ක්‍රියා හා අදහස් පළ කිරීම් අහිංසක සිංහල ජනතාවටත් බලපෑම් ඇතිකරලා තියෙනවා. මෙය වැළැක්වීම තමයි අපේ චේතනාව වුණේ. අපේ‍්‍රල් 21වෙනි දා ප්‍රහාරයේ විපාක ලෙස මුස්ලිම් ජනයාගේ දේපළ විනාශ කළා වගේම ඔවුන්ට ජීවිත තර්ජනවලටත් මුහුණ දෙන්න සිදුවුණා. අපි ඉල්ලා අස්වුණේ මෙම විපත වළක්වන්න. අපි ඉල්ලා අස්වුණේ රට වෙනුවෙන් වගේම අපගේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්.
This article was originally published on the catamaran.com