
ප්රතිදේහජනක පරීක්ෂණ කට්ටල (Rapid Antigen Test) පිළිබඳ සමාජ මාධ්‍ය පරීක්ෂණය
අයි. කේ ප්‍රභා
කොවිඩ්-19 ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා දැනට ක්‍රියාත්මක PCR පරීක්ෂණවලට අමතරව වෛරසය ආසාදනය වී ඇත්දැයි කරන පරීක්ෂාවකදී ක්ෂණිකව හඳුනාගැනීමට හැකි ප‍්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල (Rapid Antigen Test Kit) ලෙස හැදින්වේ. එවන් පරීක්ෂණ කට්ටල ලක්ෂ පහක් ලෝක සෞඛ්‍ය සංවිධානය ශ‍්‍රී ලංකාවට ලබා දීමට එකඟව තිබියදී මෙරට පෞද්ගලික සමාගමක් විසින් පරීක්ෂණ කට්ටල ආනයනය කිරීමේ පුවත පිළිබඳව සමාජයේ මෙන්ම සමාජ මාධ්‍යයේ කතාබහට ලක්ව තිබේ.
කොවිඩ් රෝගීන් කඩිනමින් හඳුනාගැනීම සඳහා ‘ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවන්’ දෙකකට අනුමැතිය දීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පසුගියදා මෙසේ නිවේදනය කළේය.
”පසුගිය සතියේ ප්‍රමිතියෙන් ඉහළ ක්ෂණික ප‍්‍රතිදේහජනක පරික්ෂාවකට අනුමැතිය දීම හරහා අපි ඉතා වැදගත් සංධිස්ථානයකට පැමිණියා. තවත් වේගවත් පරීක්ෂණ ඉදිරියේදී පැමිණේවි. අද මට ඔබට පැවසීමට හොඳ පුවතක් තිබෙනවා. මිනිත්තු 15ත් 20ත් අතර කාලයකින් මෙම පරීක්ෂණය විශ්වසනීය ප්‍රතිඵල ලබා දෙනවා පැය ගණනකින්. දින ගණන් ගත නොකර ඉතා අඩු පිරිවැයකින් සංකීර්ණ නොමැති උපකරණ හරහා”
මෙම ක්‍රමය නිෂ්පාදනය කරන සමාගම් දෙකකට (SD BioSensor සහ Abbott and Bio) ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මීට මාස දෙකකට ප්‍රථම අනුමැතිය ලබා දී තිබිණ.
පී.සී.ආර්. පර්යේෂණයට අමතරව ක්ෂණික ප‍්‍රතිදේහජනක පරීක්ෂණය මෙරට ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලය (2020.11.02) තීන්දු ගෙන ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් උක්ත පරීක්ෂණය මෙරට තුළ සිදු කිරීම සඳහා අනුමැතිය ලබා දීමටත් පෙර දින දෙකක් වැනි කෙටි කාලයකදී පරීක්ෂණ කට්ටල ලක්ෂ 2ක් පෞද්ගලික සමාගමක් විසින් මෙරටට ආනයනය කිරීම විනිවිදභාවය පිළිබඳ සැකයට තුඩුදුන් සිදුවීමක් විය. අදාල පෞද්ගලික සමාගමෙන් ගෙන්වන ලද පරීක්ෂණ කට්ටල පිළිබඳව විද්වතුන් හා රජයේ පාර්ශව සම්බන්ධ කර ගනිමින් සත්‍යාසත්‍ය හා නොමගයවනසුළු පුවත් නිර්මාණය වන්නට විය.
- ‘ටෙස්ට් කිට් එකේ ඇත්ත කතාව… කෙලින්ම උත්තරයක් දුන්නොත් මේක හදිස්සි ගෙන්වීමක්’
- ‘රැපිඩ් ටෙස්ට් කිට් ගෙන්වන්න රජය කිසිඳු මුදලක් වැය කළේ නැහැ – සියල්ල පෞද්ගලික අංශයෙන්’
- ‘ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් Test Kits කට්ටල 100,000 සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කර ඇත’
- ‘දකුණු කොරියාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් කට්ටල 30,000 ක් කටුනායක ගුවන් තොටුපළින් (2020.11.10) මෙරටට රැගෙනවිත් තිබේ’
- ‘ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව ලංකාවට ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ ගෙන ඒමට නොහැක’
- ‘ප්‍රමිතියට පිටින් ඖෂධ සහ උපකරණ ගෙන එන්නේ නම් ඒ සම්බන්ධව කටයුතු කරන්න අවසර තියෙන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියට’
- ‘මේ පරීක්ෂණ කට්ටල පුද්ගලික රෝහල්වල භාවිතයට පමණි’
- ‘ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙය අනුමත කළාට පසුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඔක්තෝබර් මස විසි දෙවැනි දා ලංකාවට ගෙන්වීමට අවසර ලබා දුන්නා’
- ‘එය අනුමත කළ සැණින් පෞද්ගලික රෝහල්වල භාවිතය සඳහා එම කට්ටල ලංකාවට ගෙන එනු ලැබූවා. එය සම්පූර්ණයෙන් ම පෞද්ගලික අංශයේ සමාගමක් සහ පෞද්ගලික රෝහල් අතර සිදුවන දෙයක් මිස රජයට කිසිඳු සම්බන්ධයක් නෑ’
- ‘කට්ටල රැගෙන ඒම සඳහා රජය විසින් ද මේ වන විට ටෙන්ඩරයක් කැඳවා ඇති අතර එම ටෙන්ඩරය තවමත් සම්පූර්ණ වී නෑ. එම ටෙන්ඩරය හිමි වන්නේ කාටද යන්න පවා තීරණය කර නැහැ’
- ‘පසුගියදා ලංකාවට ගෙන ආ රැපිඩ් ඇන්ටිජන් කට්ටල තොගය රජය විසින් රජයේ රෝහල්වල භාවිතය සහ ටෙන්ඩර් කැඳවීම අතර සිදු සම්බන්ධයක් නැහැ’
ඒ අතුරින් 2020.11.08 වන දින ඉරිදා දිවයින පුවත් පතේ ‘කොරෝනා අස්සේ ටෙස්ට් කිට් ගේමක්… සෞඛ්‍ය ලොක්කත් නොදන්නා ඕඩරය ආවේ ඉහළින්ලු!’ යන ශීර්ෂ පාඨය යටතේ පලවූ පුවත කාගෙත් කතා බහට ලක්වූ ආන්දෝලනාත්මක පුවතක් විය.
ක්ෂණික ප්රතිදේහජනක පරීක්ෂණ පිළිබඳව අදහස් දක්වමින් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය (GMOA) රජයෙන් ඉල්ලා සිටින්නේ,
‘මෙම පර්යේෂණ කට්ටලවල ප්‍රමිති පරීක්ෂාව ඉක්මන් කරන්න, මේක රටට ගැලපෙනවද කියලා විශේෂඥයින් විදිහට රටට කියන්න, ඊට පස්සේ තමයි මේක ගෙන්නනවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ වන විට ආරංචි වෙනවා යම් තොගයක් ගෙන්වලා තියෙනවා කියලා. මං හිතන්නේ ඒ පිළිබඳව විශේෂ සොයා බැලීමක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරන්න ඕන. ඖෂධ නියාමන අධිකාරිය නිර්දේශ කරාද? තත්ත්ව පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය ඉවර වෙන්න කලින් මේක රටටට ගෙන්නුවද? අපිට ආරංචි වෙන විදිහට ලැබුණා කියලා තියෙනවා. තොගයක් ගෙන්නුවා කියලත් කියනවා. මේක හරියටම තහවුරු වෙලා නැහැ. සමාජ මාධ්‍ය ජාලවල තමයි මේකේ ගොඩාක් තොරතුරු හෙළිදරවි වෙලා තියෙන්නේ. ඒවා ප්‍රතික්ෂේප වෙලත් නැහැ. ඒ තියෙන තත්ත්වය යටතේ අපි විශේෂයෙන්ම මේ වෙච්ච ක්‍රියාවලියන්, ඇන්ටිජන් ටෙස්ට් එක හදිස්සියේ මේ විදිහට විශාල කථා බහක් ඇති කරන්න සමහර බලධාරීන් කටයුතු කලේ ඇයි? ඒ වගේම ඇන්ටිජන් ටෙස්ට් එකේ තත්ත්ව පරීක්ෂාව ඉවර වෙන්න කලින් ලංකාවට ගෙන්නලා තියෙනව නම් ඒ ඇයි? ඒ සඳහා කොච්චර මුදලක් වියදම් උණාද? ඇතුළු මේ සමස්ථ ක්‍රියාවලිය පිලිබඳ පාරදෘශ්‍ය තොරතුරු පිළිබඳව රටට හෙළි කිරීම වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදිහට හිතනවා. මොකද මේ සමස්ථ ක්‍රියාවලිය හා ක්‍රියාන්විතය මිනිසුන්ගේ විශ්වාසයත් එක්ක ඉස්සරහට යන්න නම් මේ ක්‍රියාවලිය පාරදෘශ්‍යව සිද්ධ වෙන්න ඕනෑ’ යනුවෙනි.
(https://m.facebook.com/story.php?story_fbid=3684330198295564&id=1458651987736944)
පරීක්ෂා කිරීමේ කාර්යය ලබන සතියේ සිට ක්‍රියාත්මක කරනු ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කර තිබිය දී ඊට එරෙහිව මාධ්‍ය ඔස්සේ මතුව ඇති විරෝධය එම පරීක්ෂණ කට්ටල මෙරටට ආනයනය කර ඇති පෞද්ගලික සමාගමේ සභාපතිගේම ප්‍රචාරක මෙහෙයුමක් විය හැකි බවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සැක මතුකර තිබේ. සන්නිවේදන හා ප්‍රචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු ලෙස සැලකෙන ඔහු සමාජ මාධ්‍ය ජාලය හරහා ක්ෂණික ප්රතිදේහජනක පරීක්ෂණ කට්ටල පිළිබඳව ප්‍රකාශ හා පෝස්ට් මුදල් ගෙවා යළි සමාජ මාධ්‍ය ඔස්සේ ම ප්‍රචාරය කිරීමට කටයුතු කල බවටත් විවේචනයන් එල්ල විය. කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය හිමි වීමෙන් පසු අදාළ පරික්ෂණ කට්ටල මෙරට රජයේ සහ පෞද්ගලික රෝහල්වල භාවිත කිරීමට හැකියාව පවතින බව වෛද්‍ය සමන් රත්නායක මහතා විසින් පවසන ලද්දේ 2020.11.11 දින දී ය.
ක්ෂණික ප්රතිදේහජනක පරීක්ෂණ කට්ටල සම්බන්ධ විරෝධය හේතුවෙන් මේ වන විට එම වෛද්‍ය උපකරණ අලෙවිය සඳහා අදාල සමාගමට පූර්ව ප්‍රචාරයක් නොමිලේම ලැබී ඇතැයි ද ඇතැම් සමාජ මාධ්‍ය පොස්ටුවල සඳහන් වේ. මෙසේ ක්ෂණික ප්රතිදේහජනක පරීක්ෂණ කට්ටල ගෙන්වීම සම්බන්ධයෙන් බරපතල දූෂණයක් සිදුව ඇති බවට චෝදනා නගන්නන් අතර ආණ්ඩුවේ ම ව්‍යාපාරික හා දේශපාලන පාර්ශවයන් පෙරමුණ ගෙන සිටීම සුවිශේෂී කාරණයකි.
රජය වෙනුවෙන් පුද්ගලික සමාගමක් මේ ආකාරයෙන් සෞඛ්‍ය උපාංග ආනයනය කරන්නේ නම් වසර දෙකක ලියාපදිංචිය හා සෞඛ්‍ය අංශවල සහතික ලබාගත යුතු නමුත් අදාල පෞද්ගලික සමාගම එවැනි ක්‍රියා පටිපාටියකට අදාළ නැති බවටත් මෙම උපාංග ලංකාවට ගැලපේ දැයි සාම්පල පරීක්ෂණයක් සිදුකරන්නටත් පෙරාතුව ගෙන්වා තිබීම පිළිබඳව බොහෝ දෙනා ප්‍රශ්ණ නැගූහ. එම සමාගම සඳහන් කරන පරිදි එය සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයේ සමාගමක් සහ පෞද්ගලික රෝහල් අතර සිදු වූ ගනුදෙනුවක් මිස රජයට කිසිදු සම්බන්ධයක් නැති බවයි. ලියාපදිංචිය ද අදාළ කාලයේදී නිසි අයුරින් සිදුව ඇති බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ආචාර්ය චන්න ජයසුමන මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
මේ ආකාරයෙන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් හා මතයන් සමාජය පුරා ව්‍යාප්ත වන විට පාලනය තන්ත්‍රයේ පවත්නා විනිවිදභාවය පිළිබඳව ජනතාවට ගැටලු මතු වන්නේ නිතැතිනි. එහිදී ඇත්ත කියන්නේ කවුරැන්ද යන්න පිළිබදව මහජනතාවට ගැටලුවක් මතුවෙයි. පාරදෘශ්‍ය ලෝකයක අපේ මූලික අයිතිවාසිකම් වන සෞඛ්‍ය, ආර්ථික, දේශපාලන හා තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කරගැනීමට නම්, සෙසු සෑම කෙනෙකුගේ මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳවත් අප සමිමා සතියෙන් සිටිය යුතුය.
සංවර්ධනය වන රටක් වශයෙන් රජය විසින් ගනු ලබන විවිධ තීන්දු තීරණයන්, ටෙන්ඩර් කැඳවීම්, රටේ ධනය පිටරට ගෙනයාම, පිටරටින් යමක් ආධාර ලෙස මෙරටට ලැබීම, වැනි කාරණා ඇතුළු ආර්ථික ඉලක්කයන්ට ළගාවීමේදී රටක් වශයෙන් තබා ගතයුතු ආර්ථික පාරදෘෂ්‍යභාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කටයුතු කිරීම බලධාරීන්ගේ, පුරවැසියන්ගේ මෙන්ම ජනමාධ්‍ය ප්‍රජාවගේ ද වගකීමකි.