අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ප්‍රාදේශීය හඬ නළුවේ අභාවය: ප්‍රජා ගුවන් විදුලි සේවාවන් මුහුණ දෙන අභියෝග

සචිනි ඩී. පෙරේරා

මහජනයා ඉලක්ක කරගත් ගුවන් විදුලි සේවා (PSB) හා වෙළෙඳපොළ ඉලක්ක කරගත් ගුවන් විදුලි සේවාවන් හැරුණුකොට බහුලව භාවිත කරන ගුවන් විදුලි සේවාවන් අතරින් ප්‍රජා ගුවන් විදුලි සේවයට තෙවන ස්ථානය හිමි වේ. නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක ජීවත්වන ප්‍රජාවක් විසින් එම ප්‍රදේශයට පමණක් ආවේණික ගුවන් විදුලි සේවාවක් ආරම්භ කර, එය අඛණ්ඩව පවත්වාගෙන යෑමට උනන්දුවක් දක්වන ප්‍රජාව ඉලක්ක කරගෙන පමණක් මෙම ගුවන් විදුලි සේවාවන් මූලික වශයෙන් ක්‍රියාත්මක වේ. මෙම ගුවන් විදුලි සේවා ආකෘතියේ අන්තර්ගතය මුළුමනින්ම ශ්‍රාවකයින්ගේ අවශ්‍යතා අනුව සකසා ඇත. එහිදී ප්‍රජා ගුවන් විදුලිය ක්‍රියාත්මක කරන්නන් හා පවත්වාගෙන යන්නන් ප්‍රජාව වීම මෙහි දැකිය හැකි තවත් එක් සුවිශේෂීත්වයකි. ප්‍රජාව විසින් ප්‍රජාව උදෙසා ඉටු කරන සේවය වෙනුවෙන් ඔවුන් කිසිදු මුදලක් බලාපොරොත්තු නොවන අතර ඔවුන්ගේ එකම අපේක්ෂාව වන්නේ ඔවුන්ගේ කථා, අත්දැකීම් හා ගැටලු තමන් විසින්ම පවත්වාගෙන යන ප්‍රජා ගුවන් විදුලි සේවාව ඔස්සේ විකාශනය කිරීමෙන් එය අන් අයට දැන ගැනීමට සැලැස්වීමෙන් උක්ත ගැටලු සඳහා සාමූහික විසදුම් ජනනය කිරීමයි.

දකුණු ආසියාවේ ආරම්භ කරන ලද පළමු ගුවන් විදුලි සේවය 80 දශකයේ මුල් භාගයේදී මහවැලි ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මෙරටදී ආරම්භ කර ඇත. ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ කරන ලද මහවැලි ප්‍රජා ගුවන් විදුලි මධ්‍යස්ථානය වර්ෂ 1983 දී යුනෙස්කෝ සංවිධානයේ පූර්ණ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (SLBC) මහවැලි අධිකාරිය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ඩැනිෂ් ජාත්‍යන්තර වැඩසටහන සමග එක්ව දියත් කර ඇත. මහවැලි ප්‍රජා ගුවන් විදුලි සේවය යටතේ ගිරාඳුරු කෝට්ටේ (1985), මහඉලුප්පල්ලම (1987) හා කොත්මලේ වැනි තවත් ප්‍රාදේශීය ගුවන් විදුලි මධ්‍යස්ථාන කිහිපයක්ද ආරම්භ කරන ලදී. ඊට අමතරව ‘ඌව’ ප්‍රජා ගුවන් විදුලි සේවය හා ‘සරු’ ගුවන් විදුලි සේවයත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යටතේ ක්‍රියාත්මක වන ප්‍රජා ගුවන් විදුලි සේවාවන් දෙකකි. 

ප්‍රජා ගුවන් විදුලි සේවාවක් පවත්වාගෙන යෑමෙන් මූලික වශයෙන් අපේක්ෂා කරන්නේ සුළුතර ප්‍රජා කණ්ඩායම් ශක්තිමත් කිරීම, සමාජ සුභ සාධනය හා සාමූහික සමාජ අරමුණු සාක්ෂාත් කර ගැනීම මගින් අන්තර් සමාජ ක්‍රියාකාරීත්වයක් ගොඩනැංවීමයි. විවිධ රටවල ක්‍රියාත්මක ප්‍රජා ගුවන් විදුලි සේවාවන් එරට පොදු සමාජමය අවශ්‍යතාවයන් හා උවමනාවන් අනුව වෙනස් වේ. කෙසේ වෙතත් ප්‍රජා ගුවන් විදුලි සේවාවක් නඩත්තු කිරීම පහසු කටයුත්තක් නොවේ. ප්‍රජා ගුවන් විදුලි සේවාවන් පවත්වාගෙන යෑමේදී පොදුවේ මුහුණ දීමට සිදුවන අභියෝගයන් හා ගැටලු කිහිපයකට උදාහරණ පහත පරිදි වේ.

(1) දේශපාලනික වශයෙන් සිදුවන බලපෑම් 

(2) පාර්ශවකරුවන් අතර ඇති ගැටලු  

(3) ආර්ථික ගැටලු 

ඊට අමතරව ප්‍රජා ගුවන් විදුලි මධ්‍යස්ථානයක සංස්කාරක මණ්ඩලයේ ස්වාධීනත්වයට සිදුවන බලපෑම, හිමිකාරීත්වය හා ස්ථායීත්වය පිළිබඳ ගැටලු හේතුවෙන් ද ප්‍රජා ගුවන් විදුලියේ පැවැත්ම අභියෝගයට ලක් වේ. මාධ්‍යකරණයේදී මාධ්‍ය නිදහස අත්‍යාවශ්‍ය දෙයකි. දේශපාලනික බලපෑම මත එය යම්තාක් දුරකට සීමා වී ඇත. ප්‍රජා ගුවන් විදුලි සේවා මධ්‍යස්ථානයන් කුඩා ප්‍රමාණයේ මාධ්‍ය ආයතන වන නිසා ඊට විරුද්ධව පැන නගින බලපෑම්වලට එරෙහිව සටන් කිරීමට ඒ්වායේ ඇති සීමිත අවකාශය හා හැකියාව හේතුවෙන්ද ප්‍රජා ගුවන් විදුලි සේවාවන් හා ප්‍රජා ගුවන් විදුලි සේවා හිමිකරුවන් බාහිර පාර්ශවයන්ගේ බලපෑම් හමුවේ සෘජුවම තර්ජනයන්ට ලක් වේ. 

එමෙන්ම වාණිජ පරමාර්ථයන් සාක්ෂාත් කරගැනීම උදෙසා වෙළඳ සමාගම් විසින් ගුවන් විදුලි සංඛ්‍යාතයන් මිලදී ගැනීම හේතුවෙන් ප්‍රජා ගුවන් විදුලි සේවාවන්වල පැවැත්ම තවදුරටත් තර්ජනයන්ට ලක්ව ඇත. තවද මෙහිදී බලපාන අනෙක් ගැටලුව වන්නේ ප්‍රජා ගුවන් විදුලි වැඩසටහන්වල අවම මූල්‍ය යෙදවුම නිසා අනුග්‍රාහක බවතුන්ගෙන් ඒ් සඳහා වන ඉල්ලුමත් අවම වීමයි. ප්‍රජා ගුවන් විදුලි සේවා වැඩසටහන්වල සැකැස්ම හා සන්දර්භය අනුග්‍රාහක භවතුන් මත රඳා පැවතීම හේතුවෙන් එය මාධ්‍ය නිදහසටත් බලපෑම් කරයි. ඊට අමතරව හොඳින් සංවිධානය වූ හා හොඳින් තොරතුරු විසුරු වන ප්‍රජා ගුවන් විදුලි වැඩසටහන් සඳහා ආයෝජකයින් සොයා ගැනීමත් වර්තමානය වන විට දුෂ්කර කාර්යයක් බවට පත්ව ඇත. ගුවන් විදුලි වැඩසටහන් සඳහා මුදල් යොදවන ආයෝජකයින් විසින් තමන්ට ප්‍රයෝජනවත් මාධ්‍ය වැඩසටහන් සඳහා ආයෝජනය කිරීමට සුදුසු අවස්ථාවන් අධ්‍යයනය කිරීම, ප්‍රජාව ඉලක්ක කරගෙන නිෂ්පාදනය කරනු ලබන කාලීන මාධ්‍ය වැඩසටහන් කෙතෙක් දුරට අපක්ෂපාතීව, සාධාරණව හා සංවේදීව සැකසිය යුතුද යන්න මාධ්‍ය හිමිකරුවන් කල් තියා නිර්ණය නොකිරීම වැනි බොහෝ ගැටලු හේතුවෙන් සමහරක් ප්‍රදේශයන්වලට අයත් ප්‍රජාවන්ගේ හඬ රජයට හා රටට නිරාවරණය නොවී වියැකී යන තත්ත්වයක් උදාවී ඇත. 

ලාංකික සමජයේ විකාශය වන ප්‍රජා ගුවන් විදුලි සේවාවන්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යටතේ ඇති රජයේ අධිකාරීමය බලය කරණකොටගෙන ක්‍රියාත්මක වන නිසාවෙන් වර්තමානය වන  ප්‍රජා ගුවන් විදුලි සංකල්පය බිඳවැටී ඇත. ප්‍රජා ගුවන් විදුලි සේවාවක් පවත්වාගෙන යෑමේදී එහි වාර්තාකරුවන් ලෙස අදාළ ප්‍රදේශයට අයත් ගම්වැසියන් හෝ ප්‍රජාව සම්බන්ධ කර ගැනීම මගින් අදාළ කටයුතු අඛණ්ඩව, අපක්ෂපාතීව හා කාර්යක්ෂමව සිදු කල හැකි වනවා මෙන්ම එමගින් බාහිර දේශපාලනික බලපෑම්ද අවම කල හැකිය. තවද මෙම ක්‍රියාවලිය තවදුරටත් පුළුල්ව සාර්ථකව සිදු කිරීම සඳහා අදාල ප්‍රදේශයේ උගත් හා උනන්දු තරුණ තරුණියන්ද සම්බන්ධ කරගත හැක. මෙමගින් ඔවුන්ට රැකියා අවස්ථාවක් හෝ වෘත්තීමය අත්දැකීමක් ලබා දීමට අපේක්ෂා කරන්නේ නම් ඔවුන් ඒ් සඳහා හොදින් පුහුණු කල යුතුය. එමෙන්ම උක්ත පිරිසට ගුවන් විදුලි මධ්‍යස්ථානයක භාවිත කරන සියලු තාක්ෂණික උපකරණ පිළිබඳව නිවැරැදි දැනුමක් හා පුළුල් අවබෝධයක් ලබාදීම මගින් තාක්ෂණික අවබෝධය සහිතව ප්‍රජා ගුවන් විදුලි සේවය තවදුරටත් සාර්ථකව සිදු කරගෙන යෑමේ හැකියාව ලැබේ.

නමුත් මෙය ඉතා හොඳින් සැලසුම් සහගතව ක්‍රියාත්මක කල යුතු ක්‍රියාවලියකි. මන්දයත් ප්‍රජා ගුවන් විදුලි සේවාවන් මහජනයාට සමීප වීමේ අවකාශය වැඩි නිසා පොදු මහජනයා අතර බල අරගලයක් උත්සන්න විය හැක. තවද ප්‍රජා කණ්ඩායම් තුළ 100% ප්‍රජා ගුවන් විදුලි සේවාවන් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමෙන්ද විවිධ ගැටලු මතුවිය හැක. මෙම ගැටලුවට විසඳුමක් ලෙස උපදේශන කමිටුවක් පත් කිරීම හෝ අදාල ප්‍රජා ගුවන් විදුලි මධ්‍යස්ථානයෙහි සේවයෙහි නිරත ස්වේච්ඡා සේවකයින් කලින් කලට ස්ථාන මාරුවීම් සිදුකළ හැක. එමපණක් නොව උසස් නිළතල දරණ නිලධාරීන්ට වඩා තරුණ පිරිස් ජ්‍රජාවට සමීපව කටයුතු කරන නිසාවෙන් ප්‍රජා ගුවන් විදුලි සේවය පිළිබඳව පුහුණුව ලද විශ්වවිද්‍යාලය සිසුන් අදාළ ප්‍රදේශයේ මහජන සම්බන්ධතා නිලධාරීන් ලෙස යොදාගැනීම හා ඔවුන්ට ප්‍රජාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අවස්ථාව සැලසීම මගින් විවිධ අර්බුදයන් වලක්වාගත හැක. 

කෙන්යාව, දකුණු අප්‍රිකාව, ඉක්වදෝරය, ජැමෙයිකාව, ඉන්දුනීසියාව හා ඇමරිකා එක්සත් ජනපදය වැනි බොහෝ රටවල් තම රටේ හා කලාපයේ ගෝලීය සංවර්ධන ව්‍යාපෘතීන් සාර්ථක කර ගැනීම සඳහා ප්‍රජා ගුවන් විදුලි සේවාවන් පිටුපස ඇති ප්‍රබල සන්නිවේදනාර්ථයන් බහුලව භාවිත කරයි. ශ්‍රි ලාංකික සමාජයේ සංවර්ධන ඉලක්කයන් පහසුවෙන් ජය ගැනීම සඳහා ප්‍රජා ගුවන් විදුලි සේවාවන් භාවිත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව විශේෂඥයින් විසින් දැනටමත් විවිධ ව්‍යාපෘති යෝජනාවන් ඉදිරිපත් කර ඇති නමුත් මෙරට මෙතෙක් ක්‍රියාත්මක කල අති දැවැන්ත සංවර්ධන ව්‍යාප්තිය වන “මහවැලි ප්‍රජා ගුවන් විදුලි” (Mahaweli Community Radio) ව්‍යාප්තියෙන් පසු මෙතෙක් එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. ප්‍රජා ගුවන් විදුලි මධ්‍යස්ථාන හිමිකරුවන් විසින් තම මාධ්‍ය ආයතනයට අදාළ නීතිමය ලියකියවිලි හා වාර්තාවන් නිසි ලෙස පවත්වාගෙන යෑමට අපොහොසත් වීම හේතුවෙන් බාහිර ආයතනවලින් ප්‍රජා ගුවන් විදුලි මධ්‍යස්ථාන නිදහස්ව නඩත්තු කරගෙන යෑමට එරෙහිව විවිධ බාධා එල්ල වේ. එය ප්‍රජා ගුවන් විදුලි සේවාවන් මුහුණ දෙන තවත් එක් අභියෝගයකි. මේ සඳහා විසදුම් ලෙස,

(1) මාධ්‍ය ආයතනයට ගැලපෙන නීතිරීති හා රෙගුලාසීන් අඩංගු ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම.

(2) අභ්‍යන්තර/ ආයතනික පොදු නීති මාලාවක්

(3) ගැටලු සහගත අවස්ථාවලදී ලිඛිතව විසදුම් ජනනය කල හැකි ක්‍රියාවලියක් හඳුන්වා දීම.

(4) ගිවිසුම්

(5) සෑම සේවකයෙක් සඳහාම පෞද්ගලික කාර්‍ය සාධන වාර්තාවක් පවත්වාගෙන යෑම වැනි තවත් බොහෝ ක්‍රියාමාර්ගයන් අනුගමනය කල හැක.

මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීම හෝ මාධ්‍යවේදීන්ට එරෙහිව සිදු කරනු ලබන හදිසි නීතිමය ගැටලුවලදී මාධ්‍යවේදීන්ගේ නිවැරැදිභාවය ඔප්පු කිරීමට අදාල සාක්ෂියක් ලෙසත් මෙය ඉදිරිපත් කල හැකිය. වර්තමානය වනවිට මහජන හා වෙළඳ ගුවන් විදුලි සේවාවන්වලට ඇති අධික ඉල්ලුම හේතුවෙන් ප්‍රජා ගුවන් විදුලි සේවාවන් කෙරෙහි ශ්‍රාවකයින්ට ඇති ආකර්ෂණය ක්‍රමක්‍රමයෙන් හීන වෙමින් පවතී. මේ සඳහා විසදුමක් ලෙස බොහෝ දෙනෙක් ශ්‍රවණය කරන රාජ්‍ය හා පෞද්ගලික ගුවන් විදුලි නාලිකා මගින් ප්‍රජා ගුවන් විදුලි සේවාවන් තුළින් සිදුවන සංවර්ධන ක්‍රියාවලීන් පිළිබඳව පුළුල් ප්‍රචාරයක් ලබා දීමෙන් ප්‍රජා ගුවන් විදුලි සේවාව ප්‍රවර්ධනය කල හැකිය. වර්තමානය වනවිට විද්‍යුත් මාධ්‍ය, වාණිජ නාලිකා, ජංගම දුරකථන හා සමාජ මාධ්‍ය නව ප්‍රවණතාවයන් හේතුවෙන් ප්‍රජා ගුවන් විදුලි සේවාවන් මගින් සිදුවන අති විශිෂ්ඨ සේවය පිළිබඳව සමාජමය අවධානය යොමුවීම අවම මට්ටමක පවතී. එමගින් ඉඟි කෙරෙන්නේ ප්‍රජා ගුවන් විදුලි සේවාව තවදුරටත් සමාජ භාවිතයෙන් ගිලිහී යන බවයි. ශ්‍රී ලාංකික සමාජයේ ස්ථිරසාර ගුවන් විදුලි සංස්කෘතියක් ස්ථාපිත කිරීමට නම් සෑම ප්‍රජා ගුවන් විදුලි මධ්‍යස්ථානයක්ම ප්‍රතිසංස්කරණය කල යුතුය. තවද ප්‍රජා ගුවන් විදුලි සංකල්පය තුළින් එක්රැස් කරගන්නා තොරතුරු මෙරට ප්‍රජා මූලික තිරසාර සංවර්ධන අරමුණු පහසුවෙන් ලඟා කරගැනීම සඳහා ද භාවිත කල හැකිය. යහපත් මාධ්‍ය භාවිතයක් උදෙසා ප්‍රජා ගුවන් විදුලිය ඔස්සේ විකාශනය කරනු ලබන වැඩසටහන්වල න්‍යාය පත්‍රයන් අදාල ප්‍රදේශයේ ඉලක්ක ප්‍රජාවගේ සංවර්ධන අරමුණු හැකි ඉක්මනින් ප්‍රායෝගිකව ඉටු කිරීම සඳහා භාවිත කිරීමත් කාලීන අවශ්‍යතාවයකි.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts