ප්රජාතන්ත්රවාදය සහ දේශපාලනය කෙරෙහි සමාජ මාධ්‍ය භාවිතයේ ඇති බලපෑම
සචිනි ඩී. පෙරේරා
උපතින්ම දේශපාලන ජීවියකු වන මිනිසා නිරන්තරයෙන්ම, තමා දරන දේශපාලන මතවාදයන්ට හා න්‍යාය පත්රයන්ට වඩා වෙනස් දේශපාලන මතයන් දරන පුද්ගලයින්ට විරුද්ධව කටයුතු කිරීමට පෙළඹෙයි. එය මානව සමාජයේ සුවිශේෂී දේශපාලන පරිවර්තනයන් ඇති කිරීමට සමත් මූලික පෙළඹුම්කාරකයකි. මෙහිදී අපට ප්‍රධාන අභියෝගයන් දෙකක් හඳුනා ගත හැකිය. නව මාධ්‍ය මගින් විසුරුවා හරිනු ලබන පුවත් ගෝලීය වශයෙන් සහ ඉතා සීඝ්රයෙන් පුළුල් ලෙස ප්‍රචාරණය වීම ඉන් එකකි. එසේ සංසරණය වන පුවත්වල අඩංගු තොරතුරු බොහොමයක් ව්‍යාජ, අසම්පූර්ණ හා නොමගයවනසුළු වීම දෙවන අභියෝගයයි. මෙම අභියෝගයන් ද්විත්වය හමුවේ බොහෝ දෙනා තමන් අසන, දකින හා අත් විඳින දේවල් ඉක්මනින්ම විශ්වාස කිරීමට පෙළඹේ. එය දේශපාලනික වශයෙන් ප්රචණ්ඩත්වය හා ගැටුම් නිර්මාණය වීමට මූලාරම්භයක් විය හැකිය. ජනතාවගේ භෞතික සංවර්ධනය, ආධ්‍යාත්මික සතුට, සාමය හා සුභසාධනය වෙනුවෙන් කැපවීම ප්‍රජාතාන්ත්‍රික දේශපාලන ක්රමවේදයක දැකිය හැකි මූලික සිද්ධාන්තයකි. කෙසේ වෙතත් ඉහත අභියෝගයන් දෙක හමුවේ එවැනි දෙයක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අතිශයින්ම දුෂ්කර ය.
ශ්‍රී ලාංකික සමාජයේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීමේදී පැහැදිලි වන්නේ, දැනට දේශපාලනික වශයෙන් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන දෘෂ්ටිවාදීමය ගැටළු සහගත තත්වයන් මඟහරවා ගැනීම සඳහා ජාතික සාමය හා සංහිඳියාව ගොඩනැංවීමේ උත්සාහයක නිරත වෙමින් සිටින අතර වර්තමාන සමාජ මාධ්‍ය අවකාශය තුළ බොහෝ දෙනා කිසිදු පදනමකින් තොරව දේශපාලනික වශයෙන් අන්තවාදය, වර්ගවාදය, ත්‍රස්තවාදය, සුළු ජාතීන්ට එරෙහිව හා ආගමික වෙනස්වීම්වලට විරුද්ධව ද්වේශ සහගත වෛරී ප්‍රකාශයන් නිකුත් කරන බවයි. එහිදී බහුතරයක් දෙනා සමාජ මාධ්‍ය තුළ තම දේශපාලන පක්ෂපාතීත්වය ප්‍රචාරණය කිරීම සඳහා පෝස්ටර්, වීඩියෝ, Memes, Captions, කාටුන්, අදහස් හා ලිපි ආදිය භාවිත කරයි. මිනිසුන්ගේ මෙවැනි ප්‍රචණ්ඩකාරී හැසිරීම් රටාවලට බලපාන හේතු විමසීමේදී, “මානව සමාජය තුළ විනිවිදභාවය, මානව හිමිකම්, සමාජ සාධාරණත්වය හා ප්රජාතන්ත්රවාදය ස්ථාපිත නොවන තාක්කල් මිනිසා දේශපාලනික වශයෙන් සදාචාරාත්මක වීමට උත්සාහ නොගනී” යනුවෙන් ජනමාධ්‍ය සන්නිවේදන අධ්‍යයනය පිළිබඳ කථිකාචාර්ය දර්ශන අශෝක කුමාර මහතා ප්‍රකාශ කරයි.
වර්තමානය වන විට මිනිසුන් ශාරීරිකව ගැටුම් ඇතිකර ගැනීම වෙනුවට සමාජ මාධ්‍ය අවකාශය තුලින් ව්‍යාජ තොරතුරු නිර්මාණය කරමින් හා ද්වේෂ සහගත ප්‍රකාශ නිකුත් කරමින් ගැටුම් ඇති කරගන්නා ආකාරයක් නිරීක්ෂණය කළ හැකිය. “සංවිධානාත්මකව සැලසුම් කරන ලද දේශපාලන ප්රචණ්ඩත්වයන් ව්‍යාප්ත කිරීමේ මෙවලමක් ලෙස සමාජ මාධ්‍ය භාවිත කළ හැකි බව” දර්ශන අශෝක කුමාර මහතා පවසයි. එහිදී ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ට්‍රගෑම් හා යූටියුබ් ඇතුළු තවත් බොහෝ සමාජ මාධ්‍ය ජාලයන් මෙරට පරිශීලකයින් බහුලව භාවිත කර ඇති බවත්, ඒවායේ අන්තර්ගතයන් තුළ දිගුකාලීන අන්තවාදී දේශපාලන මත දරන්නන්ගේ අදහස් ප්‍රතිනිරූපණය වන බවත් ඔහු පවසයි.
කිසිදු සදාචාරාත්මක පසුබිමකින් තොරව තම දේශපාලන ප්‍රචාරයන් දියත් කරනු වස් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ හා ජනප්‍රිය දේශපාලකයින් ඉලක්ක කරගනිමින් අසත්‍ය හා වෛරී ප්‍රකාශයන් ඇතුළත් පුවත් නිර්මාණය කරන නිශ්චිත පුද්ගලයින් පිරිසක් සිටි. එවැනි ජනප්‍රිය සමාජ මාධ්‍ය ගිණුම් කිහිපයකට උදාහරණ ලෙස, Yasith Dilshan, Nadun Chameera Widana Gamage-Pawel, Athula Dharmadasa, Dasun Wanaguru, Rekha Kahandagama II, Peechan Mahaththaya, Sri Lankan Blood-1, Sri Lankan Political යන ගිණුම් දැක්විය හැකිය. මෙම පෞද්ගලික ෆේස්බුක් ගිණුම්, පිටු හා කණ්ඩායම් තුළ පළ කර ඇති අන්තර්ගතයන් අධ්‍යයනය කිරීම මගින් ලාංකික සමාජයේ පවත්නා ප්‍රාථමික දේශපාලන සාක්ෂරතාවය සියුම්ව වටහාගත හැකිය.
ලොව බොහෝ රටවල් මෙලෙස විවිධ මට්ටම්වලින් නානානාප්රකාර දේශපාල අභියෝගයන්ට හා බලපෑම්වලට නතුව ඇත. ඉහත සඳහන් අභියෝගයන්ට ප්‍රකාරව නව සන්නිවේදන තාක්ෂණ ක්‍රම භාවිතය හා තොරතුරු ව්‍යාප්තිය ඉක්මන් වීම නිසා සමාජ මාධ්‍ය දේශපාලන න්‍යාය පත්‍ර ගොඩනැංවීමේ ක්‍රියාවලිය සහමුලින්ම තුරන් කිරීම දුෂ්කර නමුත් එහි අඩංගු අන්තර්ගතයන් යම්තාක් දුරකට පාලනය කළ හැකිය. තවද දේශපාලනික වශයෙන් සිදු කරන මෙවැනි පක්ෂග්රාහී හා ද්වේශ සහගත භාෂා භාවිතාවන්වල අඩංගු අන්තර්ගතයන් නිසා ප්‍රචණ්ඩකාරී හා සමාජ විරෝධී මත දරන ඒකාකෘතික පුද්ගලයින් බිහිවීමේ ප්රවනතාවය අධිකය.
ශ්‍රී ලංකාවේ සුළුතරයක් වූ මුස්ලිම් පිරිස හා බහුතරයක් වූ සිංහල ජනතාව අතර මෑතක දී සිදු වූ වාර්ගික අර්බුදයන් පිළිබඳව අවධානය යොමු කිරීමේ දී, දිගන – තෙල්දෙණිය, අලුත්ගම හා බේරුවල වැනි ප්‍රදේශවලින් වාර්තා වූ ප්‍රචණ්ඩකාරී වාතාවරණයන් නිර්මාණය වීම සඳහා දේශපාලනික වශයෙන් සමාජ මාධ්‍ය මගින් එල්ල වූ ප්‍රචණ්ඩකාරී හැසිරීම් රටා ප්‍රධාන වාහකයක් වූ බව පෙන්වා දිය හැකිය. උක්ත සිදුවීම් නිසා සමාජයේ තවදුරටත් ඇතිවනු ඇතැයි අපේක්ෂා කල දේශපාලන ප්‍රචණ්ඩකාරී හැසිරීම් රටා වැලැක්වීමේ අරමුණින් රටේ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කරන ලදී. තවද සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ අන්තර්ජාල ප්‍රවේශය ද අවහිර කරන ලදී.
“මෑත කාලීනව පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය, Covid – 19 සමාජ ව්‍යාප්තියේ පළමු රැල්ල හමුවේ රට වසා දැමීම, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, වනාන්තර විනාශය හා බුවනකබාහු රජුගේ රාජකීය මණ්ඩපයට හානි කිරීම වැනි තවත් බොහෝ සිදුවීම් පදනම් කරගනිමින් මෙරට සමාජ මාධ්‍ය තුළ දේශපාලනික වශයෙන් ප්‍රචණ්ඩකාරී වාතාවරණයන් නිර්මාණය කිරීමට උත්සාහ ගෙන ඇත. උක්ත තත්ත්වයන් හමුවේ “අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට” අදාළ ආරක්ෂණ නීතීන් පවා ක්‍රියාත්මක නොවුණු අතර අන්තර්ජාලය තුළ හා ඉන් පිටත සිදුවන කිසිදු දේශපාලන ප්‍රචණ්ඩත්වයකට එරෙහිව නීත්‍යානුකූල නඩු විභාගයක්, මේ වන විටත් පැවති රජය හෝ වර්තමාන රජයෙන් පවා ක්‍රියාත්මක කර නොමැති බව” දර්ශන කුමාර මහතා අවධාරණය කරයි.
“දේශපාලනික ප්රචණ්ඩත්වය සම්බන්ධ බොහෝ සිදුවීම්වලදී කර්තෘවරුන්ට, ජනමාධ්‍යවේදීන්ට හා ප්‍රජාවට සිදුවිය හැකි හානි වළක්වාලනු පිණිස “සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියෙහි” (ICCPR පණත) අඩංගු නෛතික ප්රතිපත්තීන් ක්‍රියාවට නැංවිය හැකිය. ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලකයින් ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්රමයන් පිළිබඳව ප්‍රසිද්ධ වේදිකාවල කතා කලත් එය වේදිකාවලට පමණක් සීමා වී ඇති බවත් ඔවුන් තවමත් තම බලය අනිසි ලෙස භාවිත කරමින් අත්තනෝමතිකව දේශපාලන ප්රචණ්ඩ ක්‍රියාවල නිරත වන බවත්, සාර්ථක දේශපාලන ගමනක නිරත වීමට තරම් ප්‍රමාණවත් දේශපාන සාක්ෂරතාවයක් ලාංකිකයින් වන අපට නොමැති නිසා අන්තර්ජාල අවකාශයේ පමණක් නොව සැබෑ ජීවිතයේදීත් දේශපාලනික වශයෙන් සිදුවන ප්රචණ්ඩ ක්‍රියා මගහරවා ගැනීමට හා ඒවා අවම කර ගැනීමටත් අවශ්‍ය නීති රීති හා ප්රතිපත්තීන් තවදුරටත් පුළුලව ක්‍රියාත්මක විය යුතු බවත්” දර්ශන අශෝක මහතා පවසයි.
ගෝලීය දේශපාලන ගමන්මග තීරණය කිරීමට සමත් රටක දේශීය දේශපාලනය ක්‍රියාකාරිත්වය සමාජ මාධ්‍ය අවකාශය තුළ සුපරික්ෂාකාරීව කළමනාකරණය කළ යුතුය. නමුත් වර්තමානය වන විට එය මෙරට සමාජයේ මානව සෞඛ්‍ය ක්ෂේත්රයට බලපෑම් එල්ල කිරීමට තරම් ප්රබලව ව්‍යාප්තව ඇත. මානව සමාජයේ ස්ථිර පැවැත්ම හා අභිවෘද්ධිය තහවුරු කිරීම උදෙසා වර්තමාන ප්‍රජාවගේ සතුට පමණක් නොව අනාගත ප්‍රජාවගේ සුභසිද්ධිය සඳහාත් සමාජය තුළ සාමය සමෘද්ධිය හා සහජීවනය ස්ථාපිත කළ යුතුය. ප්‍රචණ්ඩකාරී හැසිරීම් හා වෛරී ප්‍රකාශයන් සමාජයේ ජීවත් වන්නන්ගේ සතුටට බාධා පමුණුවයි. එමගින් සමාජ සහජීවනය බලපෑමට ලක්වේ. එනිසාවෙන් සමාජ ප්රගමනය හා අභිවෘද්ධිය අඩාල කරන සමාජ විරෝධී ආකල්පයන් හා ප්‍රචණ්ඩකාරී හැසිරීම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිය යුතුය.