අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ප්‍රකාශනයේ නිදහස පිළිබඳ අයිතිය ප්‍රතිස්ථාපනය කිරීම

කමන්ති වික්‍රමසිංහ

දෙදහස් විසි එක වසරේ පෙබරවාරි මස 21 වැනිදා ශ්‍රී ලංකාවට ජයග්‍රාහී වසරක් සේ පෙනී ගියේය. ඒ වර්තමානයේ අපෙන් බොහෝ ඈතට ගිය සිහිනයක් බඳු වූ  ක්‍රිකට් ක්‍රීඩාවෙන් අප ජයගත් නිසා නොවේ, ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා විසින් සම්මානනීය ලේඛක සහ ග්‍රන්ථ කර්තෘ ශක්තික සත්කුමාරට එරෙහි චෝදනා අතහැරීම නිසාය. 

පළමුව හුදෙකලා අයුරින් ද පසුව සත්‍ය වශයෙන්ම ඔහු වැරැදි නැති බව සිතන්නන් ක්‍රමයෙන් එකතු වූ ගම්‍යතාවකින්ද යුතු වූ සත්කුමාරගේ අරගලය බොහෝ දීර්ඝ මෙන්ම වෙහෙසකර වූවකි. ප්‍රබන්ධයක් වූ නිර්මාණයක් ආගමකට කරන ලද අපහාසයක් යැයි හංවඩු ගසන්නේ කෙසේද? යන්න මේ සියලු දෙනාගේ සිත් තුළ කැකෑරුණු පැනය විය. එහෙත් ශක්තික සිරගත කිරීමට තරම් කළ අපරාධය කුමක්ද? ඒ කතාව මෙසේ වෙයි.

බොහෝ ප්‍රබන්ධයන් ලිවීමෙන් පසු සත්කුමාර ඔහුගේ ‘අර්ධ’ කෙටි කතාව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට දැඩි උත්සාහයක් දැරීය. කෙසේ වෙතත් බෞද්ධ භික්ෂූන් අතරින් පිරිසක් මෙය බෞද්ධාගමට පරිභව කිරීමක් මෙන්ම නිග්‍රහ කරන්නක් ලෙස සලකා  එයින් බුදුන්ට සහ මහ සංඝයාට අපහාසයක් සිදුවන බවට චෝදනා කළහ. එහි ප්‍රතිඵලය වූයේ සත්කුමාර 2007 අංක 57 දරන සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ අන්තර්ජාතික ප්‍රතිඥා පනත (ICCPR) යටතේ චෝදනා ලැබ ඇප රහිත අයුරින් සිරභාරයේ  තැබීමයි. යකඩ කූරූ අතර සත්කුමාර ගෙවූ දින 130 ගත වූයේ රෝස මල් යහනා මත නොවුවද ඔහු සිය සටන අත් නොහැරීමට දැඩිව අදිටන් කරගත්තේ ඔහු වෙනුවෙන් පමණක් නොව අනෙක් සියලු ලේඛකයන් වෙනුවෙනි.

ඔහු ඇප මත මුදා හැරියද ඔහුට එරෙහි නඩුව දිගටම පැවතුණි. ඒ අතර ප්‍රකාශනයේ නිදහස පිළිබඳ කතිකාව දිනෙන් දින වඩාත් හඬ නැඟෙන්නට විය. නඩුව සඳහා සූදානම් වන අතර ඔහුගේ ඇප ප්‍රකාරව සති දෙකකට වරක් පොලීසියේ පෙනී සිට අස්සන් කිරීමට ඔහුට නියම විය. කෙසේ වෙතත් සත්කුමාරට එරෙහි නඩු විභාගය පුර්ව විභාග අවදියෙන් ඉදිරියට නොගිය අතර අධිකරණයේ නඩු විමසීම කිසිදු හේතුවකින් තොරව කල් ගියේය. ෆ්‍රීඩම් නව් සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමට 2020 මැයි මස අත්තනෝමතික ලෙස සිර අඩස්සියේ තැබීම් පිළිබඳ  එක්සත් ජාතීන්ගේ කාර්යසාධන කණ්ඩායම ප්‍රතිචාර දක්වමින් තහවුරු කළේ සිය ප්‍රකාශනයේ නිදහස පිළිබඳ අයිතිය සාමකාමී ලෙස යොදාගත් සත්කුමාර රඳවා තබා ගනිමින් ශ්‍රී ලංකාව අන්තර්ජාතික නීති උල්ලංඝනය කර ඇති බවයි.

මාස 22කට පසුව සත්කුමාර නිදහස්ය. එහෙත් සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ අන්තර්ජාතික ප්‍රතිඥා පනත (ICCPR)වැරැදි ලෙස නිර්වචනය කිරීම නිසා තවත් බොහෝ දේ සිදු විය. අනෙක් අතට සමාජ මාධ්‍යවල හඬ වෙන කවදාටත් වඩා ශක්තිමත්ව සහ තීව්‍ර වන්නට විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව වැනි බොහෝ රටවල් විසින් ටික් ටොක් වැනි චීන යෙදවුම් (ඇප්ස්) තහනම සහ රජයට එරෙහිව හඬ නඟන අයගේ ට්විටර් ගිණුම් ඉවත් කිරීම ප්‍රතික්ෂේප කරන ලදී. මියැන්මාරයේ යෝජිත සයිබර් ආරක්ෂණ නීති නිසා තත්ත්වය වඩාත් අයහපත් විය. 

අවිනිශ්චිතතාවයේ සළුපටින් ලොවම වෙලී සිටින මොහොතක, ලොව පුරා මාධ්‍යවේදීන් තොරතුරු රැස් කිරීම මෙන්ම පුවත් වාර්තාකරණය යන අංශද්වයෙන්ම අභියෝගයන්ට මුහුණ දී ඇත. වසංගතය ජනතාව නිවෙස් තුළම රඳවා ඇති අතර මාධ්‍යවේදීන්ට පොදුවේ ලැබෙන තොරතුරු ස්වල්පය මත යැපෙන්නට සිදුව ඇත. සමාජ මාධ්‍ය මඟින් ජනතාවට තමන්ගේ සිතිවිලි ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දුන්නද බොහෝ දෙනකු ඔවුන්ගේ විවේචනයන් නිසා තර්ජනයන්ට ලක්වන්නට ද සිදුව තිබේ. සමාජ මාධ්‍යයන්ට පින්සිදු වන්නට බොහෝ මාතෘකා හෙළි වෙමින් පවතින අතරම බොහෝ දේ බරපතළ ලෙස ද  නොගැනේ. කෙසේ වෙතත් සමාජ මාධ්‍යයේ හඬ සත්කුමාරගේ නිදහස් වීමත් සමඟ වඩාත් ශක්තිමත්ව මෙන්ම වැඩි වැඩියෙන් නැඟෙන්නට විය, සාමූහික ප්‍රයත්නයක් දැරීය, ඒ සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකමක්  ප්‍රතිස්ථාපනයටය. එනම් ප්‍රකාශනයේ නිදහස පිළිබඳ අයිතිවාසිකමය.      

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts