නිරෝධායන නීතිය හමුවේ භාෂණයේ නිදහස
කමණී හෙට්ටිආරච්චි
පසුගිය දිනවල කොළඹ ඇතුලු දිවයිනේ නොයෙක් ස්ථානවල පැවති උද්ඝෝෂණ ගණනාවක දී නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත පොලීසිය විසින් උද්ඝෝෂකයින් ගණනාවක් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කෙරිණ. ඒ අතරින් තවත් පිරිසක් (32දෙනෙකු) නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් නිරෝධායනයට ලක් කර පසුව මුදාහරිනු ලැබිය.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ආණ්ඩුව දරණ උත්සාහයට එරෙහිව සරසවි සිසුන්, වෘත්තීය සමිති,සිවිල් සංවිධාන ඉන් එක් විරෝධතාවක් පැවැත්වූ අතර රසායනික පොහොර භාවිතය එකවර නතර කිරීමට රජය ගෙන ඇති තීරණයත්, කොම්පෝස්ට් පොහොර අවශ්‍ය ප්‍රමාණය නොමැති වීමත් හේතුවෙන් ගොවීන් මුහුණ දී සිටින අර්බූදකාරී වාතාවරණයත් තෙල් මිල ඉහළ දැමීම ඇතුළු ජීවන වියදම් ප්‍රශ්නය දිවයින පුරා නොයෙක් ස්ථානවල පැවති අනෙක් උද්ඝෝෂණයන්ට හේතු විය.
විවිධ මත උද්ඝෝෂකයින් පිරිසක් එසේ නිරෝධායනයට යොමු කිරීමත් සමග ආණ්ඩුව භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය යටපත් කරමින් නිරෝධායන නීති යොදාගන්නා බවට විපක්ෂයේ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, නීතීඥ ප්‍රජාව සහ ශිෂ්‍ය සංවිධාන දිගින් දිගටම චෝදනා ඉදිරිපත් කරමින් සිටිති. ඒ පිළිබදව විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් පසුගිය ජූලි 09 දා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළ අවස්ථාවේ දී මහජන ආරක්ෂාව පිළිබද ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර සිටියේ නිරෝධායන නීති කඩා උද්ඝෝෂණයේ නිරතවන පිරිස් දිගටම අත්අඩංගුවට ගන්නා බවය.
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ප්‍රකාශ කර සිටියේ නිරෝධායනය යනු සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ගයක් විනා දඩුවමක් හෝ රැදවුම් ක්‍රියාමාර්ගයක් ලෙස භාවිත කිරීම නොකළයුතු බවය.
http://www.colombopage.com/archive_21A/Jul10_1625930273CH.php
සෘජුවම ඒ සම්බන්ධයෙන් යැයි නොපැවසුව ද පසුගිය ජූලි 11 දින ට්විටර් නිවේදනයක් නිකුත් කර තිබූ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හැනාර් සිංගර් මහත්මිය පකාශ කර ඇත්තේ කොවිඩ් පාලනය පිළිබද නීති සීමාවන් මහජන සෞඛ්‍ය පිළිබද නිත්‍යානුකූල සීමාවෙන් ඔබ්බට නොයායුතු බවය. රජය නිරෝධායන නීති අව භාවිතා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද පසුගිය 12 දා ප්‍රකාශයක් කර තිබුණි.
එතෙකින් නොනැවතී ඉදිරියට යන නිරෝධායන නීති, සහ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය පිළිබද සංවාදය ආණ්ඩුව තුළ කටයුතුවලට ද බලපා ඇති බව ආණ්ුවේ මැති ඇමතිවරු කරන කියන සමහර ප්‍රකාශයන්ගෙන් පෙනී යයි. පසුගියදා එකම වේදිකාවේ සිටි කොළඹ දිස්ත්‍රික්යේ ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙපළක් වන ප්‍රේමනාත් දොලවත්ත සහ මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහත්වරු ඒ පිළිබද පරස්පර අදහස් දක්වන අයුරු මැනවින් දක්නට ලැබුණි. උද්ඝෝෂකයින් නිරෝධායනයට ලක් කිරීමේ ක්‍රියාව ඇමතිවරයා සාධාරණිකරණය කරද්දී ආණ්ඩුවේම තවත් මැති ඇමතිවරු එම ක්‍රියාව විවේචනය කරන ආකාරය අවස්ථා කිහිපයකදීම දැකගත හැකි විය. වැඩි දුරටත් ඒ පිළිබද අදහස් දක්වා ඇති මහජන ආරක්ෂක අමාත්‍යවරයා පොලීසිය එම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ පොලිස්පතිවරයාට සෞඛ්‍ය බලධාරීන් ලබා දී තිබූ උපදෙස් හා නිර්දේශ මත බව ද ප්‍රකාශ කර ඇත.
නිරෝධායන නීතිය ?
නිරෝධායන නීතිය යනු මෙවන් වසංගත රෝග මැඩපැවැත්වීම සදහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ විධිවිධාන ඇතුළත් නීතියකි. අප රටේ තවමත් ක්‍රියාත්මක වනුයේ 1897 වසරේ දී එනම් ඉංග්‍රීසි පාලන සමයේ ගෙන ආ නිරෝධායන පනතක් මගින් හඳුන්වා දී ඇති පැරණි නීතියකි. නොයෙක් අවස්ථාවල දී ඇතිවන අවශ්‍යතාවයන් අනුව එම පනතට අදාළව නව රෙගුලාසි හඳුන්වා දීම කරයි. ඉතිහාසයේ නොයෙක් අවස්ථාවල දී එසේ සිදු කර ඇත.
මෙම නීතිය අලුත් විය යුතු නීතියක් බව බොහෝ දෙනාගේ අදහස වේ. එලෙස නිරෝධායන පනත සංශෝධනය කිරීම සදහා වන යෝජනා 500ක් පමණ විවිධ පිරිස් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති බවත් අමාත්‍යාංශය එම යෝජනා පුළුල්ව අධ්‍යනය කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පසුගිය දා මාධ්‍යයට ප්‍රකාශ කර ත්බුණි. එම මූලික පනත වෙනස් කරන්නේනම් ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුව වෙනස් කළ යුතුව ඇති බව ද වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර තිබුණි. කෙසේ වුවද කොවිඩ් 19 තත්ත්වය හමුවේ ද කටයුතු කිරීමට අවශ්‍ය රෙගුලාසි සහ නියෝග සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් වරින් වර නිකුත් කර පවත්වාගෙන යයි.
කොරෝනා වෛරස් රෝග(කොවිඩ් 19) (තාවකාලික විදිවිධාන) පනත් කෙටුම්පත යනුවෙන් වූ පනත් කෙටුම්පතක් පසුගිය දා අධිකරණ අමාත්‍ය අලී සබි්‍ර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි. එහි ව්‍යාවස්ථානුකූල භාවය අභියෝගයට ලක් කරමින් නීතීඥ අරුණ ලක්සිරි මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළ පෙත්සම සළකා බැලූ මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ඒ එච් එම් ඩී නවාස් මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ලබා දුන් නියෝගය පසුගිය දා කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ 2,3,4,6,7 සහ 10 වගන්ති සමග කියවියයුතු 12 වගන්තියේ කොවිඩ් 19 සම්බන්ධිත තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 3 සහ 4 (ඇ) ව්‍යාවස්ථාවන් සමග අනනුකූල බව දන්වා ඇති බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. එබැවින් එය ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 84:2 ව්‍යාවස්ථාවට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කළ යුතු බව සහ ජනමත විචාරණයක දී අනුමත කළ යුතු බව එම තීන්දුවෙන් දැනුම් දී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය සදහන් කර ඇති පරිදි සංශෝධනය කළහොත් පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ද එමගින් දැනුම් දී ඇත. වැඩි විස්තර මෙම දිගුව මගින්
අදාළ පනත් කෙටුම්පතට සංශෝධන ගෙන ඒමට නියමිත බවත් එම සංශෝධන පාර්ලිමේන්තුවේ කමිටු අවස්ථාවේදී ඉදිරිපත් කරන බවත් නීතිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිට ඇති නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා ප්‍රකාශ කර ඇත.
භාෂණයේ නිදහස ?
කේසේ වුවද ඇප මත නිදහස් වූ උද්ඝෝෂකයින් නිරෝධායනයට යොමු කිරීමත් සමග ඇතිවූ උක්ත විවාදාත්මක කාරණය සම්බන්ධයෙන් මේ වනවිිට ශ්‍රේෂ්ඨාධිකරණය ට මූලික අයිතිවාසිකම් පෙත්සම් හයක් ඉදිරිපත් කර ඇත.
කොවිඩ් වසංගත තත්ත්වය මර්දනය කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ හා නිරෝධායන පනත රටේ සාමකාමී උද්ඝෝෂණ මැඩපැවැත්වීමට උපයෝගී කර ගැනීම රටේ ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙන් හිමිකර දී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කිරීමක් යයි සදහන් කරමින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනයට එරෙහිව පොලිස්පතිවරයා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා, නීතිපතිවරයා සහ සෞඛ්‍ය ඇමතිවරිය වගඋත්තර කරුවන් කරමින් සමගි ජන බලවේගය සහ ලංකා ගුරු සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් හයක් ගොනු කර ඇත.
භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය ප්‍රමුඛ මානව හිමිකමක් ලෙස මෙරට ව්‍යවස්ථාවෙන් සහ ජාත්‍යන්තර සම්මුතීන් අනුව පිළිගෙන ඇත. එය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබිය යුතු මූලික ගුණාංගයකි. එය ලෝකයේ බොහෝ රටවල්වල ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථා මගින් පිළිගෙන ඇති මූලික අයිතිවාසිකමකි. එය අපගේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙන්, එනම් 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 14 (1) (අ) වගන්තිය මගින් ප්‍රකාශනයේ නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබේ.‘සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහස හා ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය’ යනුවෙන් එහි සදහන්ව ඇත.
මූලික අයිතිවාසිකම් පිළිබඳ සීමාවන් කවරේද යන්න පිළිබදව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 15 (2) සහ 15 (7) වගන්තිවල පැහැදිලිව සදහන් කර ඇත.
ඒ අනුව මෙරට භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය සම්බන්ධයෙන් ලබා දී ඇති කැපී පෙනෙන නඩු තීන්දු ගණනාවකි. ඒ අතර සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝේෂණයන් සම්බන්ධයෙන් ලබා දී ඇති නඩු තීන්දු මෙන්ම එහි සීමාවන් පිළිබඳ ලබා දී ඇති නඩු තීන්දු ද වේ. මෙවර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක්වේවිද සියල්ලෝ විමසිල්ලෙන් බලා සිටින්නේ අධිකරණයේ එම පුර්වාදර්ශයන්ද සැලකිල්ලට ගනිමිනි.
Freedom Of Speech In The Face Of Quarantine Law