අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

දහතුන් වැනි සංශෝධනය සහ දෙමළ භාෂාව

ආර්. රාම්

සිංහල දේශපාලන නායකත්වය 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ඉවත් කිරීමට යෝජනා කර ඇත. දෙමළ නායකයන්ද ප්‍රසිද්ධියේ සඳහන් කර ඇත්තේ 13 වැනි සංශෝධනය වාර්ගික අර්බුදයට විසඳුමක් ලෙස පිළිගත නොහැකි බවයි. කෙසේ වෙතත් අමතක නොකළ යුතු දෙය නම් දෙමළ භාෂාව වෙනුවෙන් ඇති අයිතියේ පදනම සහතික වන්නේ 13 වැනි සංශෝධනයෙන් බවයි. 

බ්‍රිතාන්‍යයන්ගෙන් 1948 පෙබරවාරි 4 නිදහස ලබා ගැනීමෙන් පසු සිංහල- බෞද්ධ පුනරුදය බහුතරවාදයට පණ දුන් අතර මතවාදී වශයෙන් සුළු වාර්ගික කණ්ඩායම් මේ රට තුළ බලය භාවිත කිරීමට සුදුසු නොවන බවට මතය රෝපණය කරන ලදී. 

මේ සිතිවිල්ල වපුරන්නට ජනගහනයේ වෙනස් කිරීම, ඉඩම් බලෙන් අල්ලා ගැනීම, පුරවැසිභාවය අහෝසි කිරීම, සංස්කෘතිය සහ ඉතිහාසය විකෘති කිරීම, දෙමළ භාෂාව කොන් කිරීම, නිදහස ප්‍රතික්ෂේප කිරීම වැනි  විවිධ උපක්‍රම භාවිත කෙරිණ. 

වැදගත්ම කරුණ සිංහල භාෂා පනත 1956 සම්මත වීමත් සමඟ ශ්‍රී ලංකාද්වීපයේ දෙමළ බස කතා කරන වාර්ගික කණ්ඩායම් පසෙකට ඉවත් කිරීමයි. එසේම සිංහල භාෂා භාවිතය පුළුල් ලෙස ක්‍රියාත්මක කෙරිණි.

ඉන්පසු, ප්‍රතික්ෂේපිත දෙමළ භාෂාවට ඇති අයිතිය යළි ස්ථාපනය කරන ලද්දේ දැනට බලාත්මක 1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් 1987 ඉන්දු- ලංකා ගිවිසුමට සමගාමීවය. 

ඒ සමඟම දෙමළ භාෂාවේ වලංගුභාවය තවදුරටත් ශක්තිමත් කරන ලද්දේ 1988 දෙවැනි ජනරජ ව්‍යවස්ථාවේ 16 වැනි සංශෝධනය මඟිනි. තවදුරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පිළිබඳ සඳහන් III වැනි පරිච්ඡේදයේ 12(2) වගන්තිය මඟින් භාෂා අයිතිය සුරක්ෂිත කර ප්‍රකාශයට පත් කර ඇත. 

කෙසේ වෙතත් දේශපාලන විචාරකයකු සහ ජ්‍යෙෂ්ඨ කර්තෘවරයකු වන සී.ඒ. ජෝතිලිංගම් පෙන්වා දෙන්නේ වසර 34ට පසුවත් දෙමළ භාෂාවේ අයිතීන් තහවුරු කිරීමට තවමත් ප්‍රායෝගික ගැටලු ඇති බවයි.

සී.ඒ. ජෝතිලිංගම්

ඔහු පවසන්නේ විශේෂයෙන් බහුතර දෙමළ ජනයා වෙසෙන  උතුරු නැඟෙනහිර පරිපාලන භාෂාව දෙමළ භාෂාව  වුවද 2009 මැයි 18 යුද්ධය අවසන් වූ පසු සියලුම පරිපාලනමය කටයුතු දෙමළ බසින් නොකළ යුතු බවට රෙගුලාසි පැන නැඟි බවය. 

උදාහරණයක් ලෙස ඔහු පෙන්වා දුන්නේ පශ්චාත් යුද සන්දර්භය තුළ උතුරු සහ නැඟෙනහිර ප්‍රතිස්ථාපනය කළ පොලිස් ස්ථානවල පරිපාලනමය කටයුතු දෙමළ භාෂාවෙන් සිදු නොවුණු බවයි. 

  මෙම ක්‍රියාමාර්ග ගනු ලැබුවේ උතුරු සහ නැඟෙනහිර පදිංචි කරවන ලද ශ්‍රී ලංකාවේ දකුණු කොටසෙන් ගෙනා සිංහල හසුරුවන කුඩා සංඛ්‍යාවකගේ කටයුතු පහසු කිරීම වෙනුවෙනි. ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ දිසාපති කාර්යාලවලට අයත් සියලුම ඒකකවලට අවශ්‍ය සංඛ්‍යාවටත් වඩා පිරිස හොරෙන් රිංගවනු ඇති බවයි.  

ඔහු එවැනි සිදුවීම්  “ව්‍යූහාත්මක වාර්ගික පවිත්‍රකරණයේ අංග” ලෙස හැඳින්වූ අතර පාලකයන්ගේ වෙනසක්  වුවද මෙවැනි ක්‍රියාකාරකම් අනියත අයුරින් අඛණ්ඩවම සිදු වූ බව පැවසීය. 

දෙමළ කතා කරන්නන් වැඩිපුර වෙසෙන උතුරේ සහ නැඟෙනහිර ස්වභාවය ගත් විට, ද්විභාෂිත දිස්ත්‍රික්කවල තත්ත්වය ඊට සමාන වනු ඇති වග විශේෂයෙන් පැවසිය යුතු නොවන බව ඔහු පැවසීය.

ඊට අමතරව මෙවැනි වාතාවරණයක නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය ‘එක රටක් එක නීතියක්’  පිළිබඳ අදහස් කරන ජනාධිපති ගෝඨාභය යටතේ සිදුවනු ඇත. දෙමළ භාෂා අයිතීන්වල පදනම වන 13 වැනි සංශෝධනය අඛණ්ඩව පවතිනු ඇත්ද යන්න පිළිබඳ බියක් පවතින බවද ජෝතිලිංගම් සඳහන් කළේය. 

එසේම “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සිංහල සහ දෙමළ මුළු රටේම රාජ්‍ය භාෂා වුවද, උතුරු සහ නැඟෙනහිර පළාත්වල ප්‍රධාන පරිපාලන භාෂාව දෙමළ වන අතර අනෙක් පළාත් හතේම ප්‍රධාන පරිපාලන භාෂාව වන්නේ සිංහලයි” යනුවෙන් ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ සංවර්ධන සහ හින්දු කටයුතු අමාත්‍යාංශයේ හිටපු සහකාර ලේකම් මනෝහරන් පැවසීය. 

කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ‘ රටේ ඕනෑම ප්‍රදේශයක ඕනෑම පුරවැසියකුට, ඔහුගේ හෝ ඇයගේ කාර්යය හෝ සේවාව ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත පරිදි ඕනෑම රාජ්‍ය භාෂාවකින් ඉටුකරගත හැකිය. තිස් වසරක යුද්ධයක රට ගිල් වූ අතීතයේ භාෂා වර්ජන වැනි භාෂා උමතුව ප්‍රතික්ෂේප කිරීමක් නැත. “එනිසා රාජ්‍ය භාෂා ක්‍රියාවෙහි යෙදවීම වචනයට නොව ක්‍රියාවෙන්ම සිදු වීම අත්‍යාවශ්‍යය” ටි. මනෝකරන් අවධාරණය කළේය.   

ඩී. මනෝකරන්

ඔහු සඳහන් කළේ මේ සියලු කරුණු භාෂා අයිතිය තහවුරු කරන 13වැනි සහ 16 වැනි සංශෝධන දෙකෙහි පැහැදිලිව සටහන් වී ඇති බවයි. එනිසා ඒවායේ ස්ථිරසාරත්වය අත්‍යාවශ්‍යය. එහෙත් නිසි අවබෝධයකින් තොරව දෙමළ දේශපාලන නියෝජිතයන්  මේ කරුණ මඟ හරින අතර ඔවුන් අවධානය යොමු කරන්නේ 13 වැනි සංශෝධනයේ ‘බලය බෙදා හැරීම’ පිළිබඳ පමණි.

එසේම භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සම්බන්ධව වත්මන් පාලකයන්ගේ ප්‍රතිචාරය සම්පූර්ණයෙන් වෙනස් වී තිබේ. විශේෂයෙන්ම, ජාතික ඒකාබද්ධතා, සමාජ සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය මඟින් ශ්‍රී ලංකාවේ පළමුවැනි නිල ‘රාජ්‍ය භාෂා සතිය’ ප්‍රකාශයට පත් කළේ 2019 වසරේ ජූලි 01 දා සිට 05 වැනිදා දක්වාය. 

මේ කරුණ භාරව සිටි එවක දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක,  මනෝ ගනේෂන්ගේ  පෙලඹවීමෙන් ඒ දින පහෙන් පළමු දිනය රාජ්‍ය භාෂා දිනය, දෙවැනි දිනය රාජ්‍ය භාෂා පාසල් දිනය, තෙවැන්න රාජ්‍ය භාෂා මහජන දිනය, සිව්වැන්න රාජ්‍ය භාෂා තරුණ දිනය සහ පස්වැනි දිනය රාජ්‍ය පළාත් භාෂා දිනය ලෙස නම් කෙරුණු අතර ඊට අදාළ ක්‍රියාකාරකම් සිදු කෙරිණි. 

මේ ‘රාජ්‍ය භාෂා සතියේ’ ප්‍රධාන අරමුණ වූයේ සිංහල භාෂාව ස්ථාපිත කිරීමට වඩා දෙමළ භාෂාව ජාතික භාෂාවක් බවට පත් කිරීමයි. මෙයට හේතුව සිංහල භාෂා ප්‍රතිපත්තිය ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන පළාත් හතේ දෙමළ භාෂා භාවිතයක් නොමැති වීමයි. 

2019 වසරේ පළමු රාජ්‍ය භාෂා සතිය පැවැත් වූ අවස්ථාවේ සංස්කෘතික නැටුමක් අතරතුර

කෙසේ වෙතත් 2019 නොවැම්බර් 18 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව වැඩ ආරම්භ කිරීමෙන් පසු මේ කරුණ පිළිබඳ අවධානය යොමු කළේ නැත. මේ වෙනුවෙන් පාලකයන් නිදහසට කරුණු දක්වනු  ඇත්තේ  කොරෝනා වෛරසයේ පැතිරීමට ඇඟිල්ල දිගු කරමිනි. 

කෙසේ වුවද, මේ කාලය තුළ මතින් තොර සතිය, මව්වරුන්ගේ දිනය, කම්කරු දිනය සහ ගුරුදිනය වෙනුවෙන් ජනාධිපති, අගමැති සහ ස්වදේශ කටයුතු භාර ඇමැති මාධ්‍ය ප්‍රකාශ නිකුත් කර තිබුණි.

එහෙත් රටේ ජාතික සහ රාජ්‍ය භාෂා ලෙස සිංහල සහ දෙමළ සනාථ කිරීමට, අවබෝධ කරවීමට සහ ක්‍රියාවට නැංවීමට ඇති එකම අවස්ථාව ලෙස පෙනෙන රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති සතියක් පිළිබඳ අවම වශයෙන්  සිහි කිරීමටවත් ඔවුන් සූදානම් නැත. මෙය ගත යුතුව ඇත්තේ කුඩම්මාගේ සැලකිලි මානසිකත්වයේ ප්‍රකාශනයක් ලෙසය.

තවද, වත්මන් පාලකයන් බලයට පත්වීමෙන් පසු පැවැත් වූ 2021 නිදහස් දින උලෙළේ ජාතික ගීය දෙමළ බසින් ගැයීමට අවසරවත්  නොලැබිණි. ජාතික ගීය දෙමළ බසින් නොගැයෙනු ඇති බවට නිවේදනය පළමුව කරන ලද්දේ එවක (ආරක්ෂක) ලේකම් කමල් ගුණරත්න වීම ද සටහන් කළ යුතුව ඇත.

මේ අතර ජ්‍යෙෂ්ඨ නීතීඥ සහ මහාචාර්ය ප්‍රදීප් මහානාමහේවා ජාතික නිදහස් දිනයේ ජාතික ගීය දෙමළ බසින් නොගැයීම පිළිබඳ  රජයේ ස්ථාවරය ආවරණය කළේ ජාතික ගීය ගැයෙනු ඇත්තේ රටේ විවිධ රජයන්ගේ ප්‍රතිපත්තිවලට අනුකූලව බව පවසමිනි.

මේ සියල්ලටම වඩා මෙම සිදුවීම් ද්විත්වයෙන්ම ප්‍රකට වන්නේ රජ‌යේ භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට වඩා ‘දෙමළ භාෂාව’ පිළිබඳ රජයේ උදාසීනත්වයයි. මෙසේ සිදු වන්නේ එවැනි රජයක විධායක බලතල දරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ‘එක රටක්, එක නීතියක්’ යන නව සංකල්පය ක්‍රියාත්මක කිරීමට සැරසෙන මොහොතකය. 

ඒ අතරම ඔහු බලයට පත් වූ වහාම ඉන්දියාවේ නිල සංචාරයක යෙදුණි. එහිදී ද හින්දු පුවත්පත සමඟ පැවැත් වු සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පැවසුවේ “13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම කලාපයේ වැඩි යහපත වෙනුවෙන්  වන අතර එය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ නොහැකිය.” යනුවෙනි.

මෙම ප්‍රකාශය සරලව 13 වැනි ව්‍යවස්ථාවෙන් සපයා ඇති ඉඩම් සහ පොලිස් බලතල නිෂේධනය කිරීමක් ලෙස පෙනුණද අනතුරක සේයාවක් දැක්වෙන්නේ මේ ‘එක රටක් එක නීතියක්’ ප්‍රතිපත්තිය පිළිබඳ පැවසීමෙනි.

අනෙක් අතට 13වැනි සංශෝධනයට එරෙහි මේ වත්මන් පාලකයන්ගේ සටන් පාඨ තාවකාලිකව නතර වූයේ පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය ඇමැතිව සිටි රියර් අද්මිරාල් සරත් වීරසේකර මාරු වූ පසුවය.

දෙමළ, සිංහල

මේ අතර විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඇමැති උදය ගම්මන්පිල දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ 13 වැනි සංශෝධනය බලරහිත වන අතර එය අසාර්ථක ක්‍රමයක් බවටයි. ඔවුන් මේ දක්වා ඔවුන්ගේ ස්ථාවරය වෙනස් කළේ ද යන්න ප්‍රකාශ කර නැත.

මේ පදනම මත 13 වැනි සංශෝධනයට යම් යම් වෙනස්කම් සිදුවීමට නියමිත බව අවබෝධ කරගත හැකිය. එවැනි වෙනස්කම් මඟින් 13 වැනි සංශෝධනය මුළුමනින්ම ඉවත් වුවහොත් ලිපි ලේඛනවල  ඇතුළත් ‘දෙමළ භාෂා අයිතිය’ පිළිබඳ හුදු පැවැත්ම සඳහා වන අවස්ථාව සුළගේ යනු ඇත.  

මෙවැනි පසුබිමක, දෙමළ කතාකරන නියෝජිතයන් මේ කරුණ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතුය. ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ 13 පිළිගැනීම දෙමළ ජනයා එක් පාලන ක්‍රමයකට තල්ලු කිරීමට උත්සාහ කිරීමක් බවයි. එසේම ඔවුන් 13 වැනි සංශෝධනය හඳුන්වන්නේ හිල් වුණු කලයක් ලෙසට මෙන්ම ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ “කොසු මිටකින්වත්” 13 ස්පර්ශ නොකරන බවයි. ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුම අපේ එකඟතාවයෙන් ඇති වූවක් නොවන අතර 13 වැනි සංශෝධනය අප මත බලෙන් පැටවූවක් බව ඔවුන් දිගින් දිගටම කිවහොත් ‘දෙමළ භාෂා අයිතීන්’ අනාගතයේ ඉබේම අතුරුදන් වනු ඇත. හේතුව 13 වැනි සංශෝධනය දෙමළ භාෂා අයිතීන්ගේ පදනම වන බැවිනි.

13ஐ தக்க வைத்துக்கொள்வதே, தமிழ் மொழியின் உரிமையை உறுதிப்படுத்தலுக்கான ஒரேவழி

The 13th Amendment & The Tamil Language

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts