තොරතුරු දැනගැනීමේ අයිතිය

තොරතුරු දැනගැනීමේ අයිතිය සහ රජයේ ආයතනවල ප්‍රතිචාර

චාමර සම්පත්

ශ්‍රි ලංකාව තුළ තොරතුරු දැනගැනිමේ අයිතිය තහවුරුකර වසර 5ක් ගතවි අවසන්ය. ඒ පිළිබදව ජනතාව දැනුවත් වි ඇති ආකාරය සහ එය භාවිතයට ගෙන ඇති ආකාරය පිළිබදව කිසියම් ප්‍රමාණයකට සතුටුවිය හැකිය. නමුත් බහුතර පුරවැසියන් ප්‍රමාණයක් මේ පිළිබදව නිසි දැනුවත්විමක් නොමැති බව පැහැදිලිය.

තොරතුරු අයිතිය ක්‍රියාත්මක වීමේ සිට මේ දක්වා ම තොරතුරු අයිතිය සම්බන්ධයෙන් රාජ්‍ය නිළධාරීන් දැනුම්වත් කිරීමේ පුහුණු වැඩමුළු ඇතුළු වැඩසටන් රැසක් ක්‍රියාත්මක වී තිබේ. එසේ වුවද සමස්තයක් ලෙස ගත් කළ තොරතුරු අයිතිය පිළිබඳ සියලුම පොදු අධිකාරින් හි තොරතුරු නිලධාරීන් පවා දැනුවත් බවකින් සිටිනවාද යන්න ප්‍රශ්න සහගතය. මේ බව වඩාත් පැහැදිලි වුයේ පොදු අධිකාරීන් කිහිපයකින් එකම තොරතුර ඉල්ලීමත් ඒ සඳහා අදාළ පොදු අධිකාරීන් හි තොරතුරු නිලධාරීන් විවිධ ප්‍රතිචාර දැක්වීමත් සමඟිනි.

පොදු අධිකාරීන් වෙත යොමු කළ ඉල්ලීම

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ සුදානමින් මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණය ප්‍රකාශයට පත්කළ අතර ඒ සඳහා විවිධ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සිය අපේක්ෂකයින් ඉදිරිපත් කර තිබුණි. එසේ උවද මතුවු තත්වයන් සහ රජයේ ප්‍රතිචාර මත පළාත් පාලන මැතිවරණය කල් ගියේය. මේවන තුරු එය පවත්වන දිනයක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැත.

පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේෂිකාවන් සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට ලියුම්කරුට අවශ්‍ය වු අතර ඒ සඳහා මැතිවරණ කොමිෂන් සභාව ද ඇතුළත්ව දිවයිනෙහි දිස්ත්‍රික්ක 25 ම මැතිවරණ කාර්යාල සඳහා ඊමේල් මාර්ගයෙන් තොරතුරු ඉල්ලීම් 25 ක් යොමුකරන ලදි. එහිදී එම පොදු අධිකාරීන්හි (දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල)  තොරතුරු නිලධාරින්ගෙ ප්‍රතිචාර පුදුම සහගත විය. එකම ඉල්ලීමක් වෙනුවෙන් ඇතැමුන් ප්‍රතිචාර දැක්වු අතර ඇතැමුන් ප්‍රතිචාර නොදැක්වීය. ඇතැමුන් තොරතුරු ලබාදුන් අතර ඇතැමුන් තොරතුරු ලබාදීම ප්‍රතික්ශේප කළේය.

ප්‍රතිචාර දැක්වීම්

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව ද ඇතුළු ව දිස්ත්‍රික්ක 25 හි මැතිවරණ කාර්යාල තොරතුරු ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වුයේ මේ ආකාරයෙනි,

දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයතොරතුරු ඉල්ලීමට දැක්වු ප්‍රතිචාරය
01මැතිවරණ කොමිෂන් සභාවතොරතුරු ලබාදීම
02ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයතොරතුරු ලබාදීම
03මාතර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයකිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම
04කළුතර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයකිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම
05මහනුවර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයකිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම
06කොළඹ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයකිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම
07ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයතොරතුරු ලබාදීම
08කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයතොරතුරු ලබාදීම
09යාපනය දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයකිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම
10කෑගල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයකිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම
11අනුරාධපුරය දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයතොරතුරු ලබාදීම
12රත්නපුර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයතොරතුරු ලබාදීම
13බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයඋපදෙස් ඉල්ලා කොමිෂන් සභාවට ලිපියක් යොමුකිරීම
14මොණරාගල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයකිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම
15නුවරඑළිය දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයතොරතුරු ඉල්ලීම ලැබුණු බව දැන්වීම
16අම්පාර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයතොරතුරු ලබාදීම
17හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයතොරතුරු ලබාදීම
18වව්නියාව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයතොරතුරු ලබාදීම
19මන්නාරම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයකිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම
20මඩකලපුව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයතොරතුරු ලබාදීම
21ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයකිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම
22කිලිනොච්චිය දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයකිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම
23පුත්තලම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයතොරතුරු ලබාදීම
24පොළොන්නරුව දිස්ත්‍රික්  මැතිවරණ කාර්යාලයකිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම
25මුලතිව් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයකිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම
26මාතලේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයතොරතුරු ලබාදීම

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත අනුව යම් පොදු අධිකාරියක් වෙත තොරතුරු ඉල්ලීමක් ලැබුණු අවස්තාවේ දී දින 14 ක් ඇතුළත තොරතුරු ඉල්ලීම ලැබුණු බව දැන්විම මෙන්න තොරතුරු ලබාදිම සිදුකළ යුතුව ඇත. නමුදු රටතුළ පිහිටි පොදු අධිකාරින් 26 ක් සඳහා එකම තොරතුරු ඉල්ලීම යොමුකළ විට ලැබී ඇත්තේ විවිධාකාරයේ ප්‍රතිචාර බව  තොරතුරු සාරාංශගත කර ඇති ඉහත වගුව නිරීක්ෂණය කිරීමේදී මනාව පැහැදිලි වේ. රාජ්‍ය අංශයේ ඇතැම් පොදු අධිකාරින් ඉතාමත් කඩිනමින් තොරතුරු ලබාදීම් සිදුකරන අතර ඇතැම් පොදු අධිකාරීන් තොරතුරු ඉල්ලීම් සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටීම ට කටයුතු කර තිබිණ.

කඩිනම් ප්‍රතිචාර දැක්වීම 

ඊමේල් මාර්ගයෙන් යොමුකරන ලද තොරතුරු ඉල්ලීම් සඳහා ඊමේල් මාර්ගයෙන්ම දින 03 ක් ඇතුළත තොරතුරු ලබාදීමට දිස්ත්‍රික්  මැතිවරණ කාර්යාලය 05 ක් කටයුතු කර තිබුණි. ඒ ගම්පහ , හම්බන්තොට , අනුරාධපුර , රත්නපුර සහ මඩකලපුව යන දිස්ත්‍රික්  මැතිවරණ කාර්යාලය යි. මෙම කාර්යාල සියල්ල කොළඹින් පිටත කාර්යාල වීම සුවිශේෂි වන අතර දුෂ්කර යැයි පොදුවේ සැලකෙන ප්‍රදේශ වල ද ඊමේල් තාක්ෂණයෙන් ප්‍රතිචාර දැක්වීමට යොමුවී සිටිම ඉතා වැදගත් කොට සැලකිය හැකිය. එසේම කොළඹ ඇතුළු අනිතුත් ප්‍රධාන නගර තුළ පිහිටි කාර්යාල මේ සඳහා මන්දගාමීව ප්‍රතිචාර දැක්වීම ද කැපීපෙනෙන ලක්ෂණයකි.

තොරතුරු ලබාදීම 

තොරතුරු ඉල්ලීම් යොමුකර ලද පොදු අධිකාරීන් අතුරින් තොරතුරු ලබාදී තිබුණේ පොදු අධිකාරීන් 12  පමණී. ඒ මැතිවරණ කොමිෂන් සහාව ඇතුළු අම්පාර , ගාල්ල , පුත්තලම,  වව්නියාව  ,  මාතලේ , කුරුණෑගල , අනුරාධපුර , ගම්පහ , හම්බන්තොට , රත්නපුර ,මඩකලපුව , යන දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල පමණි. මෙම පොදු අධිකාරි සියල්ල ඉල්ලා ඇති තොරතුරු සවිස්තරාත්මකව අඩු කාලයක් තුළ සපයා තිබීමද විශේෂත්වයකි.

නව ප්‍රවණතා

තොරතුරු ලබාදීමේ දී තාක්ෂණය උපයෝගී කරගනිමින් වඩාත් ඉදිරියට ගොස් කටයුතු කරන පොදු අධිකාරීන්ද ඇති බව මෙහිදි පැහැදිලි විය. මැතිවරණ කොමිෂන් සභාව ඔවුන්ගේ වෙඩ් අඩවිය තුළ අදාළ තොරතුරු පළ කර එහි වෙබ් ලිපිනය ලබාදී තොරතුරු ලබාගන්නා ලෙස දන්වා තිබුණි.

පුත්තලම සහ වව්නියාව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල දිනක් ඇතුළත ප්‍රතිචාර දක්වා තිබු අතර QR ඛේතයක් ස්කෑන් කර තොරතුරු ලබාගන්නා ලෙස දක්වමින් අදාළ QR ඛේතය යොමුකර තිබු අතර එයද තාක්ෂණය අතින් ඉදිරියට යමින් කඩිනම්ව තොරතුරු ලබාදිමට ගත් උත්සහයක් ලෙස දැක්විය හැකිය. පොදු අධිකාරියක් මේතරම් කඩිනමින් ප්‍රතිචාර දැක්වීම පුරවැසියාට උපරිම සාධාරණය ඉෂ්ටකිරීමක් ලෙසද හැදින්වීමට පුළුවන.

තොරතුරු ලබා නොදීම

සුවිශේෂි සිදුවීමක් ලෙස බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ ක්‍රියා කලාපය දැක්විය හැකිය. ඔවුන් තොරතුරු ලබාදීමක් සිදුනොකළ අතර අදාළ තොරතුරු ලබාදිම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පතා ලිපි යොමුකර තිබුණි. තොරතුරු අයිතිය සම්බන්ධයෙන් දැනුම්වත්කර පුහුණු කර ඒ සඳහා යොමුකර ඇති තොරතුරු නිලධාරීන් මෙලෙස කටයුතු කිරීම තොරතුරු අයිතිය සම්බන්ධයෙන් පුරවැසියාගේ උනන්දුව හීන කිරීමට කටයුතු කිරීමක් ලෙස පෙන්වාදීමට පුළුවන.

පොදු අධිකාරීන් 13 ක් තොරතුරු ලබාදී නොමැති අතර ඔවුන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම ද සුවිශේෂි තත්වයකි.  එම පොදු අධිකාරීන් තොරතුරු ලබානොදීම සම්බන්ධයෙන් මේවනවිට අභියාචනා යොමුකර ඇත.

එසේ උවද ඉතා පහසුවෙන් තොරතුරු ලබාදීමට හැකියාව තිබියදී තොරතුරු ලබානොදි අභියචනා ක්‍රියාවලියට පුරවැසියන්ව ඇද දමමින් කාලය කා දැමීමක් වැනිය. එසේ සිදුවන්නේනම් එවැනි තොරතුරු නිලධාරීන්ගෙන් කිසිදු ප්‍රයෝජනයක් සිදු නොවේ.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts