ගිරව් කැටුව යන මාස්ටර්ගේ සාමදුත මෙහෙවර
ගයාන් යද්දෙහිගේ
මේක බහුජාතික රටක්.හැම ආගමකම මිනිස්සු ජීවත් වෙනවා.ඒ හැමෝටම ආවේනික සංස්කෘතියක් තිබෙනවා.ඒ නිසාම විවිධත්වයක් රටේ ගොඩනැගිලා.ඒ විවිධත්වය පිළිගන්න ජාති,ආගම් බේද වලින් තොරව අපි හැමෝටම පුළුවන් නම් අපිට මොන තරම් සතුටින් ජීවත් වෙන්න පුළුවන්ද? ඒත් අවාසනාවකට අපි කරන්නේ විවිධත්වය ඉවසිමයි.ඒ ඉවසීම කොයි මොහොතක හරි පුපුරලා යන්න ඉඩ තියෙනවා.ඒ නිසා තමයි හිටි හැටියේ මේ සමාජයේ ජාති හා ආගමික ගැටුම් ඇති වෙන්නේ.විජය ඉලංගකෝන් මහතා පවසයි.දෙමව්පියන්ගෙන් ලැබුණු එම නමට වඩා රටේ ජනතාව ඔහු හඳුනන්නේ බර්ඩ් මාස්ටර් නමිනි.කාත් කවුරුවත් නොමැතිව ගම්පොළ කවුඩුපිටිය දොන් සයිමන් වත්තේ නිවසක තනි පංගලමේ දිවි ගෙවන බර්ඩ් මාස්ටර්ගේ ජීවිතය වී තිබෙන්නේ ගිරවුන් හය දෙනෙකි.ජීවිතය සරිකර ගැනීමට කීයක් හෝ ඔහුට සොයා දෙන මේ ගිරවුන් සමඟ බරඩ් මාස්ටර් ගෙවන ජීවිතයට දැන් 12 වසරකි.
බර්ඩ් මාස්ටර්ගේ අණට කීකරු මේ ගිරව් සාමාන්‍යය ගිරවෙකුට කළ නොහැකි බොහෝ සිදු කරන්නේ අප පුදුම කරවමිනි.ඒ අතරින් ඇලෙක්ස් ප්‍රධානය.විධායක ජනපති ක්‍රමය හඳුන්වා දීමෙන් පසු මෙරට ජනපති ධූරය මෙතෙක් හෙබවූ සියල්ලන්ගේ ඡායාරූප එක පෙළට තබා ජනපතිවරයෙකුගේ නමක් කියා ඔහු හෝ ඇය පෙන්වන්න යැයි කියූ සැනින් ඇලෙක්ස් හොටෙන් එම ඡායාරූපය අපට ලබාදෙයි.ලග්න දොළහා එක පෙළට තැබූ විට කියන ඕනෑම ලග්නයක් නිවැරදිව අරන් දෙන්නට මේ ගිරව් දක්වන්නේ අපූරු සමත්කමකි.
මහත්තයෝ මූ මහා අමුතු ගිරවෙක්.එක සැරයයි දෙයක් කියලා දෙන්න ඕන.පුංචි කාලේ බටර් විස්කෝතු දුන්නම මූ ඒක හොටෙන් අරන් ගිහින් වතුර එකට දාලා පොඟවලා කනවා.ඒවා මම කියලා දුන්න ඒවා නෙවෙයි.මෙයා ලබු ගිරවෙක්.ලංකාවේ දැනට ඉන්න ලොකුම ලබු ගිරවා අලෙක්ස්.මෙයා හදා ගන්න කොට මට තවත් ගිරව් කිහිප දෙනෙක්ම හම්බ වුණා.මේ ඉන්නේ චූටි මැණිකේ..එයා අළු ගිරවෙක්.පුංචි බණ්ඩා මාල ගිරවෙක්.චාලි ලබු ගිරවෙක්.එයාට ඇස් දෙකම පේන්නේ නැහැ.මේ දෙන්නා ඔස්ට්‍රේලියන් කොක්ටේල්ස්ලා..ඒ දෙන්න ගෙන් ගෑනු සතා රුක්මිනී,පිරිමි සතා ජෝතිපාල.බර්ඩ් මාස්ටර් තම පණ හා සමාන මිතුරන් පෙන්වත්දී උන් ප්‍රතිචාර දක්වන්නේ ඒ මම තමයි කියන්නාක් මෙනි.මෙයලගේ නම් මම හිටපු ගමන් වෙනස් කරනවා.දෙමළ පාසැල් වල සංදර්ශන පවත්වන කොට ලෙච්චමී,පිච්චිඅප්පා වගේ නම් දානවා.මුස්ලිම් ඉස්කෝලි වලට ගියාම එයාලගේ නම් ෆාතිමා,ෆාරා වෙනවා.ඔහු පවසන්නේ සිනාසෙමිනි.
හැම කෙනෙක්ම කැමැතියි තමන්ගේ සංස්කෘතිය අගය කරනවාට.සිංහල බෞද්ධ පාසැලකට ගියාම මම ඒ අයට ආවේනික නම් වලින් තමයි ගිරව්න්ට ආමන්ත්‍රණය කරන්නේ.එහෙම කළාම ඒ දරුවන්ට ලං වෙන්න හරි ම පහසුයි.ඒ වෙනුවට අපි කරන්නේ බලහත්කාරයෙන් අපේ සංස්කෘතියට අනුගත වෙන ලෙස අනික් අයට බල කිරීමයි.එතනදී ආදරණීය බැඳීමක් අපි අතර නිර්මාණය වෙන්නේ නැහැ.මේවා අපි තේරුම් ගන්න ඕන.මම කතෝලික භක්තිකයෙක්.මට සිංහල,දෙමළ,ඉංග්‍රීසි, හා හින්ද භාෂා හොඳට කතා කරන්න පුළුවන්.බහුජාතික රටක ජීවත් වෙනවා නම් අපි පුළුවන් තරම් අනිත් අය කතා කරන භාෂා ඉගෙන ගන්න උත්සහ කරන්න ඕන.දැන් බලන්න යාපනයේ දෙමළ ජාතිකයෙක් දකුණු පළාතට ඇවිත් සිංහල භාෂාවෙන් කතා කළොත් අපිට දැනෙන හැඟීම.එ් වගේම තමයි දකුණේ සිංහල කෙනෙක් උතුරට ගිහින් දෙමළෙන් කතා කළොත් ඇතිවන හැඟීම.භාෂාවක් කියන්නේ ජාතීන් දෙකක් අතර බැඳීම් ඇතිකරන පාළමක් වගේ.බර්ඩ් මාස්ටර් නොහොත් විජය ඉලංගකෝන් පවසයි.
පන්සල,පල්ලිය,කෝවිල සංඛේත මගින් වෙන් වෙන්ව හඳුනා ගැනීමට අලෙක්ස්කට සුළු දෙයකි.දහයට අඩු ඉලක්කම් හඳුනා ගැනීමත් එම ඉලක්කම් දෙකක එකතුව පෙන්වීමත් ඇලෙක්ස්ට කජු කනවා මෙන් වැඩකි.මෙම දක්ෂතා නිසාම දෙහිවල සත්වෝදනය පමණක් නොව දිවයිනේ පාසැල් රැසක ගිරා සංදර්ශන පවත්වමින් බර්ඩ් මාස්ටර් කිසිවෙකුට හෝ කරදරයක් නොමැතිව ගෙන ගිය ජවිතයට දැන් කණකොකා හඬලන්නට පටන් ගත්තේ ලොව පුරා පැතිර ගිය කොවිඩ් වසංගතයේ බලපෑම අප රටටද එල්ල වීම හේතුවෙනි.
මේ ගිරව් ඉතාම දක්ෂයි.කියන දේ හොඳට තේරෙනවා.ජාතික කොඩිය එසවීම,කරත්ත ඇදීම,කම්බියේ යෑම වගේ ගොඩක් දේවල් කරනවා.පාසැල් දරුවෝ මේ අයගේ දක්ෂතා බලන්න හරිම ආසයි.කොරෝනා එන්න කලින් මම සිංහල,දෙමළ හා මුස්ලිම් පාසැල් 2000 ක විතර සංදර්ශන කළා.ඒකෙන් හොඳ ආදායමක් ලැබුණා.කොවිඩ් ප්‍රශ්නේ නිසා පාසැල් වසා දැමුණා.පොදු ස්ථාන වලට ජනතාව රැස් වෙන්නේ නැහැ.දැන් අවුරුද්දක් තිස්සේ කිසිම සංදර්ශනයක් කළේ නැහැ.මේ සතුන්ට කන්න දෙන්න මාසෙකට රුපියල් 10000.00 ක් විතර වැය වෙනවා..ඔහු ප්‍රකාශ කරන්නේ කොවිඩ් නිසා ජීවිතයට එල්ලවී තිබෙන බලපෑම් වල ස්වරූපය පෙන්වාදෙමිනි.
තිස් අවුරුදු යුද්ධය නිමා වීමෙන් පසු සැනසුම් සුසුම් හෙළත්දී සහරාන්ගේ ප්‍රහාරය නිසා අපේ රටේ ජනතාව තුළ යළිත් සැකය,බිය හා වෛරය ඇති වුණා.එදා ඉඳලා වැඩ අඩුයි.මේ ප්‍රහාරය නිසා අපේ රටේ සිංහල හා මුස්ලිම් ජනතාව අතර යම් අර්බුදයක් ගොඩනැගුණා.එතනින් පස්සේ කොවිඩ් වෛරසයේ ප්රශ්නය ඇති වුණා.ඒක අපිට පාඩම් රැසක් ඉගැන්වූවා.මේ වෛරසය ඉදිරියේ අපි හැමෝම මිනිස්සු විතරයි.ජාතියක්.ආගමක් කියන එක වෛරසයට වැදගත් නැහැ.අද රටේ සිදුවන මරණ වලින් ඒක පේනවා.මේ යථාර්ථය අපි තේරුම් ගන්නවා නම් ජාති,ආගම් ඉස්සරහට දාගෙන ජාතික සමඟිය,සංහිඳියාව බිඳ දමන්න කවුරුවත් උත්සහ කරන එකක් නැහැ.ඉලංකෝන් මහතා කතාව හමාර කරමින් පැවසුවේය.
பறவை மாஸ்டரின் கிளிகளுடனான சமாதான பணி
Bird Master’s Peace Mission With Parrots