
කඳුකර දෙමළ ජනතාවගේ ඉඩම් අයිතිය
මල්ලියප්පු සාන්ති තිලකර්
ශ්‍රී ලංකාවේ කඳුකරයේ වෙසෙන දෙමළ ජනතාවගේ ඉතිහාසය බොහෝ මතභේදයන්ට තුඩුදෙන කරුණක් ලෙස දැකිය හැකිය. මොවුන් හුදෙක් ශ්‍රමය ලබා ගැනීම පිණිසම ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ගෙන ආ පිරිස්ය. අද වන විට ඔවුන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ජන කොටසක් ලෙස ස්ථාපනය වී සිටින්නේ පුරවැසියන් ලෙස සිය ශ්‍රමය විකිණීමට පමණක් නොව ඔවුන්ගේ අයිතීන්ද භුක්ති විඳින පිරිසක් වශයෙන් සලකන පරිදිය.
බහු වාර්ගික ශ්‍රී ලංකාවේ කඳුකර දෙමළ ප්‍රජාව එය ජාතික ජනවර්ගයක් ලෙස නිර්වචනය කර ගැනීමේ විවිධ අභියෝගයන්ට මුහුණ දී සිටියි. මේ අභියෝග හමුවේ ඔවුන් ඔවුන්ගේ අද්විතීය කලාත්මක හා සංස්කෘතික සම්ප්‍රදායන් රැකගැනීමත් බිම් මට්ටමේ දේශපාලන ප්‍රවේශයන් සමඟ පෙනී සිටීමත් පවත්වාගෙන තිබේ. කෙසේ වෙතත් ඉඩමක අයිතිය තවමත් පවතින්නේ ශ්‍රී ලංකාවේ කඳුකර දෙමළ ජනතාව ළඟා කරගත යුතුව ඇති මූලික ඉලක්කයක් ලෙසය.
රටක පුරවැසියන් ලෙස ඔවුන් ජීවත් වන භූමිය අන්තර්ජාතික ප්‍රඥප්තිවලින් පිළිගත් පරිදි සලකනු ලබන්නේ ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙසය. ඒ අනුව, භූමියක් රහිත ප්‍රජාව එඬේරුන් ලෙස හඳුනා ගන්නා අතර ජාතික ජනවර්ගයක් ලෙස සලකනු නොලැබේ.
කඳුකර දෙමළ ජනතාවට ඉඩම් හිමිකාරත්ව පදනමක සිට තම පැවැත්ම තහවුරු කර ගැනීමේදී ඓතිහාසික වශයෙන් අභියෝග රැසකට මුහුණ දීමට සිදුව ඇත. කඳුකර දෙමළ ජනතාවගේ දේශපාලන නියෝජනයද මේ වනතුරු බිම් කඩක් දිනාගැනිම වෙනුවෙන් පෙනි සිටියේ නැත. ඔවුන් වැවිලි ක්ෂේත්‍රයේ කම්කරුවන් වූ නිසා ඔවුන්ට නවාතැන වූයේ වැවිලි ආයතනය මඟින් සපයන ලද, පදිංචිකරුවන්ට කිසිදු ඉඩම් අයිතියක් නැති ලයින් ගෙවල්ය. මේවා සපයන්නේ වත්තේ පදිංචිකරුවන්ගේ පවුල්වල සාමාජිකයන් එක් අයකු හෝ කිහිප දෙනකු කරන රැකියාව පදනම් කරගෙනය.
1972 වසරේ වතු පාලන පනතේ හැඳින්විමට අනුව බ්‍රිතාන්‍ය සමාගම් වතුවගා ක්ෂේත්‍රයෙන් ඉවත් වූ අතර වතුවගා බිම් බෙදා දීමේ සැලැස්ම ක්‍රියාවට නැඟිණි. සිය ඉල්ලීම් වෙනුවෙන් දිවි පිදූ ශිව ලක්ෂ්මනන් වැන්නන්ගේ නායකත්වයෙන් කඳුකර දෙමළ ජනතාව සිය ඉඩම් හිමිකාරීත්වයේ අරගලය ආරම්භ කළ ද කඳුකර දෙමළ ජනතාවගේ ඉඩම් හිමිකාරත්වය පිළිබඳ තත්ත්වයේ වෙනසක් සිදු වූයේ නැත.
ශ්‍රී ලංකාව නිදහස් ජාතියක් වූ පසු මේ වතු කම්කරුවන් ඔවුන්ගේ පුරවැසිභාවය ප්‍රතික්ෂේප කළේ ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය මේ ජනතාව කිනම් රටකට අයිති ද යන්න පිළිබඳ එකඟතාවකට නොපැමිණ රජයන් දෙක අතර පිටුවහල් කිරීමේ ගිවිසුමක් අස්සන් කිරීම දක්වා එය මෙහෙය වුණු බැවිනි.
මේ වසර දෙසියයක ඉතිහාසය තුළ කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිය පිළිබඳ අරගලය ක්‍රියාකාරීව ඉදිරියට නොගියේ ඔවුන්ගේ අරගලය ධනවාදී ආයතන සතුව ඇති වතුවල දෛනික වැටුප් පිළිබඳ යොමු වී තිබුණු බැවින් බව අවබෝධ කරගත හැකිය.
මේ වන විට ඡන්ද අයිතිය සහ ආපසු සිය රට බලා පිටත් කිරීමේ ගැටලු විසඳී ඇති බැවින් කඳුකර ජනතාව සිය අවධානය ජාතික ජනවර්ගයක් ලෙස හඳුනා ගැනීම සඳහා වන ඉඩම් හිමිකාරීත්වය පිළිබඳ යොමු කිරීම අවශ්‍යව ඇත. මේ තත්ත්වය අනුව, කඳුරට ජනතාවට ඔවුන්ගේ ඉඩම් අයිතිය පිළිබඳ හෝ ඉඩම් ඉල්ලීම් පිළිබඳ පහත ආකාරයෙන් සටන් කිරීමට බල කෙරේ.
1. නිවාස අයිතිය වෙනුවෙන් ඉඩමක්
2. ජීවනෝපාය වෙනුවෙන් ඉඩමක්
3. දේශපාලන හඳුනාගැනීම වෙනුවෙන් ඉඩමක්
නිවාස අවශ්‍යතාවය උදෙසා වන ඉඩම් ප්‍රශ්නය මේ වන විට දේශපාලනික පෙළඹවීමක් බවට පත්ව ඇත්තේ දීර්ඝ විවේචන අතරය. පවුලකට නිවෙසක් තනා ගැනීම සඳහා පර්චස් හතක ඉඩම් කොටසක් ලබා ගැනීමේ දේශපාලන ව්‍යාපාරය මෑතකදී ඇරඹිණ. මේ පවුල් සිය වස් ගණනක් තිස්සේ ලයින් කාමරවල වෙසෙති. මෙය ඉදිරියට ගෙන යෑම සඳහා කඳු රට දේශපාලනඥයන් ඔවුන්ගේ ශක්තිය ප්‍රයෝජනයට ගත යුතු අතර ජාතික තලයේ බලපෑමක් ඇති කළ යුතුය. මේ ජනතාව සියවස් ගණනක් ලයින් කාමරවල විසුව ද ඔවුන්ට මේ කුඩා බිම් කොටස් දිනා ගැනීමට තව වසර විසිපහක්වත් ගත වනු ඇත.
දෙවැනි කොටස වන ජීවනෝපාය සංවර්ධනය සඳහා වන ඉඩමක් යනු නිවාස සඳහා වන ඉඩමකට වඩා තවත් ඈතට දිවෙන ඉලක්කයකි. පර්චස් 7ක ඉඩම් කැබැල්ලක් ජීවනෝපාය සංවර්ධනයට තබා පවුලක තරමට නිවෙසක් තනා ගැනීමටත් ප්‍රමාණවත් වන්නේ ද යන්තමිනි.
මිලියනයක් පමණ වන මේ වතුකරයේ වෙසෙන්නන් අතරින් උපරිමයෙන් හරි අඩක්වත් ඒ වතුවැඩවල යොදවන ලද සේවකයන්ය. කෙසේ වෙතත් වැවිලි කර්මාන්තයේ අඛණ්ඩව සිදු වූ පසුබෑම නිසා සිය රැකියා අහිමි වූවන් විකල්ප රැකියාවල නිරත වුවද ඔවුන් ද වතු සේවකයන් මෙන් වෙසෙන්නේ ලයින් කාමරවලමය. ලයින් කාමර වෙනුවට වෙනම තැනූ නිවාස සඳහා පර්චස් හතක ඉඩම් කැබලි වෙනුවෙන් වන යෝජනාව අමාත්‍ය මණ්ඩලයට සහ අයවැය යෝජනාවට ඉදිරිපත් කළ ද ඒවා වතුවල රැකියාව කරන්නන්ට පමණක් ලැබෙන ලකුණු ඇත්තේ රැකියා විරහිත ජනතාවට නිවෙසක් වෙනුවෙන් ඉඩම් කැබැල්ලක්වත් අහිමි වන අයුරිනි.
1972 රජය වතු ඉඩම් ජනසතුකරණයෙන් පසු 1992 දක්වා වැවිලි කළමනාකරණය කළේ රජය මඟිනි. 1992 දී මේවා පෞද්ගලීකරණය කළ විට, කඳුකර වැවිලි ජනසතුකරණයට පෙර පැවැති අයුරින්ම තැබුණු අතර සිංහල බහුතරයක් සිටින දකුණු පළාතේ වැවිලි කුඩා ප්‍රදේශ ලෙස බෙදන ලදී. මෙහිදී නැඟෙන පැනය වන්නේ සිංහල මිනිසුන්ට ඒ වගා බිම් ලබා දුන්නේ නම් ඒ හා සමානව කඳු රට දෙමළ ජනතාවට එය නොකළේ මන්ද යන්නයි.
කෙසේ වෙතත් රාජ්‍ය හා පෞද්ගලික සමාගම්වල පරිපාලනය හා නඩත්තු කටයුතු භාර දීමේ ප්‍රවණතාව සැලකිල්ලට ගෙන වර්තමානයේ වතු සේවකයන්ගේ විකල්ප ආදායම් ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක ‘පිටත වගා ක්‍රමය’ ට ඉඩම් අත්පත් කර ගැනීම පැහැර නොහැර කඳුකරයේද ක්‍රියාත්මක කළ හැකිය. මේ පසුපස ඇති අදහස වන්නේ සේවකයන් කුඩා කොටස්කරුවන් බවට පත් කරමින් සහ ඒ අනුව වැවිලි බිමේ ඉඩම් හිමියන් බවට පත් කරමින් වතුයායේ නිෂ්පාදනය සහ සේවකයන්ගේ ආදායම වැඩි කිරීමයි. මේ ක්‍රමය මඟින් දේශපාලන කරළියටද පැමිණ ඇති රුපියල් 1000 දෛනික වැටුප් ගැටලුවටද පිළිතුරක් සෙවිය හැකිය.
තෙවැනුව දේශපාලන නියෝජනය වෙනුවෙන් භූමියක අවශ්‍යතාව පෙනී යන්නේ මේ ප්‍රදේශවල ඡන්ද කොට්ටාස මට්ටමින් පවත්වන මැතිවරණවලදී නියෝජිතයකු පත් කර ගැනීමේ ක්‍රියාවලියේදීය. පැහැදිලිවම දැනට පවතින සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනුවට කොට්ඨාස ක්‍රමයේ හා සමානුපාතික ක්‍රමයේ මිශ්‍ර ක්‍රමවේදයක් ස්ථාපනය වනු ඇත. අභියෝගය වනුයේ තම භූමිය පදනම් කරගත් දේශපාලන පැවැත්මක් නියෝජනය කරන කඳුකර දෙමළ ජනතාව විසින් නිශේධනය කරන ලද කොට්ඨාසයක් නිර්මාණය කිරීමය.
1947 වසරේ කොට්ඨාස මැතිවරණ ක්‍රමය පවතිද්දී, කඳුකර දෙමළ ජනතාව වෙනුවෙන් නියෝජිතයන් සත් දෙනකු සිටියත් මේ වන විට ඔවුන්ට එක් ආසනයක් හෝ දිනීමට නොහැකිව ඇත. පුරවැසි නීති, මව් රටට පිටත් කිරීමේ ගිවිසුම්, කඩිනම් මහවැලි වැනි සංවර්ධන ව්‍යාපෘති සහ ස්වදේශික දෙමළ ජනතාව වෙනත් ස්ථානවල පදිංචි කිරීම මඟින් ප්‍රශ්න කෙරෙන්නේ දේශපාලනික වශයෙන් වෙන් වුණු භූමියක් පිළිබඳවය.
වර්තමානයේ නුවර එළිය දිස්ත්‍රික්කයේ අවම වශයෙන් වෙනවෙනම භුමින් දෙකකට සම්බන්ධ වීමට හැකියාව තිබුණද අනෙක් සියලු දිස්ත්‍රික්කවල කඳුකර දෙමළ ජනයා විසිර සිටින බැවින් භූමින් එක් කිරිම මගින් කඳුකර දෙමළ ජනයාට කොට්ඨාසයක් දිනා ගැනීමට ඉඩක් නොදේ.
මේ මොහොතේ වුවද සමස්ත කඳුරටම දේශපාලනික වශයෙන් ශක්තිමත් කිරීමේ හැකියාව ඇත්තේ නුවර එළිය දිස්ත්‍රික්කයෙන් තේරීපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසටය. මේ සන්දර්භය තුළ භූමියේ දේශපාලන පැවැත්ම මඟින් සමස්තයක් ලෙස කඳුරට දේශපාලනයේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය ගෙනහැර පායි.
ශ්‍රී ලංකාවේ කඳුකර දෙමළ ජනතාවගේ ශතක දෙකක ඉතිහාසයේ පළමු සියවසක කාලය තුළ ඔවුන් ඔවුන්ව පිළිබිඹු කළේ ශ්‍රමය විකුණන්නන් ලෙසය. කඳුරට ප්‍රජාව ඊළඟ විසිපස් වසර යොදා ගත්තේ ඔවුන්ගේ වෘත්තීය සමිති සහ දේශපාලන ව්‍යූහය ගොඩනඟා ගැනීමටය. නිදහසෙන් පනස් වසරක් පමණ යනතුරුත් ඔවුන් පුරවැසිභාවය සමඟ ඉඩම් අයිතිය පිළිබඳ අරගලය ගෙන නොයෑම මහත් අනුකම්පාවට කරුණකි.
ඒ කාලය තුළ බලධාරීන් ඔවුන් අයත් රට සහ මේ ජනතාවගේ ඡන්ද අයිතිය පිළිබඳ තීරණය කළද භූමිය පිළිබඳ කරුණ කරළියට ආවේ නැත. ඊළඟ හතළිස් වසර යෙදවුණේ විවිධ පීඩනයන් ඔවුන් මත පටවමින් ඉඩම් අයිතිය පිළිබඳ ඔවුන්ගේ දැක්ම මොට කර දැමූ අමාත්‍ය සංවර්ධන දේශපාලනයටය.
පර්චස් හතක ඉඩම් කොටසක් සහ සුළු දේපළ පිළිබඳ කදුරට ජනතාව ඉල්ලීම් කරමින් දේශපාලන කරළියට පිවිසෙන්නේ දැන්ය. කඳුකරයේ දෙමළ ජනතාවගේ නිවාස අයිතිය හා ජීවනෝපාය සඳහා ඉඩමක් වෙනුවෙන් ඔවුන්ට ඇති අයිතිය පමණක් නොව ඔවුන්ගේ දේශපාලන නියෝජනයද තහවුරු කරනු ඇත්තේ ඔවුන්ගේ දේශපාලන නියෝජිතයන්ගේ උපායශිලි දේශපාලන මුල පිරිමකට පමණි.

