කටුසර බිමෙක පල දැරූ ජීවිතය
කරුණාරත්න ගමගේ
වියළි කලාපයේ ගොවි ජීවිතය ජය ගන්නට මහ පොළාව සමඟ කරන සටනේ දී සොබා දහමේ අභියෝග වන නියඟය, ජල හිඟය ඔහුට එතරම් ගැටලු නොවන වග ඔහු ගේ ගොවිබිමට නෙත් යොමන කාට වුව ද පැහැදිලි වන කරුණකි. ඒ මේ අඹු සැමියන් දෙදෙනා නියඟය, ජල හිඟය වැනි සොබා දහමේ බොහෝ අභියෝග තමනට ම ආවේණික ක්රටමවේද ඔස්සේ ජය ගන්නට දරා ඇති උත්සාහය සාර්ථක වී ඇති නිසා ය.
සමන්ත සහ පි‍්‍රයංගනී අපට මුණගැසෙන්නේ ඇලහැර, අත්තනකඩවල, කහටගහපිටිය ගමේදී ය. හිත ඇත්නම් පත කුඩාද යනුවෙන් අපේ ජන සමාජයේ තිබෙන පැරණි කියමන ඒ අඹු සැමියන් යථාර්තයක් බවට පත් කරගෙන ඇත්තේ නියඟය,ජල හිඟය වැනි සොබා දහමේ බොහෝ අභියෝග ද ජය ගනිමිනි.
අක්කර බාගයක පමණ වන ඔවුන්ගේ ගොවිබිම පුරා සෑම බිම් අඟලකම පාහේ වගා කෙරුණු බෝග වර්ග රාශියෙකි. බඩ ඉරිඟු, එළවළු, පලතුරු, රටකජු, මඤ්ඤොක්කා ආදී වගා ඒ අතර වෙයි. මෙහි වඩා සුවිශේෂී වන්නේ කාලයකට සීමා නොවී වසර පුරාම විවිධ බෝග වර්ගවලින් වගා බිම පිරී තිබීමයි. ඊට අමතරව අනෙක් විශේෂත්වය ලෙස තම ගොවිපළේ් අස්වැන්න අතර මැදියන්ගෙන් තොරව ඔවුන් ම අලෙවි කරන බව ද දැකගන්නට ලැබිණි. නැවුම් එළවළු පලතුරු ආදිය මිලදී ගැනීමට ගැනුම්කරුවන් ගොවි බිමටම පැමිණෙන නිසා සිය නිෂ්පාදන අලෙවියේ කිසිදු ගැටලුවක් නැතැයි ඔවුහු කියා සිටියහ.
ඒ කුඩා ගොවිපළේ ම මායිමේ මාර්ගයට මුහුණ ලා තැනූ තමන්ගේම කඩයෙක ගොවි නිෂ්පාදන අලෙවියට තබා තිබේ. එළවළු වර්ග, පලතුරු, බඩ ඉරිඟු ආදිය ඒ අතර වෙයි. තැම්බූ බඩ ඉරිඟුවලට මේ දිනවල හොඳ ඉල්ලූමක් තිබෙන බව දෙරු මවක වන අයිග ජී. ප‍්‍රියංගනී කුසුමා ජයතිලක (37) මහත්මිය කියයි.
‘‘අවුරුද්දේ හැමදාම වගේ අපේ කොටුවේ බඩ ඉරිඟු තියෙනවා. එක කොටසක කරල් කැඩෙන කොට තව කොටසක් අලුතින් පීදෙනවා. තවත් පැත්තක පැලපත වගාව. දැන් කඩන කිරි කරල් තමා විකුණන්නේ. තම්බලා මෙතනම විකුණනවා. අමු කරල් හැටියටත් විකුණනවා. තම්බලා කරලක් රුපියල් 25 යි. අමු කරල් දෙන්නේ රුපියල් 20 ට. එවේලේම කොටුවෙන් කඩාපු ගමන් ඉරිඟු කරල් නිසා හරිම රසයි. ඒ හින්දා හැමෝම කන්න ආසයි. මේ ඉරිඟු කඬේ ගැන හුඟ දෙනෙක් දැන් දන්නවා’’
තම්බාපු බඩඉරිඟු උණු උණුවේ කෑමට රිසි ගැනුම්කරුවෝ බොහෝ දෙනෙකු ඉරිඟු කඬේ වෙත ඇදී එති. අමු ඉරිඟු කරල්වලටද ඇත්තේ ලොකු ඉල්ලූමකි. රථ වාහනවලින් යන එන උදවිය ද ඉන් බැස බඩ ඉරිඟු කරලක, රස බැල’මටත්, අලූත් එළවළු මිලද’ ගන්නටත් පැමිණෙනු පෙනේ.
කඬේ වෙළඳාමේ නිරතව සිටින ප‍්‍රියංගනීගේ සැමියා එච්. එම්. සමන්ත කුමාර හේරත් (40) ප‍්‍රදේශයේ වෙසෙන සෙසු ගොවීන් අතරින් නියඟයේ අභියෝග ජය ගැනීමට සමතෙකුවී තිබේ. ඒ නිසා වෙනත් ගොවි බිම් පුරන්ව පාළුවට යන කාලවලදීත් සමන්තගේ ගොවිපළ පල දරන බෝගයන් ගෙන් පිරී පවතී. ඒ පිළිබඳ ඔහු අපට කීවේ මෙවැනි කථාවකි.
‘‘ අවුරුද්දේ වැඩි කාලයක් මේ පළාතට පෑවිල්ල. මාස නවයක් විතරම එක දිගට පායනවා. මැයි, ජුනි, ජූලි, අගෝස්තු මාස තද ඉඩෝරේ. ඒ හැම කාලෙකම මං වගා කරනවා. කුඹුරු වැඩ කාලෙට ඇළවල්වලින් මහවැලි වතුර දෙනවා. එතකොට ඒ වතුරෙන් වගා කරනවා. අනෙක් කාලවලදී වගාවට වතුර ගන්න ලොකු වගා ළිඳක් තියෙනවා. පෑවිල්ල, ඉඩෝරය ආවා කියලා වගාව නතර කරන්නේ නෑ. පහුගිය මාස ගණනාවක් එක දිගට නියඟයග ඒත් මං වගාව නතර කළේ නෑ. මේ බඩ ඉරිඟු, මෑකරල්, රටකජු, වට්ටක්කා, මඤ්ඤොක්කා වගේ දේවල් ඔක්කොම ඒ තද පෑවිල්ලේ වගා කරපුවා. ඒවායේ තමා දැන් අස්වැන්න නෙළන්නේ. නියෙඟට ඉඩ ඇරලා පැත්තකට වෙලා හිටිය නම් මේ දවස්වල ආදායමක් නෑ. මං කිසිම වෙලාවක වතුර හිඟය ප‍්‍රශ්නයක් කර ගන්නේ නෑ. මගේ ළිඳේ වතුර තියෙනවා නම් අතින් ඇදලා වතුර දාලා හරි වගාව කරනවා’’
ජීවිතය ජය ගන්නට මහ පොළාව සමඟ කරන සටනේදී සොබා දහමේ අභියෝග වන නියඟය, ජල හිඟය ඔහුට එතරම් ගැටලු නොවන බව ඒ කතාබහේදී අපට පැහැදිලි විය. එසේ වුවද රාත‍්‍රි කාලයේ ගම් වදින වන අලින්ගෙන් වගාව බේරා ගැනීම ඉතාමත් අසීරු කරුණක් බව සමන්ත අප සමඟ කී ය.
පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ අලි-මිනිස් ගැටුම් ඉතා උග‍්‍ර ප‍්‍රදේශයක් වන ඇලහැර බොහෝ දෙනෙකු මේ ප‍්‍රශ්නයෙන් බැට කමින් සිටින බැව් නොරහසකි. ඒ පිරිස අතරේ අපගේ මේ සටහනේ කතානායකයාටද ඊට මැදිවන්නට අනිවාර්යයෙන්ම සිදුව තිබෙන බවද පැහැදිලි විය.
‘‘ ලොකුම ප‍්‍රශ්නේ තමා අලින්ගේ හිරිහැරය. හැමදාම වගේ රෑට අලි එනවා.ඒ හින්දා රෑ තිස්සෙට රකින්න ඕන. පොඞ්ඩක්වත් ඇහැ පියවුණොත් ඉවරයි. සමහර දවස්වලට අලියා ඇතුළට ආවම එළවගන්න හරි අමාරුයි. වටපිටාවෙ වෙනත් වගාවල් වැඩිපුර නැති හින්දා මේකට අලි එනවා වැඩියි.’’
මේ අපූරු ගොවි බිමේ රැඳී ගත කළ හෝරා කිහිපයේ දී අපට දැනගන්නට ලැබුණු තවත් සුවිශේෂී කරුණක් වූයේ එහි වගා කර තිබෙන ආහාර බෝග සඳහා කෘෂි රසායන භාවිතය ඉතා අවම කර තිබීමයි. විශේෂයෙන්ම එළවළු පැළ මුල් කාලයේදී කෘමි සතුන්ගෙන් ආරක්‍ෂාකර ගැනීම සඳහා කෘෂි රසායන භාවිත කළ ද අස්වනු හට ගන්නා සමයේ කෘමි නාශක කිසිසේත්ම නොයොදන බව ගොවි යුවළ අප සමඟ කීහ. තම නිෂ්පාදනවලට වැඩි ඉල්ලූමක් පැවැතීමට ද එක් හේතුවක් වී ඇත්තේ ඒවායේ රසයෙහි, ගුණයෙහි තිබෙන ඉහළ මට්ටම යැයි ද ඔවුහු පැවැසූහ.
පාසල් යන දරුවන් දෙදෙනෙකු ඇතුළු සිවු දෙනෙකුගෙන් යුත් තම පවුලේ ජීවන බර ගෙන යන්නට ඔවුහු මහෝපකාරී කරගෙන ඇත්තේ සිය හුරුපුරුදු ගොවිතැනයි. තම දියණියන් දෙදෙන උදේ පාසල වෙත යවා තමන්ද ගොවිපළ කටයුතුවලදී සැමියාට උදව් වන්නට පැමිණෙන බව පි‍්‍රයංගනී අප සමඟ පැවැසුවාය. ඊට අමතරව කඬේ වෙළඳාම් කිරීමේ කාර්යය ඉටුවන්නේ ද ඈ වෙතිනි. කැත්තට,උදැල්ලට දෑත හොඳට හුරු දෙදෙනම ගොවිතැන් කටයුතු කඩිසරව කරති. එදිනෙදා විය පැහැදම් සඳහා ප‍්‍රමාණවත් මුදලක් තමන්ට ලැබෙන බවද ඔවුහු කීහ.
කටුක පරිසරයේ වෙසෙමින් ඔවුන් නියැළී සිටින ජීවිකා වෘත්තිය ද අතිශය දුෂ්කර බැව් අමුතුවෙන් කිවයුතු නොවේ. ජීවිතය ජය ගන්නට ගෙන යන සටනේදී ඊට අවැසි පරිසරය සකසා ගන්නට බොහෝ අභියෝග ජයගැනීම කළ යුතු බව අවබෝධ කරගෙන ඒ අනුව කටයුතු කිරීම කළ යුතුව තිබෙන බව ඇලහැර, අත්තනකඩවල, කහටගහපිටියේ ගොවි යුවළ, සමන්ත සහ ප‍්‍රියංගනී අපට සිහිපත් කර දෙන වගකීමයි.
This article was originally published on the catamaran.com