කට නිසා නහින කකුළුවෝ
සිරංගිකා ලොකුකරවිට
කඩොලාන පරිසර පද්ධතියක් යනු අතිශය සංවේදී පාරිසරික කලාපයකි. ජෛව විවිධත්වයෙන් අනූන එවැනි පරිසරයක ජීවී විශේෂ සිය ගණනක් ජීවත්වන්නේ අන්තර් සම්බන්ධතා රැසක් පවත්වාගනිමිනි.
ශාක මෙන්ම සත්ත්ව විශේෂද ඒ අතර බහුලය. කිවුල් ජලය සහිත කඩොලාන පරිසර පද්ධතිවල මසුන්, බෙල්ලන්, කකුළුවන් විශේෂ ගණනාවක් ජීවත්වෙති.
ගාල්ලේ රූමස්සල කන්ද අසලින් මුහුදට එකතු වන බම්බගල ඇළ අවට අපූරු කඩොලාන පරිසර පද්ධතියක් නිර්මාණය වී තිබේ. ඒ අවට ඇති ඇළ රක්ෂිතය පමණක් නොව පුද්ගලික ඉඩම් රැසකද මේ වනවිට කඩොලාන පරිසරය පද්ධතිය ව්‍යාප්ත වී තිබේ. එම ප්‍රදේශයේ ජනාවාසකරණයත් සමඟ ස්වභාවික ජලවහන පද්ධතියට ඇති වූ වෙනස්කම් හේතුවෙන් දැන් කඩොලාන ව්‍යාප්තිය වැඩි වී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
කඩොලාන සමග ආ කකුළුවෝ
කඩොලාන ව්‍යාප්තිය සමඟ මේ ප්‍රදේශය කකුළුවන්ගේ රජදහනක් බවට පත්ව ඇත. කඩොලාන ශාක වැවෙන සෑම තැනකම කකුළුවන් ගුල් හාරා ඒ තුළ ජීවත්වන අතර රුහුණ විශ්වවිද්‍යාලය විසින් වසර ගණනකට පෙර කරන ලද සමීක්ෂණයකින් අනාවරණය කරගෙන ඇත්තේ ලොකු කුඩා කකුළුවන් විශේෂ 34ක් එම පරිසරයේ ජීවත්වන බවයි. කලපු ආශ්‍රිත පරිසරයට අනුවර්තනය වී ඇති මේ කකුළුවන්ගෙන් ඇතැම් විශේෂවලට සංචාරක ක්ෂේත්‍රයේ ඉතා ඉහළ ඉල්ලුමක් තිබේ.
ඒ නිසාම මේ අවට පදිංචිකරුවෝ බම්බගල ඇළ අවට කඩොලාන පරිසරයේ ජීවත්වන කකුළුවන් අල්ලා ආහාර පිණිස සංචාරක හෝටල්වලට විකුණති.
ඔවුන් මේ කකුළුවන් ඇල්ලීමට යොදා ගන්නේ අපූරු ක්‍රමයකි. කකුළුවන් තම වර්ගයාගේම මස් කෑමට දක්වන ආකර්ශනය උපයෝගී කරගෙන ඔවුහු කකුළුවන් අල්ලති. කකුළු මස් කෑමට පැමිණෙන ඔවුන්ට අවසානයේ සිදු වන්නේ මිනිසුන්ගේ ආහාරයක් බවට පත් වීමටය.
බම්බගල ඇළ අවට සිටින කලපු කකුළුවන් අල්ලා ගැනීමට ඇමක් ලෙස භාවිතා කරන්නේ එම ප්‍රදේශයේ සෑම තැනක ම බහුලව දක්නට ලැබෙන මඩ කකුළුවන් නමැති කුඩා කකුළු විශේෂයකි.
කඩොලාන පරිසරයේ ඔබ මොබ යන මේ කුඩා කකුළුවන් මිනිසා ආහාරයට ගන්නා කකුළු විශේෂයක් නොවේ. වෙළෙඳ පොළ ඉහළ වටිනාකමක් ඇති ආහාරයට එක්කරගන්නා කකුළුවන් ජීවත්වන්නේ බම්බගල ඇලේ කිවුල් ජලයේය.
කකුළු දඩයමට කකුළු ඇමක්
කකුළුවන් අල්ලා සිය දිවි පෙවත සරි කර ගන්නා වයි.එල්. ගාමිණී මෙසේ කීවේය.
“මේ ඇලේ ලොකු කකුළුවෝ වර්ග කිහිපයක්ම ඉන්නවා. ඒත් කඩොලාන පරිසර පද්ධතියේ ගුල් හාරාගෙන ඉන්න මඩ කකුළුවන් පොඩියි. එයාලව ආහාරයට ගන්න බැහැ. නමුත් මේ කඩොලාන පරිසරයත් සමඟ ඇළේ ජීවත් වෙන කහට කකුළුවා, රාංගයා සහ කඩොල් කකුළුවා කියන කකුළු වර්ග තුන ප්‍රමාණයෙන් විශාලයි. ඒ වගේම එයාලට හොඳ වෙළෙඳ පොළ ඉල්ලුමක් තියෙනවා. මේ ප්‍රදේශයේ සංචාරක හෝටල්වලින් ලොකු මුදලක් දීලා එවුන් මිල දී ගන්නවා. ඒ වගේ කකුළුවන් කිලෝ එකක් රුපියල් 2,000.00කට විතර විකුණන්න පුළුවන්.”
ඔහු කකුළුවන් ඇල්ලීමට භාවිත කරන්නේ කම්බියක් රවුමට නවා සාදා ගත් අතංගුවකි. එහි දැලක් යොදා ගොට්ටක් මෙන් සාදා ඇත. මේ අතංගුවේ හරි මැද කකුළුවන් වෙනුවෙන් ඇමක් සාදයි. මේ ඇමට යොදාගන්නේ කඩොලාන සහිත පරිසරයේ බහුලව සිටින මඩ කකුළුවන්ය. මඩ කකුළුවන් කිහිප දෙනකු අල්ලාගන්නා ගාමිණී ඔවුන් ගලකින් තළා පොල් මටළු කැබැල්ලකට සිරකොට පොට්ටනියක් සාදාගනී. මේ පොට්ටනිය අතංගුවේ මැදට වන්නට ගැට ගසයි. ඉන් පසු මේ ඇම ඇළේ ජලයට ගිල්වයි.
තලා පොඩිකරන ලද මඩ කකුළු මස් කෑමට විශාල කකුළුවෝ එම අතංගුව මතට එති. ගාමිණී ටික වේලාවක් නිසොල්මන්ව බලා සිට අතංගුව ඔසවා බලයි. මඩ කකුළුවාගේ මසට ලොබ බැඳ පැමිණෙන කකුළුවන් තමන් උගුලකට හසු වූ බව දන්නේ නැත. ගාමිණී කකුළුවන් ඉතා පහසුවෙන් අල්ලාගනී. ඔවුන්ගේ පාද සිරකර ගෝනි ලණුවකින් බැඳ පණපිටින්ම වෙළෙඳ පොළට යැවෙයි.
සිය කැමැත්තෙන් අතංගුවට!
බම්බගල ඇළට නිරත නිතර කරදිය පැමිණෙයි. එලෙස කරදිය වැඩි වූ දිනවලදී කකුළුවන් ඇල්ලීම අපහසු කාර්යයක් බව ගාමිණීගේ අදහසය. ඔවුන් කකුළුවන් ඇල්ලීම සිදුකරන්නේ උදේ පාන්දර සිට දහවල් 12.00 අතර කාලයේදීය.
ඇතැම් දිනවල රාත්‍රියේදී කඩොලාන පරිසරයේ විදුලි පන්දම් යොදාගෙන ඇවිද යන විට ලොකු කකුළුවන් ජලය ආසන්න ගොඩබිම සිටිනු දක්නට ලැබෙන බවත් එවැනි අවස්ථාවලදී මඩ කකුළු උගුලක් සහිත අතංගුවක් කිට්ටු කළ විට ඔවුන් අතංගුවට ගොඩ වන බවත් ඔහු කියයි. ඒ ආකාරයෙන් රාත්‍රී කාලයේ දී කකුළුවන් අල්ලන ගාමිණී ජලයේ බැස කිමිදී කකුළුවන් ඇල්ලීමද කලාතුරකින් සිදුකරයි.
පරිසරයම වෙනස් වෙලා
ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මයිකල් විජේදාස මෙසේ පවසයි.
“ඉස්සර අපි පොඩි කාලේ මේ තරම් කඩොලාන තිබුණේ නෑ. දැන් ඇළ මාර්ග අවහිර වෙලා හරිහැටි වතුර බැස යන්නේ නෑ. ඒ නිසා මේ ප්‍රදේශය පුරා කිවුල් ජලය පිරෙනවා. කිවුල් ජලයත් එක්ක හැමතැනම කඩොලාන වර්ධනය වෙලා. අපි පොඩිකාලේ තිබුණු පොල්වතු, කුඹුරු සියල්ල දැන් කඩොලාන පරිසර පද්ධතියක් බවට පත්වෙලා තියෙනවා. කකුළුවන් හැමතැනම ගුල් හාරනවා. එක තැනක ගුලක් හෑරුවට එයාලා ඉන්නේ ඊට මීටර ගණනක් ඈතින්. මේ පොළොව යට තියෙන්නේ කකුළු ජනපද. පුංචි කකුළුවන් ආහාරයට ගන්නේ නෑ. ඒත් මේ කඩොලාන පරිසරයේ ම ජීවත් වෙන ලොකු කකුළුවන්ට සංචාරක හෝටල්වලින් හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා අපේ ගමේ විශාල පිරිසක් පුරුදුවෙලා ඉන්නවා කකුළුන් අල්ලා හෝටල්වලට සපයන්න. ඒ කකුළුවන් අල්ලන්න ඇමක් විදියට යොදාගන්නේ මඩ කකුළුවන්මයි. මේක අමුතු දෙයක්.”
මෙම ස්ථානයේ අල්ලන කකුළුවන් මිල දී ගන්නේ සංචාරක හෝටල්වලට කකුළුවන් සපයන අතරමැදියන් විසිනි.
මාළුවා නසින්නේ කට නිසා බව ප්‍රකට කියමනකි. කකුළුවා ද නහින්නේ කට නිසාය. මාළුවාගේත් කකුළුවාගේත් වෙනස වන්නේ කකුළුවා තමන්ගේ ම වරිගයේ තවත් සතකුගේ මස් කෑමට පැමිණ විනාශය ළඟා කර ගැනීමයි.