අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් සමාජ

අරාජිකත්වය හමුවේ ඉහල යන ඝාතන රැල්ල

කමණී හෙට්ටිආරච්චි

කොළඹ නගරයේ පිටකොටුව අතිශයින් ජනාකීර්ණ පෙදෙසකි. විවිධ අවශ්‍යතා සඳහා කොළඹ නගරයට පැමිණෙන සහ කොළඹ නගරයෙන් පිට පළාත් බලා  යන ජනතාව සිය ප්‍රවාහන අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා පසුගිය මැයි මස 30 වෙනි දින කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි බස් නැවතුම්පොළේ රැඳී සිටියේ සිය බස් රථය පැමිණෙන තෙක් ය. මහ දවාලේ එක්වරම ඇසුණු ‘රතිඤ්ඤා පුපුරනවා‘ වැනි හඬකින් ඔවුන් සියලු දෙනා තිගැස්සී ගියෝ ය.

දකුණු ඉන්දීය චිත්‍රපටයක දර්ශනයක් ඔවුන් ඉදිරියේ සැබෑවටම රඟ දැක්වෙමින් තිබිණ. සන්නද්ධ පුදගලයෙකුගේ වෙඩි පහරින් තරුණයන් තිදෙනෙක් ’කපා හැළුණු කෙසෙල් කඳන් ‘ මෙන් බිම පතිත විය. 

රටේ ප්‍රාධාන වාණිජ නගරය වූ කොළඹ නගරයේ 2022 මැයි මස 30 දා සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් දෙපිරිසක් අතර වූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස එම වෙඩි තැබීම වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුව ප්‍රකාශයට පත් කළේ ය. එම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු මිය ගිය බව ද මාධ්‍ය වාර්තා පළ කර තිබිණි. මැයි 30 දා සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පසුව වූ එවැනිම වෙඩි තැබීම් හේතුවෙන් ජුනි මස 30 දා වන විට එනම් මාසයකට පමණ කාලයක් තුළ පුද්ගලයන් 20 ක් පමණ මහ මග වෙඩි තබා ඝාතනය කර තිබිණ.

ලංකාව තුළ මේ වන විට මුහුණ දී ඇති අරාජිකත්වය හමුවේ පොලීසිය ප්‍රමුඛ නීතිය ආරක්ෂා කිරීමේ නිල වගකීමෙන් බැඳී සිටින ආයතනවල අවධානනය යොමු වී තිබෙනුයේ රටේ වෙනත් ගැටළු විසඳීම කෙරෙහි ය. විශේෂයෙන් උද්ඝෝෂණ මර්දනය, රටේ ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, තෙල් හා ගෑස් පෝලිම්වල රාජකාරි කිරීම හා ඒවා ආශ්‍රිතව ඇති වන ගැටුම් පාලනය කිරීම ය. ලංකාවේ සංවිධානාත්මක අපරාධවලින් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් සිටියදී ඊට අදාළව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ, සැකකරුවන් 04 දෙනෙකු පමණි. (මෙම සංඛ්‍යා හා දත්ත අදාළ වන්නේ, පසුගිය ජුනි 30 දාට පමණක් බව සලකනු මැනවි) 

රට පත් වී ඇති අරාජික තත්ත්වය හේතු කොට ගෙන සාමාන්‍ය ජනතාව කුසගිනි නිවා ගැනීම සඳහා ආහාරයක් සොයා ගැනීමට වෙහෙසෙන මෙම අවධියේ සංවිධානාත්මක අපරාධකරුවන් සිය ගොදුරු පසුපස හඹා යන්නට පටන් ගෙන තිබේ. ලංකාවේ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා මෙරට පොලීසිය අනුගමනය කළ ජනප්‍රිය ක්‍රමවේදය වූයේ, ආයුධ පෙන්වීම සඳහා සැකකරුවන් රැගෙන යාම ය. ලෝකයේ සහ මෙරට සම්මත නීති පද්ධතිය අමු අමුවේ උල්ලංගනය කරමින් පොලීසිය අනුගමනය කළ අතිශයින් අමානුෂික දඬුවම් ලබා දීමේ ක්‍රමවේදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී මෙන්ම මෙරට මානව හිමිකම් සංවිධානවල ද දැඩි විවේචනයට ලක් විය. කෙසේ නමුත් දියුණු රටකට නුසුදුසු එවැනි දඬුවම් ලබා දීමේ ක්‍රමවේදයන් අනුගමනය කළ ශ්‍රී ලංකා පොලීසිය මාසයක් වැනි කාලයක් ඇතුළත වෙඩි තැබීම්වලින් පුදගලයින් 20 දෙනෙකු මරණයට පත් වෙද්දී මුනිවත රකිනුයේ හේතු දෙකක් නිසා යැයි උපකල්පනය කළ හැකිය. රටේ උද්ගතව ඇති තත්ත්වය හේතු කොට ගෙන මෙවැනි ඝාතන පිළබඳ පරීක්ෂණ පවත්වා ඊට වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ඒමට මෙම ප්‍රායෝගික ගැටලු මින් එකක් විය හැකි ය. නොඑසේ නම් එකිනෙකා මරාගෙන විනාශ වීම තමන්ගේ කටයුතුවලට පහසුවක් යැයි නිලධාරීන් සිතනවා විය හැකිය . නමුත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රබල සමාජ කම්පනයක් ඇති කොට බලයට පත් වූ ආණ්ඩුවක් යටතේ අනවසර ගිනි අවි අතැතිව සිටින මෙවැනි කණ්ඩායම්වලට රිසි ලෙස සමාජයේ නිදහසේ හැසිරීමට ඉඩ දීම කෙතරම් දුරට ප්‍රඥාගෝචර ද යන්න සිතා බැලිය යුතුය. 

රටේ කුමන දුෂ්කර තත්ත්වයක් යටතේ වුව ද මාසයක් ඇතුළත පුදගලයන් 20 දෙනෙකු ඝාතනය වීම එම රටේ නීතියට හා සාමයට එල්ල කරන ලද අභියෝගය සරලව තක්සේරු කළ නොහැකි ය. මිනිසෙකුට මිනිසෙකු ලෙස ජීවත් වීමට තිබෙන අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමකි. මෙම ඝාතනයට ලක් වූ සියලු දෙනා ද එම අයිතිවාසිකමට හිමිකම් ඇති අය බව අමතක නොකළ යුතුය. මෙසේ ඝාතනයට ලක් වූ සියලු දෙනා විවිධ අපරාධ චෝදනාවලට ලක් වූ අය බව පොලීසියත් මෙරට ජනමාධ්‍යත් පුන පුනා ප්‍රකාශ කිරීමට පටන් ගෙන තිබේ. ඉන් අනියම් අයුරින් උත්සාහ ගනිමින් සිටින්නේ, එකී ඝාතනවලට සමාජය ඉදිරියේ කිසියම් සුජාතබාවයක් අත් කර දීමය. එය ශිෂ්ඨසම්පන්න සමාජය කිසිසේත් අනුමත කරන්නේ නැත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ දසවැනි වගන්තිය කෙරහි අවධානය යොමු කර බලන්නේ නම්, එහි සඳහන් වන්නේ මෙසේ ය. “තමන්ගේ අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳව හෝ තමන්ට විරුද්ධව යම් අපරාධ චෝදනාවක් පිළිබඳ හෝ නිශ්චය කිරීම සඳහා සාධාරණ වූත් විවෘත වූත් ස්වාධීන අපක්ෂපාතී නඩු විභාගයකට සෑම තැනැත්තෙකුම පූරණ සමානත්වයෙන් යුක්තව හිමිකම් ලබයි. “

එමෙන්ම කැලෑ නීතිය යටතේ නඩු විභාග කොට මේ ආකාරයෙන් මහ මග දඬුවම් ලබා දීමේ ක්‍රමවේදයත් , පොලීසිය ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට උදාසීන පිළිවෙතක් අනුගමනය කිරීමත්, රටක නීතියේ ආධිපත්‍යයට එල්ල කරනු ලබන්නේ මරු පහරකි. මේ සම්බන්ධයෙන් අප ද රටක් ලෙස පිළිගත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ පස් වන සහ හයවන වගන්තියෙන් දක්වා ඇත්තේ, “කිසිම පුද්ගලයෙක් වධ හිංසාවකට හෝ කෲර අමානුෂික සැලකිල්ලකට හෝ දඬුවමකට භාජනය නොකළ යුතු ය. එමෙන්ම සෑම අවස්ථාවකදීම නීතිය ඉදිරියේ පුද්ගලයෙකු වශයෙන් පිළගනු ගැබීමේ අයිතිය සෑම කෙනෙකුම සතුය.” යනුවෙනි.

ලංකාවේ දේශපාලන අධිකාරියේ සහ වෙනත් ප්‍රභූන්ගේ අවශ්‍යතා මත සංවිධානාත්මක අපරාධ කල්ලි සම්බන්ධයෙන් පොලීසිය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට සමාජය තුළ ප්‍රබල චෝදනාවක් පවතී. එම චෝදනාව සනාථ වන අන්දමේ කටයුතු පසුගිය ඉතිහාසාය පුරා දක්නට ලැබුණු බැවින් එය අසත්‍යය යැයි විචක්ෂණශීලිව මෙම ගැටළුව දෙසෙ බලන අයෙකුට පෙනී යන්නේ නැත. සියල්ලන් නීතිය ඉදිරියේ එකිනෙකාට සමාන බව ත් නීතියෙන් ආරක්ෂාව ලැබීමට කිසිදු විශේෂත්වයක් නොමැතිව සියල්ලෝම හිමිකම් ලබන බව ත් මෙම ප්‍රකාශනයට පටහැනිව කෙරෙන ඕනෑම අසාධාරණයකින් ආරක්ෂා වීමේ අයිතියක් එවැනි අසාධාරණයන්ට පෙළඹවීමෙන් ආරක්ෂා වීමේ අයිතියත් සියල්ලට හිමි බවට එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙන් තහවුරු කර ඇති අයිතිය ශ්‍රී ලංකා පොලීසිය උල්ලංඝනය කරන බවට කෙනෙක්ට තර්ක කළ හැකිය. 

අපරාධ මර්දනය කිරීම සහ ඒවා පාලනය කිරීම සඳහා රටක සිටින නිල ආයතනය වන පොලීසියට සමාජ සංවේදී  මෙවැනි ඝාතන රැල්ලකදී චෝදනා එල්ල කිරීම යුක්ති සහගතය. මන්ද ජනතා බදු මුදලින් නඩත්තු වන ඔවුන්ගේ රාජකාරිය එය වන බැවිනි. නමුත් සංවිධානාත්මක අපරාධ කල්ලි යනු සමාජයේ පුළුල් පරාසයක් ආවරණය කරමින් විහිදී ඇති පිළිලයකි. එබැවින් මීට ඇති අන්තර් සබඳතා ජාලය සම්බන්ධයෙන් අපරාධ විද්‍යාව සහ දේශපාලන විද්‍යාව පිළිබඳ මෙරට පා්‍රමාණික බුද්ධිමතුන්ගේ අධ්‍යයනයන් කෙරෙහි මදක් අවධානය යොමු කළ යුතුය. 

අපරාධ කල්ලි සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී අපගේ සිහියට නැගෙනුයේ නම ගිය අපරාධකරුවන් රැසකගේ ලැයිස්තුවක නම් ය. නමුත් එම අපරාධ කල්ලිවල අභ්‍යන්තරය දෙස බැලීමේදී පෙනී යන්නේ, අපරාධවලට බොහෝ විට සම්බන්ධ වන්නේ, අපරාධ කල්ලි හෝ මාෆියා කල්ලි නොවේ. සමාජයේ ප්‍රභූන් යැයි සැලකෙන සමාජයේ ඉහළ පෙළේ පුද්ගලයින් ය. අධිකරණ නිලධාරීන්, වෛද්‍යවරුන්, නීතීඥයින් , රේගු නිලධාරීන් , සිවිල් සේවකයින්, බදු නිලධාරීන් , පොලිස් නිලධාරීන් වැනි උසස් යැයි සම්මත අපරාධ විද්‍යාවට අනුව ‘සුදුකරපටි’ වෘත්තිකයින් ය. ඉහළපෙළේ ව්‍යාපාරිකයින් මේ පිරිසට අයත්ය. නීතිමය අර්ථයෙන් කෙරෙන බෙදා වෙන් කිරීම්වලදී සංවිධානාත්මක අපරාධ ලෙස බෙදා වෙන් කරනුයේ ව්‍යාපාරිකයින් විසින් කරනු ලබන අපරාධ පමණි. සුදුකරපටි වෘත්තිකයින් කරන අපරාධයන් සුදුකරපටි වෘත්තිකයින් විසින් කරනු ලබන අපරාධ ලෙස අර්ථ දක්වනු ලබයි. නමුත් හරයාත්මකව බලන කල පෙනී යන්නේ , මේ දෙක අතර වෙනසක් දැකිය නොහැකි බව අපරාධ විද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන අය පෙන්වා දෙයි.සැබවින්ම සිදුවන්නේ දෙවර්ගයක අපරාධ නොව එක් කණ්ඩායමක් විසින් පටන් ගන්නා අපරාධ සංවිධානාත්මකව කර ගෙන යාමට අනෙක් කණ්ඩායම චේතනාන්විතව සහය දීමය. සංවිධානාත්මක අපරාධ කිරීමේ පෙරමුණු බලඇණිය ලෙස හඳුන්වනු ලබන්නේ ව්‍යාපාරිකයින් ය. නමුත් එම අපරාධ කිරීමට ඔවුන්ට අනුග්‍රහය ලබා දෙන්නේ දේශපාලනඥයින් ය. සංවිධානාත්මක අපරාධකරුවන්ට සහ සෙසු අයට නීතිමය වශයෙන් සහ වෙනත් රාජකාරී මට්ටමේ නිල සහයන් ලබා දෙන්නේ, සුදුකරපටි වෘත්තිකයින් ය. අවසානයේ සියල්ල සිදුවන්නේ මෙම පාර්ශව තුනේම ඒකාබද්ධ සහයෝගයෙන් ය. 

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts