අතුරුදහන් කළ සිසුන් 11දෙනාට යුක්තිය මඟහැරියද සත්‍යය වල දැමිය නොහැක
දෙවන දිගහැරුම
අසංක අබේරත්න
සිය පුතුගේ පැහැර ගැනීම පිළිබඳව කටුක අත්දැකීම පැහැදිළි කරමින් දිලාන්ගේ මව ජෙනීෆා වීරසිංහ, “…රජිව් වැඩිදුර ඉගෙනගන්න රට යන්න හිටියේ. කලින් දවසේ එයාව මුණගැහෙන්න කියලා තමයි දිලාන් ගෙදරින් ගියේ. ඒත් එයා ආයෙම ගෙදර ආවේ නෑ. ඒ අයව හොයන්න අපි ගොඩාක් මහන්සි වුණා. නාවික හමුදාවේ කිහිප දෙනෙක් මගේ පුතයි පුතාගේ යාලුවෝ හතරදෙනයි පැහැරගෙන තියෙනවා කියලා රහස් පොලිසියේ මහත්තයෙක් අපට කීව්වා. 2009 මේ ගැන නඩුවකුත් දැම්මා. ඒත් අද වෙනකම් කිසිම යුක්තියක් ඉටුවෙලා නෑ” ඇය වේදනාවෙන් එසේ පැවසුවාය. පැමිණිළි පාර්ෂවය හා මෙම අපරාදයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළයුතු බවට හඩනැගූ අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව සහ අනෙකුත් මානව හිමිකම් සංවිධාන නොකඩවා ඒ පිළිබඳව අවධියෙන් පසුවිය.
කෙසේ නමුත් 2015 ආණ්ඩු මාරුවෙන් පසු නාවික හමුදාවේ නිලධාරින් පිරිසක් විසින් තරුණයින් එකොළහක් පැහැරගෙනයාමේ මෙම සාහසික අපරාදය පිළිබඳ විමර්ෂණ කටයුතු කඩිනම් කිරීමට පසුගිය රජය යටතේ යාන්තමින් හැකියාව ලැබුණි. ඒ අනුව මන්දගාමීව තිබූ විමර්ෂණ කටයුතු කඩිනම් කිරීමට රහස් පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතාට භාර කෙරුණි. වැඩිදුර විමර්ෂණවලදී වැදගත් සාක්ෂි කිහිපයක් අනාවරණය කර ගැනීමට විමර්ෂකයින්ට හැකි විය. ඒ අනුව,
මෙම තරුණයින් එකොළෝස්දෙනා පැහැරගැනීමෙන් පසුව කොළඹ චෛත්‍ය පාරේ පරාක්‍රම නාවික හමුදා මූලස්ථානයට ආසන්න පිට්ටු බම්බුව යන ස්ථානයේ තාවකාලිකව රදවාතබාගෙන සිට තිබේ.
මෙම තරුණයින්ගේ පවුල්වලට දුරකථන මාර්ගයෙන් අමතා කප්පං ඉල්ලා තර්ජනය කොට තිබේ.
එවකට හමුදාපති ලෙස කටයුතු කළ වසන්ත කරන්නාගොඩගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ලෙස කටයුතු කළ ලුතිනන් කමාන්ඩර් මුණසිංහ ආරච්චිලාගේ දොන් නිලන්ත සම්පත් මුණසිංහ නවාතැන් ගත් කාමරය සහ ඔහු භාවිත කළ රථය පරීක්ෂාවට ලක් කිරීමේදී විවිධ වර්ගයේ පිස්තෝල, ජීව උණ්ඩ ද පැහැරගැනීමට ලක්වූ වින්දිතයින් සිවු දෙනෙකුගේ ජාතික හැදුනුම්පත් (අමලන් ලියෝන්, රොෂාන් ලියෝන්, ඇන්ටනී කස්තුරිආරච්චි සහ කනගරාජා ජෙගන්), සිම්කාඩ්, විදෙස් ගමන් බලපත්‍රයක් සහ ක්‍රෙඩිට් කාඩ්පතක් ඇතුලුව භාණ්ඩ 21ක් නාවික හමුදාවේ විනයාරක්ෂක අංශය භාරයට ගැනීම.
ජෝන් රීඩ් නැමැති තරුණයා පැහැර ගැනීම සඳහා භාවිත කර තිබෙන වාහනය විත්තිකරුවන් විසින් ව්‍යාජ අංක තහඩු සහ ව්‍යාජ වාහන බලපත්‍රයක් යොදාගෙන තිබෙන බවට අනාවරණය වීම.
එක් වින්දිතයකුට අයත් ජංගම දුරකථනය නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වන ලුතිනන් කමාන්ඩර් සුමේද සම්පත් දයානන්ද යන අය විසින් භාවිත කර ඇති බවට අනාවරණය වීම.
එමෙන්ම මෙම පැහැර ගැනීමේ සිද්ධියට අදාළව විමර්ෂණ කටයුතු පුලුල් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වින්දිතයින් එකොළොස් දෙනා පසුව ත්‍රිකුණාමල නාවික හමුදා කදවුරේ රහසිගතව රදවාගෙන සිටි බවට අනාවරණය කර ගැනීමට එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කණ්ඩායමට හැකිවිය. බලහත්කාරයෙන් හෝ ස්වෙච්ඡා නොවන අතුරුදහන්වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම එම සැකකටයුතු ස්ථානය නිරීක්ෂණය කර තිබේ. එහිදී මෙම තරුණයින් එකොළොස් දෙනා රදවාගෙන වදහිංසා සිදුකර තිබෙන එම ස්ථානය ත්‍රිකුණාමල නාවික තටාංගන ආයතනයේ Gun Site(ගන් සයිට්) නමින් පවත්වාගෙන යන භූගත සිරමැදිරිය ලෙස හදුනාගෙන තිබේ. හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මෙම පැහැරගැනීම් සම්බන්ධව ද මෙම නඩුවේ 14වන විත්තිකරු ලෙස නම්කර සිටින වසන්ත කරන්නාගොඩ ද ත්‍රිකුණාමල නාවික හමුදා කදවුර තුළදී වින්දිතයින්ට වධහිංසා සිදු කිරීම පිළිබඳව දැනුවත්ව සිටීමෙන් එයට අනුබල දී තිබේය යන චෝදනාව මත අත්අඩංගුවට පත්විය. එහෙත් විමර්ශණ කණ්ඩායම්වලට අපහැදිළි එක් කරුණක් වී ඇත්තේ මෙම පැහැරගැනීම හා කප්පං ඉල්ලා වින්දිතයින්ගේ පවුල්වලට තර්ජනය කිරීම පිළිබඳව සිය පෞද්ගලික ආරක්ෂක නිළධාරියා වූ නිලන්ත සම්පත් මුණසිංහ යන අයට එරෙහිව එවකට කොළඹ දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත්තේද වසන්ත කරන්නාගොඩ විසින්ය. 2015 වසරේ මේ පිළිබඳව පැවති මාධ්‍ය සාකච්ඡාවකදී “නාවික හමුදාපති විදිහට හිටපු කරන්නාගොඩ මහතා, ඔහු නොදැනුවත්වද මේක ක්‍රියාත්මකවෙලා තියෙන්නේ?” යනුවෙන් මාධ්‍යවේදියකු ඇසූ පැනයට පිළිතුරු දෙමින් “ඔහු තමයි මේ සම්බන්ධව මුල් තොරතුර ලබා දී තිබෙන්නේ… ඔහු යටතේ සිටින කණ්ඩායමක් විසින් මේ ක්‍රියාව සිදු කරනවා…” යනුවෙන් හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන මහතා පිළිතුරු දුණි.
https://www.youtube.com/watch?v=wY74J8FjcE8 කෙසේනමුත් 2017 ජනවාරි 29වන දින නිමල් අබේසිංහ මාධ්‍යවේදියා විසින් “නාවික හමුදාවෙන් කළ පැහැර ගැනීම් වැළලී යාවිද?” යන හිසින් රාවය පුවත්පතේ පළ කළ ලිපිය අවසන්කර ඇත්තේ “පදුරට විදීම පිළිබඳ පරීක්ෂණ කරද්දී හාවාටද වැදී ඇති බව දැන් හෙළිදරවු වී හමාරය” යනුවෙනි.