අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

අතුරුදහන් කළ සිසුන් 11දෙනාට යුක්තිය මඟහැරියද සත්‍යය වල දැමිය නොහැක

පළවෙනි දිගහැරුම

අසංක අබේරත්න

දිනය- 2008 වසරේ සැප්තැම්බර් මස 17 වෙනි බදාදා. තවත් එක් හවසක හිරු බැස යමින් තිබුණි. දිලාන් (ජමාලීන් දිලාන්) නිවසින් පිටව යන්නේ සිය මිතුරෙකු මුණ ගැසීමටය. ඔහු නමින් රජීව් (රජීව් නාගනන්ද) ය. ඩිලාන් සහ රජීව් ගජ මිතුරන්ය. 2008 සැප්තැම්බර් 18 වන දින රජිව් එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව සිටියේය. ඒ වෙන යමක් නිසා නොව වෛද්‍ය විද්‍යාව හැදැරීමටය. එංගලන්තයට යාමට පෙර දින රාත්‍රියේ රජිව් සිය මිතුරන් වෙනුවෙන් සමුගැනීමේ ප්‍රිය සාදයක් සූදානම් කර තිබුණි. ඒ බම්බලපිටියේ එක්තරා අවන්හලක ය. දිලාන් ඇතුලු රජිව්ගේ තවත් මිතුරන් තිදෙනෙකුවූ ප්‍රදීප් විශ්වනාදන්, තිලකේෂ්වරන් රාමලිංගම් සහ මොහොමඩ් සාජින් ද මෙම ප්‍රිය සාදය සදහා ආරාධනා ලැබ තිබුණි. ඒ වන විට අවුරුදු 17 ත් 20 ත් අතර ගැටවර වයසේ පසුවූ මෙම මිතුරු කැළ කොළඹ ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයන් විය. ඉන් එක් අයෙකු ගියේ බම්බලපිටිය හින්දු විද්‍යාලයට ය. මෙදින කොළඹ කොටහේන ප්‍රදේශයෙන් මෝටර් රථයකට ගොඩවූ මෙම මිතුරන් පස්දෙනා රජිව් වෙන්කර තිබූ බම්බලපිටියේ අවන්හල වෙත යාමට පිටත් විය. එහෙත් ඒ අතරමගදී ඔවුන්ට දෙහිවල ප්‍රදේශයට යාමට අවශ්‍ය විය. ඒ ඔවුන්ගේ තවත් සගයෙකු වූ මෙහොමඩ් හාජිගේ ඉල්ලීමකට අනුවයි. ඔවුන් දෙහිවලට ගියද සැලසුම්කරගෙන තිබූ පරිදි බම්බලපිටිය අවන්හල වෙත යාමට නොහැකි විය. එහෙත් මේ කිසවෙකු ආපසු ගෙදර ගියේද නැත. එසේනම් මේ පස් මිතුරු කැළට සිදුවූයේ කුමක්ද?

පසුදා උදැසන වන විට මෙම මිතුරු කැළ ආගිය අතක් නොමැති තැන තිලකේෂ්වරන් රාමලිංගම්ගේ මව වන කාවේරි රාමලිංගම් මහත්මිය 2008 සැප්තැම්බර් 19 වන දින කොටහේන පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනු කළාය. ආගිය අතක් නොමැති මේ මිතුරු කැළ සොයා පොලීසිය විසින් මෙහෙයුමක් ආරම්භ කළේ ඒ අනුවයි. ඉන් මාස කිහිපයකට පසුව 2009 වසරේදී රහස් පොලිස් නිලධාරියෙක් මගින් මේ මිතුරන් පස්දෙනාගේ දෙමවුපියන් වෙත දැනගැනීමට ලැබුණේ ඔවුන් 2008 සැප්තැම්බර් මස 17 වන දින දෙහිවල ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් පැහැරගැනීමට ලක්ව ඇති බවයි. මෙම පස්මිතුරු කැළට අමතරව ඇළකන්ද, කොච්චිකඩේ, ජින්තුපිටිය සහ කටුනායක යන ප්‍රදේශවලදී තවත් තරුණයින් හය දෙනෙකු (කස්තුරි ආරච්චිලාගේ ජෝන් රීට්, අමලන් ලියෝන්, රෝෂාන් ලියෝන්, ඇන්ටනී කස්තුරිආරච්චි, කනගරාජා ජෙගන් සහ මොහොමඩ් අලී අන්වර්) මෙලෙසම බලහත්කාරයෙන් පැහැරගැනීමට ලක්ව තිබෙන බව රහස් පොලීසිය අනාවරණය කරගෙන තිබුණි.

අපරාදයක තරමමෙම තරුණයින් එකොලොස් දෙනා පැහැරගෙන ගොස් දැනට වසර 13ක් ගතව තිබේ. එමෙන්ම මෙම පැහැරගැනීමේ සිද්ධියට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් (නඩු අංකය- බී732/2009) ක්‍රියාත්මක වෙමින් තිබේ. තරුණයින් එකොළෝස්දෙනෙකු පැහැරගෙන යාම, වදහිංසා පැමිණවීම, කප්පං ගැනීම සහ මනුෂ්‍ය ඝාතනය සඳහා කුමන්ත්‍රණය කිරීම යන අපරාද චෝදනා සම්බන්ධයෙන් චූදිතයින් 14 දෙනෙකුට එරෙහිව අධිකරණය හමුවේ පොලීසිය විසින් අධි-චෝදනා ගොනුකර තිබේ. එම චූදිතයින් 14 දෙනාම නාවික හමුදා නිලධාරීන් විය. ඉන් 14 වන විත්තිකරු වන්නේ හිටපු නාවික හමුදාපතිවරයෙකු වන වසන්ත කරන්නාගොඩ ය. මෙම තරුණයින් එකොළොස්දෙනාගේ පැහැරගැනීම සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු ආරම්භ වන්නේ 2009 වසරේදීය. එහෙත් මෙම සිද්ධියට අදාළ විමර්ෂණ කටයුතු 2015 වසර වනතෙක් කඩිනම්ව සිදු නොවුණු බවට පැමිණිලි පාර්ෂවයෙන් හා මානව හිමිකම් සංවිධානවලින් එවකට පැවති ආණ්ඩුවට චෝදනා එල්ල විය. මෙම පැහැරගැනීමේ සිද්ධියට අදාළ නඩුවේ චූදිතයින් නාවික හමුදාවට සම්බන්ධ ඉහළ නිලධාරීන් වීම නිසා එවකට රජය මෙම අපරාදය වසං කිරීමට උත්සාහ කළ බවට සැක පහළ වේ. එම රජයේ ප්‍රබල ඇමතිවරයෙකු වන විමල් වීරවංශ 2017 ජුලි මස 12 වෙනිදා මාධ්‍ය අමතමින් “මේච්චර සේවයක් නාවුක හමුදාවට කරපු, නාවුක හමුදා බුද්ධි අංශ ඉහළ නිලධාරීන් මෙහෙම අත්අඩංගුවට ගන්නේ මේ දේශද්‍රෝහී ආණ්ඩුවට අමුකැවිලද?” https://www.youtube.com/watch?v=3XVOOGg7NqY යනුවෙන් කළ ප්‍රකාශයෙන් ඒ බව සනාථ වේ.

එමෙන්ම මෙම අපරාදය සම්බන්ධයෙන් නාවික හමුදාවේ එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි තවත් ඇමතිවරුන්ගේ ප්‍රකාශ කෙරෙන්ද සනාථ වන්නේ 2008 පැවති ආණ්ඩුව මෙම වින්දිතයින් ත්‍රස්තවාදීන් ලෙසත් පැහැරගැනීම සම්බන්ධයෙන් චෝදනා එලල්වූ නාවික හමුදා නිලධාරීන් රණවිරුවන් ලෙසත් සලකා මනුෂ්‍යත්වයට එරෙහි මෙම සාහසික අපරාදය සාධාරනීකරණය කිරීමට උත්සාහ කළ බවකි. එහෙත් එයට අභියෝග කරමින් පැහැරගැනීමට ලක්වූ ජමාලීන් දිලාන්ගේ මව මෙසේ පැවසුවාය. “මගේ මහත්තයත් හමුදාවේ. අපි අද ජීවත් වෙන්නෙත් ඒ පෙන්ෂන් එකෙන්ම තමයි… ඇත්තටම මගේ ළමයා ඒ වගේ වැරුද්දක් කරලා තිබුණනම් මම මේ නඩුවෙන් ඉල්ලා අයින් වෙනවා… පොලීසිවල හැම කෙනෙක්ම හොයලා බලලා දැන් තීරණය වෙලා තියෙනවා මේ ළමයි කිසිම දේකට සම්බන්ධ වෙලා නෑ කියලා. රෝහිත අබේගුණවර්ධන මහත්තෙයා ඊයේ ප්‍රකාශයක් කරලා තිබුණා… අපි අවුරුදු අටක් තිස්සේ ඇඩුවා. ඒවට කවුද වගකිවුවේ?. එයාට හිතුන් නැද්ද ඒත් අපේ ළමයෙක් කියලා” https://www.youtube.com/watch?v=8L364i3BmNU

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts