SPAM පණිවුඩ පිටුපස ඇති භයානක බව පිළිබඳව ඔබ දැනුවත්ද?
සචිනි ඩී. පෙරේරා
සමාජ මාධ්‍ය පරිශීලකයන් වෙත පහසුවෙන්ම ලඟා විය හැකි එකම මාර්ගය අන්තර්ජාලය පමණක්ම නොවේ. තොරතුරු සෙවීමට පමණක් නොව සන්නිවේදන කටයුතු, නිෂ්පාදන හා සේවා මිලදී ගැනීම අරමුණු කරගනිමින් ද වර්තමාන අන්තර්ජාල පරිශීලකයන් සමාජ මාධ්‍ය භාවිතයට යොමු වී ඇත. අන්තර්ජාල භාවිතය පිළිබඳව තාක්ෂණික සාක්ෂරතාවක් නොමැති බොහෝමයක් දෙනා පහසුවෙන්ම සයිබර් අපරාධකරුවන්ගේ ගොදුරක් වී තම මුදල්, කීර්ති නාමය හා පෞද්ගලිකත්වය අහිමි කරගන්නා ආකාරය නිරීක්ෂණය කළ හැකිය. සයිබර් අපරාධකරුවන් යොමු කරන සයිබර් ප්රහාරයන් මිතුරෙකුගේ මාර්ගයෙන්, සමාජ ජාල මාධ්‍ය ප්‍රජා සහ/හෝ මිතුරු කණ්ඩායම් හා වෙනත් සමාජ මාධ්‍ය අවකාශයන් ඔස්සේ එසේත් නැතිනම් ඔබේ විද්‍යුත් තැපැල් ලිපිනයට SPAM කෙටි පණිවිඩයක් ආකාරයෙන් ද ලැබිය හැක. සමහර අවස්ථාවලදී Pop-up Add වැනි අන්තර්ජාල වෙළඳ දැන්වීම් එකවර click වීම නිසා ඔබේ කාලය හා ඩේටා පැකේජය නිකරුණේ වැය වී ඔබව අපහසුතාවයට පත් වන අතර එය ඔබට එපා විය හැකිය.
අන්තර්ජාල භාවිතයෙන් සිදු කරනු ලබන මෙවැනි වංචනික ක්‍රියාවන් අතරින් SPAM පණිවිඩ සඳහා ප්රමුඛ ස්ථානයක් හිමි වේ. SPAM ප්‍රහාරයක් යනු කුමක්ද? කිසිදු නෛතික පදනමකින් තොරව සංවිධානාත්මකව සකසන ලද Apps, Links හෝ වෙනත් ක්‍රමවේද භාවිත කරමින් සමාජ මාධ්‍ය පරිශීලකයින් වෙත දහස් ගණනකට අධික පණිවුඩ ප්‍රමාණයක් යොමු කිරීම SPAM ප්‍රහාරයක් ලෙස අර්ථ දැක්විය හැකිය. බොහෝවිට ව්‍යාජව නිර්මාණය කළ හෝ සයිබර් ප්‍රහාරයට ලක්වූ ගිණුම් මඟින් SPAM පණිවිඩ යොමු කෙරේ. තවද ව්‍යාජ දැන්වීම් නිර්මාණය කර එම Links Click කිරීම සඳහා සමාජ මාධ්‍ය පරිශීලකයින් පොළඹවා ගැනීමේ ප්‍රවණතාවයක් ද දැකිය හැකිය.
ඩිජිටල් පණිවිඩ, Links හෝ Code යොමු කිරීම මගින් ගිණුම් තොරතුරු, මුරපද, ක්‍රෙඩිට් කාඩ්පත් අංක, බැංකු ගිණුම් අංක හෝ ස්ථාන පිළිබඳව සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ අනුදැනුමකින් තොරවම තොරතුරු ලබා ගැනීම සඳහා නිර්මාණය කරන ලද මෘදුකාංග හැඳින්වීම සඳහා SPAM යන යෙදුම භාවිත කෙරේ. මෑත කාලීනව කෝවිඩ් වසංගතය හේතුවෙන් සයිබර් ප්‍රහාර එල්ල කරන්නන්ට සමාජ මාධ්‍ය අවකාශය බොහෝ සෙයින් උපකාර වී ඇත. එවැනි සිදුවීම් කිහිපයකට උදාහරණ ලෙස,
- ත්‍යාග ලෙස නොමිලේ ඩේටා ලබා දීම.
(Google සමාගමේ 21 වන සංවත්සර සැමරුම හේතුවෙන් 1000GB 4G data ප්‍රමාණයක් සියලු පාරිභෝගිකයින්ට නොමිලේ ලබාදීම.)
- කුසපත් ඇදීම මගින් නොමිලේ ත්‍යාග ලබාදීම.
(කුසපත් ඇදීම මගින් ඔබට රුපියල් 3000ක වටිනාකමින් යුතු ත්‍යාගයක් හිමි වී ඇත. ඔබට නොමිලේ ලැබෙන ත්‍යාගය ලබා ගැනීම සදහා පහත link එක භාවිතා කර ලියාපදිංචි වන්න. https://www.xxxxxxxxxxxxxxx.com/invite/sa6t2u )
- බැංකුවෙන් නොමිලේ මුදල් ලබාදීම.
(X නම් බැංකුවෙන් සිය බැංකු කාඩ්පත් හිමියන්ට රුපියල් 5000/= මුදලක් ලබා දීමට සූදානම්. එම මුදල ලබා ගැනීමට අවශ්‍ය නම් බැංකු ක්‍රෙඩිට් කාඩ් පතේ දෙපස පැහැදිලිව පෙනෙන ඡායාරූප දෙකක් පහත ඊමේල් ලිපිනයට යොමු කරන්න. xxxxxxxxxxxxban.pvt@gmail.com)
- ‘හැෂ්ටැගය’ භාවිතය මගින් සිදු කරන අභියෝගයන්.
#5differentlookschallange
#tiktokdancechalange2020
#untagchallenge
සමාජ මාධ්‍ය පරිශීලකයින්ට SPAM පණිවිඩ යොමු කරමින් සයිබර් ප්‍රහාර එල්ල කරන රටවල් අතර ශ්‍රී ලංකාවත් ඉදිරියෙන්ම සිටින බවත්, කෝවිඩ් වසංගතයේ බලපෑම හමුවේ පළමුවරට රට වසා දමා තිබූ කාලසීමාව තුළ සමාජ මාධ්‍ය පරිශීලකයින් බොහෝමයක් දෙනාට SPAM පණිවිඩ ලැබීම හේතුවෙන් කිහිප වතාවක්ම වංචනික පුද්ගලයින්ගේ ක්‍රියා වලට අසු වූ බවත්, සන්නිවේදන කටයුතු සඳහා බහුලව Facebook, Whatsapp හෝ Viber Group Chats භාවිත කරන්නන් අතරින් පාසල් ළමුන්, ගුරුවරුන්, තරුණ පිරිස් හා විශ්ව විද්‍යාල සිසුන් වැනි පිරිස් මෙලෙස සයිබර් අපරාධවලට ගොදුරු වීමේ ප්‍රවණතාවය අධික බව ලැබී ඇති පැමිණිලි අනුව තහවුරු කල හැකි බවත්,
- මූල්‍යමය SPAM (නයිජීරියානු SPAM යනුවෙන් ද හඳුන්වයි)
- ආධාර හෝ ඉල්ලීම් ලෙස යොමු කරනු ලබන SPAM පණිවිඩ
- ඩිජිටල් පණිවිඩ, Links හෝ Codes යොමු කිරීම මගින් ගිණුම් තොරතුරු, මුරපද, ක්‍රෙඩිට් කාඩ්පත් අංක, බැංකු ගිණුම් අංක හෝ ස්ථාන පිළිබඳව සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ අනුදැනුමකින් තොරවම තොරතුරු ලබා ගැනීම සඳහා නිර්මාණය කරන ලද SPAM පණිවිඩ
යනුවෙන් SPAM වර්ග තවදුරටත් වර්ග කල හැකි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ (ITSSL) සභාපති යසිරු මැතිව්ස් මහතා පවසයි.
අපි තවමත් තාක්ෂණ යුගයේ මුල් පියවර පසුකරමින් සිටී. අන්තර්ජාල භාවිතය පිළිබඳ අවම සාක්ෂරතාවයකින් යුතු සමාජ මාධ්‍ය පරිශීලකයින් සිතා සිටින්නේ SPAM පණිවිඩ යනු අන්තර්ජාලය මගින් සමාජ මාධ්‍ය භාවිත කරන්නන් වෙනුවෙන්ම යොමු කරනු ලබන සාමාන්‍ය පණිවිඩ ලෙසිනි. එම නොදැනුවත්කම නිසාවෙන්ම ඔවුන් විවිධ අපහසුතාවයට පත් වේ.
නවීන තාක්ෂණික උපකරණ භාවිතය පිළිබඳ සමාජ මාධ්‍ය පරිශීලකයින් සතු සීමිත දැනුම හා කුසලතාවය නිසා සයිබර් අපරාධකරුවන් තමන් සතු සූක්ෂම තාක්ෂණික කුසලතාවය ප්‍රචණ්ඩකාරී සහ නීති විරෝධී ලෙස භාවිත කරමින් සමාජ මාධ්‍ය පරිශීලකයන්ට SPAM පණිවිඩ යොමු කරමින් ඔවුන්ගේ මුදල්, ක්‍රෙඩිට් කාඩ්පත් තොරතුරු, PIN අංක සහ බැංකු ගිණුම් පිළිබඳව තොරතුරු ඉතාමත් පහසුවෙන් ලබා ගන්නා බව කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පාසලේ (UCSC) ආචාර්ය කසුන් ද සොයිසා මහතා පවසයි. “කෙටි කාලයක් ඇතුළත SPAM පණිවිඩ වෛරසයක් ආකාරයෙන් ව්‍යාප්ත වී ජනප්‍රිය වේ. සමාජ මාධ්‍ය හරහා යමෙකුට SPAM පණිවිඩයක් ලැබුණ විට එම පණිවිඩය කියවන්නා විසින් අදාල පණිවිඩය තම සම්බන්ධතා ජාලයෙහි සිටින අනෙක් පුද්ගලයින් සමඟ බෙදා ගන්නා ලෙස ඉල්ලීම් සිදු කරයි. (X නැමැති ව්‍යාපාරය විසින් සියලු දෙනාටම ක්ෂණික ආහාර ඇනවුමක් රු. 3000ක් වැනි මුදලකට ලබා දීමට නියමිතයි. ඔබේ ඇනවුම ලබාගැනීම සඳහා මෙම පණිවිඩය මිතුරන් 15 දෙනෙකු අතරෙ බෙදාහරින්න) විවිධ හේතු නිසා SPAM පණිවිඩ සයිබර් අවකාෂයෙන් ඉවත් කිරීම දුෂ්කර නමුත් මෙම පණිවිඩ හේතුවෙන් පරිශීලකයන්ට සිදුවන අපහසුතාවයන් අවම කිරීම සඳහා පරිගණක විශේෂඥයින් විවිධ අධ්‍යයනවල නිරතව සිටිටී. SPAM පණිවිඩ යොමු කිරීම සඳහා වෙනමම folder නිර්මාණය කර තිබුනත් සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ විද්‍යුත් මාධ්‍ය ලිපිනයට සහ සමාජ මාධ්‍ය ගිණුම්වලට තවමත් SPAM පණිවිඩ ලැබෙමින් පවතී” යන්න මැතිව්ස් මහතා පවසයි.
නිරෝධායන කාලසීමාව තුළ බොහෝ දෙනා අන්තර්ජාල භාවිතයට යොමුවීම නිසා එම කාලසීමාවේදී සමාජ මාධ්‍ය පරිශීලකයින්ට SPAM පණිවිඩ අධිකව ලැබී ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ කෝවිඩ් දෙවන රැල්ලේ ව්‍යාප්තියත් සමග සයිබර් අපරාධවල ප්‍රමාණාත්මක වර්ධනයක් සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි මෙහෙයුම් අංශ වාර්තා මගින්ද පෙන්වා දෙයි.
“මෙරට නීතිය මගින් SPAM පණිවිඩ යොමු කිරීම වරදක් බවට තවමත් අර්ථ දක්වා නොමැති නිසා SPAM පණිවිඩවලට එරෙහිව ක්‍රියාත්මක කළ හැකි ශක්තිමත් පරිගණක අපරාධ පණතක් ද අප සතුව නැත. එනිසාවෙන්ම SPAM පණිවිඩයක් යනු කුමක්ද යන්න නිශ්චිතවම අර්ථ දක්වා නොමැත. විදේශීය රටවල නීත්‍යානුකූලව ක්‍රියාත්මක කෙරෙන සයිබර් අපරාධ පණත් පිළිබඳව මෙරට පාර්ලිමේන්තුවේ අවධානය යොමු නොවීම කණගාටුවට කරුණකි” යන්න මැතිව්ස් මහතා පවසයි. “මෙරට සයිබර් අපරාධවලට එරෙහිව දඩුවම් ක්‍රියාත්මක කරන්නේ අපහාස නීතිය යටතේ නිසා එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන කිසිදු දෙයක් පිළිබඳව සමාජ මාධ්‍ය පරිශීලකයින් විශ්වාස නොකළ යුතුය. තවද නොදන්නා පුද්ගලයන් විසින් යොමු කරන දැන්වීම්, මූලාශ්‍ර, link හෝ කේත සඳහා තමන්ගේ පෞද්ගලික තොරතුරු ලබා දීමෙන් වැළකී සිටිය යුතුය. එමෙන්ම මෙවැනි සයිබර් අපරාධයන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රජය මගින් ක්‍රියාත්මක කළ යුතුය.” යන්න ආචාර්ය සොයිසා මහතා පවසයි. “දශක ගණනාවකට පෙර පාසල් විෂය මාලාවට එක් කරන ලද සන්නිවේදන හා තොරතුරු තාක්ෂණයේ ඉතිහාසය පිළිබඳ ඉගෙනීමට වඩා, අන්තර්ජාල සාක්ෂරතාව පිළිබඳව දරුවන්ට හා දෙමව්පියන්ට කියා දීම කාලෝචිත බවත් සමාජ මාධ්‍ය ඔස්සේ තම මූල්‍යමය හා පෞද්ගලික තොරතුරු හෙළි කිරීමට ප්‍රථම සමාජ මාධ්‍ය පරිශීලනය කරන්නන් මෙන්ම උක්ත මූලාශ්‍ර දැන්වීම් හෝ වෙළෙඳ නාමයන් කෙරෙහි පරිශීලකයින්ව පොළඹවා ගන්නන්ද ඒ පිළිබඳව විශේෂයෙන් දැනුවත් විය යුතුය” යන්න මැතිව්ස් මහතා අවධාරණය කරයි.