අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ශක්තික නිදහස් ! ඒත්, අපි නිදහස් ද?

වත්සලා සමරසිංහ

 

“ඇයි නිර්මාණයක් විදිහට සමාජය භාරගන්නැති වෙයිද? නැත්නම් අපායේ යයිද?” සිගරැට්ටුවක් දල්වාගත් ලොයිඩ් අයියාගේ මුවගෙහි වූයේ සරදම් සිනාවකි. දුම් රැල්ලක් නිදහසේ බෝඩිං කාමරය තුළ පියාසලන්නට විය.

“මේක සිංහල බෞද්ධ රටක්…” මට කියවුණේ ඉබේම ය.

ශක්තික සත්කුමාර සිදුවීමට පාදක වූ ‘අර්ධ’ කෙටිකතාවේ එන ඉහත උධෘතය එම කෙටිකතාවෙහිම ඉරණම වනු ඇතැයි කතුවර සත්කුමාර කිසිවිටෙකත් නොසිතන්නට ඇත. නිර්මාණයක් ‘නිර්මාණයක්’  ලෙස භාර ගැනීමට සූදානම් නැති රටක ජීවත්වීම හේතුවෙන්, මෙම කෙටිකතාවෙහි රචකයාට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත යටතේ දින 127 ක බන්ධනාගාර ගතවීමකට යටත් වීමට සිදු විය. 

තම සමාජ මාධ්‍ය ගිණුමෙහි පළකරන ලද කෙටිකතාවක් නිසා 2019 අප්‍රේල් 1 වැනිදා රක්ෂිත බන්ධනාගාර ගතවන ශක්තික සත්කුමාරගේ නඩුව අවසන් වන්නේ 2021 ජනවාරි 25 දා අධිකරණයට ඉදිරිපත් කරන ලද නීතිපති වරයාගේ වාර්තාවක් පදනම් කරගෙනය. පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහු නිදොස් කොට නිදහස් කරනු ලැබීය. අවම වශයෙන් මෙම කෙටිකතාව වාරණ මණ්ඩලයකට හෝ ඉදිරිපත් විය යුතු යැයි මෙම නඩුවෙහිදී නියම කෙරුණේ නැත. එහෙයින් ශක්තික සත්කුමාර සිදුවීමෙහි පැහැදිළි ලෙසම සිදුව ඇත්තේ නීතිය අවභාවිතාවීමක් දැයි යන සාධාරණ සැකයක් සිවිල් සමාජය තුළ පමණක් නොව නීති ක්ෂේත්‍රය තුළද  අළු යට ගිනි පුපුරක්ව තැම්පත් කෙරිණි.

 

පූර්ණ වාරණයකට හසුවූ ‘අර්ධ’

ශක්තික සත්කුමාරගේ ප්‍රශ්නගත කෙටිකතාව වන ‘අර්ධ’හි කතා තේමාව ගොඩනැගෙන්නේ හාල්වල්ලේ කස්සප හිමියන් කසාන් පලිහවඩන බවට පරිවර්තනය වීම කේන්ද්‍ර කොටගෙනය. පශ්චාත් නූතනවාදී ලේඛන ආරකින් රචිත බව පැවැසෙන මෙම කෙටිකතාව තුළ කථකයා නියෝජනය කරන්නේ ‘කසාන්’ චරිතයයි. එනම් පැවිදි ජීවිතය හැර ගිය භික්ෂුවකගේ චරිතයයි. මෙම කෙටිකතාවෙහි බුද්ධාගම විවේචනය කරන හේතුවාදියා වන්නේ ලොයිඩ් හෙවත් කසාන්ගේ මිතුරායි. 

කොටස් ත්‍රිත්වයකින් සමන්චිත මෙම කෙටිකතාව ගිහි ජිවිතයට එළඹුන කස්සප හිමියන් භික්ෂු නේවාසිකාගාරයෙන් පිටවීමෙන් ආරම්භ වේ. පළවෙනි අර්ධයෙහි සාකච්ඡා වන්නේ රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකයෙකු වූ ලොයිඩ් නම් මිතුරා හමුවීමත් ඔහුගේ බෝඩිමේ නවාතැන් ගැනීමට යාමත්  හා බැඳුණු සිදුවීම් පෙළකි. ඒ සමඟම ලොයිඩ් ගේ චරිත ස්වභාවය හෙළි කෙරෙන අතීත සිදුවීමක්ද විස්තර කෙරේ. කස්සප හිමියන් පළමුව ලොයිඩ් හමුවන්නේ ‘සදහම් සේනා’වෙහි සතුරෙක් වශයෙනි. ඒ යුද්දෙන් නිවාස අහිමි වූ පවුල්වලට නිවාස සාදා දීමේ ව්‍යාපෘතියක් ප්‍රශ්න කරමින් ‘සදහම් සේනාව’ ලොයිඩ් ගේ කාර්යාලයට කඩා වැදුණු අවස්තාවේදීය. නමුත් කසාන්ම ප්‍රකාශ කරන පරිදි දැන් ලොයිඩ් ඔහුගේ මිතුරෙකි. නමුත් තවමත් ‘සදහම් සේනා’වේ  සතුරෙකි.  මින් කසාන්ගේ වර්ගවාදී අදහස් සමනය වී ඇතැයි පාඨකයාට ඉඟි කරයි. 

දෙවැනි දිගහැරුමෙහි බෞද්ධාගමික චරිත කිහිපයක් යොදාගනිමින් ලොයිඩ් විසින් රචිත කෙටිකතාවක් කියවන කසාන්  ප්‍රකාශ කරන්නේ මෙම ලියවිල්ල පුළුස්සා දමන ලෙසයි. “මේක සිංහල බෞද්ධ රටක්”එහිදී කසාන් කියයි.ගිහි ජීවිතය සහ පැවිදි ජීවිතය අතර දෝලන වන මනෝභාවයකින් යුතු නමුත් කසාන් බුද්ධාගම ප්‍රතික්ෂේප කරන්නෙක් නොවන බව එමගින් රචකයා පාඨකයාට ඉඟි කරයි. 

 තෙවන අර්ධය සමන්චිත වන්නේ ප්‍රබන්ධයකිනි. කතුවරයා මෙහිදී කසාන් දකින සිහිනයක් උපයෝගී කරගනී. එහිදී ඔහු දකින සිහිනය වන්නේ තම නායක හාමුදුරුවන්ගේ කකුල් දෙක අතරින් ලේ ගලා යන දර්ශනයකි. මෙම බිහිසුණු දසුනින් අවදිවන කසාන් නැවත නින්දට යයි. කසාන් සහ ලොයිඩ් අතර සමලිංගික සම්බන්ධතාවයක් වර්ධනය වී ඇතැයි හැඟවෙන තැනකින් කතාව නිම වේ. 

සත්කුමාර ප්‍රකාශ කරන පරිදි මෙම කෙටිකතාව පශ්චාත් නූතනවාදී රචනා ශෛලියට අයත් නිර්මාණාත්මක ප්‍රබන්ධයකි. කෙටිකතාව තුළ ප්‍රධාන චරිතය විවිධ  මනඃකල්පිත සිදුවීම් දකී. පශ්චාත් නුතනවාදී රචනා ශෛලිය තුළ ප්‍රකට ලක්ෂණයක් වන සිහිනයක් උපයෝගී කරගනිමින් ප්‍රබන්ධයන් නිරූපනය කිරීමේ ශිල්ප ක්‍රමය ‘අර්ධ’ කෙටිකතාවෙහිද  යොදාගෙන තිබේ. 

 

බුදු දහම  සහ නිර්මාණකරණය පටලවා ගැනීම.

සත්කුමාරගේ නිර්මාණයට  එරෙහිව පොල්ගහවෙල පොලීසියට පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ භික්ෂූන් වහන්සේලා පිරිසකි.පැමිණිල්ලේ හරය වන්නේ බුදු දහමට නිගාවන අයුරින් විවිධ නිර්මාණ පළකිරීමය.එවැනි චෝදනාවකට එරෙහිව පැමිණිල්ලක් ගොනු කිරීමට අපගේ දණ්ඩ නීති සංග්‍රහය තුළ (291B) ප්‍රතිපාදන ඇතැත් මේ පැමිණිල්ල ගොනු වන්නේ සිවිල් හා දේශපාලන අයිතීන් සඳහා වන ජාත්‍යන්තර ප්‍රඥප්තිය යටතේය.  නිර්මාණයක් කිරීම නිසා නිර්මාණකරුවෙකුට මුහුණදීමට සිදුවන මෙවැනි තත්ත්වයකදී රටක සාහිත්‍යකරුවන් ඇතුළු සිවිල් ක්‍රියාකාරීන්ගේ විශාල විරෝධයක් එල්ල වියයුතු වුවත් මෙම කාරණයේදී එසේ වන්නේද නැත.ඒ පිළිබඳව තියුණු,විශ්ලේශනාත්මක අදහස් ලෙස සැලකිය හැකි මත පළකිරීම් හමුවන්නේද අතලොස්සක් පමණි.

   මෙම සංසිද්ධිය පිළිබඳව නිදහස් මත පළකර ඇති සාහිත්‍යකරුවෙකු වන ආනන්ද වක්කුඹුර  මහතා ප්‍රකාශ කරන පරිදි ශක්තික සත්කුමාර මින් “බුද්ධාගමට විරුද්ධව තර්ක ඉදිරිපත් කිරීමේ විධික්‍රමයක් ගොඩනගා නැත.” ඔහු තවදුරටත් ප්‍රකාශ කරන්නේ, මෙම කෙටිකතාවෙහි රැඩිකල් හේතුවාදියා වන ලොයිඩ් චරිතය කතුවරයා නියෝජනය කරන කසාන් චරිතය මගින් විවේචනයට ලක් වන බවයි. (1) නමුත් වර්ගවාදීන් සිදු කර ඇත්තේ ලොයිඩ් ගේ ප්‍රකාශ සහ අදහස් කතුවරයාට ආරූඪ කිරීමයි. 

‘සිවිල් සහ දේශපාලනික අයිතීන් සඳහා වන ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය යටතේ කලාකරුවෙකුගේ ප‍්‍රකාශනයේ නිදහස පැහැර ගැනීම’යන හිසින් මේ පිළිබඳව අදහස් පළකරන සාහිත්‍යවේදී ගාමිණි වියන්ගොඩ පෙන්වාදෙන්නේ, ‘මෙම කෙටිකතාවට එරෙහිව චෝදනා එල්ල වන්නේ ආගමකට අපහාස කෙරෙන කිසි නිශ්චිත සිදුවීමක් නිසා නොව, සමකාලීනව සිදු වූ සමාජ ප්‍රපංචයන් කෙරෙහි වන සමාජ ආකල්පය මෙම කෙටිකතාව මගින් ගම්‍යාර්ථ වීම නිසා පැන නැගුණු  ක්‍රෝධයෙන් නිසා බවය.’ (2)

විහඟ පෙරේරා ‘සත්කුමාරගේ කතාව තේරුම් ගැනීම’ට දරා ඇති උත්සාහයේදී වඩාත් විවෘත ඇසකින් ඒ දෙස බලන්නට ප්‍රයත්න දරා තිබේ. “ලිපියෙහි දක්වන ආකාරයට මෙම කෙටි කතාවේ පඨිතය හරහා “බුදුන්ට අපහාස කළා”, “ආගමට අපහාස කළා” කියන ඉතාම ලාමක කාරණයන්වත් මතුකරගත හැකිදැයි යන්න ප්‍රශ්නසහගතය.” එහෙත් නිර්මාණයක් කියවීම යන්න  සමාජයෙන් වියුක්තව ගත හැක්කක් නොවේ. කවිය, කෙටිකතාව ආදී සියල්ල කියවීමට භාජනය වන්නේ  සමාජයේ ඇති ‘බාහිර සංසිද්ධීන්’ උපයෝගී කරගනිමිනි. ශක්තික සිදුවීමට සමකාලීනව සිදු වූ  වර්ගවාදී ප්‍රචණ්ඩ කතාබහ, ඒවාට අනුබල දෙන හා ඔවුන් රැකබලාගන්න අය, ඒ හරහා සමාජයේ ඇතිකරන කැළඹීම වැනි දේ කතාවක කියවීමට ජවයක් නිරන්තරයෙන් එකතුකරයි. ශක්තික සිදුවීමට සමකාලීනව සිදු වූ  වර්ගවාදී ප්‍රචණ්ඩ කතාබහ සහ ඒ හරහා සමාජයේ ඇතිකරන කැළඹීම් වැනි දේ  එකතුවීමෙන් කියවීම හුදකලා කාරණයක් නොවී සමාජ-දේශපාලන කාරණාවක් වේ යන්න ඔහුගේ සමස්ත අදහසයි. (3)

ශක්තික සත්කුමාර මෙම කෙටිකතාව පළකරන්නේ සිය සමාජ මාධ්‍ය ගිණුමේය.එය බෞද්ධාගමික විශ්වාසයන්ට අපහාසකාරී වන බව භික්ෂුන් කණ්ඩායමක මතය විය. විශේෂයෙන් කතුවරයා දණ්ඩ නීති සංග්‍රහය පනතේ 291B වගන්තිය සහ සිවිල්  සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය පනතෙහි 3(1) වගන්තිය උල්ලංඝනය කර ඇති බවට ඔහුට චෝදනා එල්ල කරන ලදී. මෙම නීතිමය ප්‍රතිපාදන යටතේ 2019 අප්‍රේල් 1 වැනිදා බන්ධනාගාරගත වන ඔහු ඇප මත මුදා හැරෙන්නේ 2019 අගෝස්තු 08 වැනිදාය.  ඉන්පසුව 2021 ජනවාරි 25 දා ඉදිරිපත් කරන ලද වාර්තාව පදනම් කරගෙන ශක්තික නිදොස් කොට නිදහස් කරමින් නඩුව අවසන් වේ. 

 

ආගමට අපහාස කිරීමේ ‘අපරාධමය වරද’

එක්සත් ජාතීන්ගේ අත්තනෝමතික ලෙස රඳවා තබාගැනීම පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම වෙත යොමු කරන ලද පෙත්සමෙහි දැක්වෙන ආකාරයට ආගමට අපහාස කිරීම අපරාධයක් ලෙස සැලකීමට ශ්‍රී ලංකාව තුළ නීති කිහිපයක් භාවිතා කරන අතර මෙම නීති ක්‍රියාත්මක කිරීම බොහෝ විට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කරයි. ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය ඉන් එකකි.ආගමට අපහාස කිරීම අපරාධයක් ලෙස සැලකීමට  නිතර භාවිතා කරන තවත් නීතියක් වන්නේ 2007 අංක 56 දරන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතයි. 

ශක්තික සිදුවිමෙහිද අදාළ කරගනු ලබන්නේ මෙම නෛතික ප්‍රතිපාදන ද්විත්වයයි. මෙම නෛතික ප්‍රතිපාදන වඩාත් පැහැදිලිව දක්වන්නේ නම්,  ‘‘.. ආගමික හැඟීම් කෙලසීම සඳහා, ඒකාන්ත සහ ද්වේෂ සහගත අදහසින්, භාෂිත හෝ ලිඛිත වචනයෙන් හෝ දැකිය හැකි නිරූපණවලින් එකී පංතියේ ආගමට හෝ ආගමික විශ්වාසවලට නින්දා කරන හෝ නින්දා කිරීමට තැත් කරන තැනැත්තෙකුට අවුරුදු දෙක දක්වා කාලයක, දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කළ යුත්තේය” යන්නයි.යනුවෙන් දණ්ඩ නීති සංග්‍රහය පනතේ 291B වගන්තිය දක්වයි.

 

එකිනෙක ගැටෙන පුරවැසි අයිතීන් සහ  බලධාරීන්ගේ අයිතීන්

ශක්තික සත්කුමාර සිදුවීමෙහිදී සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතෙන් අදාළ කරගනු ලබන්නේ  3(1) වගන්තියයි. එහි දැක්වෙන්නේ “කිසිම පුද්ගලයෙක් යුද්ධය ප්‍රචාරය නොකළ යුතු හෝ වෙනස් කොට සැලකීමට, සතුරුකමට හෝ ප්‍රචණ්ඩත්වයට උසිගන්වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය වෙනුවෙන් පෙනී නොසිටිය යුතු” බවයි. මෙම පනතෙහි 19 වැනි වගන්තියෙහි සඳහන් කරන ආකාරයට ‘‘බාධාවකින් තොරව තමන්ගේ අදහස් දැරීමට සෑම පුද්ගලයෙකුටම අයිතිය ඇත්තේය.’’ එමෙන්ම ‘‘සෑම පුද්ගලයෙකුටම ප‍්‍රකාශනයේ නිදහසට අයිතිය තිබේ. ඊට ඇතුළත් වන්නේ, තොරතුරු සහ සෑම ආකාරයකම අදහස්, කලා කෘතියක් හරහා හෝ තමා කැමති වෙනත් ඕනෑම මාධ්‍යයක් හරහා සොයා බැලීමට, ලබා ගැනීමට සහ බෙදාහැරීමට ඇති අයිතියයි.’’ ඒ අනූව එම ප්‍රඥාප්තියෙහි අරමුණ වන්නේ පුරවැසියන්ගේ සිවිල් සහ දේශපාලනික අයිතීන් ආරක්ෂා කර දීම මිස බලධාරීන්ට එම අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සඳහා අවසර පත්‍රයක් ලෙස සේවය කිරීම නොවේ.

මෙම පනත  නීත්‍යානුකූල සාමකාමී ප්‍රකාශන ක්‍රම සීමා කිරීමට අදහස් කර නැත. නමුත් ශ්‍රී ලංකාව තුළ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත මේ දක්වා අදාළ කරගෙන ඇත්තේ සම්මුතියේ 19 වැනි වගන්තියේ දක්වා ඇති ප්‍රකාශනයේ නිදහසට ඇති අයිතියට එකඟවද යන්න පනතේ භාවිතය සම්බන්ධයෙන් විමසා බලනවිට මතුවන ගැටලුවකි. මෙම පෙත්සමෙහිද දක්වා ඇති  ආකාරයට ශ්‍රී ලංකාව තුළ  සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත භාවිතා කර ඇත්තේ සිංහල බෞද්ධ බහුතරයට අභියෝග කරන හෝ අමනාප වන ආකාරයෙන් තම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස භාවිතා කරන නිර්මාණකරුවන්, මාධ්‍යවේදීන්, පර්යේෂකයන්, ක්‍රියාකාරීන් සහ පුරවැසියන් සිරගත කිරීමට ය.නිර්මාණයක රුව ගුණ නිර්මාණාත්මක මිනුම් දඬු වලින් විනා තරාදියක තබා නීති තර්ක විතර්ක මඟින් මැනීමට හැකිද? සත්කුමාරගේ ප්‍රකාශන නිදහසට එරෙහිව එසවුණ මේ අවිය නිර්මාණකරුවන්ගේ සහ සමස්ත පුරවැසියාගේ සිතීමේ, කතාකිරීමේ සහ හෘදසාක්ෂියේ නිදහස අත්තනෝමතික ලෙස වාරණයට ලක් කිරීමට  කොයි මොහොතේ හෝ නැවත එසවෙනු  නැතැයි කිව හැක්කේ කාටද?

මෙම සිදුවීමට පසුවද තනි පුද්ගලයන්ගේ ප්‍රකාශනයේ නීත්‍යානුකූල අයිතිය උල්ලංඝනය වන ආකාරයට සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය  පනත යොදාගනු ලබන  සිදුවීම් සමුදායක් සිදු විය. 2019 මැයි 17 වැනි දින ශ්‍රී ලංකාවේ මුස්ලිම් සුළුතරයට එරෙහි බෞද්ධ අන්තවාදී ප්‍රචණ්ඩත්වය වාර්තා කරමින් පළ වූ තීරු ලිපියක් සඳහා මාධ්‍යවේදී කුසල් පෙරේරා අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය උත්සාහ කළේය. මීට අමතරව, බෞද්ධ සංකේතයක් වන ධර්ම චක්‍රය ලෙස පොලිසිය වරදවා වටහා ගත් නැවක සුක්කානම මුද්‍රණය කළ ටී ෂර්ටයක්  ඇඳ සිටි මුස්ලිම් කාන්තාවක් ද අත්අඩංගුවට ගන්නා ලදී. මීට අමතරව ශ්‍රී ලාංකික චිත්‍රපට නිෂ්පාදකයෙකු සහ නාට්‍ය රචකයෙකු වන මාලක දේවප්‍රිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට රජය සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත භාවිතා කර ඇත. 

“ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් 2007 අංක 56 සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතෙහි 3 වන වගන්තියේ විෂය පථයේ නෛතික විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කරන්නේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතේ 3 වන වගන්තිය සම්මුතියේ 20 වැනි වගන්තිය සමඟ අර්ථකථනය කළ යුතු බවයි. එනම් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතේ 3  වන වගන්තිය ස්වාධීන විධිවිධානයක් නොවන අතර ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති පරිදි ප්‍රකාශනයේ නිදහස සමඟ සමපාතව කියවිය යුතු බව එහි තවදුරටත් සඳහන් වේ.”

 

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ පූර්වාදර්ශ

එහි පැහැදිලිව දක්වා ඇති ආකාරයට 3 වන වගන්තිය යනු අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සීමා කිරීමකි. එබැවින් 3 වන වගන්තිය යටතේ තහනම් කර ඇති ඕනෑම ආකාරයක ප්‍රකාශනයක් ප්‍රකාශනයේ නිදහසට අවසර ලත් සීමාවක් විය යුතුය. එනම්  සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතේ 3 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (අ) වගන්තිය යටතේ ආරක්ෂා කර ඇති ඕනෑම ප්‍රකාශන ආකාරයක් තහනම් කළ නොහැක. නිදසුනක් වශයෙන්, මෙයින් අදහස් කරන්නේ, යම් ජාතියක, ජාතියක හෝ ආගමක සාමාජිකයෙකු “කම්පනයට, සිත් රිදවන හෝ බාධා කරන” ප්‍රකාශන එම පදනම මත පමණක් තහනම් කළ නොහැකි බවයි. සුනිලා අබේසේකර එදිරිව ආරිය රූබසිංහ සහ වෙනත් අය නඩු තීන්දුව උපුටා දක්වමින් එහි ප්‍රකාශ කර ඇත්තේ  නීත්‍යානුකූල භාවය, සමානුපාතිකත්වය සහ අවශ්‍යතාවය යන පරීක්ෂණයට අදාළ සිදුවීම මුහුණ දිය යුතුය. (5)

 

 ශක්තිකත්,ඔබත් දැන් නිදහස්ද?

එහෙත් නිර්මාණකරුවන් වින්දිතභාවයට පත් කරන ලෙස අවභාවිතා කළ හැකි මෙබඳු නීති කිසිදු සංශෝධනයකින් තොරව  තව දුරටත් එලෙසම වලංගුව පවතී. නිර්මාණයක් නිර්මාණයක් ලෙස භාර ගැනීමට මැලිවන රටක නිර්මාණකරුවන්ගේ සහ සමස්ත පුරවැසියාගේ සිතීමේ, කතාකිරීමේ සහ හෘදසාක්ෂියේ නිදහස අත්තනෝමතික ලෙස වාරණයට ලක් වීමේ අවධානම වඩාත් තීව්‍ර වෙමින් පවතී. කෙසේවුවත් රාජ්‍යකරණය විසින් පුරවැසියන්ගේ සිතීමේ, කතාකිරීමේ සහ හෘදසාක්ෂියේ නිදහස වාරණයට ලක් කරන එකම රට ශ්‍රී ලංකාව නොවේ. මෙය දේශ සීමා ඉක්මවා ගිය පොදු ප්‍රශ්නයකි. ශ්‍රී ලංකාවේ විශේෂත්වය වන්නේ මෙලෙස පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝනය වන නීති අවභාවිතා වීම් හමුවේ පුරවැසියන් නිහඬ ව්‍රතයක් අනුගමනය කිරීමයි. 

විශේෂයෙන් ශක්තික සත්කුමාර පිළිබඳ  කාරණයේදී සිවිල් සමාජය සහ ඒ  පිළිබඳව වගකීම් පැවැරෙන ආයතන   ඒ සම්බන්ධව ප්‍රමාණවත් සංවාදයක් ගොඩනැගුවේද යන්න මෙන්ම මෙවැනි නෛතික ප්‍රතිපාදන නැවත අවභාවිතා වීම වළක්වා ගැනීමට නිර්දේශයන් ගෙන එමින් අවශ්‍ය සංශෝධයන් සිදු කිරීමට රජයට බල කිරීමට තරම් එකී සංවාද ප්‍රබල වූයේද යන්න අප ඉදිරියේ ඇති වැදගත් ප්‍රශ්නයකි.

 එහෙයින් තවමත් ස්වාධීන ලේඛනකරණයෙහි අවසානය මේ යැයි හඟවන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය අවභාවිතා කිරීමෙහි කෙළ පැමිණි ආඥාදායකයෝ නිශ්ශබ්දව බලා සිටින්නේ මීළඟ ‘සත්කුමාර’ ඇස ගැටෙන තෙක් පමණක් බව තේරුම් ගැනීමට අප තව දුරටත් කල් මැරියයුතු නැත.ඇත්ත වශයෙන්ම ශක්තික නිදහස්වී ඇත්තේද එම නිශ්චිත නඩුකරයෙනි. සිතීමේ, කතාකිරීමේ සහ හෘදසාක්ෂියේ නිදහස භුක්ති විඳින්නේනම් ඊළඟ මොහොතේ ශක්තික මෙන්ම ඔබත්,මමත් සිටින්නේ  සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතවීමක් අභිමුව නොවන්නේද?

  1.  අර්ධ කෙටිකථා සංග්‍රහයෙහි පෙරවදන 
  2. ‘සිවිල් සහ දේශපාලනික අයිතීන් සඳහා වන ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය’ ගාමිණි වියන්ගොඩ https://www.vikalpa.org/article/34618 
  3.  “සත්කුමාරගේ කතාව තේරුම් ගැනීම” විහඟ පෙරේරා https://lankanassociate.wordpress.com/tag/%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0-%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80/ 

  4. https://www.freedom-now.org/wp-content/uploads/Petition-to-the-UN-Working-Group-on-Arbitrary-Detention-12-9-19.pdf
  5.  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් 2007 අංක 56 සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතෙහි 3 වන වගන්තියේ විෂය පථයේ පිළිබඳ කරන ලද නෛතික විශ්ලේෂණය https://www.hrcsl.lk/wp-content/uploads/2020/02/ICCPR-Act-s.-3-Guidelines-English.pdf 

 

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts