පෞද්ගලික දත්ත ආරක්ෂක පනතේ ‘සිදුරු වසාගැනීමේ’ අභියෝගය
කසුන් කුමාරගේ
‘’මම ව්‍යාපාරිකයෙක්. මම මූල්‍ය කටයුත්තක් සඳහා පෞද්ගලික මූල්‍ය ආයතනයක් සමඟ සම්බන්ධ වුණා. ඒකට මට මගේ ආදායම් පිළිබඳ විස්තර ලබාදෙන්න සිදුවුණා. එම ගනුදෙණුවෙන් පස්සේ මට ලිපි මගිනුත් දූරකථන හරහාත් විවිධ ව්‍යාපාර සඳහා ආයෝජනය කරන ලෙස ඉල්ලීම් ලැබෙන්න පටන් ගත්තා. ඉල්ලීම් දෙක තුනක් නෙවෙයි; ප්‍රමාණයෙන් ගත්තාම මට මහ වදයක් වෙන තරමටම. මට කතා කරන අය මගේ ආදායම් පිළිබඳව පවා විස්තර දැනගෙන හිටි බව තේරුණා. මගේ විස්තර ලැබුණේ කොහෙන්ද කියල ඇහුවත් ඒ කිසි කෙනෙක් මගේ තොරතුරු ලැබුණු විදිය ගැන කිසිවක්ම කිව්වේ නැහැ. මට හිතෙන්නෙ මම ගනුදෙණු කරපු මූල්‍ය ආයතනයෙන් මගේ තොරතුරු වෙනත් අයට දීලා තියෙනවා.”
මේ පෞද්ගලික දත්ත ආරක්ෂණය පිළිබඳ පුරවැසි අදහස් සොයාබැලීමේදී අසන්නට ලැබුණු එක් කතාවකි. සෙසු කතාවල හරයද අඩු වැඩි වශයෙන් මීට සමානය.
අප ගෙවන තොරතුරු යුගය තුළ ඔබගේත් මගේත් පෞද්ගලික තොරතුරු මේ වනවිට පරිගණක ගතවී අවසන් ය. අපගේ මාසික ආදායම් ප්‍රමාණය, ලබාගෙන ඇති ණය ගැන මෙන්ම අපගේ සෞඛ්‍ය ගැටලු පිළිබදව පවා වන සංවේදී දත්ත කොහේ හෝ පරිගණයක මේ වන විටත් ගබඩා වී ඇත. මෙම දත්තවලට පිවිසීමේ හෝ කළමණාකරණය කිරීමේ පරම හැකියාව කවුරුන් සතුව පවතින්නක්ද යන්නත් අප නොදනිමු.
අප එදිනෙදා සේවා ඉටුකර ගැනීමේ අරමුණින් සේවා සපයන ආයතනවලට හෝ පුද්ගලයින්ට ලබාදෙන ඕනෑම ආකාරයේ පෞද්ගලික තොරතුරක් කොහේ හෝ දත්ත පද්ධතියක් තුළ ගබඩා වී පවතියි. එම දත්තවල ආරක්ෂිත බව තහවුරු නොවීම හරහා විවිධ පුද්ගලයින් හෝ ආයතන විසින් එම තොරතුරු අවභාවිතා කිරීමේ අවධානමක්ද පවතී. පෞද්ගලික දත්ත අවභාවිත කිරීම වැළැක්වීම සඳහා, පුද්ගලික දත්ත ආරක්ෂා කිරීමට අදාළ නීතිරීති සම්පාදනයට කලක සිට බොහෝ රටවල්වල අවධානය යොමු වී තිබේ. පුද්ගලික දත්ත ආරක්ෂණ ප්‍රතිපත්තියකින් අපේක්ෂා කරන්නේ පුද්ගලයන්ගේ පුද්ගලික දත්ත වෙත ප්‍රවේශ වීම, භාවිතය, හැසිරවීම, හෙළිදරව් කිරීම සහ විනාශ කිරීම සඳහා වන මාර්ගෝපදේශ සහ ක්‍රියා පටිපාටි සමූහයකි.
මෙරට පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත පාර්ලිමේන්තුවේ සමිමත වූයේ 2022 මාර්තු මාසයේදීය.පනත සම්මත වීමට පෙර පටන් ඒ සම්බන්ධයෙන් ඇතිවූ කතිකාව මෙරට ඇතිවූ දේශපාලන අස්ථාවරත්වය හමුවේ මේ වනවිට යටපත්වී තිබේ. පනත නිල වශයෙන් සම්මත වුවද තවමත් එය ක්‍රියාවට නැංවීමට අවශ්‍ය රෙගුලාසි සහ යාන්ත්‍රණ සකස්වී නැත. ඒ සම්බන්ධයෙන් මතුකෙරුණු අවිනිශ්චිතභාවයන්ද තවදුරටත් නොවිසඳුණු ගැටලු වශයෙන් එලෙසම පවතී. මෙම නව පනත මෙරට පුරවැසියන්ට කුමන ආකාරයකින්න් බලපානු ඇතිද යන්න පිළිබඳ පැහැදිළි චිත්‍රයක් ගොඩනැගී නොමැති අවස්ථාවක මේ පිළිබඳව නැවත යම් සාකච්ඡාවක් හෝ ඇතිකර ගැනීම කාලීන අවශ්‍යතාවයක් බවට පත්ව තිබේ.
දත්ත ආරක්ෂණය පිළිබඳ ගෝලීය භාවිතය
යුරෝපීය සංගමය, සාමාන්‍ය දත්ත ආරක්ෂණ රෙගුලාසි (GDPR) නමින් හැඳින්වෙන පුද්ගලික දත්ත ආරක්ෂා කිරීම සඳහා වන නීති හඳුන්වා දී ඇත්තේ 2018 මාර්තු මාසයේදී ය. මෙම රෙගුලාසි යුරෝපා සංගමයට අයත් රටවල පුරවැසියන්ගේ පුද්ගලික දත්ත සකසන ඕනෑම සංවිධානයකට අදාළ වන පරිදි ක්‍රියාත්මක වේ. එනම් යුරෝපා සංගමයේ පුරවැසියන්ට භාණ්ඩ හෝ සේවා සපයන යුරෝපා සංගමයෙන් පිටත සංවිධානවලට ද අදාළ වේ.
සෞඛ්‍ය සම්බන්ධ දත්තවලට අදාළව සෞඛ්‍ය රක්‍ෂණ පැවරීමේ සහ වගවීමේ පනත (HIPAA) සහ වයස අවුරුදු 13ට අඩු දරුවන්ගේ දත්ත සුරැකීම සඳහා ළමයින්ගේ මාර්ගගත රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ පනත (COPPA) වැනි පුද්ගලික දත්ත ආරක්ෂා කිරීම සඳහා වන නීති එක්සත් ජනපදයේ ද ක්‍රියාත්මක වෙයි.
ආසියාවේ, ජපානය සහ දකුණු කොරියාව වැනි රටවලට ඔවුන්ගේම දත්ත ආරක්ෂණ නීති ඇත. පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම පිළිබඳ ජපානයේ පනත 2005 දී ක්‍රියාත්මක වූ අතර දකුණු කොරියාවේ පුද්ගලික තොරතුරු ආරක්ෂණ පනත 2011 දී ක්‍රියාත්මක විය. චීනයේ ද සයිබර් දත්ත ආරක්ෂණ නීතියක් ඇත. එය 2017 දී ක්‍රියාත්මක වූ අතර මෙහි පුද්ගලික දත්ත ආරක්ෂාව සඳහා විධිවිධාන ඇතුළත් වේ.
මේ ආකාරයට ලෝකය පුරා යම් ආර්ථික දියුණුවක් අත්පත් කරගෙන ඇති රටවල් තම ආර්ථිකය ප්‍රසාරණය කිරීමේ තවත් අදියරක් ලෙස දත්ත ආරක්ෂණය සම්බන්ධව නීති සකසා ඇත. ආර්ථික හා සංචාරක කටයුතු තවදුරටත් රටතුළට සීමා නොවීම සමඟ පුරවැසියන්ගේ සංවේදී පෞද්ගලික දත්ත අවභාවිතා වීම වැළැක්වීම මෙහිදී අවධානයට ලක් කොට ඇත.
ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සම්මත වීම
පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත පිළිබඳ යෝජනාව ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩළයට යොමු කිරීමෙන් අනතුරුව ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිවන්නේ 2021 නොවැම්බර් මාසයේදී ය. මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුවන්නේ 2022 ජනවාරි 20 වන දින පැවති පාර්ලිමේන්තු සැසිවාරයේ දී ය. මෙම කෙටුම්පත මගින් මාධ්‍යවේදීන්ට, ප්‍රකාශන නිදහසට සහ පුරවැසියන්ට සිදුවිය හැකි බලපෑම පිළිබඳ මතුකරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනු කිරීමට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය උත්සාහ කළත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය විභාගයට ගැනීම පිළිබඳව සලකා බැලීමෙන් තොරවම ප්‍රතික්ෂේප විය.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සංවිධානය කරන ලද සාකච්ඡාවකදී තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන ප්‍රකාශ කළේ “එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ 2022 ජනවාරි 20 වන දින වුවද රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව මඟින් මෙය වෙබ් අඩවියට එක්කර ඇත්තේ ජනවාරි 25 දින” බවයි. රජය මඟින් සම්මත කරගත් 20 වැනි සංශෝධනය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන කෙටුම්පතක් අභියෝගයට ලක්කිරීම සඳහා ලබාදී ඇත්තේ දින 07ක කාලයක් පමණි. දින දෙකක් ඇතුළත පනත කියවා නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනා කරන විට නියමිත වේලාවට වඩා විනාඩි පහක් ගතවී තිබීම නිසා නඩුව ප්‍රතික්ෂේප වූ බවද තරිඳු ජයවර්ධන එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙමගින් පෙනී යන්නේ මෙම පනත අභියෝගයට ලක්කිරීමට සඳහා පුරවැසියාට තිබුණේ ඉතාමත් සීමිත ඉඩකඩක් පමණක් බවයි.එනම් එය ඉතා හදිසියේ සම්මත කරගත් පනතක් බවයි. මෙම පනත කෙටුම්පත් කිරීමේදී මාධ්‍යවේදීන් සමඟ සාකච්ඡා කළ බව පනත පිළිබඳ විවාදයේදී නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කළද එම ප්‍රකාශය මාධ්‍ය සංවිධානවල දැඩි විරෝධයට හේතුවී තිබිණි. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මඟින් සංවිධානය කරනු ලැබූ ඉහත වැඩසටහනේදී ඊට සහභාගීවී සිටි මාධ්‍ය සංවිධාන නියෝජිතයින් කියා සිටියේ මේ පිළිබඳව කිසිම අවස්ථාවක අමාත්‍යවරයා තමන් සමඟ සාකච්ඡා කර නොමැති බවයි. පනතෙන් බලපෑමට ලක්විය හැකි ප්‍රධානතම කණ්ඩායමක් වන මාධ්‍යවේදීන් බැහැර කරමින් අමාත්‍යවරයා කටයුතු කර ඇති බවටද, තමන්ගේ ප්‍රතිචාර නිල වශයෙන් ලබාදීමට පනත සම්මත වනතෙක්ම අවස්ථාවක් නොලැබුණ බවටද ප්‍රමුඛ ජනමාධ්‍ය සංවිධාන බහුතරයක් රජයට චෝදනා කළේ ය.
පනතේ බලපෑම කාටද?
මෙම පනත සෑම පුරවැසියෙකුටම බලපාන්නකි. ඕනෑම පුරවැසියෙක් විසින් ජීවිතයේ එක්වරක් හෝ තම දත්ත තවත් පාර්ශවයකට ලබා දී ඇතිබවට සැකයක් නැත. එසේ ලබාදී ඇතිනම් පනත අනුව එම පුරවැසියා නිරායාසයෙන්ම දත්ත දායකයෙකු ලෙස නම් කෙරෙයි. පනතේ ‘දත්ත පාලකවරයා’ ලෙස අදහස් කරනු ලබන්නේ වෙළඳ, සෞඛ්‍ය, සේවා, සුභසාධන හෝ වෙනත් කුමන අරමුණක් වෙනුවෙන් හෝ පුරවැසියන්ගේ දත්ත එක්රැස්කර සකසන පුද්ගලයාට හෝ ආයතනයටයි. එම නිසා බොහෝ ආයතන සහ ව්‍යාපාර මේ තුළ ඇතුළත් වේ. මේ දෙපිරිසට අනිවාර්යයෙන්ම පනතේ සෘජු බලපෑම් ඇතිකරන අතර දත්ත දායකයින් ලෙස සිටින පුරවැසියන්ට තමන්ගේ දත්ත ගබඩා කර තැබීමේ විශ්වාසය ඇති කරයි. දත්ත පරිපාලකවරුන්ට දත්ත හැසිරවීමේදී පෙරට වඩා වගකීම් සහගතව සහ ආරක්ෂිතව සිදුකිරීමට බලපෑම් කරයි.
බැලූ බැල්මට මෙහි බලපෑම සාමාන්‍යය ලෙස පෙනුනත් ඇතැම් සුවිශේෂී ක්ෂේත්‍රවල නියැලී සිටින වෘත්තිකයින්ට සහ ක්‍රියාකාරීන්ට මෙම පනත මඟින් විශාල බාධා පමුණුවනු ලබන බව නිරීක්ෂණය වේ. විශේෂයෙන්ම මාධ්‍යවේදීන්ට, නීතිවේදීන්ට සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඇතැම් වෘතිකයින්ගේ වෘත්තීය කටයුතු සඳහා මෙම පනත මඟින් බාධා ඇතිකරන බව පැහැදිලි ය.
ජනමාධ්‍යවේදියාගේ ප්‍රකාශන නිදහසට සීමා
මාධ්‍යවේදියා යනු නිරන්තරයෙන්ම සොයා යන්නෙකි. මාධ්‍ය අන්තර්ගතයක් සම්පාදනය වනුයේ අලුත් සොයාගැනීම් සහ සොයාගත් තොරතුරු විශ්ලේශනය කිරීමෙනි. මාධ්‍යවේදීයා යම් කතා පුවතක් හඹා යාමේදී සීමා රහිතව කටයුතු කිරීමට සිදුවන අවස්ථාද පවතියි. විශේෂයෙන්ම ගවේෂණාත්මක ලිපි සම්පාදනයේදී මාධ්‍යවේදියාට තොරතුරු සොයා යාම සඳහා විවිධ බහුවිද මූලාශ්‍ර වෙත ප්‍රවේශ වීමට සිදුවේ. එසේම වෘත්තීය ආචාර ධර්ම අනුව ඇතැම් රහසිගත මූලාශ්‍ර ආරක්ෂා කිරීමටද සිදුවේ. එවැනි තත්ත්ව වලදී මාධ්‍යවේදීයා විසින් ගවේෂණය කරනු ලබන තොරතුරු මෙම පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතේ විධිවිධානවලට යටත් තොරතුරු විය හැකි ය.
උදාහරණයක් ලෙස රජයේ උසස් නිලධාරියෙක් හෝ දේශපාලකයෙක් විසින් සිදුකරන ලද මූල්‍ය වංචාවක් පිළිබඳ ගවේෂණය කරන අතර තුර පනත මඟින් ආරක්ෂණය කර ඇති පෞද්ගලික දත්තවලට ප්‍රවේශවීමට සිදුවිය හැකි ය.එසේම එම දත්ත පෙළ ගසමින්, ඇතැම් තොරතුරු විශ්ලේශනය කරමින් නව තොරතුරු උත්පාදනය කරගැනීමට සිදුවිය හැකිය. පනතේ ‘දත්ත’ යන්න අර්ථකථනය කරඇත්තේ යම් නාමයක්, හඳුනාගැනීමේ අංකයක්, මූල්‍ය දත්තයක් ස්ථානීය දත්තයක් හෝ යම් මාර්ගගත හඳුන්වනයක් ලෙසයි. එමෙන්ම පුද්ගලයාගේ කායික විද්‍යාත්මක, කායික ජානමය, මානසික, ආර්ථික, සංස්කෘතික හෝ සමාජයීය අනන්‍යතාවයට විශේෂීත වූ සාධක ලෙසද අර්ථ දක්වා ඇත. මෙම දත්ත රැස් කිරීම හෝ සැකසීම අවසරයකින් තොරව සිදු කළ නොහැකි බවත් එසේ කරන පුද්ගලයින් සඳහා දඩුවම් පැමිණවිය හැකි බවත් පනතේ දක්වා ඇත. ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකුගේ අවසාන අරමුණ වන්නේ මහජනයාගෙන් වසන් වී තිබූ නමුත් මහජනයාට අතිශයෙන් බලපානු ලබන තොරතුරු නිරාවරණය කිරීමයි. මාධ්‍යවේදියා මෙහිදී මහජන සුබසිද්ධිය පිළිබඳ මූලධර්මය මත පිහිටා කටයුතු කරයි. නමුත් මෙම පනත මගින් එවැනි තොරතුරුවලට ප්‍රවේශවීම වරදක් බවට පත්කර ඇතිබව ජනමාධ්‍ය සංවිධාන සහ එම ක්ෂේත්‍රෙය් විද්වතුන් පෙන්වාදුන් ප්‍රමුඛතම කාරණයකි.
අසීමිත බලතල සහිත අධිකාරියක්
පනතේ සඳහන් ක්‍රියා පටිපාටි ක්‍රියාත්මක කිරීමට හා පවත්වාගෙන යාම සඳහා ආරම්භ කරන ආයතනය වනුයේ පෞද්ගලික දත්ත ආරක්ෂණ අධිකාරියයි. මෙම අධිකාරියට විශාල බලයක් පවතින අතර ස්වාධීනව පාලනය වනවා වෙනුවට ආණ්ඩුවේ හෝ පවතින දේශපාලන රෙජීමයේ කැමැත්ත අනුව පාලනය වීමේ වැඩි ඉඩකඩක් පවතී. මෙම අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය පත්කරන්නේ ජනාධිපතිවරයා විසිනි. එමෙන්ම එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා පත් කිරීමටත් ඉවත්කිරීමටත් පනත අනුව ජනාධිපතිවරයාට බලය ඇත.
එමෙන්ම පනතේ 32 වැනි වගන්තියේ (ඉ) කොටසේ ඇති පරිදි පනතේ විධිවිධාන ප්‍රකාරව විමර්ශන පැවැත්වීමට, පැමිණිළි භාරගැනීමට, යම් තැනැත්තෙකුට අධිකාරිය ඉදිරියේ පෙනී සිටින ලෙස නියම කිරීමට, විධාන නිකුත් කිරීමට මෙන්ම දඩ මුදල් නියම කිරීමට ද බලය ඇත්තේ මෙම අධිකාරියටයි. මෙහිදී මෙම අධිකාරිය අධිකරණයක් මෙන් ක්‍රියාකරන අතර අධිකරණ ක්‍රියාවලියකින් තොරව වැරදිකරුවෙකු නම් කිරීමටත් දඩ මුදල් නියම කිරීමත් සිදුකරයි. මෙය ඉතාමත් බරපතල තත්වයක් විය හැකි අතර වන්දි මුදල් නියම කිරීමේදී හා වැරදිකරුවෙකු ලෙස නම් කිරීමේදී අධිකරණයකදී මෙන් සාධාරණ සහ ආචාරධාර්මික ප්‍රවේශයක් බලාපොරොත්තු විය නොහැකි ය. පනතේ 38 වන වගන්තියේ ඇති පරිදි රුපියල් මිලියන දහයක් දක්වා වන දඩ මුදලක් පැනවීමට අධිකාරියට බලය පවතින අතර අධිකාරිය විසින් ලබාදෙන තීරණය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය වෙත අභියාචනය කරන්නේ නම් ඒ් සඳහා වන්දි මුදල මෙන් (රුපියල් මිලියන දහයක් දක්වා) සමාන මුදල් ප්‍රමාණයක් ඇප ලෙස තැන්පත් කළ යුතුව ඇත. මෙය අභියාචනා කිරීමේ උනන්දුව හීන කරන තත්ත්වයක් වන අතර එමඟින් අධිකාරියේ අසීමිත බලය තවදුරටත් තහවුරු කරයි.
තොරතුරුවලට ප්‍රවේශවීමේ අයිතිය සුරැකීම සහ රහස්‍යභාවය රැකීම
පෞද්ගලික තොරතුරු සුරක්ෂිත කිරීමත් තොරතුරු අයිතිය ආරක්ෂා කිරීමත් එකසේ වැදගත් ය. රටක පුරවැසියන්ගේ පෞද්ගලික දත්ත අවභාවිතවීම වැළැක්වීමත් එරට පුරවැසියන්ගේ ජීවිතවලට බලපානු ලබන පොදු තොරතුරු ලබාගැනීමට හැකිවීමත් යන දෙකම පුරවැසි අයිතිවාසිකම් ලෙස සැලකිය හැකිය.
මෙම අවශ්‍යතා දෙකටම සේවය කළ හැකි කදිම පොදු එකඟතාවයක් ලෙස ‘මහජන සුභසිද්ධිය’ යන යෙදුම යොදාගත හැකිව තිබිණි. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි ඉතාමත් සෘජුව මෙම මහජන සුභසිද්ධිය හෙවත් පොදු යහපත යන සංකල්පය යොදාගෙන ඇති අතර එය බොහෝ ආචාර ධර්ම පද්ධති තුළද සාකච්ඡා වන්නකි. මෙසේ අර්ථ දැක්වීම පුරවැසියාගේ දෘෂ්ටිකෝණයෙන් ඉතාමත් වැදගත් අංගයක් ලෙස හඳුනාගත හැකි අතර එය තොරතුරු පනත ඉතා ශක්තිමත් පනතක් ලෙස ඔසවා තැබීමටද උපකාරී වී තිබේ.
එමෙන්ම මහජනයා වෙත බලපානු ලබන රජයේ මූල්‍ය, දේශපාලනික තීරණ, දේශපාලකයින්ගේ සහ නිලධාරීන්ගේ වත්කම් ආදිය පිළිබඳ තොරතුරුවල විශේෂතාවය අර්ථ දක්වා ගැනීම කළ යුතු ය. ඒ්වා සාමාන්‍ය පොදු පුරවැසියෙකුගේ පෞද්ගලික දත්තවලින් වෙනස්වන ආකාරය පිළිබඳ මනා පැහැදිලි කිරීමක් මෙවැනි රෙගුලාසි තුළ පැවතිය යුතුය.
පනතේ 40 වෙනි වගන්තිය තුළ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ තොරතුරු දැනගැනීමේ අයිතීන් ඇතුළු මූලික අයිතිවාසිකම් සුරැකීම සඳහා මේ පනතේ විධිවිධානවලින් නිදහස් කළ හැකි බව පෙන්වා දී ඇතත් ප්‍රායෝගික තත්ත්වයක් තුළ මෙම පනත් අතර ඇතිවන ඝට්ඨනය වැළැක්විය නොහැකි වනු ඇත. විශේෂයෙන්ම මෙරට පවතින නීතිරිති දේශපාලනික මැදිහත්වීම් හේතුවෙන් අවභාවිතා වන ආකාරය පිළිබඳව මෑතකාලීන උදාහරණ ඕනෑ තරම් පවතී. 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) රෙගුලාසිවලට මුවාවෙන් රම්සි රසීක් අත් අඩංගුවට ගැනීම මේ සඳහා ගතහැකි හොඳම උදාහරණයකි.
සමස්ථයක් ලෙස මෙවැනි පනත් ගෙන ඒමේ කාලීන අවශ්‍යතාවයක් පවතින බව හැඟී ගියද ඒ් හරහා සිදුවිය හැකි අනෙකුත් අයිතිවාසිකම් කඩවීම් අප තේරුම්ගත යුතු ය. මෙවැනි පනත් කඩිමුඩියේ සම්මත කරගනු වෙනුවට ඉතා පරිස්සමෙන් සහ සාධාරණ අධ්‍යයනයකින් පසුව සම්මත කර ක්‍රියාත්මක කළ යුතු ය. පනත සම්මතවීමෙන් අනතුරුව වුවද පනතේ රෙගුලාසි ඉදිරිපත් කිරීමේදී මෙහි පවතින ගැටලුසහගත තැන් හඳුනාගැනීම හා ඒ් පිළිබඳව සාකච්ඡාවක් ගොඩනැගී තිබීම වැදගත් වේ. ඒ සඳහා මාධ්‍ය සමාජය, සිවිල් සමාජ කණ්ඩායම් සහ පුරවැසියන් එක්ව කටයුතු කිරීම සර්වකාලීන අවශ්‍යතාවයකි.