අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

වතු ක්ෂේත්‍රයට කොරෝනාවේ බලපෑම

ජීවා සතාසිවම්

මේ කොරෝනා සමයයි. 2019 දී ලෝකයට පහර දුන් වෛරසය තවමත් මුළු මහත් පෘථිවියම සසල කරමින් ඇත. වසරකට පසු ක්‍රමයෙන් වෛරසයේ බලපෑම පහව යනු ඇතැයි අපේක්ෂා කළ ද එසේ සිදු වූයේ නැත. වෛරසයේ  මුල්දිනවල බලපෑම පිළිබඳ බියට පත්ව ඇත්තේ එහි දරුණුබව මුල් අදියරේදීම නොසලකා සිටි පිරිස්ය. 

ශ්‍රී ලංකාවේ තත්ත්වය

2020 වසරේ මාර්තු මස මුල වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිරෙන්නට වූ විට ලිහිල් ඇඳිරි නීතියක් මාස තුනක් පුරා දිවයිනටම බලපැවැත්විණ. එනිසාම විශාල වශයෙන් ආසාදිතයන් හමු වූයේ නැත. එමෙන්ම මරණ සංඛ්‍යාව ද ඉහළ අගයක් නොගත්තේය. පළමු රැල්ල පුරාම සමස්ත මරණ සංඛ්‍යාව වූයේ 11ක් පමණි. 2020 ඔක්තෝබරයේ ඇරැඹි දෙවැනි රැල්ල ද යම් තරමකින් ශ්‍රී ලංකාව තුළ පාලනය විය.

කෙසේ වෙතත් 2021 මුල් කොටස එතරම් දරුණු නොවුණ මුත් අලුත් අවුරුදු සමයෙන් පසු ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව පසු කළේය. ඒ අතරම මරණ සංඛ්‍යාවද දහස ඉක්මවීය. දිනකට මරණ 30ක සාමාන්‍යයක් දක්වා එය වර්ධනය වූ අතර ආසාදිතවූවන්  සංඛ්‍යාව දිනකට 2500ක පමණ සීමාව පසු කළේය. පළමු රැල්ල සමයේ දිවයින පුරා ඇඳිරි නීතිය පැනවිණ. මේ වතාවේ රට වැසී ඇත්තේ සංචරණ සීමා පැනවීම නම් ව්‍යාජයෙකි. 

කොවිඩ් සමයේ ජීවන නියමයන්

ආසාදනය වීමෙන් වැළකීමේ ප්‍රධාන මාර්ගයන් වනුයේ නිතර දෑත් සේදීම, අන් අය සමඟ මීටර 1.5ක දුරස්ථභාවයක් පවත්වා ගැනීම, මුහුණු ආවරණයක් පැලඳීම, තම තමන්ගේ සනීපාරක්ෂක නීති පුරුදු වීම සහ නිවෙසේදී පවා එකිනෙකාගෙන් ඈත්ව විසීමයි. වෙනම වාසස්ථාන ගොඩනඟාගෙන සැපපහසු දිවි පෙවෙතක් ගෙවන්නවුන්ට මේ නීති පහසුවෙන් පිළිපැදිය හැකි වුවත් මේ උපදෙස් පිළිපැදීම කඳුකරයේ වතු ප්‍රදේශවල, විශේෂයෙන් පේළි නිවාසවල වෙසෙන්නන් හට පුහුණු කිරීම ඉතා අපහසුය.

ඇත්ත කතාවක් මෙන්න

කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගන්නන් ඔවුන්ගේ නිවෙස්වලම නිරෝධායනයේ යෙදවීමට රජය දුන් උපදෙස මැයි මස 17 වැනිදා සිට ක්‍රියාත්මක විය. කඳුකර පුද්ගලයකු අසනීප වූ අතර කොරෝනා ආසාදිතයකු බව තහවුරු විය. ඔහුට ඔහුගේ පේළි නිවාසයේ නිරෝධායනය වන්නැයි පැවසිණි. මෙහි ප්‍රතිඵලය වූයේ එම පවුලේ නව මස් බිළිඳකු ද ඇතුළු තවත් දෙදෙනකු වෛරසයට ගොදුරු වීමයි. ඔවුන් ආසාදිතයන් බවට තහවුරු වීමෙන් දිනකට හෝ දෙකකට පසු රෝහල්ගත කෙරිණි. අසල්වාසීන් පසු වූයේ වෛරසයට ගොදුරු වේය යන බියෙන් සහ ඔවුන්ගේ ජීවිත පිළිබඳ කනස්සල්ලෙනි. 

තවත් පේළි නිවාසයක පුද්ගලයකු කොරෝනා ආසාදිත බවට තහවුරු කෙරුණු අතර එවර උපදෙස් ලැබුණේද නිවෙසේම රැඳෙන ලෙසයි. වයස අවුරුදු 52ක සිවුදරු මවකගේ මරණය එම ප්‍රදේශයේ වතු ජනතාව තවදුරටත් භීතියෙන් වෙළන්නට විය.

කඳුකරයේ පේළි නිවාසවල එක්ව විසීම

පවුලක 5සිට 7 දක්වා සාමාජියන්ට පේළි නිවාස නවාතැන් සපයයි.  ඇතැම් නිවෙස්වල ඊටත් වඩා සංඛ්‍යාවක් වෙයි. අම්මලා, තාත්තලා, දරුවන්, වැඩිහිටියන් සහ විවාහපත් විය යුතු වයසේ තරුණ පිරිස් ; මේ සියල්ලන් වෙසෙන්නේ ලයිම් ගෙය නැමැති කුඩා නිවෙස්කඩේය. ලයින් කාමරවල වෙසෙන්නන් තමන්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරාගත යුත්තේ ඒ කුඩා ඉඩකඩෙහිය. 

එතරම් කුඩා ඉඩක විවාහක යුවළක් දරුවන් පස් දෙනෙකුට උප්පත්තිය දෙමින් පදිංචිව සිටින්නේ වැඩිහිටි කාන්තාවක් ද ගෙතුළ තබාගෙනය. කුඩා කාමරය ඒ දරුවන් පස්දෙනාගේ ලෝකය වෙයි. 

මුළු පවුලම නිදා ගැනීමට, ඇඳුම් මාරු කිරීමට, දුකට සැපට අවශ්‍ය දේ තබා ගැනීමට පාවිච්චි කළ යුත්තේ වර්ග අඩි 120ක හතරැස් කොටසකි. 

අන්තර්ජාතික නියමයන්ට අනුව තනි පුද්ගලයකුට වර්ග අඩි 46ක් අවශ්‍යය. කෙසේ වෙතත්, අවාසනාවකට කඳුකරයේ බොහෝ පවුල් තවමත් ජීවත් වීමට සිදු ඇත්තේ අඩි අටයි අටේ කාමරයකය. 

මෙවන් තත්ත්වයක වෙසෙන කඳුකර ජනතාවට ඔවුන්ගේ මූලික දින චර්යාව කොරෝනා නීතිවලට අනුව වෙනස් කළ හැක්කේ කෙසේද? මේ සමීප නිවාස වටපිටාව තුළ සනීපාරක්ෂක නිති පිළිපැදීම කළ නොහැක්කකි. 

ඓතිහාසික පසුබිම

වසර 150 ට පමණ පෙර ඉන්දියාවෙන් කම්කරුවන් ලෙස රැගෙන ආ මිනිසුන් පදිංචි කරවන ලද්දේ දිවයිනේ කඳුකර කලාපයේය. ඉන්පසු ඔවුන් විසින් මේ වනබිම්වලට ජීවය දෙන ලදී. අදටත් තත්ත්වය එසේමය. 

ඔවුන් සමඟ කොලරා රෝගය ශ්‍රී ලංකාවට ආවේය. අද පවතින කොරෝනා වසංගතය සේම කොලරාවට ගොදුරුවූවන් බොහොමයක් ඒ සම‌යේ මිය ගියහ. එදා වතු ප්‍රදේශවල පැවතුණු වෛද්‍ය ක්‍රමය අදටත් එසේම පවතින්නේ සුළු දියුණුවක් සමඟිනි. 

එසේනම්, කොලරාව වැලඳුණ මිනිසුන්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් ඒ යුගයේ  තාවකාලිකව ගොඩනැඟුණු වෛද්‍ය ක්‍රමය මේ කොරෝනා යුගයට ගළපන්නේ කෙසේද? කොරෝනා වැලඳුණු වතු සේවකයකුට ප්‍රතිකාර සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම්  වතු රෝහලක  නැති බව පැහැදිලිය. 

‘නිදහස් අධ්‍යාපනය’ කඳුකර වතු ජනතාවට ලැබුණේ අනෙක් ප්‍රජාවන්ට වඩා දශක ගණනාවකට පසුය. 1972 දී වතු රජයට පවරා ගැනුණු අතර වතු අධ්‍යාපනය ද රජය යටතට ගැනුණි. වර්තමානයේ සියලු වතු පාසල් රජයේ පාසල් බවට පත් වී තිබේ. එසේම, සියලු වතු රෝහල් රජයේ රෝහල් බවට පත් කළ යුතුව තිබිණි. අවාසනාවකට අදටත් වතු රෝහල් පාලනය වන්නේ වතු කළමනාකාරීත්වය මඟිනි. ප්‍රජාවකගේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පෞද්ගලික ආයතනවලට පැවරීම කෙබඳු සාධාරණයක්ද? මෙයින් පෙනී යන්නේ වතු ජනතාව ජාතික සෞඛ්‍ය ක්‍රමවේදයට අනුගත කර නැති බවයි. රෝගියකුට ගිලන් රථයක් අවශ්‍යද නැද්ද යන්න තීරණය කරන්නේ වතු පාලකයා වීම ඛේදවාචකයකි. වතු වෛද්‍ය සහායකට (ඊඑම්ඒ) වැටුප් ගෙවන්නේ වතු කළමනාකරණයෙන් වීම නිසා එවන් ඊඑම්ඒවරයකු ජනතාවට සේවය කරනු ඇත්තේ කෙසේද යන පැනය ඉතිරිව පවතී.

වතු සහ නාගරික සෞඛ්‍යසේවා ඒකකය නමින් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ වෛද්‍ය ඒකකයක් ඇත. සැලසුම් සහගතව රජය විසින් වතු අංශයේ රෝහල් එම ඒකකය යටතට ගෙන ආ යුතුය. 

‘යහපාලන’ රජය සමයේ කඳුකරයේ නියෝජිතයන් පාර්ලිමේන්තුවේ හඬ නැඟුවේ එම්බීබීඑස් සමත් වෛද්‍යවරුන් වතු අංශයේ රෝහල්වලට යෙදවිය යුතු අතර ඔවුන්ට රජයේ වෛද්‍ය දෙපාර්තමේන්තුවෙන් ඖෂධ සැපයීමත් ජාතික සෞඛ්‍ය ක්‍රමවේදයට වතු සෞඛ්‍ය අංශය ගෙන ඒමත් කළ යුතු බවටය. 

ජනතා නියෝජිතයන් සහ ඔවුන් පත් කරන නිලධාරීන්

කොරෝනා පැතිරීම වැළැක්වීමට ජනතාව හුදෙකලා කළ යුතු ස්ථාන හඳුනා ගැනීම දැන් කඳුකරය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අයත් කටයුත්තකි. සිවිල් සංවිධාන ඉල්ලීම් කරමින් සිටින්නේ වසා දමන ලද කර්මාන්ත ශාලා, පාසල් ගොඩනැඟිලි සහ කියවීම් ශාලා මේ කටයුත්ත සඳහා යෙදවීමට වතු පරිපාලකයන් සමඟ සහයෝගයෙන් පියවර ගත යුතු බවටයි. 

දසලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වෙසෙන කඳුකරයේ පීසීආර් යන්ත්‍රවල අවශ්‍යතාව, ගිලන්රථ හිඟය, විශේෂයෙන්ම වතු ප්‍රදේශවලට අදාළව කොවිඩ් ආසාදනයට ගොදුරුවූවන්ට ඉක්මන් වෛද්‍ය සහාය ලබා දීම අසීරු කොට ඇත. මේ අවශ්‍යතා සපුරාලීමට ජනතා නියෝජිතයන්ගෙන් ලැබෙන දායකත්වය දුටුවිට ඇති වන්නේ කලකිරීමකි. 

සහනය

කොරෝනා සමයේ සහන ලබාදීම වෙනුවෙන් වන රජයේ චක්‍රලේඛයට වතු සේවකයන් ඇතුළත් නොවීම අවධානයට ලක්විය යුතු වැදගත් කරුණකි. රජය වියළි සළාක සහ රුපියල් 5000/- දීමනාව අසරණ පවුල්වලට ලබා දෙයි. එහෙත් කඳුකර වතු ජනතාව අදාළ ආධාරවලට ඇතුළත් කර නැත. 

මෙයට හේතුව වන්නේ කඳුකර ජනතාව පූර්ණ වශයෙන් රාජ්‍ය පරිපාලන ක්‍රමවේදයට අනුගත කර නොතිබීමයි. එයට බොහෝ බාධක තිබේ. කඳුරට අධිකාරිය ස්ථාපනය කෙරුණේ මේ ගැටලුවලට යම්තාක් දුරකට විසඳුමක් ලබාදීමටය. පාර්ලිමේන්තුවෙන් නීතිය සම්මත වුවද තවමත් එම නීතිය ක්‍රියාත්මක කිරීමේ උත්සාහයක් ගෙන නැත. පනතට අනුව වතුකර කලාපයේ නව ගම්මාන සංවර්ධන අධිකාරිය ඇත්තේ කඳුරට කටයුතු අමාත්‍යාංශය යටතේය. කඳුරට අධිකාරියේ සියලුම අබෑර්තු පුරවා ඇත. කවුරු කවුරුන් ඒ තනතුරු දරන්නේද, ඔවුන් කරන්නේ මොනවාද? ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් පිටතින් දැනගන්නට නැත. 

විසඳුම

මේ පේළි නිවාසවල ජීවත්වන බොහෝ දෙනෙකු අද වන විට ඉහළ තලයට පැමිණ ඇති අතර සම්ප්‍රදායිකව විසූ නිවාස අලුත්වැඩියා කිරීමේ හැකියාව ඇතත් ඔවුන් තවමත් වසර සියගණනක් පැරැණි ක්‍රමයට අසරණ තත්ත්වයෙන් ජීවත් වන්නේ ඉඩම් අයිතිය නැති නිසාය. 

ලයින් කාමර ක්‍රමයට වෙනසක් කිරීමට කඳුරට දේශපාලකයන්ගේ උත්සාහයක් තිබුණද එය තවමත් සඵල වී නැත. 

වෘත්තීය සමිති දේශපාලන ක්‍රමයෙන් ජනතාව තමන් වෙත බැඳ තබා ගන්නා වතු වෘත්තීය සමිති කෙතරම් දුරට ජනතා යහපත පිළිබඳ අවධානය යොමු කර තිබේද? මෙයට කඳුකරයේ ජනතාව වෙසෙන ආකාරය සාක්ෂි දරනු ඇත. 

චන්ද්‍රිකා ජනාධිපතිනියගේ පාලන සමයේ කඳුකර ප්‍රදේශය වෙනුවෙන් නිවාස අමාත්‍යාංශයක් ස්ථාපනය කළ අතර කඳුකර ජනතාව වෙනුවෙන් නිවාස යෝජනා ක්‍රමයක් පිළිබඳ සාකච්ඡා කෙරිණි. එම සැලැස්ම ක්‍රියාවට නැඟුණේ නම් තවදුටත් කඳුකරයේ පේළි ගෙවල් නැති වී ඒවා ගම්මාන ලෙස සංවර්ධනය වන්නට ඉඩ තිබුණි.

නිරන්තර ආණ්ඩු වෙනස්වීමේ ප්‍රතිඵලයක් ලෙස තනි නිවාස යෝජනා ක්‍රමය තට්ටු නිවාස ක්‍රමයක් බවට විකාශනය විය. ඇතැම් ස්ථානවල නිවාස තට්ටු කීපයක් උසට නැඟිණි. ඒ ප්‍රදේශවල එය සම්පූර්ණයෙන් කළ නොහැකි වූ නිසා ඉන්පසු 2015 වසරේදී තනි නිවාස යෝජනා ක්‍රමය හඳුන්වා දෙන ලදී. බොහෝ විවේචන අතරේ වුව දහස් ගණන් නිවාස මේ කාලය තුළ ගොඩනැඟුණු අතර ජනතාවට බාර දෙනු ලැබිණි. ඊට අමතරව තවත් දහස් ගණනක් නිවාසවලට මුල් ගල් තැබිණි. එහෙත් වත්මන් පාලනය යටතේ ඉතිරිව ඇත්තේ  තැබූ මුල්ගලට සිදුවන්නේ කුමක්ද යන්න බලාසිටීමටය.

ජාතික සාමාන්‍යයට සමාන වටිනාකමකින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට වැඩ කරන මේ ජනතාවගේ ජීවන තත්ත්වය වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍යය. වසර ගණනාවක් පුරා මේ ප්‍රදේශයේ සලකුණ බවට පත් වී ඇති එමෙන්ම ජාතියේම අපකීර්තියේ සංකේතය වූ මේ ලයිම් පදිංචිකිරීම් මිනිසුන්ට යෝග්‍ය වාසස්ථාන නොවන බව අවබෝධ කරගත යුතුය. 

මේ ලයින් කාමර වෙනුවට තනි නිවාස ලබා දීමෙන් කොරෝනාවෙන් පමණක් ඔවුන් ආරක්ෂා කර ගැනීමට හැකි වනු ඇත. වතු අංශයේ අය හට වැදගත් දිවිපෙවෙතක් ගත කළ හැක්කේ එවිට පමණි. කඳුකර නායකත්වය මේ පිළිබඳ සිතා බලා සෞඛ්‍යාරක්ෂණය ඇතුළු සේවා කඳුකර වැවිලි ක්ෂේත්‍රයේ ජනතාවට සැපයීමට දේශපාලනමය විසඳුමක් ගෙන ඒමට ක්‍රියා කළ යුතුය.  

How Corona Impacts The Estate Sector

கொரோனா ஆபத்தும் மலையக பெருந்தோட்டப்புற மக்களும்

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts