අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් විනිවිදභාවය

මාධ්‍යවේදීන්ට එරෙහි තර්ජනවලට විසඳුම් ලැබෙන්නේ කවදාද?

කීර්තිකා මහාලිංගම්

මෑතකදී මුලතිව් ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහරදීමේ සිදුවීම ප්‍රාදේශීය වශයෙන් පමණක් නොව දේශීය වශයෙන්ද ආන්දෝලනාත්මක සිදුවීමක් විය. මෙම සිදුවීම පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස පිලිබඳව බොහෝ දෙනා ප්‍රශ්න නගන්නට විය.

මුලතිව් ප්‍රදේශයේ නීති විරෝධී වැලි ජාවාරම් කිරීම හා නීති විරෝධී දැව ජාවාරම කාලාන්තරයක් සිට සිදුවෙමින් පවත්නා දෙයකි. ඒ පිළිබඳව තොරතුරු ගවේෂණ කිරීමට ගොස් සිටි නිදහස් මාධ්‍යවේදීන් දෙදෙනෙකු වන ශන්මුගම් තවසීලන් හා ගණපති පිල්ලෙයි කුමරන් යන මාධ්‍යවේදීන් දෙදෙනා පහර කෑමකට ලක් විය.

මුරිප්පු පොලීසියේ සහ වනජීවි ආරක්ෂක ඒකකයේ සමහර ඉහළ නිලධාරීන්ගේ සහාය ඇතිව සමහරුන් නීති විරෝධී ලෙස තේක්ක ගස් කපා නිවසක් ඉදිකරමින් සිටින බවට අපට ලැබුණ ආරංචිය අනුව අපි ඒ පිළිබඳව තොරතුරු වාර්තා කිරීම සඳහා ඔක්තෝම්බර් මස 12 වන දින එම ස්ථානයට ගිය අවස්ථාවේ දී මෙම පහරදීමට ලක්වුණා යනුවෙන් එම මාධ්‍යවේදීන් පවසයි.

ප්‍රහාරයට ලක්වූ මාධ්‍යවේදීන් දෙදෙනා දින 03 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව නිවසට පැමිණ ඇති අතර ඔවුන් ජාවාරම්කරුවන්ගේ පහර දීමට ලක් වූවා පමණක් නොව ඔවුන් සතුව තිබූ පටිගත කිරීමේ තාක්ෂණික උපකරණ පවා ජාවාරම්කරුවන් විසින් උදුරා ගෙන ඇත.

මෙම සිදුවීම පිළිබඳව ප්‍රාදේශීය හා දේශීය මාධ්‍ය ආයතන පමණක් නොව සමාජ මාධ්‍ය අවකාශය තුළත් දේශපාලකයින්, සමාජ ක්‍රියාකාරීන් හා මාධ්‍යවේදීන් කිසිදු පක්ෂපාතිත්වයකින් තොරව තම අදහස් හා මතවාදයන් විවිධ මානයන්ගෙන් ඉදිරිපත් කරමින් තම කණගාටුව හා විරෝධතාවය පළ කළහ. එමෙන්ම මෙම පහර දීමට විරෝධය දක්වා ඔක්තෝම්බර් මස 16 වන දින නැගෙනහිර පළාතේ උද්ඝෝෂණයක්ද පැවැත්විනි. මෙවැනි බලපෑම්කාරී වාතාවරණයක් නිසාවෙන් මාධ්‍යවේදීන්ට පහර දුන් පුද්ගලයින්ව මුලතිව් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

අපට පහර දුන් පුද්ගලයින්ගෙන් එක් අයෙක් 12 වන දිනත්, තවත් අයෙක් 13 වන දින හා තවත් දෙදෙනෙකු 20 වනදාත් අත් අඩංගුවට ගනු ලැබුවා. මුලතිව් ප්‍රදේශය පිළිබඳව අවධානය යොමු කිරීමේදී සාමාන්‍ය පවුල් ගැටලු පවා පොලීසිය හා හමුදාවේ මැදිහත්වීමෙන් විසඳා ගැනීමේ වාතාවරණයක් දක්නට ලැබෙනවා. නමුත් මෙවැනි සිදුවීම්වලදී පහර දුන් පුද්ගලයින්ව ඉක්මනින් අත්අඩංගුවට නොගැනීම සැකයට තුඩු දෙනවා පමණක් නොව පොලීසිය පිළිබඳව ඇති විශ්වාසයත් පළුදු වෙනවායනුවෙන් ප්‍රහාරයට ලක්වූ මාධ්‍යවේදී තවසීලන් ප්‍රකාශ කර සිටියා.

මෙම නඩුව පළමු වර විමසීම පසුගිය ඔක්තෝම්බර් මස 16 වන දින මුලතිව් දිස්ත්‍රික් අධිකරන විනිසුරු නීතිපති එස්. ලෙනින් කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූනා. ප්‍රහාරයට ලක්වූ මාධ්‍යවේදීන් වෙනුවෙන්  නීතිඥවරුන් ඉදිරිපත් වූයේ මදක් කල් ගතවීමෙනි. වන සම්පත හා පරිසර පද්ධතිය අනිවාර්යෙන්ම ආරක්ෂා කළ යුතු අතර ඒ වෙනුවෙන් හඬ නගන මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම්ද ආරක්ෂා විය යුතුය යන තර්කය පෙරදැරිව අපි මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටිනවායනුවෙන් නීතිඥ සින්නරාසා ධනංජයන් ප්‍රකාශ කරයි.

ඔක්තෝම්බර් මස 20 වන දින මෙම නඩු විභාගය නැවත කැඳවනු ලැබුවා. පසුව ඔක්තෝම්බර් මස 03 හා 17 වන දින පැවති 3 වන හා 4 වන නඩු විවරණවලදී ජනාධිපති නීතිඥ හා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා මාධ්‍යවේදීන්ගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටිමට ඉදිරිපත් වුණා. සැකකරුවන් 05 දෙනා ඇප මත නිදහස් කිරීමෙන් අනතුරුව මීළඟ නඩු කැඳවීම 2021.11.02 වන දිනට කල් දමන ලදී.

බලපෑමට ලක්වූවන්ගේ අදහස්

මම දැනට අවුරුදු පහක කාලයක් නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරන අතර විවිධ අපහසුතාවලට මුහුණ දී තිබෙනවා. මෑතකාලීන පහරදීම  හැරුණු විට පසුගිය වසරේ මුලතිව් නීරාවි ප්‍රදේශයේ ගණදෙවි කෝවිලක විහාරයක් ස්ථාපිත කිරීම පිළිබඳව පුවතක් වාර්තා කිරීමට ගොස් සිටියදී මම කුක්කුලායි පොලිස් නිලධාරියෙකුගේ පහරදීමට හා තර්ජනයට ලක්වුණා. නමුත් ඒ පිළිබඳව තවමත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. ඒ ගැන විශේෂයෙන් සඳහන් කිරීමට කැමතියි යනුවෙන් ප්‍රහාරයට ලක්වූ කුමරන් තමා රාජකාරියේ යෙදී සිටියදී මුහුණ දුන් අකරතැබ්බයන් පිළිබඳව අදහස් දක්වා සිටියා.

මම වසර 06 ක කාලයක් නිදහස් මාධ්‍යවේදියකු ලෙස සේවය කරනවා. එහිදී විවිධ අභියෝගයන්, තර්ජන, විරෝධතාහා පහරදීම්වලට මුහුණ දී තිබෙනවා. පසුගිය ඔක්තෝම්බර් මාසයේ කොකාවිල් ප්‍රදේශයේ කැනීම් කටයුතු සිදු කිරීම හා වන විනාශය පිළිබඳවත් පුවත් රැස් කිරීමට ගිය අවස්ථාවේදී සමහරුන් මට පහරදීමට සූදානම් වුණා. 2017 වසරේ මුලතිව් නගරයේ සිට වට්ටවාන් පාලම දක්වා අතුරුදහන් වූවන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් සූදානම් කරනු ලැබූ උද්ඝෝෂණයකදී නාවික හමුදාවේ නිලධාරියෙකු සමග උද්ඝෝෂණයට පැමිණි අයෙක් ගැටුමක් ඇතිකරගත් අතර ඔහු හඳුනාගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී ඇතිවුණ නඩු විභාගය තවමත් විසඳිලා නෑ“, තවසීලන් පවසයි.

මෙම පහරදීමේ සිදුවීම පිළිබඳව උතුරු නැගෙනහිර පලාත්වල පමණක් නොව රටේ අනෙකුත් පළාත්වල හා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාධ්‍ය ආයතනවල ප්‍රමුඛ පෙළේ මාධ්‍යවේදීන්  පවා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවෙන් කිසිදු භේදයකින් තොරව අසාධාරණය වෙනුවෙන් යුක්තිය ඉටුකිරීම සඳහා තම හඬ අවධි කිරීම ප්‍රශංසා කළ යුතුයි. නමුත් මෙම ප්‍රහාරය පිටුපස ඇති පසුබිම් කතාව පිළිබඳ සත්‍ය තොරතුරු දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය මගින් මහජනයාට ඉදිරිපත් කලත් මෙම ගැටලුවට නිවැරදි විසඳුමක් ලැබෙන්නේ දිවයිනේ ප්‍රධාන සිංහල මාධ්‍ය මගින් මෙම සිදුවීමේ සත්‍ය තොරතුරු මහජනයාට ඉදිරිපත් කළොත් පමණයි යනුවෙන් කුමරන් හා තවසීලන් ප්‍රකාශ කරයි.

ක්‍රියාකාරීන්ගේ මැදිහත්වීම්

මෙම පහරදීමේ සිදුවීම පසුපස ඇති නීතිමය කරුණු එසේ වුවද, මාධ්‍යවේදීන්ට විරුද්ධව ක්‍රියාත්මක වන ප්‍රචණ්ඩ ක්‍රියා, තර්ජන හා බලපෑම් පාලනය විය යුතු බවත් ඒ සඳහා විසඳුමක් ලබාදිය යුතු බවටත් විවිධ පාර්ශව වලින් නානාප්‍රකාර යෝජනා ඉදිරිපත් විය. මෙම සිදුවීම පිළිබඳව විරෝධය හා කණගාටුව පලකරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ සැකකරුවන්ව හැකි ඉක්මනින් අත් අඩංගුවට ගෙන නීතිය ඉදිරියේ  පමුණුවා ප්‍රහාරයට ලක්වූවන්ට සාධාරණය ඉටු කරන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට හානි පමුණුවන්නන් හා මාධ්‍යවේදීන්ට දිගින් දිගටම තර්ජන හා ප්‍රහාර එල්ල කරන පුද්ගලයින් පිළිබඳවත් වැඩිදුරටත් අවධානය යොමු කරන ලෙසයි. තවද ඔක්තෝම්බර් මස 03 වන දින මොණරාගල ප්‍රදේශයේ නීති විරෝධී වැලි ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා කිරීමට ගිය ඉඳුනිල් විජේනායක නම් මාධ්‍යවේදීයාට පහරදීමේ සිදුවීමට අදාලව නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවද නිදහස් මාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.

මෙම සිදුවීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීදරන් මහතා ජනාධිපතිතුමන්ට ලිපියක් යොමු කර ඇත.  තවද මෙම සිදුවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙමින් කිලිනොච්චි ප්‍රදේශයේ  මාධ්‍යවේදීන් විසින් කිලිනොච්චි ප්‍රාදේශීය දේශපාලනඥයින් මාර්ගයෙන්ද ජනාධිපතතුමන්ට ලිපියක් යොමුකර ඇත. මෙම සිදුවීම පිළිබඳව අපක්ෂපාතී විමර්ශනයක් සිදු විය යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියි. නමුත් මින් ඉදිරියේදීවත් මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවන මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා හා තර්ජනයන් මැඩපැවැත්වීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් තවමත් ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණකි.

තොරතුරු ලබා ගැනීම හා තොරතුරු ප්‍රකාශ කිරීමේදී නිදහස් මාධ්‍යවේදීන් දශක ගණනාවක් පුරා විවිධ ගැටලුවලට මුහුණ දෙමින් සිටී. තවද උතුරු හා නැගෙනහිර පලාත්වල පමණක් මාධ්‍යවේදීන් 40 කට අසන්න පිරිසක් ඝාතනය කර ඇති අතර තවත් බහුතරයක් දෙනා විවිධ බලපෑම්වලට හා තර්ජනයන්වලට ලක්ව ඇත. තවත් සමහරක් පැහැරගැනීමට ලක්ව ඇත. එනයින් නිදහස් මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුව අද ඊයේ පටන් නොව දශක ගණනාවක් පුරා පවත්නා නොවිසඳුණු ගැටලුවක් බව ජේෂ්ඨ මාධ්‍යවේදී ක්‍රිෂ්ණි ඉබාම් පවසයි. තවද ස්වාධීන මාධ්‍යවේදීන් පිළිබඳව අවධානය යොමු කිරීමේ දී විශේෂයෙන්ම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන හැඳුනුම්පත (Press Card) ලබා ගැනීමේ පටන් බැංකු ණය ලබා ගැනීම දක්වා ඔවුන්  විවිධ ගැටලුවලට මුහුණ දෙමින් සිටී.

නිදහස් මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා වගකිවයුතු කිසිඳු ආයතනයක් නොමැත. ආරක්ෂක උපකරණ, නිවැරදි වැටුප් ලබාදීමේ ක්‍රමවේදයන්, විශ්‍රාම වැටුප් ක්‍රමවේදයන්, රක්ෂණාවරණයන් ලබාදීම, සෞඛ්‍ය සේවා ලබාදීම හෝ රැකියා ස්ථානය මගින් ප්‍රකාශයට පත් කරන ලද යාවත්කාලීන නීතිරීති පද්ධතියක් ද නැත. ඒ සියල්ල එසේ තිබියදී මේ සියලු කරුණු පිළිබඳව දැනුවත්ව සිටියත් තම ආත්ම තෘප්තිය වෙනුවෙන් මෙම රැකියාව තෝරා ගන්නා මාධ්‍යවේදීගේ ජීවිතාරක්ෂාව හා නීතියේ සමානාත්මතාවය තහවුරු කිරීම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හා අධිකරණ අමාත්‍යාංශයේ මූලික වගකීමකි.

ජනාධිපතිතුමන් ලබාදුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු කරයිද?

ජනාධිපතිතුමන්  නව ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව පසුගිය වසරේ දී මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවා ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට, වාරණයට හෝ නියාමනයට තම පාලන කාලය තුළ කිසිදු පියවරක් නොගන්නා බව තහවුරු කරන ලදී. නමුත් ජනාධිපතිතුමන් විසින් ලබාදුන් පොරොන්දු ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම සඳහා පසුගිය වසරක කාලය තුළ ක්‍රියාත්මක කරනු ලැබූ වැඩපිළිවෙල කුමක්ද යන්න විමසූ විට ඒ සඳහා තෘප්තිමත් පිළිතුරක් නොලැබෙන බව පැහැදිලි සත්‍යකි.
“දේශසීමා රහිත වාර්තාකරුවෝ” වෙබ් අඩවිය (Reporters without borders) විසින් පසුගිය අප්‍රේල් මස ප්‍රකාශයට පත් කරන ලද මාධ්‍ය නිදහස ක්‍රියාත්මක රටවල් 180ක් අතරින් ශ්‍රී ලංකාවට 127 ස්ථානය හිමි වීම පිළිබඳව සඳහන් කිරීමට කැමැත්තෙමි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ජනමාධ්‍ය නිදහස  දුරටත් වර්ධනය විය යුතු බව මෙමගින් අවබෝධ කරගත හැකිය. යුද සමය හා සසඳන විට ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස යම්තාක් දුරකට වර්ධනය වී ඇති නමුත් වර්තමානයේ ජනමාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් විසින් තමා තමන්වම හුදකලා කර ගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බව දක්නට ලැබේ. එවැනි පසුබිමක මාධ්‍යවේදීන්ගේ සැකය හා බිය දුරුකර නිදහස්ව හා  ස්වාධීනව තම මතය  ප්‍රකාශ කිරීමට අවශ්‍ය පසුබිම ඔවුන්ට නිර්මාණය කර දීම වගකිව යුත්තන් විසින් ඉටුවිය යුතු භාරදූර කාර්යයකි. 2020 වර්ෂයේ මාධ්‍ය නිදහස් දිනයේ තේමාව වූයේ “බිය හා පක්ෂපාතීත්වයෙන් තොරව මාධ්‍යකරණයෙහි නියැලීම” යන්නයි. එවැනි මාධ්‍ය ක්ෂේත්‍රයක් ගොඩනැංවීම උදෙසා අදාල පාර්ශවයන් මූලිකත්වයගෙන කටයුතු කළහොත් විවිධ අභියෝගයන් හා තර්ජනයන් මධ්‍යයේ තම රාජකාරි කටයුතුවල නිරත වන මුලතිව් මාධ්‍යවේදීන් වන කුමරන් හා තවසීලන් වැනි තවත් බොහෝ මාධ්‍යවේදීන්ගේ  ආරක්ෂාව පහසුවෙන්ම තහවුරු කල හැකි වේවි.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts