වෛරී ප්‍රකාශ

මිනිස් මරණ හමුවේ පවා නිර්මාණය වන ව්‍යාජ පුවත්

කීර්තිකා මහාලිංගම්

“යාපනයේ සිසුවියක් කොළඹදී මරුට, ඇගේ මරණය පිළිබඳව ඥාතීන් සැක පල කරයි”

“කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියක් මියයයි. මරණයට හේතුව කොරෝනා දැයි සැකයි”

“යාපනය සිසුවියගේ මරණය පරීක්ෂණයන් පිළිබඳව සැක පළ කරන ඥාතීන්”

මෙවැනි පුවත් ශීර්ෂයන් යටතේ සිංහල, ඉංග්‍රීසි හා දමිළ යන භාෂා තුනෙන්ම නිර්මාණය කරන ලද පුවත් ඔක්තෝම්බර් මස 08 වන දින ඉතාමත් කෙටි කාලයක් ඇතුලත ප්‍රධාන පුවතක් ලෙස සීග්‍රයෙන් සමාජ මාධ්‍ය අවකාශයේ ව්‍යාප්ත වන්නට විය. සමහරක් විට ඔබත් මෙම පුවත කියවා මිතුරන් අතර බෙදා ගත්තා විය හැකිය.

මෙම සිසුවිය කවුද? ඇගේ මරණයට හේතුව කුමක්ද?

මාගේ දියණිය වන යදීශා කොළඹ දිස්ත්‍රික්කයේ උපත ලැබූ තැනැත්තියකි. ඇය වැල්ලවත්ත නගරයේ ප්‍රධාන පෙලේ පාසලක අධ්‍යාපනය ලබා උසස් පෙළ විභාගයෙන් A සමාර්ථ තුනක් ලබා ගෙන කැලණි විශ්වවිද්‍යාලයට තේරී පත්වී වාණිජ පීඨයේ ප්‍රථම වසරේ අධ්‍යයන කටයුතුවල නිරතව සිටියදී ජීවිතක්ෂයට පත්වුණායනුවෙන් යදීශාගේ පියා වන ශ්‍රීදර් ප්‍රකාශ කලා.

ශ්‍රීදර් ඡායාරූප ශිල්පියෙකි. ඔහුගේ බිරිඳ විශ්‍රාමික ගුරුවරියකි. යදීශා ඔවුන්ගේ එකම දියණියයි.

යදීශා කුඩා කාලයේ පටන් අධ්‍යාපන කටයුතුවලට උනන්දුයි. ඇය උසස් පෙළ විභාගයෙන් ඉහළින්ම සමත්වීමේ අටියෙන් අධ්‍යයන කටයුතුවල නිරත වුණා. ඒ කෙසේ වෙතත් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වීමටත් පෙර සිටම (2018 වර්ෂය අවසාන කාල සීමාවේදී) ඇය බඩවැල් ආශ්‍රිත රෝගී තත්වයකින් පෙලෙන බව අපට දැනගන්න ලැබුණා. මෙම රෝගය හඳුනා ගැනීමෙන් අනතුරුව මුල් කාලයේ අපි ඇයට පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගත්තා. පසුකාලීන ප්‍රතිකාර කටයුතු සඳහා ඇයව කොළඹ මහ රෝහලට ඇතුලත් කලා යනුවෙන් ඇයගේ පියා පැවසීය.

ශාරීරිකව රෝගී තත්ත්වයෙන් පෙළුණත් අධ්‍යාපන කටයුතුවලට ඇගේ තිබූ කැපවීම හා උනන්දුව නිසා උසස් අධ්‍යාපනය කටයුතු නොකඩවා සිදු කලා. නමුත් මෙම වර්ෂය ඇතුළත කිහිප වතාවක්ම ඇයව රෝහල් ගත කිරීමට සිදුවූ නිසා අධ්‍යාපන කටයුතුවල නියැලීමට නොහැකිව ඇය විවිධ අපහසුතාවලට පත්වුණා. කෝවිඩ් වෛරසයේ බලපෑම හමුවේ රටේ පවත්නා අවාසනාවන්ත තත්ත්වය නිසා ඇය රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව විද්‍යුත් තැපැලෙන් හා දුරකථන මාර්ගයෙන් විශ්වවිද්‍යාල පරිපාලනාධිකාරිය දැනුවත් කිරීමට අපි කටයුතු කළා. නමුත් පසුගිය ඔක්තෝම්බර් මස 08 වන දින අවාසනාවන්ත ලෙස යදීශා මියගියා. ඇගේ මරණය කොරෝනා හේතුවෙන් සිදු වූවක් නොවන බව මරණ පරීක්ෂණ වාර්තාවේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා යනුවෙන් ශ්‍රීධර් පවසා සිටියා. යදීශාගේ මරණයේ සත්‍ය තොරතුරු මෙසේ වුවත් ඔක්තෝම්බර් මස 08 වන දින ඇයගේ මරණය පිළිබඳව සමාජ මාධ්‍ය මගින් වාර්තා කරන ලද පුවත් සහමුලින්ම අසත්‍ය හා නිර්මාණය කරන ලද ඒවා විය.

කොළඹ ප්‍රදේශයේ ඥාති නිවසක වාසය කරමින් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටි යාපනයේ පදිංචි සිසුවියකගේ මරණය කොරෝනා හේතුවෙන් සිදු වූවක් බව ඇගේ ඥාතීන් සැක පල කරයි.යනුවෙන් සඳහන් විවිධ පුවත් සමාජ මාධ්‍ය අවකාශය තුළ ව්‍යාප්ත විය. මෙම පුවත් ඇසීමෙන් හා දැකීමෙන් යදීශාගේ දෙමව්පියන් හා පවුලේ උදවිය කම්පාවට හා කණගාටුවට පත්වූ අතර ඔවුන් විවිධ අපහසුතාවයන්ට පත්වූ බවත් විශේෂයෙන්ම සඳහන් කළ යුතුය.

මගේ දුවගේ මරණය පිළිබඳව විවිධ අසත්‍ය පුවත් ප්‍රචාරය වීමත්, ඒවා බෙදා හැරීමත් අපට දැකගත හැකි වුණා. ‍යාපනය ප්‍රදේශයට අයත්කාලෙයි කදිර්නම් දෙමළ පුවත්පතේ හා කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ සිංහල පුවත්පතක ඇගේ මරණය පිළිබඳව වාර්තා කර තිබූ අතර සමාජ මාධ්‍යයන් ඔස්සේ මෙම සිදුවීම පිළිබඳව වෙනස් මුහුණුවරයන්ගෙන් යුතු පුවත් ව්‍යාප්ත වුණා. මෙහිදී අපි හැකි ඉක්මනින්ම කාලෙයි කදිර් පුවත්පතට සම්බන්ධ වී ඇගේ මරණයේ සත්‍ය තොරතුරු සඳහන් කලා. තවද මේ පිළිබඳව අපි වැල්ලවත්ත පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා. එහිදී පොලීසිය විසින් අපව සන්සුන් කළ අතර මරණ පරීක්ෂණ වාර්තාවේ ඇගේ මරණය පිළිබඳ නිවැරදි කාරණාව සඳහන් කර ඇති නිසා කිසිදු බියකින් තොරව ආගමානුකූලව ඇගේ අවසන් කටයුතු සිදු කල හැකිය යන්න ඔවුන් අපට ප්‍රකාශ කළා. තවද විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂාවන් තුනෙන්ම ඇගේ මරණයේ සත්‍ය හේතුව පිළිබඳ නිවැරදි පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කිරීම නිසා කලින් සමාජ මාධ්‍යන් මගින් ඇගේ මරණය පිළිබඳව සඳහන් කර තිබූ අසත්‍ය පුවත් ඔවුන් ඉවත් කර ගත්තා යනුවෙන් යදීෂාගේ පියා පවසා සිටියා.

අසත්‍ය පුවත් නිර්මාණය හා ව්‍යාප්තිය යනු සන්නිවේදන තාක්ෂණයේ මුල් යුගයේ පටන් පැවති දෙයකි. කෙසේ නමුත් සමාජ මාධ්‍ය අවකාශය පුළුල් වීමත් සමග ව්‍යාජ පුවත්වල ව්‍යාප්තිය ඉහළ යමින් පවතී. බලය ව්‍යාප්ත කිරීම, බලය වැඩි කරගැනීම හා ලිංගික අවශ්‍යතා සපුරා ගැනීම යන කරුණු ව්‍යාජ පුවත් පතුරවන්නන් මූලික වශයෙන් අවධානය යොමු කරන අංශ 03ක් ලෙස හඳුනාගත හැකිය. මේ පිළිබඳව මහජනතාව තුළ ඇති අවම දැනුවත්භාවය හා අලුත් තොරතුරු දැනගැනීමට මිනිසා තුළ ඇති කුතුහලයත් යන සාධක ව්‍යාජ පුවත් නිර්මාණය කරන්නන් මෙහිදී වාහකයක් ලෙස භාවිතා කරයියනුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය එස්. ජේ යෝගරාජා මහතා පවසයි.

සමාජය තුළ නව දැනුම බෙදා ගැනීම අත්‍යවශ්‍ය දෙයකි. නමුත් වර්තමානයේ එය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නොසලකා මුදල් උපයා ගැනීමේ මාර්ගයක් ලෙස පමණක් වර්ධනය වී ඇත. එමෙන්ම මහජනයාගේ හැකියාවන් කාලයෙන් කාලයට වෙනස්වේ. තනි පුද්ගලයෙක් අලළා නිර්මාණය වන කුඩා ව්‍යාජ පුවතක් තුලින් සිදුවන බලපෑම දරාගැනීමේ හැකියාව එකිනෙකාගේ මානසික මට්ටම් අනුවත් වෙනස්වේ. ව්‍යාජ පුවත් නිර්මාණය කර පතුරවා හැරීම මගින් යම්කිසි පුද්ගලයෙක්ව සෘජුව හෝ වක්‍රව මානසික පීඩනයට ලක් කල හැකිය. තනි පුද්ගලයෙකු ඉලක්ක කරගෙන නිර්මාණය කරන ව්‍යාජ පුවත් බොහොමයක් ද්වේශ සහගත පළිගැනීමක් ලෙසත් සමාජ මාධ්‍ය ඔස්සේ තමා පිළිබඳව අනුකම්පාවක් ඇති කිරීම උදෙසාත් සකස් කරනු ලබයි. මෙවැනි කාරණාවලට එහා ගිය බලපෑම් සහගත ආකාරයෙන් නිර්මාණය කරන අසත්‍ය පුවත් මර්දනය කිරීම අපහසු හා කඩිනම් කටයුත්තකියන්න ආචාර්ය යෝගරාජා මහතා පවසයි.

කොරෝනා වෛරසයේ බලපෑම නිසා යදිෂා මියගිය බවට ප්‍රචාරය වූ පුවත් සියල්ල අසත්‍ය බව ඇයගේ පියාගේ ප්‍රකාශය මගින් සනාථ විය. ඇගේ මරණය පිළිබඳව වාර්තා කල අසත්‍ය පුවත්, අදාළ සමාජ මාධ්‍ය මගින් ඉවත් කර තිබුණත්, එමගින් යදීශාගේ පවුලට අත්වූ මානසික පීඩාවෙන් ඔවුන් තවමත් මිදී නැත. එය පහසු කටයුත්තක්ද නොවේ. තම දියණියගේ අවසන් කටයුතු සිදු කිරීමටත් පෙර ඇගේ මරණය පිළිබඳව පළවූ ව්‍යාජ පුවත්වලට විරුද්ධව වැල්ලවත්ත පොලිසියට ගොස් පැමිණිලි කිරීමට සිදුවූ නිසා අසත්‍ය පුවත්වල බලපෑම කෙතෙක් ද යන්න අපට අවබෝධ කරගත හැකිය.
මාධ්‍ය ආයතනයක් විසින් යම් පුවතක් ප්‍රචාරය කිරීමට පෙර එම පුවතට අදාළ නිවැරදි මූලාශ්‍රයන් සොයා බලා නිවැරදි තොරතුරු පමණක් වාර්තා කළ යුතුය. නමුත් අවාසනාවන්ත ලෙස සමාජ මාධ්‍යයේ ආගමනයත් සමඟ පලවන සියලු පුවත් සත්‍ය පුවත් බව විශ්වාසය කරන මහජනයා ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ  බෙදා ගන්නා වාතාවරණයක් වර්තමානයේ දක්නට ලැබේ. මෙවැනි ක්‍රියාවලින් සහමුලින්ම වැළකී සිටිය යුතුය. යම් පුවතක මූලාශ්‍ර නිවැරැදිව තහවුරු කරගෙන හෝ ඒ පිළිබඳව නිවැරැදි වටහා ගැනීමකින් තොරව පුවත් වාර්තා කළ හොත් එහි අහිතකර බලපෑම කුමක් වේවිද යන්න හොඳම උදාහරණයක් ලෙස මෙම පුවත පෙන්වා දිය හැකිය.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts