වෛරී ප්‍රකාශ

කතුන් වටා ගෙතුණු කතා

අයි.කේ ප්‍රභා

පුරුෂ පාර්ශවයට සාපේක්ෂව කාන්තාවන් ක්‍රියාකාරීව සමාජ මාධ්‍ය පරිශීලනය කිරීම අවමය. ඔවුන් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් හා යූටියුබ් වැනි සමාජ මාධ්‍යන් පරිශීලනය කරත් තම අනන්‍යතාවය හෙළි කිරීමට චකිතයකින් පසුවන ආකාරයක් හඳුනාගත හැකිය. මෙවන් පසුබිමක විශේෂයෙන් ලාංකික සමාජයේ කාන්තාවක් යම් වැරැද්දක් කලහොත් මුළු මහත් කාන්තා සංහතියම පහතට දමමින් සමාජ මාධ්‍ය තුළ පුවත් හුවමාරු වන ආකාරයක් දැකිය හැකිය. ආගම් පසුබිම් කරමින් සිදු කරනු ලබන බොහෝ වෛරී ප්‍රකාශයන්වල මුස්ලිම් කාන්තාවන් ප්‍රමුඛ ඉලක්කයක් වීම පෙන්වාදීමට කැමැත්තෙමි. කාලීන සිදුවීම් පදනම්  කරගෙන අන්තර්ජාලය මගින් හා ඉන් පිටත මාධ්‍යවලත් කාන්තාවන් ඉලක්ක කරමින් වෛරී ප්‍රකාශයන් සිදු කිරීමේ ප්‍රවනතාවයක් හඳුනාගත හැකි අතර එවැනි සිදුවීම සඳහා ඉලක්ක වන කාන්තාවන් කායික හා මානසික වශයෙන් පීඩාවට ලක්වනවා පමණක් නොව‍ ඔවුන් වටා සිටින ඥාතින් හා හිතවතුන්ද විවිධ ගැරහීම්වලට ලක්වන ආකාරය සෝචනීය වේ.

(https://www.coe.int/en/web/human-rights-channel/-/no-to-online-hate-speech-against-wome-1)

කාන්තා ජනමාධ්‍යවේදීන් හා මාධ්‍ය වෘත්තියෙහි නියැලෙන්නන්ගෙන් 20% පමණ වූ පිරිස අන්තර්ජාලයෙන් හා ඉන් පිටත මාධ්‍ය තුලින් වෛරී ප්‍රකාශයන්ට හා විවිධ අවලාදයන්ට ලක්වීමේ සම්භාවිතව අධික බව ගෝලීය වශයෙන් ජනමාධ්‍යවේදීන් 1200කගේ පමණ දත්ත දායකත්වයෙන් ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය (IFJ) හා එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (UNESCO) මගින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය කර ඇත. උක්ත පර්යේෂණයේ 1/3 පමණ කොටසක් එනම් 73% පමණ දෙනා පවසා ඇත්තේ අන්තර්ජලය මගින් සිදුකරනු ලබන වෛරී ප්‍රකාශයන් නිසා තමන් මානසික වශයෙන් විවිධ පීඩනයන්ට ලක්ව ඇති බවයි. කාන්තාවන්ට එරෙහි මෙවැනි සිදුවීම් මගින් කාන්තා අයිතිවාසිකම් පමණක් නොව එකිනෙකා අතර දක්නට ඇති මානුෂීය බැදීම් හා ආත්ම විශ්වායන් පවා  උල්ලංඝනය වන ආකාරය හඳුනාගත හැකිය. 

(https://www.aljazeera.com/opinions/2020/11/25/women-journalists-are-facing-a-growing-threat/)

මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ දෙවැනි වගන්තිය මගින්, 

‘ජාති, වංශ, වර්ණ, ස්ත්‍රී පුරුෂ භාවය, භාෂාව, ආගම්, දේශපාලනය ආදී කවර බේදයක් හෝ සමාජ, ජාතික, දේපල, උපත ආදී කවර තත්ත්වයක විශේෂයක් හෝ නොමැතිව මේ ප්‍රකාශයේ සඳහන් සියලු හිමිකම්වලට හා ස්වාධීනත්වයන්ට සෑම පුද්ගලයෙකුම උරුම වන්නේ ය. තවද යම් පුද්ගලයෙකු අයත්වන රටේ දේශපාලනය, නීතිමය හෝ ජාත්‍යන්තර තත්ත්වයන් පිළිබඳ කිසිඳු විශේෂයක්ද එරට ස්වාධීන, ‍භාරකාර, අස්වාධීන ආදී කවර තත්ත්වයක් පිළිබඳව විශේෂයක් ද නොමැතිව ‍මේ හිමිකම් ඔහු සතු වන්නේ ය’ යනුවෙන් සඳහන්ව ඇත.

1979 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඇති කරගත් ස්ත්‍රීන්ට එරෙහිව  සියළු ආකාරයේ වෙනස්කම් පිටු දැකීමේ සම්මුතියේ 5 වන වගන්තිය මගින්ද, ‘කාන්තාවන්ට එරෙහිව ඇති දුර්මත අහෝසි කරමු’ යන්න සඳහන්ව ඇත. 2020 පෙබරවාරි මස 25 වන දින එක්සත් ජාතීන්ගේ 43 වන කාන්තා අයිතිවාසිකම් පිළිබඳව සැසිය පැවති අතර එහිදී පෙන්වා දී ඇත්තේ කාන්තා අයිතිවාසිකම් දේශපාලන විකල්පයක් නොවිය යුතු බවයි. තවද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ඡේදයේ සඳහන් මූලික අයිතිවාසිකම් මගින්ද කාන්තාවන්ට මෙරට අනෙක් පුරවැසියන් මෙන් සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බව හා නීතියේ සමානාත්මතාවය හිමිවිය යුතු බව සඳහන්ව ඇත. එමෙන්ම විටින් විට රටේ උද්ගත වන සමාජ මාධ්‍ය ධනාත්මක හා සෘණාත්මක කථිකාවන් හමුවේ ඩිජිටල් සාක්ෂරතාවය සමඟ තොරතුරු සමාජයකට ප‍්‍රවේශ වීමේ අයිතිය තහවුරු කරමින්, සමාජ මාධ්‍යය පරිශිලකයින් යහපත් සමාජ මාධ්‍යය භාවිතය දිරි ගැන්වීම පිණිස විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් වගකීම් සහගත සමාජ මාධ්‍ය භාවිතාවක් සඳහා වන මඟ පෙන්වීම් මාලාව යන මැයෙන් ‘සමාජ මාධ්‍ය ප්‍රකාශය, කොළඹ – 2019’ හඳුන්වා දී ප්‍රකාශයට පත්කර ඇත. 

සමාජ මාධ්‍ය හා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ප්‍රවාහයන්වල කාන්තාවන්ට එරෙහිව පුවත් පල වූ අවස්ථාවන් කිහිපයකට උදාහරණ ලෙස,

  • ඇමරිකානු උප ජනාධිපතිගේ ප්‍රධාන උපදේශක රෝහිණී කොසොග්ලු,

(https://m.facebook.com/BusinessNews.LK/photos/a.222104818429427/733283573978213/?type=3&sfnsn=mo)

  • නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී වනූෂි වෝල්ටර්ස්, 

(https://m.facebook.com/story.php?story_fbid=141540001060763&id=103699941511436&sfnsn=mo)

  • කෝවිඩ් වෛරසයේ දෙවන රැල්ලේ ව්‍යාප්තියට හේතුව මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ කාන්තාවන් බවටත් කාන්තාවන් නිසා ලෙඩ බෝ වෙයි යනුවෙන් පුවත් හා වෛරී ප්‍රකාශයන් සංසරණය වීම,

(https://www.facebook.com/Liveat8.lk/videos/2772897509702171/?sfnsn=wa)

  • කාන්තා කලා ශිල්පීන්ගේ පෞද්ගලික ජීවිතය (චතුරිකා පීරිස් ඇතුළු තවත් කලාකරුවන් 14 දෙනෙකුට කොරෝනා) 

(https://www.gagana.lk/health/81/101288)

  • හෙද නිලධාරීනී පුෂ්පා රම්‍යානි සොයිසා මහත්මිය විසින් සමාජ මාධ්‍යයේ පළ කරනු ලබන පුවත් ඉලක්ක කරගනිමින් සිදු කරනු ලබන නොමගයවනසුළු පුවත් හා වෛරී ප්‍රකාශයන්,
  • ‘භූමි හරේන්ද්‍රන්’ හා ‘යාරා ඇලන්’ වැනි තම ස්ව කැමැත්තෙන්ම කාන්තාවන් බවට පත්වූ පුද්ගලයින් පිළිබඳව සිදු කරනු ලබන විවිධ වෛරී ප්‍රකාශයන්,
  • 15 වියැති ජපන් ජාතික තරුණිය හා ඇගේ ලාංකික පෙම්වතා අලලා ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය තුළ විවිධ  පුවත් පලවීම, 
  • ‘අයි.ඩී.එච්. රෝහලෙන් පැන්න කොරෝනා කත හිඳුරංගල නිවසක් පිටුපසින් අල්ලයි’ – දිවයින 2020.11.23,
  • ‘කිරිබත්ගොඩ සති පොළේ ජංගම තේ කඩයක් පවත්වාගෙන ගිය කොරෝනා වැළදී සිටින කාන්තාවක් නිසා වෙළඳුන් 42 ක් නීරෝධායනයට’ – දිවයින 2020.12.07,
  • ‘ගොළු කාන්තාවක දූෂණය කළ දෙදරු පියා 18 දක්වා යළි රිමාන්ඩ්’ – මව්බිම – 2020.11.06,
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කාන්තා නිලධාරිනියන් දෙදෙනෙකු ගුවන් නියමුවරියන් ලෙසට කොමිෂන් නිලයට පත් කිරීම, 

IMAGES – 1   IMAGES – 2   IMAGES – 3   IMAGES – 4

උක්ත පුවත් පදනම් කරගනිමින් ෆේස්බුක් හා යූටියුබ් සමාජ මාධ්‍ය තුළ පල වූ විවිධ පුවත්, ප්‍රකාශ හා අදහස් ස්ත්‍රී හා පුරුෂ යන දෙපාර්ෂවය විසින්ම ජනප්‍රියත්වය, මුදල් ලබා ගැනීම හා යම් මතයක් ඉක්මනින් සමාජගත කිරීම පිණිස කාන්තාවකගේ ජායාරූප, වීඩියෝ භාවිත කරමින් පුවත් නිර්මාණය කරනු ලබන ආකාරයත් හඳුනාගත හැකිය. කාන්තාවක් ජයග්‍රහණයක් ලැබීම හෝ ඇය විසින් සිදු කරනු ලබන යහපත් දෙයක් සමාජ මාධ්‍ය මගින් හුවමාරු වීමට වඩා ඇය පිළිබඳව සෘණාත්මක පුවත් සමාජ මාධ්‍ය හා සාම්ප්‍රදායිකමාධ්‍ය තුළ වැඩි වශයෙන් හුවමාරු වන ආකාරය දක්නට ලැබේ. ඒ අනුව මාධ්‍ය භාවිතය තුළ කාන්තාව ස්ථානගත කර ඇති ආකාරය පිළිබඳව විශේෂයෙන්ම අධ්‍යනය කළ යුතුය.

IMAGE – 5

කාන්තාවකට හිරිහැරයක් අසාධාරණයක් වන සෑම අවස්ථාවකදීම කාන්තාවන් හඬ නැගිය යුතුය. සමාජ මාධ්‍ය මගින් කාන්තාවන්ට සිදුවන වෛරී ප්‍රකාශයන්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුත්තේ කෙසේද යන්න පිළිබඳවත් ඇය දැන ගෙන සිටිය යුතුය. තවද ඇයට එරෙහි අසාධාරණකම් පිටුදැකිය හැක්කේ කාන්තාව වෙනුවෙන් කාන්තාවන් වැඩි වශයෙන් තම අදහස් සමාජගත කිරීමට යොමු වීමෙන් හා ඊට එරෙහිව සමාජ මතයක් නිර්මාණය කිරීමෙනි. ඒ අනුව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කාන්තාවන් වෙනුවෙන් හඬ නගන සංවිධානයන් කිහිපයකට උදාහරණ ලෙස,

  • Sero Un Women
  • UN Women Asia and the Pacific 
  • කාන්තාවන්ට එරෙහිව සියලු ආකාරයේ වෙනස්කම් පිටුදැකීමේ ජාත්‍යන්තර සම්මුතිය (CEDAW) 
  • කාන්තා හා ළමා කටයුතු අංශය – ළමා හා කාන්තා සංවර්ධන ඒකක පිහිටුවීම
  • ප්‍රජනන සෞඛ්‍ය සඳහා ඇති හිමිකම ප්‍රවර්ධනය  හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට ප්‍රතිචාර දැක්වීම සඳහා ජාතික සහ සිවිල් සමාජ/ සංවිධානවල ධාරිතාව  ශක්තිමත් කිරීමේ වැඩසටහන (UNFPA )
  • කාන්තා පිහිට ආයතනය
  • නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය
  • ‘අභිමානි’ කාන්තා හා ළමා සංවර්ධන පදනම
  • ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව
  • අයිතීන් උදෙසා කාන්තාවෝ
  • ‘අලුත් පියාපත්’ කාන්තා සංවිධානය, යන සංවිධානයන් පෙන්වා දිය හැකිය.

කාන්තා සමාජය ඉලක්ක කරමින් සිදු කරන ඔපාදූප, හිස් වචන හෝ අසභ්‍ය කතා පැතිරීමෙන් වැලකී, විදෙස් රටවල් අතර ලාංකික සමාජයේ මහජන සම්බන්ධතාවය හා මෘදු බලය වර්ධනය කිරීම පිණිස එවැනි ස්ත්‍රී ප්‍රතිරූපයන් වටා ධනාත්මක සත්‍ය කතා නිර්මාණාත්මකව ගොඩනැංවීම කාලීන අවශ්‍යතාවයකි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඉලක්ක කරමින් සිදුවන අකටයුතුකම්, වෛරී ප්‍රකාශ හා ව්‍යාජ පුවත් ව්‍යාප්තිය සම්බන්ධයෙන් රජයේ කාලීන අවධානය යොමු විය යුතු අතර ඒ සඳහා ක්ෂණික විසඳුම් ජනනය කිරීමට රජය නායකත්වය ගෙන කටයුතු කල යුතුය. වෛරී ප්‍රකාශයන්, හිංසනයන් හා දුර්මතයන් මර්ධනය කිරීම සඳහා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳව සංවේදී ශක්තිමත් දැනුවත් කිරීමේ වැඩසටහන් හා ‘හැෂ්ටැග්’ ප්‍රචාරණයන් දියත් කිරීම, කාන්තා අයිතිවාසිකම් පිළිබඳව කාන්තාවන් හා පුරුෂ පාර්ශවයන් දැනුවත් කිරීම සඳහා පුහුණු වැඩමුළු සංවිධානය කල යුතු අතර ඒවායේ ප්‍රගතිය නිරීක්ෂණය කල යුතුය. ඒ සඳහා මෙම ලිපිය කියවන ඔබත් හැකිනම් අනාගත කාන්තා පරපුරේ සුරක්ෂිතතාවය තහවුරු කිරීම පිණිස පුවත්පත්, රූපවාහිනි හා සමාජ මාධ්‍ය හරහා අගතියට පත්වන සියලුම කාන්තාවන් වෙනුවෙන් හඬ නගන්න ඔබේ පෑන අවියක් කර ගන්න!

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts