හුමුදාව, පොලීසිය සහ වද හිංසාව
අසංක අබේරත්න
මෑත කාලයේ අසන්නට ලැබුණු මෙරට නීති කේෂත්රය හා සම්බන්ධ ප්‍රධාන සිදුවීම් දෙකක් විද්‍යුත් හා මද්‍රිත මාධ්‍ය තුළ විශේෂ අවධානයකට ලක් විය. ඉන් එක් ප්‍රවෘතියක් වූයේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය සඳහා ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පත්වීමය. නීතීඥ සංගමයේ නිලවරණය පිළිබඳව මෙරට නීතීඥයන් පමණක් නොව මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ සිවිල් සමාජ සංවිධාන දැඩි විමසිල්ලෙන් පසුවූහ. මානව නිදහස, අයිතීන් සහ ප්රජාතන්ත්රවාදයට පක්ෂ කොයි කවුරුත් සාලිය පීරිස් මහතාගේ පත්වීම බලාපොරොත්තු වූහ.
අනෙක් සිදුවීම නම් මිගාර ගුණරත්න නම් නීති සිසුවාට පෑලියගොඩ පොලිස් ස්ථානය තුළදී පොලිස් නිලධාරීන් පිරිසක් විසින් කර ඇති පහරදීමයි. මෙම සිදුවීම් දෙකම නීතිය සහ ඒ ආශ්‍රීත ආයතන, භාවිතයන් සම්බන්ධයෙන් අලුත් දෙයක් නොවේ. එසේ වීම නිසාවෙන්ම මෙය ජීවිතයට හා නීතියේ රැකවරණයට තිබෙන අයිතිය බරපතල ලෙස තර්ජනයට ලක්වීමකි. නීතීඥ සංගමයේ සභාපති ලෙස ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතාගේ පත්වීම ප්රජාතන්ත්රවාදය, නිදහස සහ අයිතිවාසිකම් අගයන පිරිසට යම් අස්වැසිල්ලක් වී තිබීමෙන් පෙනී යන්නේ වෙන කුමක්වත් නොව කාලයක සිට මෙරට අධිකරණය සහ නීතීඥ වෘතිය ආශ්රිත කටයුතු අර්බුදයට ගොස් තිබෙන බව නොවේද?.
ශ්‍රී ලංකා පොලිසිය හෝ හමුදාව ගැන කතා කරන විට පැහැරගැනීම, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් හා රදවා තබා ගැනීම, කෘර සහ අමානුෂික වද හිංසාවට ලක් කිරීම යන බරපතල අපරාද පිළිබඳව අසන්නට ලැබෙන්නේ ඇයි? වඩාත් පිළිකුල්සහගත දෙයනම් හමුදාව හෝ පොලිසියේ මැදිහත් වීමෙන් වූ එවැනි සිදුවීම් අවසානයේ වින්දිතයා චූදිතයකු බවට පත්වී චූදිතයින් අධිකරණ ක්‍රියාමාර්ගවලින් නිදහස් වීමයි. පහරකෑමට ලක්වූ නීති සිසුවාටද එසේ වීමේ හැකියාවක් නැත්තේද නැත. පොලීසිය විසින් ඔහුට එරෙහිව අධිකරණය හමුවේ ගොනු කරන චෝදනාව නම් අත්අඩංගුවේ පසුවූ සැකකාරියට ජංගම දුරකතනයක් ලබාදීමට උත්සාහ කිරීම හා පොලීසියේ රාජකාරියට බාධා කිරීම යන චෝදනාය. නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ යැයි ජනවහරේ එන කියමන දැන් පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සනාථ කිරීමට සූදානමින් සිටී.
2021.02.25 වන දින රාත්‍රියේ මෙම නීති ශිෂ්‍යයා පෑලියගොඩ පොලිස් ස්ථානයට පැමිණෙන්නේ පොලිස් අත්තඩංගුවේ පසුවූ සැකකාර කාන්තාවකගේ සුවදුක් බැලීමටය. එහිදී සිදුවූ වචන හුවමාරුවක් අවසානයේ පොලිස් නිලධාරීන් පිරිස සිසුවාට පහරදී ඔහුට තුවාල සිදුකර තිබේ. පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවකු පිළිබඳව සොයා බැලීමට ඕනෑම පුරවැසියෙකුට අයිතියක් තිබේ. ඒ අනුව පොලිස් අත්අඩංගුවේ පසුවූ සැකකාර කාන්තාව බැලීමට ගිය ශිෂ්‍යාගේ අයිතිවාසිකම් මෙන්ම පොලිස් අත්අඩංගුවේ සිටින ඇයගේ අයිතිවාසිකම්ද පෑලියගොඩ පොලිස් නිළධාරීන් විසින් බරපතල ලෙස උල්ලංඝනය කර තිබේ. සැකකරුවකු බැලීමට පොලිසියට පැමිණෙන පුද්ගලයෙකුට පොලිසිය විසින් පහර දී තුවාල සිදු කරයි නම් පොලිස් භාරයේ සිටින සැකකරුවන්ගේ ජීවිත ආරක්ෂාව සහ නීතියේ රැකවරණය පිළිබවද බරපතල ප්‍රශ්නයක් මතු වේ.
මීට පෙරද පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් කෘර හා අමානුෂික පහරදීම්, වදහිංසා ආදියට ගොදුරු වීමත්, තවත් අවස්ථාවලදී පොලිසිය තුළම ඝානයට ලක්වූ අවස්ථා පිළිබඳවත් බොහෝ සෙයින් වාර්තා වී තිබේ. එම සිදුවීම් පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ගද ඇත. නමුත් අවසානයේ අපරාදකරුවන්ට දඩුවම් නියම කළද ඉතා කෙටි කලක් තුළ ඔවුන් එයින් නිදහස් වූ අවස්ථාද එමටය.
කෙසේ වෙතත් හමුදාව හෝ පොලිසිය විසින් සිදු කරන මෙවැනි අපරාදවලදී වින්දිතයාට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමටත් සැබෑ සාක්ෂි විකෘති කරමින් ආරක්ෂක අංශවලට වාසිවන පරිදි අලුතින් සාක්ෂි නිර්මාණය කිරීමටත් ඔවුන්ට හැකිය. එහෙත් පැහැරගැනීම්, අතුරුදහන් කරවීම්, වදහිංසාවට ලක් කිරීම හෝ ඝාතනය කිරීම කිසිවිටෙකත් සාධාරණීකරණය කළ නොහැකිය. නමුත් එවැනි සිදුවීම් අවසානයේ අප අත්දැක තිබෙන සත්‍ය නම් අවසානයේ වින්දිතයා සමග මත්ද්‍රව්‍ය, අවි ආයුද හෝ නීති විරෝධී භාවිතයක් පිළිබදව චෝදනා කරමින් ඔහුගේ හෝ ඇයගේ වින්දිතභාවය සාධාරණීකරණයට ලක්කිරීමයි. යුක්තිය සහ නීතියේ සාධාරණත්වයට මෙය බරපතල හානියකි. එබැවින් නීති සිසුවාට පහර දුන් පොලිස් නිලධාරීන් දැන් වැඩ තහනමකට ලක්ව සිටියද නඩු ක්‍රියාවලිය ඉදිරියට ඇදෙන විට දේශපාලන පළිගැනීම නම් ලේබලය යටතේ චූදිතයින් මතු දිනෙක නිදොස් කොට නිදහස් වුවහොත් එදිනට ද අප පුදුම විය යුතු නැත.