සාමය

නැවත වටයකින් මතුපිටට එන මළ සිරුරු අවසන් කටයුතු කිරීම පිළිබද විවාදය

සම්පත් දේශප්‍රිය

කොවිඩ් 19 රෝගය වැළඳී මිය ගිය ශ්‍රී ලාංකික මුස්ලිම් ජනයාගේ මළ සිරුරු භූමදානය සම්බන්ධයෙන් පැවති සමාජ කතිකාව යළිත් අලුත් වටයකින් සමාජ සංවාදයකට මුල පුරා ඇත. කොවිඩ් වැළඳී මිය ගිය මුස්ලිම් ජනයාගේ මළ සිරුරු භූමදානය නොකොට ආදාහනය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊට අදාළව පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් එම සාකච්ඡාවට නව ප්‍රවේශයක් ලබා දී ඇත. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එස් එම් මරික්කාර් මහතා අගමැතිවරයාගෙන් පාර්ලිමේන්තුවේ දී විමසුවේ ජල මූලාශ හරහා වෛරසය බෝ වන්නේ නැති බව කොවිඩ් මර්දන රාජ්‍ය ඇමතිනි සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කර ඇති බැවින් මරණ භූමදානය සඳහා අවසර ලබා දිය හැකිද යන්නය. ඊට පිළිතුරු ලබා දෙමින් අගමැතිවරයා සඳහන් කරනු ලැබූයේ භූමදානය සඳහා අවසර ලබා දෙන බව ය. .අගමැතිවරයා සිය පිළිතුරේ දී කොවිඩ් මරණයයි නිශ්චිතව සඳහන් කළේ නැති නමුත් මරික්කාර් මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නය වූයේ කොවිඩ් මරණ පිළිබදව බැවින් අගමැතිවරයා දුන් පිළිතුර ඊට අදාළව ලබා දුන් එකක් බව බැලූ බැල්මට පෙනී යන කාරණයකි.

අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී ලබාදුන් පිළිතුර පාදක කර ගනිමින් පකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන් ඇමරිකානු හා බ්‍රිතාන්‍ය තානාපති කාර්යාල ඇතුළු රටවල් ඊට තමන්ගේ ප්‍රසාදය පළ කෙරෙන නිවේදන පවා නිකුත් කෙරිණ .මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්  කියා සිටියේ තම පක්ෂයේ මන්ත්‍රීවරුන් 4 දෙනෙක් ආණ්ඩුවේ විසි වැනි සංශෝධනය සඳහා සහාය ලබා දුන්නේ මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුර භූමදානය සඳහා අවසර දෙන බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබා දුන් පොරොන්දුවක් මත බව ය .තම පක්ෂය අගමැතිවරයා සමඟ අවබෝධයෙන් කටයුතු කළ නමුත් ආණ්ඩුවේ ම කණ්ඩායමක් ඊට විරුද්ධ වීම නිසා භූමදානය යථාර්ථයක් බවට පත් කර ගැනීමට නොහැකි වී තිබෙන බව ය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මුස්ලිම් ජාතික මළ සිරුරු භූමදානය සඳහා අවසර දෙන බවට පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන්නේ කවදාද යන්න පිළිබඳව ඊට ආසන්න දිනක මාධ්‍ය  කොවිඩ් මර්දන රාජ්‍ය ඇමතිනියගෙන් කළ විමසීමකදී ඇය කියා සිටියේ එවැනි සෞඛ්‍යමය කාරණා සම්බන්ධයෙන් තීන්දු ගනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව මගින් බැවින් ඔවුන්ගේ නිර්දේශ මත අදාළ තීන්දුව ගන්නා බව ය. මෙහිදී මතු වන මූලික තාර්කික ගැටලුව වන්නේ කෝවිඩ්  වැළඳී මිය ගිය මුස්ලිම් ජාතික මළ සිරුරු ආදාහනය කිරීමට ඉඩදෙන බව අගමැති වරයා ප්‍රකාශ කරනු ලැබූයේ ඇමතිවරිය විසින්ම පවසන ආකාරයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුවේ නිර්දේශ අනුව නොවේ. එසේනම් මෙතෙක් කලක් කොවිඩ් ආසාදිත මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු ආදාහනය කර ඇත්තේ සෞඛ්‍යය කමිටුවේ නිර්දේශයක් අනුව ද එසේ නැතහොත් ආණ්ඩුවේ දේශපාලන තීන්දුවක් අනුවද යන්න මතුවන පැණයකි. ආණ්ඩුවේ දේශපාලන තීන්දුවකට මුස්ලිම් කොංග්‍රසයේ සහාය ලබා දී ඇත්තේ කෝවිඩ් මරණ භූමදානය සඳහා ඉඩ දෙන බවට අගමැතිවරයා සමග දේශපාලන වශයෙන් එළඹගත් ගිවිසුමකට අනුව ය. එ මඟින් ද තහවුරු වනුයේ මේ තීන්දුවත් සමග දේශපාලන සබැඳියාවක් මෙන්ම වාර්ගික දේශපාලන ගතිකත්වයක් පෙන්නුම් කරන බව ය.          

ශ්‍රී ලාංකික සිංහල කාන්තාවන්ට වද සැත්කම් කළ බවට මුස්ලිම් ජාතික වෛද්‍ය වරයෙකුට චෝදනා එල්ල වූ අවස්ථාවේ සහ වඳ පෙති වඳ යට ඇඳුම් දක්වා වූ චෝදනා මුස්ලිම් ප්‍රජාව ට එරෙහිව එල්ල වන අවස්ථාවල විද්‍යාත්මක පරීක්ෂණ වලට සහ නිරීක්ෂණවලට ලැබු‍ණේ අඩු වටිනා කමකි .අදාළ සිද්ධිය විමර්ශනය සඳහා නාරි රෝග සම්බන්ධ මහාචාර්ය වරයෙක් පත් කරන ලෙසට නිර්දේශ කෙරුණු අවස්ථාවේ එය නොතකා දන්ත වෛද්‍යවරයකු ගේ මෙහෙයවීම හා උපදෙස් යටතේ කටයුතු කරනු ලැබී ය .මේ අවස්ථාවේ දී ද මළ සිරුරු  ආදාහනයෙන් වෛරසය පැතිර යා හැකි බවට මතයක් ප්‍රධාන මාධ්‍ය හරහා සමාජගත කරනු ලැබූයේ වෛරස් පිළිබඳ විශේෂඥයෙකු නොව භූගර්භ විද්‍යාව පිළිබඳ විශේෂඥවරියකි. මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ශ්‍රී ලංකාවේ ප්‍රජා වෛද්‍යවරුන් සඳහන් කළේ සෞඛ්‍යය නිර්දේශවලට අනුව පවුලේ අයගේ අභිමතය පරිදි කටයුතු කිරීමට ඉඩ දිය යුතු බව ය. එමෙන් ම වෛරස් පිළිබඳ විශේෂඥයන් වන මහාචාර්ය මලික් පීරිස් සහ විශේෂඥවරියක වන නිලිකා මලවිගේ ද කියා සිටියේ සෙන්ටිග්‍රේඩ් අංශක 23ක ක උෂ්ණත්වයක් ඇති අප  ජලයේ දී වෛරසය පවතින්නේ දින හතරක් බවත් ලංකාව වැනි උෂ්ණත්වයක් ඇති රටක එම ක්‍රියාවලිය තවදුරටත් කඩිනම් වන බව ය. වෛරසය මළ සිරුරක පවතින කාලය තවමත් විවාදිත කාරණයක් බැවින් සිරුරු විෂබීජ නාශක දියර ක ගිල්වා තබා වැළලීමට විදෙස් විශේෂඥයන් ද යෝජනා කර තිබිණ .         

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ද මෙරට රජයෙන් ඉල්ලා ඇත්තේ දැනට අනුගමනය කරන බලහත්කාරී ප්‍රතිපත්තිය වෙනුවට සුළුතර විශ්වාසය ට පටහැනි නොවන විකල්ප එළඹුම් සම්බන්ධයෙන් සිතා බලන ලෙස ය. එක්සත් ජාතීන්ගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ජනමාධ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර තිබිණ. මළ සිරුරු වලින් වෛරසය පැතිර යන බවට විද්‍යාත්මකව තහවුරු කර ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් දේශීය හෝ ජාත්‍යන්තර පිළිගත් ආයතනයක් මෙතෙක් කටයුතු කර නැත. එවැනි විද්‍යාත්මක තහවුරු කර ගැනීමක් කළ හොත් ඊට කිසිවෙක් එරෙහි වෙතැයි සිතිය නො හැකි ය. නමුත් මේ දිනවල වෙමින් තිබෙන්නේ රටේ ජන කොටසකගේ සංවේදී කාරණයක් දඩමීමා කරගෙන දේශපාලනඥයින් තමන්ට සුපුරුදු දේශපාලන දූ කෙළියේ යෙදෙන බව ය.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts