සාමය

කොමිෂන් සභා පත් කිරීමේ විලාසිතාව සහ අර්ථය

සම්පත් දේශප්‍රිය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ ගේ නවතම වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට එල්ල කෙරුණු  චෝදනා වලට ප්‍රතිචාර දැක්වීම සඳහා ලංකාවේ ආණ්ඩුව මේ දිනවල ලක ලෑස්ති වෙමින් සිටී. අදාළ චෝදනාවලට වගඋත්තර බැදීම සදහා වූ පෙර සූදානමක් ලෙස මෙරට ආණ්ඩුවේ පළමු ප්‍රතිචාරය දක්නට ලැබුණේ ජනවාරි මාසයේදී ය. ජනවාරි විසි එක් වෙනි දා රජය විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් මඟින් විශේෂ කොමිෂන් සභාවක් පත් කර ඇත .එකී කොමිෂන් සභාවේ සභාපති වරයා ලෙස පත් කරනු ලැබ ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය කාර ඒ එච් එම් ඩී නවාස් මහතා ය. සෙසු සාමාජිකයන් වූයේ විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා  ප්‍රනාන්දු විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහත්වරුය .

කොමිසමේ කාර්යභාරය වී ඇත්තේ පැවති ආණ්ඩුව විසින් මීට පෙර පත් කරන ලද කොමිෂන් සභා සහ කමිටු මගින් මානව හිමිකම් උල්ලංඝනයන් සහ බරපතළ ගණයේ ජාත්‍යන්තර මානුෂීය නීති කඩ කිරීම් සහ වෙනත් එවැනි වරදවල් අනාවරණය කර තිබේ ද නිර්දේශ නිකුත් කර තිබේ ද සහ ඒවා වර්තමාන රජයේ ප්‍රතිපත්ති සමග අනුකූල වේ ද යන කාරණය පිළිබඳව විමර්ශනය කර වාර්තාවක් ලබා දීම ය. 

මේ මොහොත වන විට ලංකාවේ පවතින්නේ අලුත් ආණ්ඩුවකි. එබැවින් ඔවුන්ට මානව හිමිකම් පිළිබඳ වූ වෙනම කියවීමක් නව විදේශ ප්‍රතිපත්තියක් තිබිය හැකි බැවින් අලුතෙන් පත් කරන ලද කොමිෂන් සභාවක් මගින් ස්වකීය දේශපාලන දර්ශනය සහ විදේශ ප්‍රතිපත්තිය පදනම් කර ගනිමින් ආපසු හැරී බැලීමක් කිරීමට ඔවුනට තිබෙන්නා වූ අයිතිය ප්‍රජාතන්ත්‍රීය අයිතිය කි. රටේ ප්‍රබල ජනවරමකින් පත් වූ ජනාධිපතිවරයෙක් නව සංයුතියකින් සමන්විත ආණ්ඩුවක් ශ්‍රී ලංකාවේ පවතින බැවින් ඔවුන් ගේ නව ප්‍රවේශය සඳහා සාධනීය ප්‍රතිචාරයක් දැක්වීම ට  එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ මානව හිමිකම් සංවිධාන වලට සිදු වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. 

ඉහත සඳහන් සියල්ල යථාර්ථයක් බවට පත්වන්නේ   ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ජාත්‍යන්තර මානුෂීය  නීතීන්ට ගරු කරමින් රට අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රීය වාතාවරණයක් ස්ථාපිත කිරීම සඳහා අවංක උත්සාහයක් ගන්නා බවට දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් පෙනෙන්නට තිබේ නම් පමණි. නමුත් මේ මොහොතේ රටක් ලෙස අප සන්තකයේ තිබෙන්නාවූ ශේෂපත්‍රය ජාත්‍යන්තරය අලුත් සිතා බැලීමක් සඳහා යොමු කරවන අන්දමේ එකක් නොවන බව පැහැදිලි වෙමින් තිබීම කනගාටුදායක තත්ත්වයකි.         

ශ්‍රී ලංකාව කොමිෂන් සභා පත් කිරීම විලාසිතාවක් බවට පත් කර ගත් රටක් ලෙස ජාත්‍යන්තරය තුළ හාස්‍යයට ලක්වෙමින් තිබෙන බව වත්මන් ආණ්ඩුව විසින් පත්කරන ලද නවතම කොමිෂන් සභාවට ලැබෙමින් පවතින ප්‍රතිචාර වලින් පැහැදිලිය. ඊට ප්‍රධාන හේතුව ලෙස පෙනී යන්නේ  රටේ පැවති යුද්ධය අවසන් කිරීමෙන් පසු රට පාලනය කරන ලද ආණ්ඩු විසින් පත් කරන ලද කොමිෂන් සභා සියල්ලම මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් එල්ල වන පීඩාවන් තාවකාලිකව වළක්වා ගැනීම සඳහා පත්කරන ඒවා බවට පෙනී යන බැවිනි. මෙම ඓතිහාසික තත්ත්වය නව  ආණ්ඩුව යටතේ වෙනස් වන්නේ කෙසේද යන්න පිළිබඳ ව ලෝකයට පැහැදිලි සංඥාවක් ලබා දීම වත්මන් ආණ්ඩුවේ වගකීමකි. .                                                              

එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කවුන්සලයේ දී පැවැති යහපාලන ආණ්ඩුව විසින් සම අනුග්‍රාහකත්වය දෙනු ලැබූ 30/1-40/1යෝජනා වලින් වත්මන් ආණ්ඩුව ඉවත් වන බව විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය දා ජිනීවා සැසියට දැනුම් දෙනු ලැබීය. එසේම එම තීන්දුවට ප්‍රස්තුත වූ කරුණු ද ඔහු පැහැදිලි කළේ ය. පැවැති ආණ්ඩුව ගනු ලැබූ එම තීන්දුව පාර්ලිමේන්තුව හෝ කැබිනට් මණ්ඩලයේ අනු දැනුමකින් තොරව ගන්නා ලද තීන්දුවක් බව ඔහු සඳහන් කළේ ය.   

එම තීන්දුව රටේ විදේශ ප්‍රතිපත්තියට පටහැනි රටේ ස්වාධිපත්‍යය ට එරෙහි එකක් බව ද ඔහු පෙන්වා දුන්නේ ය .ඒ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය සමගත් එහි නියෝජිත ආයතන සමගත් අඛණ්ඩව ඉදිරියට කටයුතු කරන බවද බව ද ඔහු සඳහන් කර තිබේ. .පූර්ව විමර්ශන කොමිෂන් සභා සමාලෝචනය කිරීමටත් ඒවායේ ප්‍රගතිය තක්සේරු කිරීම ටත් නව කොමිසමක් ස්ථාපිත කරන බවට ඔහු පොරොන්දු වූයේ ය .ඒ අනුව ආණ්ඩුව මෙම කොමිෂන් සභාව පත් කර ඇත .නව කොමිෂන් සභාව පත් කරන විට ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය විසින් සම්පාදනය කර ඇති ශේෂ පත්‍රය කුමක් දැයි විමසා බැලිය යුතුය . 

ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක් වී ඇති චෝදනා කීපයක්  සාරාංශ ගත කළ හැකිය. ආණ්ඩුවේ සිවිල් කටයුතු හමුදා කරනයට ලක් කිරීම,ජාතික සමගිය හා සංහිදියා කාර්යාලය පිළිබද කටයුතු කරමින් සිටින ආකාරය, විසි වැනි සංශෝධනය හරහා ජාතික මානව හිමිකම් කොමිසම ,මැතිවරණ කොමිසම පොලිස් කොමිසම සහ අධිකරණ සේවා කොමිසම ඇතුළු කොමිෂන්සභාවල ස්වාධීනත්වය අඩපණ වන අයුරින් කටයුතු කිරීම ,යුද සමයේ චෝදනාවට ලක් වූවන් අධිකරණය මගින් නිදහස් වීම, සුළු ජාතීන්ට එරෙහිව එල්ල කරන පීඩනයන් තීව්‍ර කිරීම ආදි වූ චෝදනා ලැයිස්තුව සැහැල්ලුවෙන් සැළකිය නොහැකි කාරණා බව නම් නිසැකය. 

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts