සාමය

විශේෂාංග ලියන හැටි

ගෞරි මහා

ජනතාවගේ චින්තනය සම්බන්ධයෙන් මාධ්‍යයන්ගේ කාර්යභාරය අති විශාලය. මහජන මතය හැඩගැසීමේ බලය මාධ්‍ය සතුය. මාධ්‍යවලට නිසි මග පෙන්වන්නේ නම්, මාධ්‍ය විසින් ජනතාවට නිසි මග පෙන්වනු ඇත.

මූලික ආචාරධාර්මික මාර්ගෝපදේශ සකසමින් පවත්වාගැනීම මාධ්‍යවල වගකීමකි. වගවීම ද තවත් මාධ්‍ය වගකීමකි. බහු සංස්කෘතික රටක වාර්තාකරනයේදී මාධ්‍ය විසින් බහුත්වවාදය පිළිගත යුතුය.

මාධ්‍ය ප්‍රකාශන පළකිරීමේදී ‘විවිධත්වයේ එක්සත්භාවය’ ප්‍රතිපත්තියක් ලෙස අනුගමනය කළ යුතුය. ජන මනස තුළ සාමය හා සංහිඳියාව නිර්මාණය වන්නේ එසේ කළ විටයි. එවැනි අදහස් සමාජය තුළ ව්‍යාප්ත කළ විට අර්බුද හා ගැටුම් වළක්වාගත හැකිය.

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන්ගේ ගැටලු කෙරෙහි අවධානය යොමු කළ විට, විස්තරාත්මක විශේෂාංගයක් රචනා කිරීම සඳහා අදහස් මතු කරගත හැකිය.

ලිපියක් ලිවීමේ අදහස සිතට නැගුණු කල, අප එම ප්‍රශ්නය දෙස බලන දෘෂ්ටි කෝණයක් තෝරාගත යුතුය. විෂය පිළිබඳ තිබෙන දත්ත සිතෙහි තබාගෙන ප්‍රතිචාර හා විශේෂඥ අදහස් විමසන්න.

අපගේ අරමුණ වන්නේ තේමාව විශ්ලේෂණය කර පාඨකයාට අවබෝධ කරදීමයි. ගැටලුවලට හේතු සහ ගැටලු ආරම්භ වන ආකාරය පිළිබඳ එමගින් අවබෝධ කරවිය හැකිය. ඒ අතර, ගැටලුවලට විසඳුම් නිසි පුද්ගලයන්ගෙන් විමසා දැනගෙන ප්‍රකාශයට පත්කළ හැකිය. එසේ නැතිනම් විසඳුමක් සඳහා මාර්ගය පෙන්වීමට අපට හැකිය. මහජනතාව වෙනුවෙන් බලධාරීන්ගෙන් ප්‍රශ්න විමසීමට අපට හැකිය. අපගේ අරමුණ වන්නේ ජනතාවට අදාළ විෂය පැහැදිලිව අවබෝධ කරදීමයි.

සංහිඳියාවට සහ සාමය ස්ථාපිත කිරීමට පක්ෂපාතීව කටයුතු කිරීම සහ ඒ පිළිබඳ සුබවාදී අදහස් ජන මනස තුළ ඇති කිරීම ජනමාධ්‍යවේදීන් ලෙස අපගේ වගකීමයි. ඒ වෙනුවෙන් සාමාන්‍ය ජනතාව පිළිබඳ කතා සහ ඔවුන් මුහුණ දෙන දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ප්‍රශ්න පිළිබඳ කතා මහජනතාව දකින ආකාරයෙන් ඉදිරිපත් කළ යුතුය. නිල මූලාශ්‍රවලින් ලබාගත්, විශ්ලේෂණය කළ යුතු සහ පිළිතුරු සැපයිය යුතු අදහස් විශේෂාංග ලිපිවල අඩංගු විය යුතුය. ඔබ ලියන ලිපිය කියවිය යුත්තේ එක් ප්‍රජාවක් පමණක නොවේ. බහු සංස්කෘතික ප්‍රජාවන්ට ප්‍රශ්නය අදාළ වන ආකාරය පෙන්වාදෙමින් වාර්තාව ලිවීම අපගේ වගකීමකි.

ලිවීම ආරම්භ කිරීමට පෙර, අප ලියන ලිපි එක් ප්‍රජාවකට පමණක් අදාළ වන්නේ ද යන්න අප විමසා බැලිය යුතුය. වෙනත් ප්‍රජාවන් අතර ඇති ඒ හා සමාන කතා ගැන ද අප සොයා බැලිය යුතුය. එවැනි තොරතුරු ලැබුණහොත්, ඔබට ඒවා ඒකාබද්ධ කළ හැකිය. අභියෝගවලට විසඳුම් එක සමානදැයි අප විශ්ලේෂණය කර බැලිය යුතුය. ඒවා එකිනෙකින් වෙනස් නම්, අප ඒවා වෙන වෙනම විමර්ශනය කළ යුතුය.

අප ලියන මාතෘකාව ගැඹුරින් විමර්ශනය කිරීම ඉතා වැදගත්ය. අප සැම දෙනා දන්නා විස්තර හා මතවාද නැවත ඉදිරිපත් කිරීමෙන් සුවිශේෂ විශේෂාංගයක් නිර්මාණය වන්නේ නැත.

වර්තමානයේදී, කොරෝනා පිළිබඳ ප්‍රවෘත්ති හා වාර්තා ආසාදිතයන් සංඛ්‍යා හා ආසාදනයට ලක්වූ සම්භාවනීය පුද්ගලයන් පිළිබඳ විස්තර ආදියට සීමා වේ. විවිධ ජනවාර්ගික කණ්ඩායම්වලට අයත් සාමාන්‍ය මිනිසුන් කොරෝනා ආසාදනය සමග ජීවිතය හැඩගස්වාගන්නා ආකාරය පිළිබඳ බොහෝ කතා තිබේ. රජය විසින් අනුගමනය කරනු ලබන නිවාරණ ක්‍රම හා පරීක්ෂණ සාමාන්‍ය ජනතාවට ප්‍රමාණවත්ද? දෛනික වැටුප් ලබන්නන් ඇඳිරි නීති හා සමාජ හුදකලාභාවය දරාගන්නේ කෙසේද? මේ වනාහි එක් විෂයක විවිධ දෘෂ්ටි කෝණ වේ. ලේඛකයකුට ඒවා අධ්‍යයනය කළ හැකිය. මෙම කතා තුළ සියලු ජනවර්ගයන් අඩංගු වන බව තහවුරු කිරීම වැදගත්ය.

සංහිඳියාව අදාළ වන්නේ ජාතීන්ට පමණක් නොවේ. ආගම්, සෙසු ප්‍රජාවන්, ස්ත්‍රීන් හා පුරුෂයන් හට ද එය අදාළ වේ. ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමට ද එය උපකාරී වේ. අඩුම තරමින් තම ප්‍රශ්න ජනතාව හමුවේ කියාපෑමට ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාවක් ඇති බව හෝ තහවුරු කිරීමට මෙවැනි විශේෂාංග මගින් හැකි වේ.

උණුසුම් පුවත් ද ඇතුළු ප්‍රවෘත්ති සම්බන්ධ දෘෂ්ටි කෝණය වෙනස් කිරීමට තරම් දෙමළ සහ සිංහල මාධ්‍ය පුළුල්ය. ප්‍රවෘත්තියක් ප්‍රජාවකට වාසිදායක හෝ අවාසිදායක හෝ තත්වයකට පත්කිරීමට ඒවාට හැකිය. ‍්උදාහරණයක් ලෙස, දෙමළ හා සිංහල මාධ්‍ය විග්නේශ්වරන් මන්ත්‍රීවරයාගේ කතාවක් විග්‍රහ කළ ආකාරය පිළිබඳ අවධානය යොමු කළ හැකිය. ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ භික්ෂූන් විසින් පළ කරන ලද අදහස් සිංහල හා දෙමළ මාධ්‍ය විසින් වාර්තා කරන ලද එකිනෙකට ආකාරය මෙහිදී සැලකිල්ලට ගත හැකිය.

ජනමාධ්‍යවේදීන් වන අප කිසිදු පාර්ශ්වයකට පක්ෂපාතී නොවිය යුතුය. එවැනි පුද්ගලයකු විසින් සිදුකරන ලද ප්‍රකාශයක් සත්‍ය කරුණු මත පදනම් වන්නේ ද, නැද්ද යන්න ගවේශනය කළ යුතුය. එමගින් සාමාන්‍ය ජනයාට සිදුවන බලපෑම කුමක්ද? ජනමාධ්‍යවේදියකුට මෙම සියලු කරුණු විමර්ශනය කළ හැකිය. එසේ විග්‍රහ කරන කල ලිපිය හුදෙක් ජනමාධ්‍යවේදියාගේ මත ප්‍රකාශනයක් බවට පත්වන්නේ නැත. සියලු කරුණු මූලාශ්‍ර සහිතව, තර්කානුකූලව ඉදිරිපත් කළ යුතුය. එබැවින් ඕනෑම දෘෂ්ටි කෝණයකින් ලිපියක් ලිවිය හැකිය. අප ලිපිය සඳහා තෝරාගන්නා විෂය කෙරෙහි පූර්ණ අවධානය යොමු කර හොඳින් විමර්ශනය කළ යුතුය.

ලිපියක් ලියන විට, එය ලියන්නේ සිංහල සහ දෙමළ දෙපාර්ශ්වයට ම බව ජනමාධ්‍යවේදියා සිහි තබාගත යුතුය. එවිට අපට ලිවීමට යෝග්‍ය දැක්ම පහසුවෙන් නිර්මාණය කරගත හැකිය.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts