ව්‍යාජ පුවත් – ශ්‍රී ලංකාව මුහුණ දෙන අලුත්ම ප්රශ්නය
එම් . බී . මොහොමඩ්
‘ව්‍යාජ පුවත්’ වර්තමානයේදී ලෝකය මුහුණ දෙන ලොකුම ප්‍රශ්න අතරින් එකකි වැරදි තොරතුරු පිළිබඳ. ඇමරිකානු පර්යේෂකයකු වන ක්ලෙයාර් වෝඩ්ලි විසින් පෙන්වා දෙන ලද පරිදි ව්‍යාජ පුවත් විසින් නව ලෝක රටාවක් නිර්මාණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ද මෙම තත්වයෙන් මිදී සිටින්නට හැකියාවක් නැත. ‘We are social’ සංවිධානය පවසන පරිදි, 2020 ජනවාරි සංඛ්‍යාලේඛන අනුව, සමාජ ජාල පරිහරණය කරන ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 64 ලක්ෂයකට අධිකය. ලියාපදිංචි කර තිබෙන සිම්පත් සංඛ්‍යාව ජනගහනයට වඩා කෝටියකින් වැඩි ය. එකී සුහුරු දුරකථන හා සමාජ ජාල භාවිතාව හේතුවෙන් ශ්‍රී ලංකාවෙහි ව්‍යාජ පුවත් නිර්මාණය වර්ධනය වී තිබේ. ඒවා වේගයෙන් පැතිර යන අතර කෙටි කාලයකින් අති විශාල ජනගහනයක් වෙත සමීප වේ.
පශ්චාත් යුද කාලීන ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය සහ ව්‍යාජ පුවත් විසින් ජනවාර්ගික හා ආගමික ආතතීන් තීව්ර කර සමාජය ප්‍රචණ්ඩත්වයට යොමු කර තිබේ.
2018 මාර්තු මාසයේදී අම්පාරේ සිදු වූ ප්‍රචණ්ඩත්වයට හේතු වූයේ සමාජ මාධ්‍යවල පැතිරුණු ව්‍යාජ පුවතකි. මුස්ලිම් ආපනශාලා හිමියකු කොත්තු රොටිවලට වඳපෙති කලවම් කරන බව එම ව්‍යාජ පුවතින් කියැවිණි. ඉන්පසු මහනුවර හා දිගන ප්‍රදේශවල දැවැන්ත ප්රචණ්ඩත්වයක් නිර්මාණය විය. එයින් ජීවිත කීපයක් හා දේපල විශාල ප්‍රමාණයක් විනාශ විය. ප්රචණ්ඩත්වය මර්දනය කිරීම සඳහා සතියක කාලයක් පුරා සමාජ ජාල වෙබ් අඩවි වසා දැමීමට රජයට සිදු විය.
ව්‍යාජ සමාජ මාධ්‍ය පළකිරීම් හා වෛරී ප්‍රකාශ මෙකී ප්‍රචණ්ඩත්වයට මූලික හේතුවක් වූ බව හා තමන් ඒවා වැළැක්වීමට ප්‍රමාණවත් තරම් ක්‍රියාමාර්ග නොගත් බව ෆේස්බුක් ආයතනය මෑතදී පිළිගත්තේ ය. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලින් පසුව පවා, ශ්‍රී ලංකාවේ ආගමික සුළුතරයන් ඉලක්ක කරගත් සැලසුම් සහගත ව්‍යාජ අදහස් ප්‍රචාරණයක් සිදු විය. වෛද්‍ය ශාෆි සම්බන්ධ සිදුවීම හොඳ උදාහරණයකි.
දේශපාලන ව්‍යාජ පුවත් සෙසු ව්‍යාජ පුවත්වලට වඩා තුන්ගුණයක වේගයකින් පැතිරෙන බව එක්සත් ජනපදයේ කේම්බ්‍රිජ්හි MIT ඩිජිටල් ආර්ථික පර්යේෂණ මධ්‍යස්ථානය විසින් සිදුකරන ලද අධ්‍යයනයකින් හෙළිදරව් කරන ලදී. ඒ අනුව, ශ්‍රී ලංකාව තුළ, ව්‍යාජ පුවත් විසින් දැවැන්ත ම බලපෑම සිදු කළ අවධි ලෙස සැලකෙන්නේ 2019 ජනාධිපතිවරණය පැවැත්වුණ වකවානුව, කොවිඩ්-19 ලොක්ඩවුන් සමය හා 2020 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රචාරණ කාලයයි. ව්‍යාජ පුවත් දේශපාලන මෙවලමක් ලෙස භාවිතා කරනු ලබන බව මෙම වකවානුවලදී දක්නට ලැබිණි. මෙම පසුබිම තුළ, ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ කාට ද යන්න තීරණය කිරීමේදී ව්‍යාජ පුවත් විසින් මහජන මතයට සුවිසල් බලපෑමක් සිදුකරන බව මෑතදී පැවැත්වුණ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර, මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් අනතුරු අඟවන ලදී.
ලොව සෙසු රටවල මෙන් ම ශ්‍රී ලංකාවේ ද ව්‍යාජ පුවත් ව්‍යාප්තිය කොවිඩ්-19 ඇඳරි නීති සමය තුළ වර්ධනය වූ බව සඳහන් කළ යුතු ය.
“අපගේ පොදු සතුරා වන්නේ කොවිඩ්-19 වන මුත්, එය පිළිබඳ බෙදාගනු ලබන ව්‍යාජ පුවත් ද අපගේ සතුරකු බව අමතක නොකළ යුතු ය,” යි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් පැවසී ය: “අප සටන් කරමින් සිටින්නේ කොවිඩි-19 වයිරසය පැතිරීම සමග පමණක් නොවේ. අප එය පිළිබඳ ව්‍යාජ පුවත් සමග ද සටන් කරන්නෙමු,” යි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙට්රෝස් ඇඩනම් ප්‍රකාශ කළේ ය. තත්වයේ බරපතලකමේ තරම මෙම ප්‍රකාශවලින් නිරූපණය වේ.
සෞඛ්‍ය හා වෛද්‍ය අවවාද ස්වරූපයෙන් ව්‍යාජ පුවත් පැතිරෙන ආකාරයක් ශ්‍රී ලංකාවේ දක්නට ලැබේ. පසුගිය පෙබරවාරි මාසයේදී ගම්පහ ප්‍රදේශයේ 36 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ගජ මදාරා කොළවලින් සකසන ලද පානයක් බීමෙන් මරණයට පත් විය. එම පුද්ගලයා විසින් අනුගමනය කරනු ලැබුවේ ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරය වූ ව්‍යාජ තොරතුරකි. මෙම සිදුවීම තත්වයේ බරපතලකම පෙන්වන සාක්ෂියකි.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක, දේශපාලන, සෞඛ්‍ය, අධ්‍යාපන හා සිවිල් සමාජ කටයුතුවල යෙදී සිටින පුද්ගලයන් සිය දෛනික කටයුතුවලදී ව්‍යාජ තොරතුරු පැතිරීම හේතුවෙන් බරපතල ගැටලුවලට මුහුණ දෙති. මෙම ව්‍යාජ පුවත් ප්‍රචාරණය පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නැති වීම ද ප්‍රබල ප්රශ්නයකි. එම වැඩසටහන්වල කොටසක් ලෙස, වැරදි තොරතුරු පැතිරීම හා එහි ප්‍රතිඵල පිළිබඳව ශ්‍රී ලාංකිකයන් අතර දැනුවත්භාවය නිර්මාණය කිරීමේ වැඩසටහන්වල අවශ්‍යතාව වර්ධනය වෙමින් තිබේ.
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 සම්බන්ධ තෙවන රැල්ලක් ආරම්භ වී තිබේ. ඒ සමග ම බොහෝ ව්‍යාජ පුවත් සංසරණය වීම ද ආරම්භ වී තිබේ. ව්‍යාජ පුවත් විශ්වාස නොකරන ලෙස හා රජයේ නිල තොරතුරු පමණක් පිළිගන්නා ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරමින් අවධාරණය කළේ ය.
ව්‍යාජ පුවත් පැතිරවීම සම්බන්ධයෙන් වැල්ලවත්තේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයකු සහ මීටියාගොඩ පදිංචි 18 හැවිරිදි තරුණයකු මෑතදී අත්අඩංගුවට ගන්නා ලදී. එම පුද්ගලයන්ට එරෙහිව පොලිස් ආඥාපනත, පරිගණක අපරාධ පනත හා දණ්ඩ නීති සංග්‍රහය අනුව කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.
සාමාන්‍ය මිනිසුන් පමණක් නොව, සමාජ මාධ්‍යවලින් වැරදි තොරතුරු පතුරුවන්නන් අතර හොඳින් දැනඋගත් පුද්ගලයෝ පවා සිටිති. උගත්, නූගත් සැමට ම ව්‍යාජ පුවත්වල බරපතලකම පිළිබඳ අවබෝධයක් ලබාදිය යුතු ය. ඕනෑම තොරතුරක් ෂෙයා කිරීමට පෙර එය තහවුරු කරගත යුතු බව ඔවුන්ට අවබෝධ කර දිය යුතු ය.
ව්‍යාජ පුවත් යනු මොනවා ද?
ආර්ථික හා දේශපාලන වාසි ලබාගැනීම සඳහා පාඨකයා නොමග යැවීමේ අරමුණින් ප්‍රසිද්ධ කරනු ලබන ප්රවෘත්ති ‘ව්‍යාජ පුවත්’ ගණයේ ලා සැලකේ. ඒවා බොහෝ විට කුපිත කරවනසුලු, අතිශයෝක්තියෙන් යුතු හා නොමග යවනසුලු ශීර්ෂ පාඨවලින් යුක්ත ය.
ඒ අනුව, ව්‍යාජ පුවත් වර්ග තුනක් තිබේ. එනම්,
- වැරදි තොරතුරු: මෙය ව්‍යාජ තොරතුරකි. එහෙත්, එය ප්‍රචාරය කරන අය එය නිවැරදි යයි විශ්වාස කරති.
- දුස්තොරතුරු: මෙය ද ව්‍යාජ තොරතුරකි. එය ප්‍රචාරය කරන අය එය බොරුවක් බව දනිති.
- දුෂ්ට තොරතුරු: මේවා ද ව්‍යාජ ය. ඒවා බෙදාහරිනු ලබන්නේ වෙනත් අයට හානි කිරීමේ චේතනාවෙනි.
ව්‍යාජ තොරතුරු පරීක්ෂා කරන්නේ කෙසේ ද?
- ශීර්ෂ පාඨ ගැන සැලකිලිමත් වෙන්න: ව්‍යාජ පුවත්වල බොහෝ විට උද්වේගකර සිරස්තල තිබේ. ශීර්ෂ පාඨය විශ්වාස කළ නොහැකි තරම් විස්මය ජනක නම් එය ව්‍යාජ පුවතක් වීමට ඉඩ තිබේ.
- සපයා තිබෙන සම්බන්ධතා පිළිබඳ සැලකිලිමත් වෙන්න: වෙනත් වෙබ් අඩවි වෙත පිවිසීම සඳහා මෙම අන්තර්ගතය තුළ සපයා දී තිබෙන සම්බන්ධතා ක්ලික් කර බලන්න. ඇතැම් විට, ඒවා මගින් ඔබ අදාළ නැති වෙබ් අඩවි වෙත රැගෙන යනවා විය හැකි ය. ප්‍රවෘත්තිය ව්‍යාජ පුවතක් බව හඳුනාගැනීම සඳහා එය සංඥාවකි.
- ප්‍රවෘත්තිය නිෂ්පාදනය කළ පුද්ගලයා කවුරුදැයි විමර්ශනය කරන්න: ප්‍රවෘත්තිය නිෂ්පාදනය කළ පුද්ගලයා හා එය පළ කළ මාධ්‍ය ආයතනය කුමක්දැයි සොයාබලන්න. ඔවුන් දැනටමත් හොඳින් දන්නා අය ද? ඔවුන් සම්බන්ධ කරගත හැකි තොරතුරු තිබේදැයි බලන්න.
- අක්ෂර දෝෂ හා ව්‍යාකරණ වැරදි තිබේදැයි පරීක්ෂාවෙන් බලන්න: බොහෝ ව්‍යාජ පණිවුඩවල එවැනි වැරදි තිබේ.
- ඡායාරූප පරීක්ෂා කරන්න: බොහෝ ව්‍යාජ පුවත් සමග පළ කරනු ලබන ඡායාරූප ද ව්‍යාජ ය. එවැනි බොහෝ ඡායාරූප විකෘති කරන ලද ඒවා ය. ගූගල් රූප සෙවුම් යන්ත්‍රය භාවිතා කර ඒවා සොයා තහවුරු කරගන්න.
- පළ කළ හා ෂෙයා කළ දින පරීක්ෂා කරන්න: අතීතයේ පළ කරන ලද ප්රවෘත්ති අලුත් ප්රවෘත්ති සේ පෙනෙන පරිදි නැවත ෂෙයා කර තිබිය හැකි ය.
- මූලාශ්‍ර පරීක්ෂා කරන්න: ප්රවෘත්තියක මූලාශ්‍ර ඉතා වැදගත් ය. පණිවුඩයේ මූලාශ්‍ර ලෙස දැක්වෙන නම් පරීක්ෂා කරන්න. ප්‍රමාණවත් ලෙස තහවුරු නොකරන ලද ප්රවෘත්ති ව්‍යාජ වීමට අවස්ථාව වැඩි ය.
- වෙනත් ප්රවෘත්ති වාර්තා සමග සන්සන්දනය කරන්න: වෙනත් පිළිගත් මාධ්‍ය විසින් එම ප්‍රවෘත්තිය පළ කර තිබෙන ආකාරය අධ්‍යයනය කරන්න.
- ප්‍රවෘත්තියක් නොව විහිළුවක් විය හැකි ය: ඇතැම් අය විනෝදය පිණිස ප්රවෘත්ති ආකෘතිය භාවිතා කර විහිළු නිර්මාණය කරති. ඔබට ලැබී තිබෙන්නේ එවැනි විහිළුවක් විය හැකි ය. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.
- සිතාමතා නිර්මාණය කළ බොරුවක් විය හැකි ය: බොහෝ ව්‍යාජ පණිවුඩ කුමන්ත්රණකාරී අරමුණු සහිතව සිතාමතා නිර්මාණය කළ ඒවා ය. ඒවායේ අන්තර්ගතයන් පිළිබඳ තර්කානුකූලව විමසන්න.
ශ්‍රී ලංකාවේ තොරතුරු පරීක්ෂා කරන සංවිධාන
ශ්‍රී ලංකාවේ ව්‍යාජ පුවත්වල බලපෑම හේතුවෙන් ඇතැම් සංවිධාන විසින් ව්‍යාජ පුවත් හඳුනාගැනීමේ හා ප්රවෘත්ති තහවුරු කිරීමේ සේවා පවත්වාගෙන යනු ලැබේ. ඒවා පරීක්ෂා කිරීම මගින් තොරතුරුවල අව්‍යාජත්වය තහවුරු කරගත හැකි ය. පහත දැක්වෙන සංවිධාන තුන විසින් එවැනි සේවාවන් සපයනු ලැබේ.
- ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (Sri Lanka Press Institute) – FactSeeker
- Factcrescendo.com
- AFP Factcheck