සාම්ප්‍රදායික දෙශපාලන පක්ෂවල අර්බූදය සහ රාජ්‍ය ගොඩනැගීමේ කථිකාවේ අනාගතය ?
සම්පත් දේශප්‍රිය
ලංකාව වරින් වර පාලනය කළ මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ මොහොත වන විට පක්ෂ මූලස්ථාන වලට සහ නාම පුවරු වලට පමණක් සීමා වෙමින් තිබේ.ඊට බලපෑ ප්‍රධාන හේතු සාධක අතර බල අරගල ,පක්ෂ අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදය බිඳ වැටීම් සහ එම පක්ෂය බිහිවීමට ප්රස්තුත වූ අරමුණුවලින් විතැන් වීම මෙන්ම පුද්ගල සාධක බලපා ඇති අයුරු දක්නට ලැබේ. සිංහල ජාතිකත්වය පදනම් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් බහු වාර්ගික පදනමක් සහිත එක්සත් ජාතික පක්ෂයත් මේ අයුරින් බිඳ වැටීම, අලුත් පක්ෂ නිර්මාණය වීම යන ක්‍රියාවලියේ දී රටේ ප්රජාතන්ත්රවාදයටත් සෙසු ජන වර්ගයන්ට ඉන් ඇති කරනු ලබන කම්පනය කෙබඳු ද යන්න මදක් විමසා බැලිය යුතුය. සහභාගිත්ව ප්රජාතන්ත්රවාදය ඉන් වන බලපෑම යහපත් රාජ්‍යයක් ගොඩ නැගීමට එමගින් ඇතිවන බාධාවන් කෙරෙහි අවධානය යොමු කිරීම කාලෝචිත වන්නේ යහපත් රටක් ගොඩ නැගීම අපේක්ෂිත පුරවැසියන් ඒ පිළිබඳ විමසිලිමත් වන බැවිනි.එක්සත් ජාතික පක්ෂය 1946 බිහි කරන විට එය ජාතික සමගියේ සංකේතයක් ලෙස හැඳින්විය හැකි ය.සිංහල ,දමිළ ,මුස්ලිම් එ.ජා.ප.ධජය යටතට ඒකරාශී විය.සැප්තැම්බර් 6 වැනි දින එ.ජා.ප. ය බිහි කෙරුණු සම්මේලනයේ දී අදාල යෝජනාව ගෙන එනු ලැබුවේ එවක මන්ත්‍රී එස්. නඩේෂන් මහතා ය.එය සම්මත කරනු ලැබුවේ ටී.බී. ජයා මහතා ය.ඊට සිංහල මහා සභාව , ද්‍රවිඩ සංගමය ,මුස්ලිම් පෙරමුණ,යෝනක, මැලේ ,බර්ගර් සහ යුරෝපීය ජාතීන් නියෝජනය කරන සංගම් සහභාගි විය.
ජාතිකත්වය පදනම් කර ගනිමින් බිහි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන බවට පොරොන්දු වෙමින් බලයට පත් විය.1956 පෙරලිය සම්බන්ධයෙන් විවිධ මතවාදයන් තිබුනත් සිංහල උගත් තරුණයන් විසින් විරැකියාව සහ කුල පීඩනයට එරෙහි ව 1971දීත් 1988දීත් කැරලි ගසනු ලැබීය.ඉන් දහස් සංඛ්‍යාත තරුණ ජීවිත අහිමි විය. එසේ ම ජාතිකත්වය ආගම මත පදනම් වූ සමාජ ක්‍රමය ට කුල පීඩනයට සමාජ දරිද්‍රතාවයට එරෙහි ව උතුරේ වසර තිහක යුද්ධයක් නිර්මාණය විය.ඉන් රටට අහිමි වූ ජීවිත ගණන ගැන අමුතුවෙන් කිව යුතු නැත.දකුණේ රාජ්‍ය පාලකයන් විසින් සුළු ජනවර්ග නියෝජනය කළ දේශපාලන නායකයන්ට ලබා දුන් බොරු පොරොන්දු ද අඩු වැඩි වශයෙන් උතුරේ ගැටුම නිර්මාණය වීමට බලපෑවේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඓතිහාසිකව කළ එම වැරැද්ද නිවැරදි කිරීම සඳහා පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත් වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ප්රගතිශීීලී උත්සාහයක් ගත්ත ද පසුව එ ව්‍යාර්ථව වී ගියේ ද අවාසනාවන්ත ලෙසිනි.සුදු නෙලුම වැනි ව්‍යාපාර හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්රගතිශීලි මුහුණුවරක් දීමට ගත් උත්සාහය මෙරට ප්‍රකට සිංහල න්‍යායාචාර්ය වරයෙක් වන ගුණදාස අමරසේකරයන් අර්ථකථනය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික පදනම දෙදරවාලීමක් ලෙස ය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 බලයට පත් වීමේ දී ද ගුණදාස අමරසේකර මහතා නියෝජනය කළ සිංහල ජාතිකත්ව පදනම් වූ බලවේගයන් එය දුටුවේ බලවත් ව්‍යසනයක් ලෙස ය.රටේ ප්‍රධාන පක්ෂ දෙක ම එකට අත ගසා ඊලම පුදන්නට යන බව ඔවුහු කියා සිටියහ.මෛත්‍රී පාලන සමයේ ශ්‍රීල.නි.ප. යෙ රැඩිකල් වෙනසක් වේ යැ යි බොහෝ දෙනා උපකල්පනය කළ නමුත් එවැන්නක් සිදුවූයේ නැත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත් වූ ඉරණම සම්බන්ධයෙන් ගුණදාස අමරසේකර මහතාට තිබූ විග්‍රහය ඔහු මීට වසර පහළොවකට පමණ පෙර බණ්ඩාරනායක අනුස්මරණ උත්සවයකදී ප්‍රකාශ කළේ ය.”මා දකින අයුරින් ශ්රීලනිපය අද වන විට හිස නැති කවන්ධයක් බවට පත්ව තිබේ.ඒ විසල් කද ට අවශ්‍ය හිස නිර්මාණය කර ගැනීම වෙනුවට ඒ පක්ෂයේ නායකයන් මෙතෙක් කර ඇත්තේ ඊට මාක්ස්වාදී අස්ප හිස් හෝ ලිබරල් වාදී බූරු හිස් සවි කර ගැනීමට තැත් කිරීමයි.මේ අනුකාරක මග අත්හැර නිර්මාණය කර ගැනීමට නොහැකි වුව හොත් වැඩි කල් නොගොස් ඒ කවන්ධය දිය වී යනු ඇත.” ඔහුට අනුව එම කවන්ධය දියවී යාම වැළැක්විය හැකි ,එය ආරක්ෂා කළ හැකි නායකයා වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි කර ගැනීමත් සමග ශ්‍රීලනිප ය සමග සිටි සිංහල බෞද්ධ ජන පදනම ඔහු වටා ඒකරාශී විය.එහි අවසන් ප්‍රතිඵලය වූයේ සිංහල අතිමහත් ඡන්ද පදනමකින් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වීම ය.ඒ මැතිවරණයේ දී උතුරේ ජනතාව සහ සෙසු සුළු ජාතීන් සම්දායික ලෙස එක්සත් ජාතික පක්ෂය ට ඡන්දය ලබා දුන්නේ ය.ඔවුන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ද එසේ කරනු ලැබූයේ තාර්කික පදනමකින් නොවේ.ඔවුන්ට එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධ වීමට සංයුක්ත දේශපාලන වැඩපිළිවෙළක් නොතිබිණ.අද වන විට එක්සත් ජාතික පක්ෂය ජාතික ලයිස්තුවේ එක් මන්ත්‍රී ධුරයකට සීමා වී ඇත.සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජන බලවේගය ගොඩනැගී ඇත.සජිත් ප්‍රේමදාස මහතාට මෙන්ම රට පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙක ම මේ රටේ සුළු ජාතිකයන් දිනා ගැනීම සඳහා සංයුක්ත වැඩපිළිවෙළක් සකස් කර ගැනීම වෙනුවට කරමින් සිටින්නේ එම ජනවර්ගයක් නියෝජනය කරන පක්ෂ නායකයන් සමඟ දේශපාලන ඩීල් දැමීම ය.මේ ආණ්ඩුවේ ද දෙමළ මුස්ලිම් ජනතාව නියෝජනය කරන දේශපාලන නායකයන් සිටිති.එම ජන කණ්ඩායම් වල වාර්ගිකත්වය පදනම් කර ගෙන පක්ෂ පිහිටුවා තිබුණ ද එම ජනතාවගේ සැබෑ සිතුම් පැතුම් අවශ්‍යතාවයන් එම නායකයන් නියෝජනය කරන්නේ ද යන්න සැකෙවින් විමසා බැලිය යුතුව තිබේ.
උතුරේ හෝ නැගෙනහිර ජනතාවගේ ඡන්ද අපේක්ෂාවෙන් එම නායකයන් විසින් වරි වර කරනු ලබන සමහර ප්‍රකාශයන් වාර්ගික සාමයට අහිතකර බව පෙනෙන්නට තිබේ.සුළු ජාතීන් අතර ජාතිවාදය පෝෂණය කළ ඒ තුළින් සිය දේශපාලන පැවැත්ම තහවුරු කර ගැනීමට උත්සාහ කරන ඇතැම් දේශපාලනඥයන්ගේ හැසිරීම විසින් එම සමස්ත ජනතාවම සම්බන්ධයෙන් වැරදි අර්ථකථනයක් දකුණේ සමාජයට ලබා දී ඇත.දෙමළ හෝ මුස්ලිම් දේශපාලනඥයෙක් කරනු ලබන වැරදි දෙයක් පදනම් කර ගනිමින් එම සමස්ත ප්‍රජාව සම්බන්ධයෙන් වැරදි අර්ථ නිරූපණයක් ලබා දීම මෑතකදී දැකිය හැකි සුලබ තත්වයකි.ඊට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ රටේ ප්‍රධාන පක්ෂ දෙකට ම මේ මොහොත වන විටත් සුළු ජාතීන් දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීමට නිශ්චිත වැඩසටහනක් නැතිකමය.මේ හේතුවෙන් ඉතිහාසය යළි යළිත් ඒ අයුරින් ම ප්‍රතිනිර්මාණය වන්නට පටන් ගෙන තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විකල්පයක් ලෙස පිහිටවනු ලැබූ පොදුජන පෙරමුණත් එක්සත් ජාතික පක්ෂය වෙනුවට බිහි වී ඇති ජාතික සමගි ජන බලවේගයත් වැඩසටහන් මත පදනම් වූ දේශපාලන පක්ෂ ලෙස (platform based party)ක්‍රියාත්මක නොවීමේ අවසන් ප්‍රතිඵලය වී තිබෙන්නේ මේ රටේ සුළු ජන වර්ගයන් ඉච්ඡා භංගත්වයට පත් වීම ය.බහු වාර්ගික පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂයට හෝ ඊට විකල්පයක් වූ සමගි ජන බලවේගයට සිය පක්ෂ අරමුණු සහ වැඩසටහන් සම්බන්ධයෙන් ආපසු හැරී බැලීමක් කළ යුතු ව ඇත.එසේ ම සුළු ජාතික දේශපාලනඥයින් සමඟ ඩීල් දැමීමේ දේශපාලන සංස්කෘතියට විරාමයක් තබා ඇති වත්මන් ජනාධිපතිවරයා ද මේ රටේ සුළු ජාතීන් ප්‍රධාන දේශපාලන ධාරාවේ පංගුකාරයන් කර ගන්නා ආකාරය පිළිබඳ අලුත් සිතා බැලීමක් කරන්නේ නම් රටේ හෙට දවස අයහපත් නොවනු ඇත.
සාම්ප්‍රදායික පක්ෂ විසින් කළ වැරදි සහ ඒවා බිඳ වැටීමට බලපෑ හේතු සාධක සම්බන්ධයෙන් විමසුමක් මෙන්ම සම්ප්‍රදායෙන් එහා ගිය සිතා බැලීමක් මේ මොහොතේ අවශ්‍ය වේ.රාජ්‍ය ශක්තිමත් කිරීමට සුළු ජාතීන් කෙරෙහි වෙනස්කම් පවත්වාගෙන යාම (hegemonic control) නැමැති සංකල්පය රට කර වූ පක්ෂ වල ක්‍රමවේදය විය.එය සාර්ථක රාජ්‍යයක් ගොඩ නැගීම ට බාධාවකි.විවිධත්වය,ප්රජාතන්ත්රවාදය ,සංවර්ධනය ,යන ප්‍රධාන ප්‍රතිපත්ති තුන මත පිහිටා කටයුතු කරන අසල්වැසි ඉන්දියාවෙන් අපට උගෙනගැනීමට බොහෝ දේ තිබෙන බව සිහිපත් කළ යුතු ය.