විනිවිදභාවය

වෘකයාගේ දත් හා නියවලට අතපෙවීමට පෙරඒවායේ ස්වභාවය හදුනාගැනීම හෙවත් දූෂණය පිළිබද සංකල්ප හදුනාගැනීමක්

ආනන්ද ධර්මප්‍රිය ජයසේකර

“දූෂණයෙන් සහ කුරිරු රාජ්‍ය පාලනයෙන් ආරක්ෂා වීමට නිසි කාලය වන්නේ ඒවා අපව ආක්‍රමණය කිරීමට පෙර කාලයයි.වෘකයා ඇතුළු වූ පසුව උගේ දත් හා නිය ගැලවීම පිළිබඳව විශ්වාසය තබනවාට වඩා වෘකයා ගව ගාලෙන් ඈත්කර තබාගැනීම සුදුසුය.”යි දක්ෂ නීතිවේදියෙකු , ගෘහ නිර්මාණශිල්පියෙකු, සහ දාර්ශනිකයෙකු වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු තෙවන ජනාධිපති තෝමස් ජෙෆර්සන් (1743-1826) ප්‍රකාශකර තිබේ.

දූෂණය විෂයය සම්බන්ධයෙන් අවධානය යොමුකළ විට ලොව පුරා බොහෝ රටවල් තවම පසුවන්නේ වෘකයා ඇතුළුවීම වැළැකීමට අසමත්ව,උගේ දත්,නිය ගැලවීමටයත්න දරමින්  සිටින තත්ත්වයකය. එහෙත්,දූෂණය මුළුමනින්ම ජයගැනීමට අසමත්ව ඇතත් මේ වනවිට එය සාර්ථකව මැඩලීමට සමත්වී ඇති,නවසීලන්තය,ඩෙන්මාර්කය, ෆින්ලන්තය, හොංකොං  වැනි රටවල්  සිය සාර්ථකත්වයේ නිදර්ශන ඇසුරින් පෙන්වා දෙන්නේ ආයතනික හා නෛතික ව්‍යුහයන් ශක්තිමක් කිරීමට සීමාවීමෙන් නොනැවතී

විනිවිදභාවය,වගවීම වැනි දූෂණය අඩපණ කරන සංකල්ප භාවිතකරමින්

දැනුම්වත් පුරවැසි සමාජයක් හරහා සිදුකෙරෙන අඛණ්ඩ සාමූහික ක්‍රියාකාරිත්වයන් මගින්දූෂණය මැඬලිය නොහැකි සංසිද්ධියක්ය යන ප්‍රවාදය වෙනස් කළ හැකි බවයි.

නිශ්චිත අරුත් පිළිබව පැහැදිළි අවබෝධයකින් තොරව, එහෙත් අප නිරන්තරයෙන් භාවිත කරමින් සිටින දූෂණය යන්න පිළිබදව තරමක් සවිස්තරාත්මකව තේරැම් ගැනීමකට මඟවිවර කිරීමත්,ලොව පුරා දියුණු -නොදියුණු රටවල් රැසක් වෙලාගනිමින් පැතිර පවත්නා දූෂණය ජයගැනීමේ අවශ්‍යතාවය සංක්ෂිප්තව හෝ සාකච්ඡා කිරීමත් මෙම කෙටි ලිපියේ අරමුණයි.

දූෂණය යනු කුමක්ද?

දූෂණයේ ඉතිහාසය මානව ශිෂ්ටාචාරයේ ආරම්භක අවදිය තරම්ම ඈතට දිවෙයි.දූෂණය යැයි පැවසූ විටශ්‍රී ලාංකික අපට ස්ත්‍රී දූෂණ,පරිසර දුෂණ ආදී විවිධ දූෂණ පිළිබඳවද සිහිපත් වෙතත්, ඈත ඉතිහාසයේ සිටම දූෂණය (Corruption) ලෙස සාකච්ඡාකර ඇති සංසිද්ධිය බලය සහ පාලනය හා සම්බන්ධ කරුණක් ලෙස සැලකී ඇති බවටඉතිහාසය පුරා සාක්ෂි හමුවේ. බෞද්ධ දර්ශනයට අනුව, දස රාජ ධර්මයට අනුකූලව රාජ්‍ය පාලනය කිරීමේදී දූෂණයෙන් තොරව රාජ්‍ය පාලනය සිදුකිරීමත්, සෑම මට්ටමකම දූෂණ වෙනුවෙන් ක්‍රියාත්මක වීමත් රජුගේ වගකීමක් ලෙස සලකා තිබේ. ක්‍රි.පූ.400 තරම් ඈත අතීතයේදී රචනා කරන ලදැයි සැලකෙන කෞටිල්‍යගේ  අර්ථ ශාස්ත්‍රය ග්‍රන්ථය රාජ්‍ය නිලධාරීන් විසින්සිදු කරන දූෂණ විමර්ශනය කිරීමේ දුෂ්කරතාව පිළිබඳව සඳහන් කරමින් පෙන්වා දෙන්නේ, “මහජන දේපළ භාරව සිටින රාජ්‍ය නිලධාරීන් එකී දේපළ පෞද්ගලික ලාභ ප්‍රයෝජන සදහා යොදා ගන්නේදැයි සෙවීම, ජලයේ පිහිනන මාළුවකු එම ජලය බීමට ගන්නේදැයි සෙවීම මෙන් දුෂ්කර” බවය.

දූෂණය යනු කුමක්ද? යන්න  සම්බන්ධයෙන් ලොව පුරා පිළිගත් නිශ්විත නිර්වචනයක් මෙතෙක් ඉදිරිපත්වී නොමැති වුවද ඒ සම්බන්ධ විවිධ නිර්වචන රැසක් විවිධ සංවිධාන සහ පුද්ගලයින් විසින් ඉදිරිපත්කර තිබේ.2002 වර්ෂයේදී දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සාකච්ඡාවට බඳුන් කිරීම ආරම්භ වූ අවස්ථාවේදීදූෂණය යන්නෙන් හැඟවෙන අර්ථය රටින් රටට සහ සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වන බැවින්  එය නිශ්චිතව

අර්ථ නොදක්වා ඒ වෙනුවට දූෂණයේ ස්වරූප සහ ක්‍රියාවන් ප්‍රධාන සංකල්ප කිහිපයක් යටතේ සාකච්ඡා කිරීමට තීරණය කර තිබේ.

දූෂණය යනු කවර ආකාරයක සංසිද්ධියක්දැයි විස්තර කෙරෙන විවිධ  නිර්වචන කිහිපයක් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් එය තේරුම්  ගැනීම වඩාත් පහසු කරගත හැකිය.ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට අනුව දූෂණය (Corruption) යන්නෙහි අර්ථය“ බලය වංක හෝ වංචාසහගත ලෙස යොදාගැනීමයි.”මරියම්-වෙබ්ස්ටර් ශබ්ද කෝෂය දූෂණය අර්ථ දක්වන්නේ “විශේෂයෙන්ම බලවත් පුද්ගලයින්ගේ නීති විරෝධී හෝ වංක චර්යාව”යනුවෙනි.ලෝකබැංකුවට අනුව,දූෂණය යනු “රජයේ තනතුරු තම පෞද්ගලික ප්‍රයෝජනය උදෙසා වැරදි අන්දමින් යොදා ගැනීමයි.”දූෂණයට එරෙහිව ක්‍රියාත්මක ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ජාලයක් වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් සංවිධානයේ නිර්වචනය අනුව, “දූෂණය යනු පැවැරී ඇති බලය පෞද්ගලික ලාභප්‍රයෝජන සඳහා අයථා ආකාරයට යොදාගැනීමයි”.

මෙම විවිධ නිර්වචන අනුව පුළුල් අර්ථයෙන්  දූෂණය රාජ්‍ය අංශයට පමණක් සීමා කළ නොහැකි බවත්, එය රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශය තුළම ලාභ ප්‍රයෝජන උදෙසා බලය අයථා ලෙස භාවිත කෙරෙන,සුළු පරිමාණ හා මහා පරිමාණදූෂණ  දක්වා පුළුල් පරාසයක විහිදී පවත්නා සංසිද්ධියක්  බවත් පැහැදිලි වේ.

නීතිමය අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකාවට අදාළව සම්පාදිත,දූෂණය පිළිබඳ පැහැදිලි නිර්වචනයක් තිබේ. එම අර්ථ නිරූපනය සඳහන් වන්නේ 1994 අංක 20දරන අල්ලස් (සංශෝධන) පනත මගින් සංශෝධිත 1954අංක 11 දරන අල්ලස් පනතේ 70 වන වගන්තිය තුළය.එහෙත් මෙම නිර්වචනය තුළ, දූෂණය රාජ්‍ය සේවකයින් ලෙස සැලකෙන තැනැත්තන් විසින් සිදුකරනු ලබන ක්‍රියාවන්ට පමණක් සීමාවී තිබීමත්,එය වඩාත් පුළුල් නිර්වචනයක් බවට ලත්කරගැනීමේ අවශ්‍යතාවයත් මේ වනවිටදූෂණය විෂය  පිළිබඳ උනන්දුවක් දක්වන ක්‍රියාධරයින් තුළ ප්‍රමුඛ කරුණක් ලෙස සාකච්ඡාවට ලක්වී තිබේ.

දූෂණයේ විවිධ ස්වරූප

දුෂණය නමැති සංසිද්ධිය එහි විවිධ ස්වරූපයන් සහ ක්‍රියාවන් අනුව අල්ලස,මහජන මුදල් වංචා කිරීම,වංචාව, බලහත්කාරයෙන් මුදල් ලබාගැනීම,නිලතල අයුතු ලෙස යොදා ගැනීමආදී වශයෙන් වර්ගීකරණයට ලක්කළ හැකිය.

දූෂණ ගැන සදහන් කෙරෙන බොහෝ අවස්ථාවල “වංචා-දූෂණ” , “අල්ලස්-දූෂණ” වශයෙන්  යුගල පද ලෙස භාවිතා වුවද අල්ලස් හෝ වංචා යනු  දූෂණය තුළ එක් ස්වරූපයක් නොව එකිනෙකට වෙනස් ස්වරූපයන් දෙකකි.

මහා පරිමාණ දූෂණ සහ සුළු පරිමාණ දූෂණ

මහා පරිමාණ දූෂණ (Grand Corruption)  යනු රජයේ ඉහළ මට්ටමින් සිදු කෙරෙන දූෂණයි. වැට් බදු වංචාව, බැඳුම්කර ගනුදෙනුව ආදී ප්‍රමුඛ  දූෂණ මහා පරිමාණ දූෂණවලට නිදසුන්ය.

සුළු පරිමාණ දූෂණ (Petty Corruption) යනු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන අවස්ථාවේදී පරිපාලන ක්‍රියාදාමය තුළ සිදු වන්නා වූ දූෂණයි. එදිනෙදා දෛනික කාර්යයන් ඉටු කරවා ගැනීමේදී පුරවැසියන්ට රාජ්‍ය නිලධාරීන්ට ලබාදීමට සිදු වන විවිධ සංතෝෂම් ආදිය සුළු පරිමාණ දූෂණවලට නිදසුන්ය.

 දූෂණ විරෝධී සම්මුතියට අනුව දූෂණයේ  ප්‍රභේද

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතියට අනුව පහත සඳහන් දූෂණ ක්‍රියාවන් වෙනුවෙන්  රාජ්‍යයක් විසින් අපරාධ  වගකීම් පැවැරීම සඳහා නීති සම්පාදනය කළ යුතු බව දක්වයි.

අල්ලස (Bribery)

අල්ලස යනු නීති විරෝධීව හුවමාරු වන තුටු පඬුරකි. යම් කාර්යයක් ඉටු කරවා ගැනීමට හෝ යම් තීරණයක් ගැනීම පිළිබඳව අයුතු ලෙස බලපෑම් කිරීම සඳහා යම් වාසියක් ලබාදීම, ලබාදීමට පොරොන්දු වීම හෝ ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කිරීම මෙහිදී සිදු වේ. අල්ලස් ගනුදෙනුවක් සිදු වනුයේ දෙපාර්ශ්වයේ අන්‍යෝන්‍ය අවබෝධය මතය. මෙම අල්ලස අදාළ කාර්යය ඉටු වීමට පෙර පූර්ව ගෙවීමක් වශයෙන් හෝ අදාළ කාර්යය ඉටු වීමෙන් පසු සිදු කරන ‘පසු ගෙවීමක්’ වශයෙන් හුවමාරු විය හැකිය. මෙම ගෙවීම නැතහොත් තුටුපඬුර යන්නට මූල්‍යමය වටිනාකමක් ඇති මුදල්, වටිනා භාණ්ඩ, සමාගම් කොටස්, යාන වාහන, අභ්‍යන්තර රහස්‍ය තොරතුරු මෙන්ම ලිංගික හෝ වෙනත් වාසි සලසා දීම වැනි ඕනෑම ආකාරයක ගෙවීමක් අයත් වේ.

ක්‍රියාවක් ඉටු කරවා ගැනීම සඳහා මෙන්ම යම් ක්‍රියාවක් නොකර හැරීම සඳහාදමෙම නීතිවිරෝධී තුටුපඬුරු ප්‍රදානය සිදු විය හැකිය.අල්ලසක් ඉල්ලා සිටීම හෝ ලබාගැනීම මෙන්ම අල්ලසක් ලබාදීමට තැත් කිරීම හෝ ලබාදීමද නීතිය ඉදිරියේ සමාන වරදක් වශයෙන් සලකනු ලැබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) 2016 වාර්තාවෙන් ඇස්තමේන්තු කර ඇත්තේ අල්ලස් සඳහා පමණක් වසරකට ඩොලර් ට්‍රිලියන 1.5 ත් 2 ත් අතර මුදලක් වැයවන බවයි.එම මුදල ගෝලීය දළ දේශීය නිශ්පාදිතයෙන් දළ වශයෙන් 2% ක තරම් ප්‍රමාණයක් බවද එම වාර්තාව පෙන්වාදී තිබේ.

දූෂණය

අල්ලස් පනතේ 70 වන වගන්තියට අනුව ,යම් රාජ්‍ය සේවකයෙකු විසින් තම ධූරය පෞද්ගලික ලාභ ප්‍රයෝජන ලබා ගැනීම සඳහා යොදා ගැනීම දූෂණයයි. රාජ්‍ය සේවකයා තමාට අයුතු වාසියක් කර ගැනීමට හෝ වෙනත් අයෙකුට අයුතු වාසියක් කිරීමට හෝ ආණ්ඩුවට පාඩුවක් කිරීමට හෝ වෙනත් අයෙකුට අයුතු පාඩුවක් කිරීමට තම නිල කාර්යය යොදා ගැනීම මෙහිදී සිදුවේ.

නිලධාරියෙකු විසින් දේපළ අයථා ලෙස යොදා ගැනීම

යම් රාජ්‍ය නිලධාරයකුගේ තනතුරුට අනුව ඔහුට භාරදී ඇති යම් දේපළක්, රාජ්‍ය හෝ පුද්ගලික මුදල් හෝ ඇප හෝ වටිනාකමක් ඇති වෙනත් යම් දෙයක්,එම රාජ්‍ය නිලධාරියා විසින් ඔහුගේ හෝ වෙනත් යම් තැනැත්තන්ගේ හෝ අයුතු ප්‍රතිලාභය සදහා වංචා කිරීම, අයුතු ලෙස ප්‍රයෝජනයට ගැනීම දූෂණයක් ලෙස සලකනු ලැබේ.

බලපෑම් සිදු කිරීම

යම් ක්‍රියාවක් සිදු කරන ලෙස  යම් තැනැත්තෙකුට රාජ්‍ය පාර්ශවයේ පරිපාලනමය හෝ රාජ්‍ය අධිකාරියකින් යම් අයුතු වාසියක්  ලබා ගැනීමේ අදහසකින් සිදුකෙරෙන ක්‍රියාවන් මීට නිදසුනකි.

නිලතලඅයුතුලෙසයොදා ගැනීම

යම් රාජ්‍ය නිලධාරියකු විසින් තම කාර්යභාරය හෝ ධුරය අනිසි ලෙස ප්‍රයෝජනයට ගැනීම මීට නිදසුනකි.

අයුතු ධනවත්වීම්

නීති විරෝධී ධනවත්වීම එනම් යම් රාජ්‍ය නිලධාරියෙකුගේ  නීත්‍යානුකූල ආදායමට අදාළව  ඔහුට හෝ ඇයට සාධාරණ ලෙස පැහැදිලි කළ නොහැකි වත්කම්වලින් සැලකිය යුතු වැඩි වීමක් ඇතිකර ගැනීම  සිතා මතාම කරනු ලැබූවිට එය නීති විරෝධි ධනවත්වීමකි.

අපරාධවලින් ලැබෙන මුදල් විශුද්ධිකරණය

යම් දේපළක් නීති විරෝධි ක්‍රමයට ලබාගෙන එහි නීති විරෝධී මූලාරම්භය සැගවීහෝ වසන් කිරීම සඳහා එම දේපළ පරිවර්තනය කිරීම හෝ පැවරීම මුදල් විශුධිකරණයයි.

ඉහත ප්‍රභේදයන්ට අතිරේකව වංචාව,බලහත්කාරය,අභ්‍යන්තර වෙළඳාම,තීරණ ගැනීමේ බලය අනිසි ලෙස භාවිතය,අනිසි පක්ෂපාතීත්වය,නීති විරෝධී සංතෝසම්,ඥාති සංග්‍රහ ආදී වශයෙන්ද දූෂණය  තව දුරටත් වර්ගීකරණය කළ හැකිය.

ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වූ රොබට් ක්ලිට්ගාඩ් දූෂණයේ පැවැත්ම කෙරෙහි බලපාන සාධක සහ ඒවා දූෂණය අඩු වැඩි වීම කෙරෙහි බලපාන ආකාරය පිළිබඳව ඉතාමත් සරල ලෙස පැහැදිලි කර තිබේ.

ඔහු පෙන්වා දෙන්නේඒකාධිකාරී තත්ත්වයක් පවත්නා විටෙක රාජ්‍ය නිලධාරියෙකුට අදාළ බලතල ක්‍රියාත්මක කිරීමට අභිමතානුසාරී බලයක් පවතින්නේ නම් සහ එම නිලධාරියා කිසිදු වගවීමකට ලක් නොවන්නේ නම් එවිට දූෂිත තත්ත්වයක් නිර්මාණය වන බවයි.

දූෂණය අඩු කිරීම සඳහා ඒකාධිකාරය අඩු කිරීමත්, අභිමතානුසාරී බලය අඩු කිරීමත් සිදු කරන අතර වගවීම වර්ධනය  කිරීම කෙරෙහිද අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වන බවආචාර්ය ක්ලිට්ගාඩ්පෙන්වා දෙයි.

 

 

 

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts