රාත්‍රියේ ඉන්ද්‍රජාලිකයෝ
සජීව විජේවීර
පුරු පුරු ගාමින් අප අතර නිතර ගැවසෙන පූසන් හඳුන්වන්නේ බළලුන් හෙවත් බිළාලයන් යනුවෙනි. මේ පූසන් අයත්වන බිළාල පවුල යනු ලෝකයේ ඉතාමත් අවධානයට ලක් වූ සත්ව කොට්ඨාසයකි.
ලෝකයේ බළල් පවුලේ විශේෂ සංඛ්‍යාව 40කි. ඒ විශේෂ 40න් 04ක්ම හෙවත් 10%ක්ම ශ්‍රී ලංකාවේ දැකිය හැකි වීම විශේෂිතය. එයින් ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයේ වැදගත්කම නිහඬව ප්‍රදර්ශනය වෙයි.
මේ සතුන් වඩාත් ක්‍රියාශීලී වන්නේ රාත්‍රී කාලයේදීය. ඒ නිසාම සාමාන්‍ය පරිසර පද්ධතියක ඔවුන් පහසුවෙන් දැකගැනීමට පහසු නැත. නමුත් ඔවුන් මහා රාත්‍රියේ අප සිටින ඉසව්වේ පවා කාටත් රහසින් සැරිසරන බව අමුතුවෙන් කිව යුතු නැත. ඔවුන් ආගිය බව දැන ගන්නට ලැබෙන්නේ ඔවුන්ගේ මළපහ සහ අඩි සලකුණුවලින් හෝ ගෘහශ්‍රිතව සිටින සතකු දෙන්නකුගේ අතුරුදන්වීම්වලිනි.
මේ අපූරු සත්වයෝ සැබැවින්ම රාත්‍රියේ ඉන්ද්‍රජාලිකයෝය.
ශ්‍රී ලංකා කොටියා
ශ්‍රී ලංකාවේ වනගත බිළාල විශේෂ අතරින් විශාලතම විශේෂය වන්නේ කොටියාය. ඇතැම් පුද්ගලයන් දිවියා ලෙසද හඳුන්වන ශ්‍රී ලංකා කොටියා Panthara padus kotiya ලෙස සත්ව විද්‍යාත්මකව හැඳින්වෙයි.
කොටියා මෙරට වියළි කාලපීය වනාන්තරවල මෙන්ම තෙත් කලාපීය වනාන්තරවලත් කඳුකර වනාන්තරවලත් ව්‍යාප්ත වී සිටින සත්ව විශේෂයකි. යාල, විල්පත්තුව වැනි වියළි කලාපයේ වනෝද්‍යානවලදී පහසුවෙන් දැකගත හැකි කොටින්ගේ සුප්‍රසිද්ධ දඩබිමක් ලෙස හෝර්ටන් තැන්න වනෝද්‍යානය හැඳින්වීමට හැකිය. නමුත් හෝර්ටන් තැන්නේ දී කොටියකු දැකගැනීම අතිශය දුර්ලභය.
කඳුකර වනාන්තරවල සිටින කොටින් බහුල වශයෙන් තේ වතු ආශ්‍රිත ගම්මානවලට වැදී බල්ලන්, බළලුන් සහ කුකුළන් වැනි සතුන් දඩයමේ යෙදෙන බැවින් ඔවුන් නිතරම මිනිසුන්ගේ ප්‍රහාරයටත් අනතුරුවලටත් මුහුණ දෙති. ඌරන් වැනි සතුන් අල්ලා ගැනීමට අටවන උගුල්වලට සහ කොටියා ඉලක්ක කරගෙනම අටවන උගුල්වලට අසු වී කඳුකර තෙත් කලාපයේ ජීවත්වන කොටි විශාල සංඛ්‍යාවක් පසුගිය වසර කිහිපයේ දී මියයාමෙන් ඒ බව තහවුරු වෙයි. මේ අතර අතිශය දුර්ලභ කළු කොටියකුද විය.
හඳුන් දිවියා
මෙරට සිටින බොහෝ දෙනකු දන්නා අනෙක් වනගත බිළාල විශේෂය වන්නේ හඳුන් දිවියාය. ඉංග්‍රීසි බසින් Fishing Cat ලෙස හඳුන්වන ඔවුන් Prionailurus viveriinus ලෙස සත්ව විද්‍යාත්මකව හඳුන්වයි.
හඳුන් දිවියා යනු ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත වී සිටින සත්ව විශේෂයකි. විශේෂයෙන්ම කොළඹ නගරයේද කුඩා තුරු ගොමු අතර ජීවත් වීමට තරම් මේ හඳුන් දිවියන් අනුවර්තනය වී තිබීම විශේෂත්වයකි. වරින් වර කොළඹ නගරයේ ප්‍රධාන මාර්ගවල දී පවා අනතුරට පත්ව මියගිය හඳුන් දිවියන් වාර්තා වීමෙන් ඔවුන් තවමත් රටේ අගනුවර පවා ජීවතවන බව තහවුරු වෙයි.
එයින් පැහැදිලි වන්නේ ඔවුන් නාගරීකරණයට පවා අනුවර්තනය වී සිටින බවයි. ජලාශ්‍රිත වනගොමුවලට වඩාත් ප්‍රියතාවක් දක්වන හඳුන් දිවියෝ මසුන් දඩයම් කිරීමේ අති දක්ෂයෝය. මේ නිසාම ඔවුන්ට ඉංග්‍රීසි බසින් Fishing Cat යන නම ලැබී තිබේ. තෙත් බිම් ගොඩකිරීම සහ විශාල වශයෙන් සිදුවන ඉදිකිරීම් හේතුවෙන් මොවුන්ගේ වාසස්ථාන වේගයෙන් අහිමිවෙමින් පවතී.
නමුත් සත්ව විද්‍යාඥයන් පවසන්නේ පරිසරයේ වෙනස්වීම් අනුව හඳුන් දිවියන් තමන්ට හමු වන ඕනෑම දෙයක් ආහාරයට ගනිමින් ජීවත්වීමට පුරුදු වන බවයි.
වල් බළලා
වල් බළලා (Wild cat) සත්ව විද්‍යාත්මකව Felis chaus ලෙස හඳුන්වයි. මොවුන් ශ්‍රී ලංකාවේ වියළි කලාපයට සීමා වූ සත්ව විශේෂයකි. උඩවළව ජාතික උද්‍යානයේ පහසුවෙන් දැකිය හැකි මොවුන් වියළි කලාපයේ පිහිටි අනෙක් ජාතික උද්‍යානවලදීද දක්නට ලැබෙන සත්ව විශේෂයකි. එමෙන්ම වියළි කලාපයේ වනාන්තර ආශ්‍රිතව ජීවත්වන වල් බළලා කොටියා මෙන් දිවා කාලයේ දීද සැරිසරන සත්ව විශේෂයකි. වියළි කලාපීය වනාන්තර ආශ්‍රිතව දිවෙන මහා මාර්ග හරහා ගමන් කිරීමේ දී රිය අනතුරුවලට ලක්ව මියගොස් සිටින අවස්ථා බහුලව වාර්තාවෙයි.
කොළ දිවියා
ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන වනගත බිළාල සතුන් අතරින් කුඩාම සත්ව විශේෂය වන්නේ කොළ දිවියාය. ඉංග්‍රීසි භාෂාවෙන් Rusty spotted Cat ලෙස හඳුන්වන කොළ දිවියා සත්ව විද්‍යාත්මකව Prionailurus rubiginosus ලෙස හඳුන්වනු ලැබේ.
පිදුරුතලාගල කඳු මුදුනේ සිට ශ්‍රී ලංකාවේ සියලුම දේශගුණික කලාප ඔස්සේ වෙරළබඩ තැනිතලාව දක්වාම විශාල ව්‍යාප්තියක් දක්නට ලැබෙන කොළ දිවියා ඉතාමත් දක්ෂ දඩයක්කරුවෙකි. එමෙන්ම ගොවියාගේ මිතුරකු ලෙස සැලකේ. වගාබිම්වලට හානි කරන මීයන් වැනි සතුන් විශාල වශයෙන් දඩයම් කරන කොළ දිවියා නිශාචර සත්ව විශේෂයකි. වරින් වර ගම් වැදී කුකුළු පැටවුන් අල්ලාගන්නා අවස්ථාද වාර්තා වී ඇත. ඊට අමතරව කොළදිවියා කෘමි සතුන්ද විශාල වශයෙන් තම ආහාරවේලට එක්කර ගනී. සර්පයන් අල්ලා ආහාරයට ගන්නා සතකු ලෙස ද කොළ දිවියා ප්‍රකටව සිටියි.
කොළ දිවියකු කෙනෙකුට පහසුවෙන් දැකගත නොහැකිය. වේගයෙන් සංචරණය වන ඔවුන් රාත්‍රී කාලයේ දී දැකීම අතිශය අසීරුය.
ශ්‍රී ලංකාවේ ජීවත්වන වනගත බිළාලයන් පිළබඳ වසර 05කට අධික කාලයක් පර්යේෂණ සිදුකළ විශේෂඥ ප්‍රසව හා නාරි වෛද්‍ය තිලක් ජයරත්න මහතා, වෛද්‍ය ජනක ගලප්පත්ති මහතා, වනජීවී පර්යේෂක නදීක හපුආරච්චි මහතා සහ ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සභාපති සත්ව විද්‍යා පර්යේෂක මධුර ද සිල්වා මහතා, ශ්‍රී ලංකාවේ වනගත බිළාල විශේෂ ව්‍යාප්තිය, හැසිරීම සහ ඔවුන්ගේ ආහාර රටාව මෙන්ම ඔවුන්ට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබඳවද මෑතකදී දීර්ඝ වශයෙන් අධ්‍යයනය කර තිබේ.
කොටි-මිනිස් ගැටුම
ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සභාපති මධුර ද සිල්වා මහතා ඒ පිළිබඳ මෙසේ කීවේය.
“ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන බිළාල විශේෂ 04 අතරින් එක් විශේෂයක් වන කොටියා සහ මිනිසුන් අතර මේ වන විට බරපතළ ගැටලුවක් නිර්මාණය වෙමින් තිබෙනවා. කඳුකර ප්‍රදේශවල එය විශේෂයෙන්ම දැකිය හැකියි. කඳුකර වනාන්තර හෙළි පෙහෙළි කරමින් තේ සහ වෙනත් වගාවන් සඳහා යොදා ගැනීමත්, ඒ වගේම ජනාවාසකරණය නිසාත් කොටින්ට තම වාසස්ථාන අහිමිවෙලා. ඔවුන්ටත් ජීවත්වෙන්න සිදුව තිබෙන්නේ මිනිසුන්ගේ ගම්මාන ආසන්නයේමයි. ඒ නිසා ඔවුන් ආහාර සොයාගෙන ගම්වදිනවා. ගමට ආවම බල්ලන්, බළලුන් කුකුළන්, හරක් වැනි සතුන් පහසුවෙන් දඩයම් කරගන්න ඔවුන්ට පුළුවන්. තමන් සමඟ ජීවත්වන නැතිනම් තමන් ඇතිකරන සතුන්ට කොටියා හානිකරන විට මිනිස්සු කරන්නේ මේ කොටින් විනාශ කරන්න උගුල් ඇටවීම. දැන් මෙය ඉතා බරලපතළ ප්‍රශ්නයක් දක්වා වර්ධනය වෙලා. මේ සඳහා වහාම විසඳුම් සෙවිය යුතු වෙනවා.”
මෙම පර්යේෂකයන් විසින් බිළාලයන් සම්බන්ධයෙන් අතිශය වැදගත් තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් ද සම්පාදනය කර ඇත.