Uncategorized

ජලය කළමනාකරණය නොකළොත්?

සජීව විජේවීර

“අහසින් වැටෙන එක ම දිය බිඳක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යන්නට ඉඩ නොදෙනු“ යැයි කීවේ මහා පරාක්‍රමබාහු රජතුමාය. ඔහු සිදුකළ මහා වාරිකර්මාන්තය එදා අතීත රාජධානි යුගයේ දී ජලය කොතරම් ප්‍රයෝජනයට ගත්තේ ද යන්න මනා  සාක්ෂියකි. 

අතීතයේ මහ වැව් තැනූ වාරි ශිෂ්ඨාචාරයක් සහිත ශ්‍රී ලංකාවේ වර්තමානයේ ජලය කළමනාකරණය පිළිබඳ නිරන්තර වාද විවාද ඇතිවෙමින් පවතී. 

ගංගා ඇල දොළ ජලාග හා වැව් ආදියෙහි මතුපිට ජලය භූතල ජලය ලෙසද භූමිය අභ්‍යන්තරයෙහි ජලය භූගත ජලය ලෙසද හඳුන්වයි.

යම් භූමියකට ජලය ලැබෙන්නේ වර්ෂාව හා ජල උල්පත් මගිනි. ඒ අනුව ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 2000 කට වැඩිවන අතර එය ලබාදෙනුයේ නිරිත දිග ඊසාන දිග යන මෝසම් වැසි හා සංවහන වර්ෂාව මගිනි.

අවම ඒක පුද්ගල ජල පරිභෝජනය අතින් ආසියානු හා පැසිපික් රටවල් 24ක් අතුරින් ශ්‍රී ලංකාව හතර වන ස්ථානයට පත් වේ. එය වසරකට ඝන මීටර් 2.4කි. 

ශ්‍රී ලංකාව කොතරම් ජල සම්පතකින් පෝෂිත රටක්ද යන්න රටපුරා විහිදෙන සේ පිහිටා ඇති ප්‍රධාන ගංගා ද්‍රෝනි 103 සාක්ෂි දරයි. ද්‍රෝණියක් යනු ගංගාව දෙපස පිහිටා ඇති බේසමක හැඩයක්ගත් ගංගාවට ජලය සපයන ප්‍රදේශයයි. ලංකාවේ ගංගා ද්‍රෝණි ඉතා විශාල ප්‍රදේශයක් පුරා විසිරී පවතී. කැළණි ගංගා ද්‍රෝණිය සබරගමුවෙන් ආරම්භ වී මුහුදට එක්වන්නේ කොළඹ නගරයේ එක් කෙළවරකිනි. මහවැලි ගංගා ද්‍රෝණිය සඳහා ශ්‍රී ලංකාවේ වර්ග ප්‍රමාණයෙන් 16% ක් එනම් වර්ග කිලෝමීටර් 10,327 ක්ම අයත් වේ.

ශ්‍රී ලංකාවේ ගංගා ද්‍රෝණි 17ක් ම වර්ග කිලෝ මීටර 1,000කට වැඩි අගයක් ගනී. ගංගා ද්‍රෝණි 14ක් ව.කි.මි. 400 – 950 අතර ප්‍රමාණයක් ගනී.

ශ්‍රී ලංකාවේ වර්ෂාපතන රටාව අනුව දේශගුණික කලාප තෙත් වියළි හා අර්ධ ශුෂ්ක වශයෙන් බෙදෙන අතර වාර්ෂික වර්ෂාපතනයෙන් ඝන මීටර් බිලියන 127 සිට 132 අතර ප්‍රමාණයක් තෙත් කලාපයට හිමි වේ.

එහෙත් එම මහා ජලකඳෙන් 60%ක්ම වියළි කලාපය හරහා ගමන් කරයි. වරෙක එය 35%- 40% දක්වා අඩුවන අවස්ථා ද නැත්තේ නොවේ. ඒ අනුව වියළි කලාපයේ වුවද ජල සම්පත හිඟයැයි කිව නොහැකි තරමට ශ්‍රී ලංකාව ජලයෙන් පෝෂිතය.

එසේ නම් ඇති ගැටළුව කුමක් විය හැකිද ? ජලය නිසි ලෙස පරිභෝජනය නොකිරීමයි. මිනිසා විවිධ කටයුතු සඳහා ජලය භාවිතයට ගනී. ඒවා අතරින් කෘෂිකර්මාන්තය හා ගෘහ පරිභෝජනය ප්‍රධාන ය. 

මේ වන විට ලෝකයේ ජනගහනයෙන් බිලියන දෙකක් ජලය හිඟවීමෙන් පීඩා විඳිති. 2025 වන විට ලෝක ජනගහණයෙන් බිලියන  3.5ක් ම ජල හිඟයෙන් පීඩා විඳිනු ඇත. එය ලෝක ජනගහනයෙන් 45% ක ප්‍රමාණයකි.  ඔවුන්ට පානයට වෙනත් ගෘහස්ථ අවශ්‍යතාවයන්ට කෘෂි වගාවන්ට මෙන්ම වෙනත් කර්මාන්තන්ට ජලය. සපයාගැනීම් ඉතා අපහසු කරුණක් වනු ඇත. 

තිබෙන සීමිත ජල ප්‍රමාණය ද මිනිසා විසින් දූෂණය කරමින් සිටි. එහි ප්‍රතිඵලය වන්නේ මිලියන පහක පමණ ප්‍රමාණයක් ගත වූ දස වසර තුළ දූෂිත ජල පරිභෝජනය නිසා මරණයට පත් වීමයි. මෙහි විශාලතම ඛේදවාචකය ඉන් අඩකට ආසන්න ප්‍රමාණයක්ම ළමුන් වීමයි. ඒ මිලියන 2.2 කි. මේ අනුව පසුගිය දස වසර තුළ දූෂිත ජල පාරිභෝගිනයෙන් මියගිය ළමුන් ප්‍රමාණය දෙවන ලෝක යුද්ධයෙන් පසු ලොව ඇති වූ සියලු යුද අරගලවල දී මිය ගිය සියලුම මිනිසුන්ගේ ප්‍රමාණයට වඩා විශාල අගයක් ගනී. එමෙන්ම මේ ඛේදවාචකයේ ප්‍රමාණය කොතෙක්ද යන්න පෙන්වා දීමට ඇති විශාලතම දත්තයක් වන්නේ ලෝකයේ රෝහල් වලින් හරි අඩක්ම පිරී ඇත්තේ අපිරිසිදු ජලය නිසා රෝගී වූ මිනිසුන්ගෙන් යන්නයි. 

එම තත්ත්වයන් එසේ සිදුවෙමින් පවතිද්දී අප මේ ගැනද අනිවාර්යය අවධානය යොමු කළ යුතුය. එනම් 2025 වැඩිවන ලෝක ජනගහනයට අවශ්‍ය ආහාර ලබා ගැනීමට නම් ලොව වගාබිම් ප්‍රමාණය වැඩි කළ යුතුය. වගාබිම් වැඩිවන විට වගාවන් සඳහා දිය යුතු ජලයද වැඩිවිය යුතුය. එහෙත් වගාබිම් සඳහා වැඩිපුර වෙන් කළ හැකි ජල ප්‍රමාණය 4% ක් පමණි.

මෙහි ප්‍රතිඵලය ජල අර්බුදය සමග විශාල ආහාර අර්බුදයක් ද හට ගැනීමයි. කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ ජල අර්බුදය එසේ වර්ධනය වෙත්දී 2025 වන විට ගෘහස්ථ හා කාර්මික අංශවල ජල අවශ්‍යතාව 50% කින් ඉහළ යනු ඇත. එසේ නම් මෙහි භයංකාරත්වය තේරුම් ගැනීම අපහසු නැත.

මේ ජල අර්බුදය ලෝකයේ සියලුම රටවල් වලින් තේරුම් ගෙන ඇති සියලුම රටවල්වලට මුහුණ පෑමට සිදුවන දැවැන්ත අභියෝගයකි. මෙම විනාශයේ ප්‍රතිඵලයක් ලෙස  ජලය හා සනීපාරක්ෂක පහසුකම් රහිත මිනිසුන් ප්‍රමාණය අඩු කිරීමට සැලසුම් ක්‍රියාත්මක වේ.

මේ අනුව 2025 දී ජලය නොමැති කමින් පීඩා විදිනු ඇතැයි සිතන ලෝක ජනගහනයෙන් 40% ක ජනතාව එම අර්බුදයෙනං මුදවා ගැනීමට විවිධ ක්‍රියාමාර්ග දියත් වේ.

එහිද ජල සම්පත් බහුල, ජල සම්පත් සීමිත, ජලය තරමක් හිඟ, ජලය හිඟ හා උග්‍ර ජල වශයෙන් රටවල් වර්ගීකරණය කර ඇත. මේ අතරින්, ශ්‍රී ලංකාව අයත් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය හා චීනය වැනි රටවල් සමග ජල සම්පත් බහුල රටවල් වල කණ්ඩායමටයි. එය අපට නම් යම් පමණක හෝ සැනසිලිදායක තොරතුරක් වුවද ඉන් අපරටට ඇති ජල ප්‍රශ්නය විසඳෙන්නේ නැත. 

මේ වෙනුවෙන් ජල කළමනාකරණය නමින් අලුත් විෂයයක් ලෝකයට එකතු වී තිබේ. ජල කළමනාකරණය යනු ගෙදර ළිඳටත් බදු මුදලක් ගෙවීමට සිදුවන ක්‍රියාදාමයක් බව අපේ රටේ මතයක් වේ. ජල කළමනාකරණය කිරීම අලුත් විෂයයක් සේම එය අලුත් ආදායම් මාර්ගයක් වනු ඇතැයිද විශ්වාස කළ පෞද්ගලික ආයෝජකයයෝ ජල සම්පත් කළමනාකරණයට සිය මුදල් වැය කරමින් මැදිහත් වෙමින් සිටිති.

මෙලෙස පෞද්ගලික අංශයේ මැදිහත් වීමක් සමගම මූලික මිනිස් අවශ්‍යතාවක් හා අයිතිවාසිකමක් වන ජලය පිළිබඳ සියලු අයිතිය ජනතාවට අහිමිවනු ඇතැයි බිය පළවී තිබේ. ජලය භාවිතය සඳහා බදු ගෙවීමක් පෞද්ගලික සමාගම්වලට ජල පාලනය පැවැරීමක් යන කරුණ කෙරෙහි ජනතාව සැක පල කරති.

කෙසේ වෙතත් ජලාශ්‍රිත ශිෂ්ඨාචාරයක අපේ අතීත මුතුන් මිත්තෝ ජලය කළමනා කරණය කළ අයුරු වැවේ ජල පංගුව ඒ ඒ වෙල් නියැදි කරා බෙදී ගිය ආකාරයත් ඒවායේ අයිතිය පැවරී තිබුණු ආකාරයත් අනුව මනාව පිළිබිඹු වේ. එහෙත් ඒ අතීත ක්‍රියාදාමයන් අද වන විට අපෙන් සමුගෙන ඇත. අප ජල කළමනාකරණය යන වචනය පවා දකින්නේ අප රට බිලි ගැනීමට විදේශීය අධිරාජ්‍යවාදීන් විසින් හඳුන්වා දුන් බයංකර යක්ෂයකු ලෙසිනි.

කවුරුන් කෙසේ කීවද අනාගතය උදෙසා ජලය කළමනාකරණය කිරීම වර්තමාන යුගයේ දැඩි අවශ්‍යතාවයකි. එහෙත් එය අපගේ දේශපාලන නායක කාරකාදීන් නිසි ලෙස වටහාගෙන නොමැති බව නම් සක්සුදක් සේ පැහැදිලිය.

ජලය අපතේ නොයවා සියලු ක්‍රියාමාර්ග පාලනය කළ යුතුය. ජලය දූෂණය කෙරෙන සියලු ක්‍රියාමාර්ග නවතා දැමිය යුතුය. මේ සඳහා රට තුළ පුළුල් ජනමතයක් ඇති කළ යුතුය. රජය මේ වෙනුවෙන් ගෙන එන කුමන හෝ ප්‍රතිපත්තියක් පනතක් හෝ වේවා යම් ක්‍රියා මාර්ගයක් හෝ වේවා එහි විනිවිද භාවයක් තිබිය යුතුය. කොතරම් අනපනත් ගෙන ආවද ඒ ක්‍රියා මාර්ග ජනතාව අනුගමනය නොකරන තාක්කල් එයින් පලක් නොවේ ඒ නිසා ජලය සුරැකීමේ කුමන හෝ ක්‍රියාදාමයකට ජනතා සහභාගිත්වය නම් අත්‍යාවශ්‍යය. 

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts