මහවැලියේ සොඳුරුම තැන හක්කිඳ දූපත් සුරක්ෂිතද?
මොහොමඩ් ආසික්
ශ්‍රී ලංකාව සශ්‍රීක කරමින් රට පුරා දිව යන ගංගා 103 අතුරින් දිගම සහ විශාලතම ගංගාව මහවැලියයි. කන්ද උඩරට ශ්‍රී පාද අඩවියෙන් ආරම්භ වී ත්‍රිකුණාමලයෙන් මහ මුහුදට එක්වන මහවැලි ගඟ රට පුරා කිලෝ මීටර් 338ක් පුරා ගමන් කරයි. මේ දිගු ගමන් මගෙහිදී නිර්මාණය වුණ අතිශයින් සුන්දරම ස්ථානය වන්නේ ඓතිහාසික ගන්නෝරුව වරාතැන්නේ පිහිටි හක්කිඳ දූපත් සමූහයයි.
සංවේදී පරිසර පද්ධතියක්
දිවයිනේ ගඟක් මැද පිහිටි විශාලතම දූපත් ප්‍රමාණයක් මෙම ස්ථානයේ දක්නට ලැබීම එක් විශේෂත්වයකි. මහවැලි ගඟ මැද මෙම ස්ථානයේ පමණක් දූපත් 20කට වැඩි ප්‍රමාණයක් දක්නට ලැබෙයි. ඉන් ලොකුම දූපත අක්කර අටක් තරම් විශාල වන අතර, කුඩාම දූපත අක්කර බාගයක් පමණ වෙයි. මෙම කලාපය තුළ ක්ෂීරපායි සත්ව විශේෂ 22කට වැඩි ප්‍රමාණයක්ද උරග විශේෂ 17ක් පමණද පක්ෂි විශේෂ 75කට වැඩි ප්‍රමාණයක්ද වාර්තා වී තිබීම, මෙහි ඇති ජෛව විවිධත්වයටත් පාරිසරික විවිධත්වයටක් සාක්ෂි සපයයි.
මෙයට අමතරව මහවැලි ගඟේ පටුම ස්ථානයත් පළලම ස්ථානයත් කිලෝ මීටර් භාගයක් තරම් කෙටි දුරක් තුළ මෙම ස්ථානයෙන් දැකිය හැකි වීම විශෙෂත්වයකි. මහවැලි ගඟේ පළල්ම ස්ථානය කිලෝ මීටර් එකහමාරක් පමණ වන අතර කුඩාම ස්ථානය මීටර් දෙකක් තරම් පටු වීමද විශේෂත්වයකි.
වසර 125කට වඩා පවත්වාගෙන යන, උඩරට අමරපුර මහා නිකායේ උපසම්පදා පුණ්‍යකර්මය සිදු කරනු ලබන උදකුක්ඛේප සීමා මාලකය පිහිටා ඇත්තේද මෙම ස්ථානයේ වීම තවත් විශේෂත්වයකි.
එකම ආරක්ෂණ කලාපය
මහවැලි ගඟේ අතිශයින් සුන්දර මෙන්ම පාරිසරික සහ ආගමික වශයෙන් වැදගත් ස්ථානයක් වන නිසාම මෙම ස්ථානය අතිවිශේෂ ගැසට් පත්රයක් මගින් 2017 ජුනි මස 13 වැනි දින ‘වරාතැන්න – හක්කිඳ පාරිසරික ආරක්‍ෂණ කලාපය’ යනුවෙන් හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අතිවිශේෂ කැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. මහවැලිය ගලා බසින කිලෝ මීටර් 338ක වපසරිය තුළ පරිසර ආරක්ෂණ කලාපයක් ලෙස නම් වූ එකම ස්ථානය මෙම හක්කිඳ දූපත් සමූහය පිහිටි හෙක්ටයාර් 59.4ක භූමිය පමණකි.
මෙලෙස ගැසට් කිරීමෙන් පසුව මෙම ස්ථානයේ පාලනය මධ්‍යම පරිසර අධිකාරිය වෙත පැවරුණු අතර මෙම ස්ථානයේ සිදු කළ යුතු සියලු කාර්යයන් මධ්‍යම පරිසර අධිකාරියේ අනුදැනුම මත පමණක් සිදු විය යුතු වුවද, ඒ අනුව කටයුතු සිදු නොවන බව පරිසරවේදීහු කියති.
මෙම පරිසර කලාපය සම්බන්ධයෙන් පරීයේෂණ රැසක් සිදු කර මෙම ප්‍රදේශයට ආවේණික සතුන් මෙන්ම ශාඛ විශේෂ විශාල ප්‍රමාණයක් සොයා ගෙන ඇති පරිසර විද්‍යාඥයෙකු වන ප්‍රදීප් සමරවික්‍රම මහතා අප සමඟ මෙසේ කීය.
ශාක හා සත්ත්ව විශේෂ රැසක්
‘හක්කිඳ පාරිසරික ආරක්ෂණ කලාපයට හක්කිඳ කියන නම ලැබිල තියෙන්නේ ඓතිහාසික හේතුත් එක්ක. ගඟ මැද දූපත්වල වළවල් හතක් තියෙන නිසා හක්කිඳ වූවා කියාත්, පහළම තියෙන දූපත් හතක් අතරින් ජලය ගලා ගෙන යන හින්දා හක්කිඳ වුණා කියලත් කියනවා. මහනුවර ප්‍රදේශයේ දකින්නට තියෙන ප්‍රාථමික වනාන්තරයක් දකින්න පුළුවන් වන්නෙත් මේ දූපත්වලයි. මේවායේ පැරැණි ශාඛ රැසක් ආරක්ෂා වී තිබෙනවා. මේ දූපත් ආශ්‍රිතව දුර්ලභ ශාඛ සහ සතුන් විශාල වශයෙන් දකින්න පුළුවන්. ජලජ ශාඛ විශාල වශයෙන් දකින්න පුළුවන් cryptocoryne නැමැති ශාඛ වර්ග පහක් පමණ තිබෙනවා. ඒකෙන් එක් වර්ගයක් මුලින්ම හොයා ගෙන තියෙන්නේ මේ දූපත් ආශ්‍රිතවයි.
ඒ වගේම ජලය යට හැදෙන ශාඛ වර්ග පහක් පමණ මෙහි දක්නට ලැබෙනවා. ලංකාවට ආවේණික කෙතල විශේෂ විශාල ප්‍රමාණයක් තියෙනවා. මත්ස්‍ය විශේෂ 27කට ආසන්න ප්‍රමාණයක් මෙම ස්ථානයේ හමු වෙනවා. ඒ අතර ශ්‍රී ලංකා කොළ ගඩයා කියන මත්ස්‍ය විශේෂය මෙම ස්ථානයෙන් සහ ගම්පොළ ප්‍රදේශයෙන් පමණයි හමු වන්නේ. ඒකෙනුත් හොඳම අභිජනනය වන කාණ්ඩය හමු වන්නේ මෙතැනයි. ලෝකයේ දැනට හමුවන නිදර්ශක දෙකම හමු වන්නේ මෙම ස්ථානයෙන්. සෙන්ටිමීටර් 56කින් යුත් සතුන් හමු වී තිබෙනවා. එවගේම ලේල්ලා කියන මත්ස්‍යයාත් මෙම ස්ථානයේ දක්නට ලැබීම විශේෂත්වයක්.
නමුත් කණගාටුවට කරුණ නම් මෙම ස්ථානය පාරිසරික ආරක්ෂණ කලාපයක් ලෙස ගැසට් පත්රයක් මගින් ප්‍රකාශ කරන්නට පෙර තිබුණ තත්වයටත් වඩා අද වන විට නරක තත්වයට පත් වෙලා තියෙනවා’
නීතියේ හැටියට වැඩ නැහැ
1935 අංක 19 දරන ඉඩම් ආඥා පනත අනුව, ප්‍රධාන ගංගාවක ඉවුරේ සිට අඩි 190කට වැඩි ප්‍රමාණයක් දෙපසට පරිසර ආරක්ෂිත ප්‍රදේශයක් ලෙසට පවත්වා ගත යුතුය. නාගරීකරණයත් සමඟ එම ප්‍රමාණයේ යම් අඩුවක් දැක්වුණද එය සීමාව ඉක්මවා යෑම නිසා මේ වන විට හක්කිඳ ජල රක්ෂිතය ඉතා පටු වී ඇති බව පරිසරවේදීන්ගේ චෝදනාවයි.
1935 අංක 19 දරන ඉඩම් ආඥා පනත අනුව, ප්‍රධාන ගංගාවක ඉවුරේ සිට අඩි 190කට වැඩි ප්‍රමාණයක් දෙපසට පරිසර ආරක්ෂිත ප්‍රදේශයක් ලෙසට පවත්වා ගත යුතුය. නාගරීකරණයත් සමඟ එම ප්‍රමාණයේ යම් අඩුවක් දැක්වුණද එය සීමාව ඉක්මවා යෑම නිසා මේ වන විට හක්කිඳ ජල රක්ෂිතය ඉතා පටු වී ඇති බව පරිසරවේදීන්ගේ චෝදනාවයි.
මෙම සුවිශේෂි වූ පාරිසරික කලාපය සම්බන්ධයෙන් පළාත් පාලන ආයතනවල මෙන්ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදීද පාර්ලිමේන්තුවේදීද විවිධ අවස්ථාවන්වල කතා බහට ලක් වී ඇතත් ගැටලුව තවමත් එතැනම පැවතීම කනගාටුදායකය.
ශ්‍රී ලංකාවේ පාරිසරික ගැටළුවලට විසඳුම් නොපෙනන මානයක පවතින මෙවන් යුගයක අතිශයින් සංවේදී පරිසර කලාපයක් වූ මෙම හක්කිඳ පරිසර ආරක්ෂණ කලාපයේ පැවැත්ම ආරක්ෂා කර ගැනීම වගකිව යුතු බලධාරීන්ගේ වගකීමකි.