පෝලිම්වල බැටකන කාන්තා ශ්‍රම බලකාය
කමණී හෙට්ටිආරච්චි
ලංකාවේ ඇති වී තිබෙන වත්මන් ආර්ථික පීඩනයෙන් සමස්ත ජනතාවම බැට කමින් සිටිති. ලංකාවේ කාන්තාවන් මෙම අර්බුදය හමුවේ , සුවිශේෂී පීඩාවන්ට ලක්වන බව පෙනෙන්නට ඇත. සැතපුම් ගණන් දිගට විහිදී ඇති ගෑස් පෝලිම්වල ද ඉන්ධන පෝලිම්වල ද කාන්තාවන් දැක ගත හැකිය. කාන්තාවන්ගේ අයිතීන් ගැන ද මවුවරුන්ගේ ගුණ ගැන ද මෙරට සමාජයේ නිතර කතා කරනු දක්නට ලැබේ. නමුත් දිවා රෑ නොබලා තම පවුගේ සියලු දෙනා පෝෂණය කරනු පිණිස ඉහත පෝලිම්වල රුඳී සිටින කාන්තාවන් දෙස උපේක්ෂාවෙන් බලන්නට සමත් සමාජයක් කාන්තා ශ්‍රමයට වටිනා කමක් දිමට සුදානම් සමාජයක් අපට හිමිද?
ලංකාවේ සමාජ සංස්කෘතිය තුළ පිරිමින් ට සහ ගැහැණුන්ට සුදුසු කාර්යයන් ලෙස වැඩ ලැයිස්තු සකස් කර තිබේ. එම කාර්යයන් ලැයිස්තුවට අනුව පිරිමි පාර්ශවය සිය දහස් ගණනක් ගැවසෙන මහ මග මෙවැනි පෝලිම්වල රැඳී සිටීම ගරු කටයුතු කාන්තාවකට සුදුසු නැත. පුරුෂාධිපත්‍යය මුල්කර කරගත් ආකල්ප සහිත සමාජයක් එසේ සිතිම අරුමයක් නොවේ. මෙසේ පෝලිම්වල රැඳී සිටින කාන්තාවන් මුහුණ දෙන පොදු ගැටළු අතර ඇය කාන්තාවක් නිසාම මුහුණ දෙන සුවිශේෂී ගැටළු රාශියක් හදුනාගත හැකිය.
රටේ සෞඛ්‍යය අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස මේ මොහොත වන විට නම් කර තිබේ. නමුත් ඉන්ධන හිඟය නිසා ඇති වී තිබෙන ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් සේවයට වාර්තා කිරීම සෞඛ්‍යය සේවකයින්ට බරපතල ගැටළුවක් වී ඇත. සිය සේවයට වාර්තා කිරීමේ අරමුණින් ඉන්ධන ලබා ගැනීම සඳහා පොදු ඉන්ධන පෝලිමේ නොසිට ඉන්ධන හලකට ගිය නිල ඇඳුමින් සැරසුණු හෙද නිලධාරිනියක් මුහුණ දුන් අත්දැකීමක් පසුගියදා රූපවාහිනී නාලිකාවල විකාශය විය.
ඉන්ධන පෝලිම්වල සිටි බහුතරයක් වූ පිරිමි පාර්ශවයෙන් ඇයට එල්ල වන්නේ බරපතල විරෝධයකි. ඇයට ඉන්ධන ලබා ගැනීමට නොහැකි වන අතර එහි රැඳී සිටි පොලිස් නිලධාරීන් ඇය එම ස්ථානයෙන් පිටත් කරනු ලබන්නේ, පුරුෂ පක්ෂයේ ජයග්‍රාහී හූ හඬ මධ්‍යයේ ය. මෙය ඇයට පමණක් පොදු වූවක් නොව එම වෘත්තීයේ නියැළෙන බහුතරයකගේ අත්දැකීම ය.
මේ කළුතර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල මා ලද අත්දැකීමකි. ඉන්ධන පෝලිම දිගුය. ත්‍රීරෝද රථ, මෝටර් රථ හා යතුරු පැදි වෙන් වෙන්ව පෝලිම්වලය. පෝලිම්වල ඇතිවන විවිධ ගැටළු හේතුවෙන් ඉන්ධන හලේ හිමිකරු වාහන පෝලිම නිරීක්ෂණය කරමින් පැමිණි අතර හිමිකරුවන් අසල රැඳී නොසිටි යතුරු පැදි කිහිපයක් ඔහුගේ අවධානයට ලක් විය. එකිනෙකාගේ අනන්‍යතා උස් හඬින් විමසීමකින් තහවුරු කර ගත් අතර ස්කූටි වර්ගයේ යතුරු පැදියක් දැක ඔහු එය කාගේදැයි විමසීය. තද අව් රශ්මිය හේතුවෙන් අසල නිවසක රැඳී සිටි තරුණ කාන්තාවක් එය තමාගේ යැයි කියමින් අසලට පැමිණියේ ය. “ඔයා දැන් ද ආවේ.” පිරවුම් හලේ හිමිකරු විමසීය. “මම ඊයේ රෑ 9.30 ඉඳලා පෝලිමේ හිටියේ. අද උදේ ගෙදර ගිහින් ළමයාව මොන්ටිසෝරි දාලා, දැන් තමයි ආපහු ආවේ.“ ඇය පිළිතුරු දෙමින් කීවා ය. මෙය හුදෙකලා එක් සිදුවීමක් වන අතර දින ගණන් දිවා රාත්‍රී ගෑස් හා ඉන්ධන පෝලිම්වල රැඳී සිටින සිය දහස් ගණන් කාන්තාවන් මීටත් වඩා ඛේදනීය අත්දැකීම්වලට මුහුණ දී ඇතිවාට සැක නැත.
ලංකාවේ සමාජ සංස්කෘතිය තුළ කාන්තාවක් ඉන්ධන පෝලිමක හෝ ගෑස් පෝලිමක රාත්‍රිය ගත කරනුයේ තමන්ට වෙනත් විකල්පයක් තම පවුල් ඒකකය තුළ නොමැති බැවිනි. විවාහක කාන්තාවක නම්, ගෙදර දොර ඉවුම් පිහුම් කටයුතු දරුවන් බලා ගැනීම සිය ස්වාමියාගේ කටයුතු ආදී රාශියක් ඇය වෙත සමාජ සම්මතය විසින් ම පවරා දී තිබේ. ඉහතින් සඳහන් උදාහරණය දක්වා ඇති කාන්තාවට රාත්‍රියේ ඉන්ධන පෝලිමේ සිට පාන්දර නිවසට ගොස් දරුවා ළදරු පාසලට ඇතුළත් කර උයා පිහා තබා, යළි ඉන්ධන පෝලිමට එන්නට සිදු වූයේ, රැකියාවට යාම සඳහා සිය යතුරු පැදියට ඉන්ධන ලබා ගැනීමට ය. ඉන් පැහැදිලි වන්නේ, ඇයගේ සහයට පවුලේ වෙනත් කිසිවෙකු නොමැති බව ය. තම තරුණ දියණියන් සමග ඉන්ධන පෝලිම්වල සිටින මවුවරු ද දැක ගත හැකිය. ලංකාවේ කාන්තාවන් මුහුණ දෙන මෙම අවසානාවන්ත තත්ත්වය විසින් ඇති කරනු ලබන සමාජ ගැටළු රැසකට රටක් ලෙස අපට මුහුණ දීමට සිදුවී තිබේ.
ශ්‍රී ලංකාවේ ගෘහස්ත කාන්තා ජනගහනය 8,813 903 ක් වේ. එය ගෘහස්ථ පුරුෂ ජනගහනයට වඩා වැඩි ය. නමුත් මෙරට ශ්‍රම බලකාය දෙස බැලීමේදී ප්‍රතිශතයක් ලෙස කාන්තාවන්ගේ දායකත්වය සියයට 34.5 ක් වේ. පුරුෂයන්ගේ ප්‍රතිශතය සියයට 73 කි. මේ සඳහා බලපාන හේතු රාශියක් අතර රැකියා අවස්ථා සඳහා ප්‍රවේශ වීමට තිබෙන බාධා , දැරුවන් ලැබීම, දරුවන් රැකබලා ගැනීම, ළමා රැකවරණ පහසුකම් විධිමත් අයුරින් මෙරට නොතිබීම වැනි හේතු රැසක් බලපා ඇත. එමෙන්ම විවාහයෙන් පසු රැකියාවෙන් ඉවත් වීම සාමාන්‍ය දෙයක් බවට ද පත් ව තිබේ. ශ්‍රී ලංකාව තුළ වැඩිම ආර්ථික උත්පාදකය ගෙන එන්නේ කාන්තාවන් වුව ද ඊට ප්‍රවේශ වීම සඳහා මෙරට තුළ සුදුසු අවකාශයක් නිර්මාණය වන්නේ ද යන්න ගැටළු සහගත ය.
ලෝක ආර්ථික සන්සදය විසින් නිකුත් කළ වාර්තා අනුව 2006 වර්ෂයේදී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමානතා පරතරය අවම මට්ටමක පැවැතිණ. එම වාර්තාවට අනුව රටවල් 156 ක් අතරින් ලංකාව සිටියේ 13 වන ස්ථානයේ ය. නමුත් 2021 වසරේදී එම වාර්තාවට අනුව ලංකාවට හිමිව ඇත්තේ 116 වෙනි ස්ථානයයි. ඒ අනුව වසර 15 ක් වැනි කාලයක් තුළ ලංකාව ස්ථාන 113කින් පහළ බැස ඇත.
ලංකාවේ පැවැති කොවිඩ් වසංගත තත්ත්වය සහ ඉන්පසු රටේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවේ පවුල් හතරෙන් එකකට වැඩි ප්‍රමාණයකට අයත් කාන්තාවන්ට දැඩි ලෙස බලපා ඇත. ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් සියයට 52 ක් වන කාන්තාවන්ගේ ශ්‍රම දායකත්වය ලබා ගැනීමට ආර්ථිකය අසමත් වී තිබීම නිසා ඊට සිය පූර්ණ ඉලක්ක වෙත ලඟා වීමට නොහැකි වී ඇත.
ලංකාවේ වත්මන් කාන්තාවන් මුහුණ දෙන මෙම දුෂ්කරතාවන් සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ කාන්තා සංවිධානය 2020 වසරේ නිකුත් කළ වාර්තාවලට අනුව මෙම තත්ත්වයට බලපා ඇති හේතු සාධක ලෙස ඔවුන් දක්වා ඇත්තේ, දැරිය හැකි මුදලකට ගුණාත්මක දිවා සුරුකුම් මධ්‍යස්ථාන නොතිබීම, ළමා ආරක්ෂක සේවා නොමැතිකම, නිවසේ කාර්යයන් බෙදා ගැනීමට සහය නොලැබීම, සමහර සේවා ස්ථානවලින් කාන්තා සේවිකාවන්ට සහය නොදක්වන පිළිවෙතක් අනුගමනය කිරීම සහ සංස්කෘතික හේතු ඊට බලපා ඇත.
ලංකාවේ කාන්තාව සම්බන්ධයෙන් සමාජ සංස්කෘතික ආකල්ප එසේ වන නමුත්, ඉන්ධන පෝලිමේ ගෑස් පෝලිමේ වාගේම සිය වෘත්තීය ක්ෂේත්‍ර තුළ ද පිරිමි පාර්ශවය අභිබවා යමින් කාන්තාවන් කටයුතු කිරීම දක්නට ලැබේ. යුරෝපා සංගමය විසින් 2018 දී කළ “කෘෂිකාර්මික ප්‍රතිපාදනවල ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සාධකය“ යන මැයෙන් වූ අධ්‍යයනයේදී පැහැදිළි වී තිබුණේ, ලංකාවේ කෘෂිකර්මයට අදාළ සෑම ක්ෂේත්‍රයකම සේවයෙන් නියැලුණු කාන්තාවන් පුරුෂ පාර්ශවය හා සමානව කැපවීමෙන් කටයුතු කරන් බවය . එම අධ්‍යයනයට අනුව ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 7.7 ක කොටසක් සඳහා දායකත්වය ලබා දෙනුයේ කෘෂි ක්ෂේත්‍රයයි. එම ක්ෂේත්‍රය තුළ සමස්ත ජනගහනයෙන් සියයට 27 ක් යෙදී සිටින අතර ඉන් සියයට 37 ක් කාන්තාවන් ය.
ලංකාවේ ශ්‍රම බලකායට ප්‍රධාන දායකත්වයක් ලබා දී ඇති කාන්තාවන්ගේ ගැටළු විසඳීම සඳහා 2021 වසරේ අය වැය වාර්තා අනුව කාන්තා සංවර්ධනය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 601 කි. පරිවාස හා ළමා රක්ෂක සේවා සඳහා රුපියල් මිලියන 406කි. ලංකාවේ පිරිමි මුලික කර ගත් තීරකයන් විසින් ගනු ලබන මෙවැනි තීන්දු දියුණු සමාජයක් ගොඩ නැගීම සඳහා ඉවහල් වන්නේ දැයි යළි සිතා බැලිය යුතු ය.
ජාත්‍යන්තර අත්දැකීම් සහිත මෙරට ප්‍රකට සමාජ ක්‍රියාකාරිනියක් වන වෛද්‍ය තුෂ් වික්‍රමනායක කළ ප්‍රකාශයකින් මෙය අවසන් කරමි. “අපි හැම වෙලාවෙම කාන්තාවන් බලාත්මක කළ යුතු යැයි කිව්වට පිරිමි තමයි, කාන්තාවන්ට සැම විටම අඩු සැලකීමක් දක්වන්නේ. ඇත්තටම බලාත්මක කරවන්න ඕන පිරිමින්වයි.”