හතරවන ආණ්ඩුවේ සිට ජනතා හඬ වෙත
ලෝක මාධ්‍ය නිදහස දිනය
1995 දෙසැම්බර් මස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් සෑම මැයි 3 දිනකදීම “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” වාර්ෂිකව සැමරිය යුතු බව තීරණය කරන විට ලෝකයෙහි පැවතියේ අතිශය මධ්‍යගත වූ සමාගම්වල ප්රවෘත්ති ව්‍යාපාරයකි. සයිබර් විප්ලවය ඒ වන විට හිස ඔසවා නොතිබිණි.
1991 මැයි 3 යනු, ජ්‍යෙෂ්ඨ අප්‍රිකානු මාධ්‍යවේදීන් නැමීබියාවේ වින්ඩ්හෝක්හි රැස්වී මාධ්‍ය මගින් සමාජයට සපයනු ලබන සේවයට ගරු කිරීමට සහ වර්ධනය කිරීම සඳහා කටයුතු කරන්නැයි සියලුම අප්‍රිකානු රජයන්ගෙන්, පුරවැසියන්ගෙන් සහ ප්රවෘත්ති කර්මාන්තයේ නියැළෙන්නන්ගෙන් ඉල්ලා සිටි දිනයයි. එක්සත් ජාතීන්ගේ සත්කාරකත්වයෙන් පළමුවරට පැවති එම මහාද්වීපික රැස්වීමෙන් ප්රබෝධය ලැබූ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ), ආසියානු, යුරෝපීය, බටහිරි අප්‍රිකා සහ ඇමරිකානු යන ලෝකයේ අනෙකුත් ප්‍රධාන කලාපවල එවැනි උපදෙස් විමසීම් කැඳවීමට උනන්දු වූයේය. . මානව වර්ගයාගේ ප්‍රගතියට සහ ගෝලීය සාමය වෙනුවෙන් පුවත්පත් කලාවේ සහ ප්රවෘත්ති මාධ්‍යයන්ගේ දායකත්වය අර්ථකථනය කළ සමාන හා ශක්තිමත් ප්රකාශනයන් ඔවුහු සියල්ලෝම අනුමත කළහ.
1990 ගණන් වනවිට ලෝකය ප්රවෘත්ති කර්මාන්තයේ ස්ථාවරත්වය සහ ආයතනික ශක්තිය අත්විඳිමින් තිබිණි. එයිනුත් සියවස් දෙකකට පමණ පෙර පවා යුරෝපීය දේශපාලනඥයන් ජනමාධ්‍ය හැඳින්වූයේ ‘හතවරන ආණ්ඩුව’ ලෙසයි. ඔවුන් මාධ්‍ය එසේ හැඳින්වූයේ මාධ්‍යයේ දේශපාලනික බලපෑම් භූමිකාවෙහි වැදගත්කම පිළිබඳ තිබුණු අවබෝධය නිසාය. එසමයෙහි සෙසු බලවත් ආයතන හෙවත් ‘ආණ්ඩු’ තුන වූයේ පල්ලිය ද ඇතුළුව වැඩවසම් රජය, ප්‍රභූන් හා ආර්ථික සංසදයන්ය.
ඉන්පසුව නූතන යුගයේදී, මූලික වශයෙන් ආර්ථික හැකියාව සහ මධ්‍යගත හිමිකාරිත්වය හේතුවෙන් ප්රවෘත්ති කර්මාන්තය විශාල බලගතු ආයතනයක් බවට පත්විය. එහෙත්, ලිබරල් ප්රජාතන්ත්රවාදයේ පෙළෙඹවීම යටතේ, මාධ්‍ය කර්මාන්තය සදාචාරාත්මක හැඩයක් ගත්, කුසලතා මත පදනම් වූ මාධ්‍යවේදීන්ගේ වෘත්තියක් බවට පරිණාමය විය. එහි වෘත්තිකයන් ඔවුන්ගේ නිර්මාණාත්මක ශක්තියෙන් සහ මහජනතාව දැනුවත් කිරීම සඳහා වූ තිරසාර කැපවීමෙන් සමාජය වඩාත් යහපත් තැනක් බවට පත් කරමින් සිටි. ලෝක සහ ජාතික මට්ටමේ සම්භාවනාවට ලක්වූ මාධ්‍යවේදීන් බොහො ඇත.එසේම ඔවුන් කළ කාර්යභාරය ව්සින් සමාජය ලද වටිනාකම් ද බොහෝය.
බොහෝදෙනා තම වෘත්තීය වගකීම් අධිෂ්ඨානශීලීව ඉටු කිරීමේදී දුක් විඳි හා ජීවිත පරිත්‍යාගයෙන් යුතුකම් ඉටු කළ මාධ්‍යවේදීන්ය. විමල් සුරේන්ද්‍ර, ලසන්ත වික්‍රමතුංග, ධර්මරත්නම් සිවරාම් වැනි අපේම ජනමාධ්‍යවේදීන් ද ඒ අතර වේ. ලේඛිකා හා විද්‍යාර්ථී රාජනී රාජසිංහම් – තිරාණගම සහ ගුවන් විදුලි/ රූපවාහිනී නිවේදිකාවක් වූ ශෝබනා ධර්මරාජා තම ජීවිතය පූජා කළ ශ්‍රී ලාංකීය කාන්තා සන්නිවේදිකාවන් දෙදෙනෙකි.මේ අතර තම වෘත්තිය වගකිම ඉටුකිරිමට යාමේදි විවිධ වධ බන්ධනවලට ලක් වු ලාංකිය මාධ්‍යවේදින් සංක්‍යව බොහෝය.
අද මානව වර්ගයා අන්තර් පුද්ගල සහ ජන සන්නිවේදනය ඔස්සේ සමස්ත ව්‍යුහයම මුළුමනින්ම උඩු යටිකුරු කළ සන්නිවේදන විප්ලවයක් ඔස්සේ ජයග්‍රාහීව පෙරට පැමිණ ඇත. ‘හතරවන ආණ්ඩුවක්’ ලෙස ක්‍රියාත්මක වෙමින් ජනමාධ්‍ය හිමිකාරිත්වයේ සංකේන්ද්‍රණය ඒක-දිශානතිකව ඉහළ සිට පහළට පණිවිඩ යැවීම හරහා පවත්වාගෙන ගිය ආධිපත්‍යය අද වන විට බිඳ වැටෙමින් තිබේ. ඩිජිටල් තාක්ෂණය සහ අන්තර්ජාලය හරහා අධිවේගී දත්ත සංසරණය හේතුවෙන් එතෙක් මහා ව්‍යාපාර සතු ව්‍යවසායන්ගෙන් හෝ රජයේ ආධිපත්‍යයෙන් මිදි ස්වාධීනව තමන්ගේම අදහස් ප්‍රකාශකිරීමට හා බෙදා හැරීමට එමඟින් හැකියාව ලැබේ.මෙය එක්තරා අන්දමක ප්රජාතන්ත්රවාදි පරසයේ පුළුල්විමක් ලෙස අර්ථ දැක්විය හැකිය.තොරතුරු වසන් කිරිමෙන් බලය කේන්ද්‍රගත කිරිමට මෙතෙක් තිබු හැකියාව ඉන් අහෝසි වි යනු ඇත.
මිනිසුන්ගෙන් මිනිසුන්ට පණිවිඩ යැවිය හැකි වීම මගින් පුද්ගල හඬට අතිවිශාල තිරස් සන්නිවේදන බලයක් ලබා දෙයි. නව්‍ය, ඉතා විශාල ව්‍යාපාර අන්තර්ජාලයෙන් අතිමහත් ලාභ උපයති. ඒවායෙහි සිතාගත නොහැකි තරම් අති විශාල සන්නිවේදන ප්රවාහයන් තවමත් සමාජීය වශයෙන් සාධනීය ආකාරයෙන් කළමනාකරණය කරගෙන නොමැත. ශ්‍රී ලංකාව අද වන විට මෙම තිරස් මහජන බලමුළුගැන්වීමේ බලයේ අත්දැකීම් ලබමින් සිටියි.එය යහපත් සහ අයහපත් ප්රවණතාවයන්ගේ සංකලනයකි.
තනි පුද්ගල පුරවැසියන්ගේ පාලනය ඉක්මවා බොහෝ දුර විහිදෙමින් පුද්ගලිකත්වයේ සීමාවන් සිඳ දමමින් සහ මානව අනන්‍යතා, හැඟීම් සහ සම්බන්ධතා පාවිච්චි කරමින් සමස්ත පද්ධති විසින් මානව ජීවිතය ගැඹුරින් විනිවිද යාමේ හැකියාව තාක්ෂණය විසින් ලබාදී තිබේ. වැරදි තොරතුරු සහ ඔත්තු බැලිම් පුද්ගලික අන්යතාවයන්ට හානිකර ලෙස මෙකී තාක්ෂනය යොදා ගැනිම බලවත් පීඩාකාරී පද්ධති බවට පත්ව ඇත.
යුනෙස්කෝව සහ උරුගුවේ ජනරජය විසින් වාර්ෂික ලෝක ජනමාධ්‍ය නිදහස් දින ගෝලීය සම්මන්ත්‍රණය 2022 මැයි 2-5 දිනවල පවත්වනු ඇත. “මහා ඩිජිටල් පරිවර්තනය තුළ ජනමාධ්‍ය” යන තේමාව අනුව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, තොරතුරු වෙත ප්‍රවේශය සහ පෞද්ගලිකත්වය පිළිබඳ එහිදී සාකච්ඡා කෙරෙනු ඇත.