සමාජ

සයිබර් අවකාශයේ හිංසනයට ලක්වන කාන්තාව සහ යුක්තිය

එරංගා මාපටුන

අන්තර්ජාලය, ජංගම දුරකථන, කෘත්‍රිම බුද්ධිය, රොබෝ විද්‍යාව සහ පුනර්ජනනීය බලශක්තිය විසි එක්වන සියවසෙහි  වඩාත්ම කතිකාවට ලක් වූ සුවිශේෂිත මාතෘකාවන් අතුරින් කිහිපයකි​. ඉන් නොනැවතී, අනපේක්‍ෂිත ලෙසින්, වර්තමානයේ කොවිඩ් 19 වසංගතය පැමිණීමත් සමඟ මෙකී කරුණු මානව  සමාජයේ නව්‍ය​ ගාමක බලවේග බවට පත් ව ඇති බව නොරහසකි. වෙසෙසින්, වසංගතය හේතුවෙන් සමාජ දුරස්ථභාවය සහ සමාජ හුදෙකලාභාවය රැකගැනීම සාමාජීය අවශ්‍යතාවයක් වූ තන්හි, සමාජ සබඳතා සහ බහුතර දෛනික කටයුතු පවත්වාගැනීම සඳහා අන්තර්ජාලය සහ ජංගම දුරකථන වැනි සුහුරු උපාංග අන් කවරදාටත් වඩා මිනිසාට සමීප වී ඇති බව දෘෂ්‍යමාන වේ.

එසේ වත්මන් මානවයා අන්තර්ජාලය සහ තාක්‍ෂණය සබැඳි දිවිපැවැත්මකට හුරු වීමට සාපේක්‍ෂව ඔහුගේ වටපිටාව ද නව පැවැත්මට සරිලන පරිදි  අනුවර්තනය වන බව ද සිහි තබා ගත යුතු ය​. එකී, ‘වටපිටාව’ යන්නට මිනිසාගේ සාමාජීය වටිනාකම්, ඇදහිලි විශ්වාසාදිය සියල්ල කැටිකොට ගත් සමස්ත සංස්කෘතික පද්ධතිය ම ඇතුළත් ය​. සුහුරු උපාංගයක් / පරිගණකයක් හා අන්තර්ජාල සේවා පහසුකමක් සහිත ඕනෑම පුද්ගලයෙකුහට වර්තමානයේ අන්තර්ජාලයට පිවිසීමට  හැකියාව ඇත​. එසේම එලෙස අන්තර්ජාලය පරිශීලනය කිරීමට  ශ්‍රී ලාංකිකයින් දක්වන උනන්දුව, පසුගිය වසර පහ පුරාවට ගණනය කරන ලද ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ පරිගණක සාක්‍ෂරතා දර්ශකයන් පරිශීලනය කිරීමේ දී මනා ලෙස පැහැදිලි වනු ඇත.    

ස්ත්‍රී පුරුෂ භාවය අනුව පරිගණක සාක්‍ෂරතාවය 

මෙම ප්‍රස්තාරයේ දම් පැහැයෙන් පුරුෂයින් ද දුඹුරු පැහැයෙන් කාන්තාවන් ද නියෝජනය කෙරේ. මෙම ප්‍රස්තාරය අනුව පෙනී යන්නේ සසුගිය වසර පහ තුළ දෙපාර්ශවයේම සමස්තයක් වශයෙන්, පෙර වසර වලට සාපේක්‍ෂව  පරිගණක සාක්‍ෂරතාවය අඛණ්ඩව ඉහළ ගොස් ඇති බවයි.

 *2021 වසර මුල් භාගයේ යාවත්කාලීන පරිගණක සාක්‍ෂරතා සංඛ්‍යා දත්ත ලබාදෙන මෙන් අප විසින් තොරතුරු දැනගැනීමේ අයදුම්පතක් ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලද අතර එම සමීක්‍ෂණ දත්ත නොබෝ දිනකින් සිය වෙබ් අඩවිය හරහා නිකුත් කරන තෙක් ප්‍රසිද්ධියට පත් කිරීමට හැකියාව නොමැති බව දන්වා එවන ලදී. ඒ අනුව ඔවුන් ගේ නිල වෙබ් අඩවිය  වන www.statistics.gov.lk වෙත​ පිවිසීමෙන් නොබෝ දිනකින් යාවත්කාලීන දත්ත ලබා ගැනීමට හැකි ය​. 

විශේෂයෙන් අන්තර්ජාලය භාවිතා කිරීමේ දී, ජනතාව අතර ප්‍රකට මාධ්‍යයක් වන ‘සමාජ ජාල මාධ්‍ය’ වෙත පිවිස ඒවාහි ගිණුමක් විවෘත කිරීම මගින් නවමු මුහුණුවරකින් ස්වකීය සමාජ සබඳතා ගොඩනංවා පවත්වාගෙන යාමට පුද්ගලයින්; විශේෂයෙන් ශ්‍රී ලාංකිකයින් වැඩි උනන්දුවක් දක්වනු ලබන බව දෘෂ්‍යමානිත ය​. බොහෝ පුද්ගලයින් මෙම සමාජ මාධ්‍ය වේදිකා තුළින් ධනාත්මක ඵලයක් ලබන බව ප්‍රකට කරුණකි. නමුත් එකම කාසියක වුව ද අනිවාර්යයෙන් විෂම වූ පැතිකඩ ද්වයක් තිබේ. එසේ ම සර්ව හිතෛෂී යැයි බහුතර ශ්‍රී ලාංකිකයින් විශ්වාස කරනු ලබන සමාජ මාධ්‍ය තුළ ද අවශ්‍යයෙන් ම අඳුරු පැතිකඩක් තිබේ.  එය විවිධාකාරීය වූ අපගාමී ක්‍රියා වලින් සමන්විත වන අතර ම ඒ අතුරින්, ‘ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් හිංසාකාරී ක්‍රියාවන්’ පිළිබඳ මෙම ලිපිය විනිවිද විශේෂ අවධානයක් යොමු කිරීමට අපේක්‍ෂිත ය​.

සයිබර් හිංසනය යනු කුමක්ද?

කාන්තාවන්ට එරෙහි හිංසනය සහ ඊට පාදක වන හේතු සහ එහි ප්‍රතිවිපාකයන් පිළිබඳ එක්සත් ජාතීන් ගේ විශේෂ වාර්තාකරු විසින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් සයිබර් හිංසනය යන්න අර්ථ දක්වනුයේ, “යම් ස්ත්‍රියක් කාන්තාවක් වීම නිසා ම හෝ කාන්තාවන්ට අසමාන ලෙස බලපානු ලබන ආකාරයට කාන්තාවන්ට එරෙහි ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයක ස්වභාවයෙනි. ජංගම දුරකථන සහ ස්මාර්ට් ෆෝන්, අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය වේදිකා හෝ ඊ මේල් හෙවත් විද්‍යුත් තැපෑල වැනි තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය භාවිත කිරීමෙන් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් සිදු කරනු ලබන හෝ සිදු කිරීමට උත්සාහ දරන හෝ එවැනි පවත්නා තත්ත්වයක් තවත් උග්‍ර අතට පත් කරන්නා වූ ඕනෑම ආකාරයේ ක්‍රියාවක්” වශයෙනි.

විශේෂයෙන්, සමාජ ජාල මාධ්‍ය තුළ ස්ත්‍රී පුරුෂභාවය පදනම් කරගෙන සිදු කරනු ලබන අනර්ථකාරී ක්‍රියා කිහිපයක් මේ වන විට පැහැදිලිව හඳුනාගෙන තිබේ. අසභ්‍ය පණිවිඩ, ඡායාරූප හෝ වීඩියෝ, ලිංගික සංවාද​ (Sexting), සයිබර් ලුහුබැඳීම් (Cyber Stalking), තර්ජනය කිරීම් (Threatening), බලහත්කාරය සහ බියවැදවීම (Coercion and Intimidation) යනාදිය ඒ සඳහා නිදසුන් කිහිපයක් වශයෙන් පෙන්වා දිය හැකි ය​.  මෙම ක්‍රියාවන් සියල්ල කිසිසේත් එය සිදු කරන්නා විසින් සද්භාවයකින් යුක්තව සිදු නොකරන හෙයින් අනිවාර්ය වශයෙන්ම එමගින් යම් පුද්ගලයෙකු අපහසුතාවයට පත් කිරීමට හෝ කායික සහ මානසික වශයෙන් හානිකාරක තත්ත්වයකට පත් කිරීම උදෙසා චේතනාන්විතව ම සිදු කරනු ලබන ඒවා වේ.   

මෙහි දී ඉහත සමස්තය තුළින් සිදු වන සයිබර් හිංසනය​ (Cyber Bullying)​, යන්න පිළිබඳ විශේෂිත අවධානයක් යොමු කළ මනා ය​. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව සයිබර් හිංසනය යන්න සරල ව හඳුන්වා දෙන්නේ නම් එය, “විද්‍යුත් සන්නිවේදනය භාවිත කිරීම මගින් බිය උපදවන හෝ තර්ජනාත්මක ස්වභාවයේ පණිවිඩ යැවීමෙන් යම්   පුද්ගලයෙකුට හිරිහැර කිරීම”වේ. මේ පිළිබඳ ව  The International Journal of Cyber Criminology හි කලාපයේ (වෙළුම 6)  “පිරිමි සහ කාන්තා සයිබර් හිරිහැර කිරීමේ දී දෙපාර්ශවය අතර සටන පිළිබඳ විභාගයක්” යන පර්යේෂණ වාර්තාවෙන් පෙන්වා දෙන පරිදි පුරුෂ පාර්ශවයට වඩා කාන්තාවන් සයිබර් අවකාශය තුළ​, විශේෂයෙන් සමාජ ජාල මාධ්‍ය තුළ අන්තර්ගතයන් පළ කිරීමට වැඩි නැඹුරුවක් දැක්වීම හේතුවෙන් පුරුෂ පාර්ශවයට සාපේක්‍ෂව කාන්තාවන් සයිබර් හිංසනයට ලක් වන ප්‍රවණතාවය වැඩි බවයි. එසේම The International Journal of Cyber Criminology හි 2020 ජනවාරි – ජුනි කලාපයේ Gender, self control and opportunity: applying the general theory of crime to online harassment පර්යේෂණ වාර්තාවට අනුව කාන්තාවන්ට සාපේක්‍ෂව පුරුෂ පාර්ශවය වැඩිපුර සයිබර් අපචාර වල නියැළෙන බවත් එහි දී කාන්තාවන් වැඩි වශයෙන් වින්දිතයින් බවට පත් වන බවත් හෙළිදරව් කරගෙන ඇත​.  

යුරෝපා සංගමය විසින් 2021 මාර්තු මස, ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් සයිබර් ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කිරීම පිළිබඳව  යුරෝපීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ  තක්සේරු වාර්තාව මගින් පෙන්වා දෙන පරිදි සයිබර් ලුහුබැඳීම (Cyber stalking), අපහසුතාවයට පත් කිරීම (Trolling), සයිබර් හිංසනය සහ හිරිහැර කිරීම (Cyber Bullying and Harassment), මාර්ගගත වෛරී ප්‍රකාශන සිදු කිරීම (Online hate speech), අන්තර්ජාලය තුළ අසභ්‍ය ලෙස භාෂාව භාවිතයෙන් යමෙකුට හිංසා කිරීම (Flaming), ඡායාරූපමය ලිංගික අපයෝජනය සහ දෙපාර්ශවයේම එකඟත්වයෙන් තොරව පටිගත කෙරෙන / බෙදා හරිනු ලබන කාමුක දර්ශන (Image-based sexual abuse / Non-consensual pornography), පුද්ගලික දත්ත සොරා ගැනීම (Doxing) ආදිය වර්තමානයේ බහුලව සමාජ මාධ්‍ය ආශ්‍රිතව සිදු වන්නේ යැයි නිරීක්‍ෂිත ලිංගිකත්වය පදනම් කරගත් සයිබර් අපරාධ වශයෙන් නම් කර ඇත​.

සයිබර් ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කිරීම 

යුරෝපා සංගමය විසින්, ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් සයිබර් ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කිරීම පිළිබඳව 2021 මාර්තු මස යුරෝපීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ  තක්සේරු වාර්තාව මගින් පෙන්වා දෙන පරිදි, සයිබර් හිංසනයට ගොදුරු වන්නන්, විශේෂයෙන් කාන්තාවන්හට එයට එදිරිව ක්‍රියාත්මක වීමට යම් යම් බාධා පවත්නා බව පෙන්වා දෙනු ලබයි. එම වාර්තාවට අනුව එකී වින්දිතයින් තමාට සිදු වන අකටයුතුකම් සම්බන්ධයෙන් නිසියාකාර නෛතික ක්‍රියාමාර්ග ගැනීමට යාමේ දී අදාළ අපරාධ යුක්ති යාන්ත්‍රණයේ පවත්නා යම් යම් හිඩැස් කරණකොට ගෙන, තමා හට යුක්තිය ඉටු කරගැනීමට යම් තරමක පසුබෑමකට ලක් වන බව පෙන්වා දී ඇත​. එම ලුහුඬුකම් පහත පරිදි වේ. 

  • ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් සයිබර් ප්‍රචණ්ඩත්වය පිළිබඳ එකඟ වූ නීතිමය අර්ථ දැක්වීම් වල වන ලුහුඬුතා
  • වින්දිත සහ අනෙක් සියලුම පාර්ශවකරුවන්හට මේ පිළිබඳ නිසියාකාර අවබෝධයක් නොමැතිකම 
  • සිද්ධීන් නිසි ලෙස වාර්තාකර නොගැනීම 
  • වින්දිතයින්හට නිසියාකාර ආරක්‍ෂාවක් ලබා දීමට අසමත් වීම සහ ඒ හා සබැඳි අභියෝග 
  • මෙවැනි සංසිද්ධීන් සම්බන්ධයෙන් නිසි පර්යේෂණාත්මක දැනුමක් නොමැතිවීම  හේතුවෙන් ජනතාව සත්‍ය දත්ත හා තොරතුරු නොදැනීමෙන් ඇතිවන නොදැනුවත්භාවය​
  • නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්ත්‍රණය තුළ දී පවත්නා ගවේෂණාත්මක අභියෝග, සාක්‍ෂි ලබාගැනීමේ දුෂ්කරතා, සහ විවිධ සාමාජීය සීමාවන්.

සයිබර් අවකාශය සහ සමාජ මාධ්‍ය භාවිතා කිරීමේ දී ස්වයං වාරණයක් නොමැතිකම සහ පවත්නා ආරක්‍ෂක ක්‍රමවේදයන් පිළිබඳ ඇති නොදැනුවත්කම හේතුවෙන් එම ආරක්‍ෂණ​ ක්‍රමවේද භාවිතා නොකිරීම ප්‍රධාන වශයෙන්ම කාන්තාවන්  සයිබර් හිංසනයට ගොදුරු වීමට මග පාදයි. ඉන් අනතුරුව ද යම් හෙයකින් තමා සයිබර් අවකාශය තුළ හිංසනයට ලක් වුවහොත් ඒ සඳහා අවැසි නෛතික පියවරයන් ගැනීම සඳහා කාන්තා පාර්ශවය ඉදිරිපත් වීමට මැළි කමක් දැක්වීම ද ඇතැම් විටෙක යම් හිංසන සිදුවීම් දුරදිග යාම සඳහා ප්‍රත්‍ය වන බව පැහැදිලි වී ඇත​. බොහෝ විට ස්ත්‍රීන් තමාගේ සංස්කෘතික පසුබිම සලකා නිහඬ වීමත්, ‘තමා නීතියෙහි සහාය පැතීම මගින් සිදු වන්නේ තමාගේ සිද්ධිය තමා වටා සමාජයට හෝ මහා සමාජයට හෙළිදරව් වීම ය’ යන දුර්මතය පෙරදැරි කරගෙන මෙවන් හිංසන සිද්ධීන් සඳහා නීතියෙහි සහාය පැතීමට ශ්‍රී ලාංකික කාන්තාවන් පෙළඹෙන බව අප විසින් මෙම ලිපිය සම්පාදනය කිරීම සඳහා සිදු කරන ලද සිද්ධි අධ්‍යයනය තුළින් ආ නිරීක්ෂණ වේ. 

“ඔය වගේ දේවල් දුර දිග ගෙනියන එකෙන් වෙන්නේ තවත් දේවල් දික් ගැස්සෙන එකයි” 

“ඔය වගේ දේකට පොලීසි යන්නෙ මොකට ද​?”

“පොලීසි ගානෙ රස්තියාදු වෙන එක ද හොඳ? එහෙමත් නැතිනම් සද්ද නැතිව ඉන්න එක ද​?” 

“තව ටික දවසක් බලලම පොලීසියට ගිහින් පැමිණිල්ලක් දානවා” 

මේ සිද්ධි අධ්‍යයනය සඳහා අදහස් දැක්වූවන් සමහරෙකු විසින් ප්‍රකාශිත අදහස් ය.   මෙවැනි අදහස් දැරෑවන් අතර සයිබර් හිංසනයට ලක්ව පසුව ඉන් තමාට ඇති වූ හානිය වෙනුවෙන් යුක්තිය ඉටු කරගැනීම පිණිස ඉදිරිපත් වූ  කිහිප දෙනෙකු ද  විය​. අප විසින් සිදු කළ සිද්ධි අධ්‍යයනය සඳහා අදහස් දැක්වූ තරුණ ජනමාධ්‍යවේදිනියක් සයිබර් හිංසනය පිළිබඳ සිය අත්දැකීම හෙළි කරන ලද්දේ මෙසේ ය​.

මම මාධ්‍යවේදිනියක්. දවසක් මගේ දුරකථනයට නන්නාඳුනන අංක වලින් නොකඩවා ඇමතුම් එන්න ගත්තා. මුල දී මම ඒවා එච්චර ගණනකට ගත්තේ නැතත්, සැක නිසා මම ඒවාට උත්තර දෙන්න ගත්තා. ඒ කතා කළ හැම දෙනාම කිව්වේ එක හා සමානම දෙයක්. ඒ අය කිව්වේ ‘ඔයා මට කෝල් කරන්න කියලා කිව්වේ ඇයි’ කියලා. ඇමතුම් කිහිපයකට උත්තර දෙද්දී මට තේරුණා යම් කිසි කෙනෙක් මගේ දුරකථන අංකය වෙනත් අයට දෙන ගමන් මට කතා කරන්න කියලා තියනවා. එක දිගට ඇමතුම් පනහක් විතර ආපු එක ඇත්තටම මට හිසරදයක් වුණා.

ඒක කරලා තිබුණේ ව්‍යාජ ගිණුමකින්. ඒ කෙනෙක් ගෙන් ම මම ඒ ගිණුම මොකක් ද කියලා හොයාගත්තා. ඒ එක්කම මම වහාම කළේ මම ඒ අවස්ථාවේ හිටපු ප්‍රදේශයේ පොලීසිය අමතන එක​. 

එතනදි මම අනුගමනය කරන්න අවශ්‍ය ක්‍රියා පටිපාටිය ඒ අය විසින් පැහැදිලිව සඳහන් කළා. ඒ අනුව මම ළඟම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කළා.

දින ගණනක් ම මම ඔවුන් සමඟ මට මේ ආකාරයෙන් එන ඇමතුම් ගැන යාවත්කාලීන කිරීම් සිදු කළා. ලොක්ඩවුන් තත්ත්වය නිසා මට නැවතත් මගේ පදිංචි ප්‍රදේශයට එන්න වුණා. ඒ එක්ක පොලීසිය මගේ පැමිණිල්ල මම පදිංචි ප්‍රදේශයේ පොලීසියට මාරු කර එවන බවට දැනුම් දුන්නා. සැලකිය යුතු කාලයක් මම ඒ ගැන සොයා බැලුවා. නමුත් ඔවුන් පොරොන්දු වූ කාලය ඇතුළත පැමිණිල්ල අදාළ පොලීසියට ලැබී තිබුණේ නැහැ. ඒ එක්ක මට එන ඇමතුම් අඩු වුණා. ඇත්තටම ඔවුන් ගේ සහයෝගය ලැබුණා නම් මම මේ දේ කරපු කෙනාට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. නමුත් ඔවුන් ගේ උදාසීන ක්‍රියා පටිපාටිය නිසා කාලය නාස්ති වෙන නිසා මම තවදුරටත් මගේ පැමිණිල්ල ඉදිරියට ගෙනියන අදහස අතහැරියා. “. 

අපරාධ යුක්ති පද්ධතිය හා  ශ්‍රී ලංකා පොලිසිය

අපරාධ යුක්ති පද්ධතියෙහි දෘෂ්ටියෙන් මෙම තත්ත්වය දෙස බලන විට​, අපරාධ යුක්ති පද්ධතියේ ප්‍රාථමිකතම ආයතනය වන ශ්‍රී ලංකා පොලීසිය අමතක කළ නොහැක​. ප්‍රධාන වශයෙන් මෙයාකාර සිද්ධීන් සම්බන්ධව පැමිණිල්ලක් ලද පසු, විමර්ශන සිදු කිරීම සඳහා සැලකිය යුතු කාලයක් ගත වීම​, විමර්ශන කටයුතු සඳහා වර්තමානයේ පොලීසිය සතු සම්පත්වල හිඟතාවය, විමර්ශන ඉදිරියට ගෙන යාම සඳහා පැමිණිලි පාර්ශවයේ ක්‍රියාකාරීත්වය සහ සහයෝගය ක්‍ෂය වීයාම මෙන්ම වර්තමානයේ මෙම විෂයය සඳහා විශේෂඥ පුහුණුවක් ලබා ඇති නිලධාරීන් ප්‍රමාණවත් පරිදි නොවීම යන කරුණු බලපානු ලබන බව මේ  සම්බන්ධව සිදු කරන ලද සිද්ධි අධ්‍යයනයට අදාළව  පොලිස් ළමා හා කාන්තා කාර්‍යාංශයේ උසස් පොලිස් නිලධාරිනියක් වෙතින් කරන ලද විමසීමක දී ඇය සඳහන් කර සිටියා ය​.  

ඉන් ඔබ්බට අපරාධ යුක්ති පද්ධතිය පිරික්සන්නේ නම්, මේ වන විට ප්‍රධාන වශයෙන් මෙරට දණ්ඩ නීති සංග්‍රහය හා 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත යන පනත් සයිබර් හිංසන සිදුවීම්හි යුක්තිය පසිඳලීම සඳහා උපයෝගී වන අතර​, මෑත කාලීනව ස්ත්‍රී පුරුෂභාවය ආශ්‍රිත සයිබර් හිංසනය පිළිබඳ පැමිණිලි  ප්‍රමාණයන් පැහැදිලි ලෙස වර්ධනය වීමත් සමග සමාජ ක්‍රියාකාරීන් සහ ක්‍රියාකාරී කණ්ඩායම් විසින් මේ සඳහා නව්‍ය නීති රීති හෝ පවත්නා නීති ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය පෙන්වා දී තිබේ. නිදසුනක් වශයෙන් “ශ්‍රී ලංකා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය” විසින් 2020 නොවැම්බර් මස නිකුත් කරන ලද ‘ ලිංගිකත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව නීති ප්‍රතිසංස්කරණ 2 වන කොටස- මාර්ගගත ලිංගික හිංසනය ​’ යන පර්යේෂණ ග්‍රන්ථය මගින් මෙරට නීති අරභයා ඇති කළ යුතු ප්‍රතිසංස්කරණ නිර්දේශ  කිහිපයක් හඳුන්වා දෙයි. ඒවා පහත පරිදි වේ. 

  • පෞද්ගලිකත්වයට ඇති අයිතිය මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව පිළිගැනීම කළ යුතුයි.
  • විමර්ශනය සහ නඩු විභාගයේ දී වින්දිතයෙකුගේ පෞද්ගලිකත්වය ආරක්‍ෂා කිරීම සඳහා අවැසි විධි විධාන ඇතුළත් වන පරිදි අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කළ යුතුයි. 
  • වින්දිතයා සහ සාක්‍ෂිකරු ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් වර්තමානයෙහි පවත්නා වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කළ යුතුයි. 
  • තාක්‍ෂණික වශයෙන් මධ්‍යස්ථ භාෂා භාවිතයක් මගින් අපරාධ නීති කෙටුම්පත් කර ඒවා සමාලෝචනය කර යාවත්කාලීන කළ යුතුයි.
  • ශ්‍රී ලංකා පොලිස් සයිබර් අපරාධ ඒකකය තුළ මාර්ගගත ලිංගික හිංසනය සම්බන්ධයෙන් විශේෂිත ඒකකයක් ස්ථාපිත කළ යුතුයි.
  • මාර්ගගත ලිංගික හිංසනයට ලක් වූ පුද්ගලයින් සඳහා උපදේශන සේවාවක් ඇරඹිය යුතුයි. 
  • මාර්ගගත අවදානම් සහ අන්තරායන් ආවරණය කරන සහ අන්තර්ජාලය හරහා පුද්ගලිකත්වය ආරක්‍ෂා කරගත හැකි අන්දමේ පුළුල් ලිංගික අධ්‍යාපනයක් හඳුන්වා දීය යුතුයි.

සයිබර් හිංසනයකදී සිදුවන හානිය අවමකර ගැනීම

මෙයට අමතරව යම් අයෙකු හට තමාට සයිබර් හිංසනයක් සිදු වන්නේ යැයි හැඟෙන අවස්ථාවක එය වළක්වා ගැනීම සඳහා යම් තාක්‍ෂණික සහායක් අවශ්‍ය වන්නේ නම් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත ඔවුන් ගේ සහාය පතා ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකි ය​. මේ සඳහා  ඔවුන්ගේ නිල වෙබ් අඩවිය වෙත ගොස් තමා හට මුහුණදීමට වූ සිද්ධිය වාර්තා කිරීමට පහසුකම් සළසා දී ඇති අතර සයිබර් ආරක්‍ෂාව පිළිබඳ ගැටලු යොමු කිරීම සඳහා incidents@cert.gov.lk යන ඊමේල් ලිපිනයත්, සමාජ මාධ්‍ය ආශ්‍රිත ගැටලු යොමු කිරීම සඳහා report@cert.gov.lk යන ඊමේල් ලිපිනයත් භාවිත කළ හැකි ය​. එසේම ඔවුන් ගේ සමාජ මාධ්‍ය වේදිකාවන් හරහා නිරන්තරයෙන් මෙවැනි අපචාරී ක්‍රියාවන් වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ආරක්‍ෂක ක්‍රම පිළිබඳව පරිශීලකයින් දැනුවත් කිරීම සිදු කරනු ලබයි.  


ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලුම සයිබර් හිංසන ක්‍රියා වළක්වා ගැනීම සහ පසුවිපරම් කිරීම සඳහා අවැසි තාක්‍ෂණික සහාය ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් ලබා ගත හැකි අතර 2016 සිට මේ දක්වා එසේ සමාජ මාධ්‍ය සම්බන්ධිත සයිබර් අපචාර සම්බන්ධයෙන් වාර්තා ලද සිද්ධීන් ප්‍රමාණය​ අප විසින් තොරතුරු දැනගැනීමේ පනත භාවිතයෙන් විමසන ලද අතර එම ප්‍රමාණයෙන් පහත පරිදි වේ.

*පෙර වසර වලට සාපේක්‍ෂව පසුගිය වසර තුළ සමාජ මාධ්‍ය සම්බන්ධ පැමිණිලි වල සැල​කිය යුතු වර්ධනයක් නිරීක්‍ෂිත ය. කොවිඩ් වසංගතයත් සමඟ ජනතාව සමාජ හුදෙකලාභාවයට පත් කෙරුණු හෙයින්,  ජනතාව වඩා සමාජ මාධ්‍ය පරිශීලනයට ඇබ්බැහිව ඇති බවක් දක්නට ලැබිණි. මේ සම්බන්ධයෙන් පෙර සිදු කරන ලද අධ්‍යයනයක දී පැහැදිලි වූයේ 2019 වසරට සාපේක්‍ෂව 2020 වසර තුළ   SLCERT ආයතනයට සමාජ මාධ්‍ය සිද්ධීන් පිළිබඳ ලද වාර්තා දෙගුණයකටත් වඩා වැඩි බවයි. මෙහි දී අප විශේෂයෙන් අදාළ සිද්ධීන් පිළිබඳ වාර්තා කරන ලද්දේ ස්ත්‍රී පාර්ශවය ද එසේත් නැතහොත් පුරුෂ පාර්ශවය ද යන්න පිළිබඳ විමසා සිටි නමුත් එසේ ස්ත්‍රී පුරුෂභාවය අනුව තමන් වෙත ලැබෙන පැමිණිලි වර්ග කිරීමක් සිදු නොකරන බව ඔවුන් විසින් දන්වා ඇත​.

සයිබර් හිංසනයට ගොදුරු වීමෙන් ලබන්නා වූ හානිය ප්‍රතිස්ථාපනය කරගැනීම සඳහා පැහැදිලි නෛතික ප්‍රතිපාදන හෝ අපරාධ යුක්ති පද්ධතියෙහි නිසි කාර්යක්‍ෂමතාවයක් නොමැතිවීම තුළ මෙරට කාන්තාවන් තමාට සිදුවන හානිය පෞද්ගලිකවම විඳ දරා ගනු විනා තමා හට හිංසා කිරීමට උත්සාහ කරන ලද පුද්ගලයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට පසුබට වනු දක්නට ලැබේ. එසේම එවැනි අපචාරී ක්‍රියාවන්ට එරෙහිව නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් නොවීම තුළ වක්‍රාකාරීව උද්ගත වන්නේ ද කාලෝචිතව නෛතික පද්ධතියේ සිදුවිය යුතු යාවත්කාලීනවීම් ද නිසි පරිද්දෙන් සිදු නොවීම නිසා අපරාධ යුක්තිය ද එක තැන පල් වන තත්ත්වයකි.  එහෙයින්, යම් හෙයකින් එවැන්නකට ඔබ ගොදුරු වුවහොත් වහා සිදු කළ යුත්තේ, කිසිඳු පැකිලීමකින් තොර ව වහා ආරක්‍ෂක පියවරයන් අනුගමනය කිරීම මගින් තමාට සිදු වන හානිය අවම කරගන්නා අතර ම, නීතිය මගින්  එවැනි අපරාධ කරන්නන් හට නිසි දඬුවම් ලබා දීමට කටයුතු සැලසීමයි. 

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts