සංහිඳියාවේ තිරයමත පතිතවන දෙමළ සිනමාවේ අරුණ උදාව
නෙවිල් උදිත වීරසිංහ
ලාංකීය සිනමාවේ මුල් අවධිය තුලදී බිහිවූ චිත්‍රපට මුලුමනින්ම දකුණු ඉන්දීය සිනමාවේ බලපෑම හා ආභාෂය මත නිර්මාණය වූ චිත්‍රපට විය. ලාංකීය සිනමාවේ මුල් දශකය තුළ නිර්මාණය වු චිත්‍රපට බොහොමයක් නිර්මාණය කෙරුනේ දකුණු ඉන්දියාවේ චිත්රාගාර තුළය. දකුණු ඉන්දියාවේ චිත්රාගාර තුල නිපද වූ මෙම චිත්‍රපට දකුණු ඉන්දීය චිත්‍රපටයන්හි දෙබස් ශෛලය අනුගමනය කෙරිණි. 1956 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාකරුවා විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘රේඛාව’ චිත්‍රපටය මුලුමුනින්ම චිත්රාගාරයන්ගෙන් පිටත රූපගත කෙරුනු චිත්‍රපටයක් වශයෙන් ජනප්‍රිය වී ඇතත්, 1950 දී නිර්මාණය කෙරුනු ‘ගම්බද සුන්දරයි’ චිත්‍රපටය චිත්රාගාරයන්ගෙන් පිටත නිර්මාණය කෙරුනු පළමු සිංහල චිත්‍රපටය වේ. ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාකරුවා විසින් 1956 නිර්මාණය කෙරුනු ‘රේඛාව’ චිත්‍රපටය හරහා එතෙක් දකුණු ඉන්දීය සිනමාවේ බලපෑම යටතේ පැවති ලාංකීය සිනමාව ඉන් මුදවා එයට ලාංකීය අනන්‍යතාවයක් ලබාදෙන ලදී. එතැන් පටන් පරම්පරා කිහිපයක සිනමා කරුවන්ගේ දායකත්වය යටතේ ලාංකීය සිනමාව වර්ථමානය දක්වා පැමින ඇත. අපට ලාංකීය සිනමා ඉතිහාසය තුළ හදුනාගත හැකි ප්‍රධාන ගැටලුවක් වන්නේ දමිළ භාෂීය සිනමාව සදහා සැළකිය යුතු වැදගත්කමක් ලාංකීය සිනමා ඉතිහාසය තුළ අත්කර ගැනීමට අවස්ථාව නොතිබීමයි. මෙයට ප්‍රධාන වශයෙන් බලපෑ සාධකයක් වශයෙන් දශක තුනක් පුරා ඇදී ගිය සිවිල් යුද්ධයේ බලපෑම හදුනාගත හැකිය. මෙම සිවිල් යුධ සන්දර්භය තුළ පුඵල් දමිළ භාශීය සිනමාවක් වර්ධනය වීම සදහා වූ පසුබිම හකුලා දමන ලදී. 1983 කලු ජූලිය සිදුවීම සහ ලංකාවේ වාර්ගික ගැටුම් උත්සන්න වීමත් සමග එය ලංකාවේ දෙමළ ජනයාගේ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික ජීවිතයට බලපෑම් එල්ල කෙරිනි. එතෙක් වර්ධනයවෙමින් පැවති ස්වදේශීය දමිළ සිනමාවේ අභාවයද මේ සමග අපට දැකගතහැකිය.
පළමු ශ්‍රී ලාංකීය දෙමළ චිත්‍රපටය වන්නේ සමුතයම්(සමාජය) නැමති මිමි 16 චිත්‍රපටයයි. මි.මි 35 පළමු ශ්‍රී ලාංකීය දමිළ චිත්‍රපටය වශයෙන් අපට හදුනාගත හැක්කේ තොට්ටක්කාරී(වතුකරයේ ගැහැනිය) නැමති චිත්‍රපටයයි. ලංකාවේ පශ්චාත් නිදහස් සමය තුළ දෙමළ චිත්‍රපට 50 කට ආසන්න ප්‍රමාණයක් නිශ්පාදනය කර ඇත. තම්බ්යාහා තේවතාස් මහතා විසින් මෙම පශ්චාත් නිදහස් අවධිය තුළ නිශ්පාදනය වූ දමිළ චිත්‍රපට වර්ග හතරකට බෙදා දක්වයි. පලමු වර්ගය මිමි 16 චිත්‍රපට(Samuthayam, Pasa Nila), දෙවන වර්ගය සිංහලෙන් දෙමළට හඩකැවූ චිත්‍රපට(Kaliyugakaalam, Naanku Latcham), තෙවන වර්ගය ඉන්දු ශ්‍රී ලංකා එකාබද්ධ නීශ්පාදන(Nankooram, Pilot Premnath) සහ හතර වන වර්ගය වශයෙන් ලංකාව තුළ නිශ්පාදනය කෙරුනු Thottakkari, Kadamaiyin Ellai, Vensangu වැනි විශාල අව්‍යාජ නිර්මාණයන්ය.
ශ්‍රී ලංකිය දෙමළ සිනමාව බිදවැටීමට ප්‍රධාන වශයෙන් බලපෑ සාධකයක් වූයේ 1983 ජනවාර්ගික ප්රචණ්ඩත්වය සහ ගැටුම අඛණ්ඩව උත්සන්න වීමයි. සිවිල් යුධ සමය තුළ ලාංකීය දෙමළ ජනයා අභ්‍යන්තරිකව අවතැන්වීම සහ වෙනත් රටවල් වෙත සංක්‍රමණය වීම ශ්‍රී ලාංකික දෙමළ ජනයාගේ ජීවිතයේ යථාර්ථය බවට පත්වූ බව ප්‍රවීන මාධ්‍යවේදී ඩී. බී. එස් ජෙයරාජ් මහතා ප්‍රකාශ කරයි. මෙවැනි පසුබිමක සිංහල සිනමා කරුවන් විසින් නිර්මාණය කෙරුණු යුධ විරෝධී සිනමා කෘති හරහා දෙමළ සමාජය තුළ සාමය හා සහජීවනය පිළිබඳව බලාපොරොත්තු යම් පමනකට හෝ ආරක්ෂාකිරීමට ඉවහල් වුවා යැයි සිතමි. යුධ සමය තුළ සැලකිය යුතු යුධ විරෝධී සිනමා නිර්මාණ ප්‍රමානයක් අපට දැකගතහැකි විය. මින් ප්‍රසන්න විතානගේ, අශෝක හදගම සහ විමුක්ති ජයසුන්දරගේ සිනමා නිර්මාණ විශේෂ ස්ථානයක් හිමිකරගනියි. නමුත් පශ්චාත් යුධ සමය තුළ නිර්මානය වූ එවැනි අන්තර්ගතයක් සහිත චිත්‍රපටයක් වශයෙන් අපට හදුනා ගත හැක්කේ විමුක්ති ජයසුන්දරගේ ‘අහසින් වැටෙයි’ චිත්‍රපටය පමනි.
පශ්චාත් යුධ සමය තුළ විශේෂයෙන්ම සංස්කෘතික හා සමාජීය තලයේ වන ප්‍රතිසංධානය (reconciliation) හා සහජීවනය ඉතා වැදගත් සාධකයකි. ජෝන් පෝල් නැමැති විද්වතා ප්‍රතිසංධානය අර්තකථනය කරන්නේ “ ප්‍රතිසංධානය යනු සත්‍යය, දයාව, යුක්තිය සහ සාමය යන එකිනෙක මත රදාපවතින වෙනස් වූ සමාජ ශක්තීන් එකට එක්කරමින් ගතික සමාජ අවකාශයක් තුළ ලබාදී ඇති හඩයි…… ප්රතිසන්ධානය යනු සත්‍යය, යුක්තිය, සාමය සහ දයාව හමු වන ස්ථානයක් දක්වා යන ගමනකි”
පශ්චාත් යුධ සමය තුළ ලාංකීය සමාජය ඉහත සදහන් අර්ථයෙන් ප්රතිසංධාන ක්‍රියාවලියක් වෙත ගමන් කෙරුනේ නැත. පශ්චාත් යුධ සංධර්භයක් තුළ නිර්මාය වූ බහුතරයක් සිංහල චිත්‍රපට මෙම ප්‍රතිසංධානය ගොඩනගන චිත්‍රපට වලට වඩා සිංහල ජාතිකවාදී මානසිකත්වය විවිධ මට්ටමින් ස්පර්ශය කෙරුනු චිත්‍රපටයන් විය.
2009 දී යුද්ධය අවසන්වීමෙන් පසුව නිර්මාණය වූ සිංහල චිත්‍රපට වලින් බෙනට් රත්නායකගේ ඉර හද යට (2010) චිත්‍රපටය හැර සිංහාවලෝකනය (සුනෙත් මාලිංග,2011), මහින්දාගමනය (සනත් අබේසේකර,2011), සහ ගාමිනී (සරත් වීරසේකර, 2011) යන චිත්‍රපට සිංහල ජාතිකවාදී මානසිකත්වය ප්‍රකාශයට පත්වූ චිත්‍රපට විය. මෙවැනි සිංහල චිත්‍රපට මගින් සිංහල බෞද්ධ ජාතිකවාදය, දේශප්‍රේමය සහ පුරුෂ මූලික ඉතිහාසයක ආධිපත්‍යමය මතකයක් ගොඩනගනු ලැබීය. මෙවැනි සන්දර්භය තුළ, ප්රතිසංධායන ගොඩනැගීමේ මෙවලමක් ලෙස සිනමාවේ විභවය දියකර හැරිනි.
පශ්චාත් යුධ සංධර්භයක් තුළ ලාංකීය දමිළ තරුණ සිනමා කරුවන් වෙතින් විකල්ප සිනමා භාවිතයක් මතුවිම වැදගත්වන්නේ සහ සුවිශේෂ වන්නේ මෙවැනි පසුබිමකය. උතුරු නැගෙනහිර ප්‍රදේශය තුළ ජීවත්වන දෙමළ තරුණ සිනමා කරුවන් රැසකගේ නිර්මාන අපට පහුගිය දශකය තුලදී දැකගත හැකිවිය. ඥානදාස්, කේ. සිවරාජා, මුල්ලෙ ජේසුදාසන්, චාල්ස්, ශාලනී චාල්ස්, විමලරාජ්, වනිතා, දනුවන්, ක්‍රිශාන්ත් ශ්‍රී, ආනන්ත් මහරාවි වැනි උතුරෙන් බිහිවූ සිනමා කරැවන් මෙන්ම සුජීවන්(මඩකලපුව), මන්නා අබුදන්(මන්නාරම), නිශාන්දන්(මන්නාරම), සවේසන් සෙල්වරාජ්(අම්පාර), මයුරන්(ත්‍රිකුණාමලය), ජනා(මුතූර්), මදිසුදා සහ සිවරාජ් වැනි සිනමාකරුවන් පසුගිය අවධිය තුළදී උතුරු නැගෙනහිර ප්‍රදේශයෙන් බිහිවූ තරුණ සිනමා කරුවන්ය. ත්‍රිකුණාමලය ප්‍රදේශය තුළ ජීවත්වන තරුණ සිනමා කරුවකු වන ආනන්ද රමනන් ගේ පලමු විශේෂාංග චිත්‍රපටය වන sixth land චිත්‍රපටය ඔහු විසින් ඉතා මෑතකදී නිර්මාණය කෙරිනි. මෙම චිත්‍රපටය සෘජු ලෙසම ප්‍රතිසංධානයට අදාල තේමාවක් ගැබුරින් සාකජ්චා කරයි. ආනන්ද රමනන් විසින් මීට පෙර යුද්ධය සම්බන්දයෙන් දෙමළ සමාජයේ අත්දැකීම් මත පදනම්වූ කෙටි චිත්‍රපට රාශියක් නිර්මාණය කර ඇත. “ යුද්ධය පැවති සමයේ උතුරේ බිහිවෙච්ච සමහර දෙමළ ච්ත්‍රපට කිසියම් දේශපාලන මතවාදයක් ප්‍රචාරණය කරන මෙවලමක් විදියට තමයි සමහර අවස්ථාවලදී භාවිතා වුනේ. අනිත් අතට පැවති යුධ වාතාවරණය තුල පැවති තත්වය ඇතුලෙ අප නිර්මාණය කරපු නිර්මාණ තුළ අප විසින්ම ස්ව්යං වාරණයකට ලක්කරගත් අවස්ථා තිබුනා. 2007 මම නිර්මාණය කරපු Knife කෙටි චිත්‍රපටයේ එක දෙබසක හඩ පටය මම කෙනෙක්ට පැහැදිලිව ඇහෙන්නෙ නැති විදියට මිශ්රකරා. මම එහෙම කරන්න පෙලඹුනේ පැවති යුධ වාතාවරණය යටතේ අපව වෙලාගෙන තිබූ භීතියක් විසින්. දැන් යුද්ධය අවසන් වෙලා දශකයකට වැඩි කාලයක් ගෙවී ගිහින්. මෙම වකවානුව තුල සාමය සංහිදියාව හා ජාතීන් අතර ප්රතිසංධානයක් ගොඩනැගීම සදහා අපි කරන නිර්මාණ ගොඩක් වැදගත් වෙනව. සැබෑ ගැඹුරු අර්ථයකින් ප්‍රතිසංධානය මතුකෙරෙන නිර්මාණ සිංහල හා දෙමළ සමාජයන් දෙකෙන්ම බිහිවීම ඉතාවැදගත්” ආනන්ද රමනන් පවසයි.