සහෝදරත්වයේ දෑත් දකුණට දිගු කරන කාත්තන්කුඩියේ මනුසත්තු
මංගලනාත් ලියනාරච්චි
ශ්‍රී ලාංකීය නගර අලංකාරයට නව අරුතක් එක් කළ කාත්තන්කුඩියේ රට ඉඳි ගස් පෙළ ඇතමෙකු තුළ නොරුස්සනා හැඟීම් ඇති කළ ද, කාත්තන්කුඩියේ රට ඉඳි ගස් පෙළ නැගෙනහිර පළාතට එක් කරන අපූර්වත්වය හා විවිධත්වය, ස්වභාව සුන්දරත්වය අගයන කිසිවෙකුටක් බැහැර කළ නොහැක්කකි.
කාත්තන්කුඩියට රට ඉඳි ගස් පැමිණීම පිළිබඳ කාත්තන්කුඩි නගර සභාවේ සභාපති එස්.එච්.මොහොමඩ් අෂ්ෆාර් මහතා කියා සිටියේ, මේ සියලු රට ඉඳි ගස් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රැගෙන ආ ඒවා මිස ආනයනය කළ ඒවා නොවන බව ය.
“මේ රට ඉඳී ගස් වැඩි හරියක් ලංකාවේ විවිධ පළාත්වලින් අරන් ආපු ඒවා. බණ්ඩාරවෙල, බදුල්ල, පුත්තලම, කුරුණෑගල, යාපනය වගේ ඈත පළාත්වලින් ගෙනාපුවා තමා වැඩියෙන් තියෙන්නේ. මේ ගස් සෞදියෙන් ගෙනාපු ඒවා කියලා මාධයෙන් කියද්දි මේ වගේ බොරු පතුරවන්නේ අපි එක්ක තියෙන මොන තරහකටද කියලා අපිට හරි කනගාටුවක් ඇති වුණා.‘යි ඔහු කියයි.
‘පසුගිය ප්‍රහාරවලට සම්බන්ධ සුළු පිරිසක් විතරයි. අපේ මාධ්‍ය ලෝකෙට කිව්වේ, කාත්තන්කුඩිය කියන්නේ සහරාන්ගේ බලකොටුව කියලා. මා කාත්තන්කුඩියේ නගරාධිපතිවරයා ලෙස ඉතාමත් වගකීමෙන් කියන්නේ, මේ අය අපි කාත්තන්කුඩියෙන් පිටුවහල් කළේ 2015 මහ මැතිවරණය වෙලාවේ…“ යැයි ඔහු කියයි.
කාත්තන්කුඩි නගර සභාවේ සභාපතිවරයා කියන අන්දමට කාත්තන්කුඩියට රට ඉඳි ගස් පැමිණෙන්නේද අහම්බයක් ලෙසිනි. ඔවුන් මුලදී මේ සදහා ෆාම් හෝ තල් ගස් යොදා ගැනීමට සැලසුම් කළ ද, එහිදී අත්විඳින්නට සිදුවන විවිධ දුෂ්කරතා ද අවධානයට ලක්විය.
“ අපිට රට ඉඳි ගස් හදන්න කියලා අදහස දුන්නේ, ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ සිංහල ගෘහ නිර්මාණ ශිල්පියෙක්.ර ට ඉඳි ගහේ මුල්වලට වතුර එතරම් ඕන වෙන්නෙත් නැහැ. පාන්දර අතුවලට වැටෙන පින්න තමයි, ගසේ වර්ධනයට වැඩි වශයෙන් බලපාන්නේ. රට ඉඳි ගහ අපේ මුස්ලිම් සංස්කෘතියට ගොඩක්ම සමීපයි. ඒක හරියට සිංහල අයට බෝ ගස වගේ.ඒ වගේම රට ඉදි හොද පළතුරක්. ඉතින් අපි රට ඉඳි හැදුවා කියලා ඒකෙන් හානියක් වෙන්නෙ කාටද? “ යි නගරාධිපතිවරයා විමසයි.
කාත්තන්කුඩිය මූලික කරගත් නැගෙනහිර පළාතේ බොහෝ නාම පුවරු අරාබිකරණයට ලක්වී ඇති බවත්, ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන මද්‍රසා පාසල් හරහා කෙටි කලකින් නැගෙනහිර පළාත සෞදි අරාබියක් වන බවට ඇතමෙකු මතු කළ රකුසා පඹයකු බව කාත්තන්කුඩිය හදවතින් කියවන්නෙකුට පසක් වේ. කාත්තන්කුඩියේ පිහිටි ආගමික ඉගැන්වීම් සිදුකරන ස්ථාන හැරෙන්නට වෙනත් කිසිදු පොදු ස්ථානයක අරාබි භාෂාවෙන් ලියවුණු නාම පුවරු සොයා ගැනීමට අපි අපොහොසත් වීමු. රටේ මුස්ලිම් ජාතිකයන් වැඩි වශයෙන් ජීවත් වන වෙනත් පළාත් හා සසඳන කල කාත්තන්කුඩියේ නාම පුවරු අරාබිකරණය වී නොමැති බව පැහැදිලි විය.
“අපේ ආගම උගන්නන පාසල්වල තමයි අපි අරාබි අකුරු දාලා තියෙන්නේ. අපි අරාබි භාෂාව ඉගෙන ගන්නේ මේ රට අරාබියක් කරන්න නෙවෙයි. අපේ ආගමේ හැම දෙයක්ම ලියවිලා තියෙන්නේ අරාබි භාෂාවෙන්. ඒකත් හරියට බුද්ධාගමේ හැම දෙයක්ම පාලි භාෂාවෙන් ලියවිලා තියෙනවා වගේ. බහුතර බෝඩ්වල අරාබි භාෂාවෙන් තියෙන්නේ ආයුබෝවන් කියන එක විතරයි ..“ කාත්තන්කුඩි නගරාධිපතිවරයා කාත්තන්කුඩියේ අරාබි නාම පුවරු සම්බන්ධයෙන් කියන්නේ එවැනි කථාවකි.
කාත්තන්කුඩියේ ජන ගණත්වය වර්ග කිලෝ මීටරයකට 7000 වන විට,එහි මුළු ජන ගහණය 55825 කි. ඒ වර්ග කිලෝ මීටර් 6.5 වපසරියක ය. කාත්තන්කුඩිය සියයට සියයක්ම මූස්ලිම් ය. කාත්තන්කුඩිය පුංචි අරාබියක් කිරීමට අර අඳින පිරිස් කිසි දිනක කාත්තන්කුඩියේ රැකියා කරන සිංහලයන් නොදැක සිටීම කනගාටුවට කාරණයකි.
කාත්තන්කුඩියේ පිහිටි මෙට්රෝ සෝ මිල් වෙළඳ සලේ ප්‍රධාන ඉරුම්කරු ලෙස කටයුතු කළේ, හිඟුරක්ගොඩ නිහාල් ය. මෙට්රෝ සෝ මිල් හි සේවය කරන වැඩි දෙනකු විවිධ ජාතීන්ට අයත් පිරිස් බව එහි හිමිකරු වූ කේ. එම්. නජීබ් කියා සිටියේ මහත් ආඩම්බරයකිනි.
“අපේ මහ කියතේ බාස් විදියට වැඩ කළේ හිඟුරක්ගොඩ නිහාල්. එයා අවුරුදු හතරක් විතර අපි ළඟ වැඩ කළා. එයාට කාත්තන්කුඩිය හරියට එයාගේ ගම වගේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ නිහාල් ගමේ ගිහින් ආපහු ආවේ නැහැ. ඒ දවස්වල මීඩියාවලින් කියපු දේවල් අහපු අපිටත් බය හිතුණා ඔය කියන කාත්තන්කුඩියෙද අපි මේ ඉන්නේ කියලා.“
හිඟුරක්ගොඩ නිහාල්ගේ අඩු පාඩුව මැකීමට කාත්තන්කුඩියට අලුතින් පැමිණ ඇත්තේ තිස්පස් හැවිරිදි සංජීව බුද්ධික කුමාර ය. ඔහු අකුරණ ප්‍රදේශයේ අයෙකි. සංජීවට ද කාත්තන්කුඩිය ආගන්තුක නැත.
“මං මෙතනට ඇවිත් මාස තුනක් වුණත් අවුරුදු ගානක් මේ අවට වැඩ කරලා තියෙනවා. අපිට කිසි වෙනසක් නැහැ. අපිට මෙහෙ අය කිසි වෙනසක් නැහැ.කාත්තන්කුඩිය කියන්නේ,නරක තැනක් නෙවෙයි.මෙයාලා අපිට සලකන්නේ,එයාලගෙම අයට වගේ.ඒ විශ්වාසය නිසයි මං මෙතන තාමත් ඉන්නේ..“ යි සංජීව බුද්ධික කාත්තන්කුඩිය පිළිබඳ චරිත සහතික නිකුත් කරයි.
“කාත්තන්කුඩිය සියයට සියයක් මුස්ලිම් බව ඇත්ත.ඒත්,කාත්තන්කුඩියේ ඕන තරම් සිංහල,දෙමල,මුස්ලිම් ඒ වගේම බර්ගර් අය රස්සාවල් කරනවා. මාධ්‍ය මගින් ප්‍රචාරය කළේ කාත්තන්කුඩියේ සිංහල අයට රස්සා කරන්න, කඩ කරන්න ඉඩක් නැහැ කියලා.ඒක බොරුවක්. “ යැයි මෙට්රෝ සෝ මිල් හිමිකරු කේ. එම්. නජීබ් වැඩි දුරටත් කියයි.
කාත්තන්කුඩිය වෙරළ පාරේ පිහිටි බොහොමයක් නිවාස කුලියට ගෙන ඇත්තේ,දකුණේ සිට පැමිණි විසිතුරු මසුන් අල්ලන්නන් ය. ඔවුන් සෑම වසරකම මැයි මස සිට නොවැම්බර් දක්වා වු කාල පරිච්ඡේදය ගත කරනුයේ කාත්තන්කුඩියේ ය.
“අපි හැම අවුරුද්දකම මේ කාලෙට ඉන්නේ කාත්තන්කුඩියේ. අපි අවුරුදු දහ අටක් තිස්සේ වගේ මෙහාට එනවා.අපිට මේ වෙනකම් කාගෙන්වත් ලොකු හිරිහැරයක් වෙලා නැහැ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ අපිට ඒ කාලේ ඔරවපු අය පවා දැන් අපි එක්ක හිනා වෙනවා. එයාලා තේරුම් අරන් තියෙනවා තමන්ට කොහේ හරි තැනක වැරදුණා කියලා.. “ යි පවසන්නේ මාතර සිට පැමිණි 48 හැවිරිදි කේ. ඩී. ඒ. ආර්. ජීවනාත් මහතායි.
කාත්තන්කුඩියේ ඉදි කිරීම් ව්‍යාපෘතියක කාර්මික නිලධරයෙකු ලෙස කටයුතු කරන ජේ.එම්.චන්දන සිසිර කුමාර මහියංගනයේ සිට පැමිණියෙකි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු කාත්තන්කුඩියට පැමිණි චන්දන සිසිර කුමාර කාත්තන්කුඩිය ගැන දරන්නේ මෙවැනි අදහසකි.
“මාත් එද්දී ටිකක් චකිතයකින් මෙහාට ආවේ. පහුගිය දවස්වල අපි අහපු දැකපු දේවල්වල හැටියට එහෙම නොවුණ නම් තමයි පුදුමේ. හැබැයි,ඔය කියන තරම් යකා කළු නැහැ. හැමෝම සහරාන්ලා නෙවෙයි. මෙහෙ මිනිස්සු හරිම මිත්‍රශීලියි…“
මුස්ලිම්වරුන්ට හැරෙන්නට වෙනත් කිසිවෙකුටත් කාත්තන්කුඩියේ කිසිදු වෙළඳ ව්‍යාපාරයක් කිරීමට අවස්ථාවක් නොලැබෙන බව ප්‍රකට රහසකි.
“ඒක ඇත්ත..අපේ කඩ කාටවත් විකුණන්නේ නැහැ. ඒකට හේතුව අපිටත් එහෙම විකුණන්න කඩ හරි ගෙවල් හරි කාත්තන්කුඩියේ නැති නිසයි .“
එසේ කියන්නේ කාත්තන්කුඩි වෙළඳ සංගමයේ සභාපති කේ.එල්.එම්.ෆරීඩ් මහතායි.
“අපි මේ වෙන කොට කාත්තන්කුඩියේ සිකුරාදා පොළ ආරම්භ කරලා තියෙන්නේ.අපි ඒ පොළේ වෙළඳාම් කරන්න කියලා හැමෝටම ආරාධනය කරලා තියෙනවා. මේ වෙන කොටත් විවිධ ප්‍රදේශවල සිංහල හා දෙමළ වෙළෙන්දන් අපේ පොළේ සාර්ථකව වෙළඳාම් කරගෙන යනවා.“ යි කියන්නේ කාත්තන්කුඩි නගර සභාවේ සභාපති එස්. එච්. මොහොමඩ් අෂ්ෆාර් ය.
කාත්තන්කුඩියේ තත්ත්වය එසේ වුවද, රටේ විවිධ පළාත්වල රැකියා හා වෙළඳ ව්‍යාපාර කරමින් වාසය කරන කාත්තන්කුඩියේ අයට විවිධ ගැටලුවට මුහුණ පෑමට සිදු ව ඇතැයි කාත්තන්කුඩියේ මාධ්‍ය වේදියෙකු වන පරහන් කියා සිටි.
“ ප්‍රහාරයෙන් පස්සේ අපේ අයට පිට පළාත්වල ඉන්න බැරි තත්වයක් උදා වෙලා තියෙනවා. අවුරුදු පහකට විතර ඇඩ්වාන්ස් දීලා කුලියට ගත්තු කඩ ආපහු අරගෙන තියෙනවා. මේ නිසා අපේ අය දැඩි කම්පනයට පත් වෙලා ඉන්නේ.අපි කිසි කෙනෙක් ත්‍රස්තවාදය අනුමත කරන්නේ නැහැ. එයට විරුද්ධයි. අපිත් මේ රටේ මිනිස්සු. අපිට වෙනස් විදියට සලකන්න එපා කියලා අපි කාරුණිකව ඉල්ලා සිටිනවා.“ යි පරහන් කියයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු එළැඹි පළමු හජ්ජි අවුරුද්ද කාත්තන්කුඩියට වෙනදා තරම් සරු නැත. බොහෝ දෙනෙකුගේ හිත්වල නළියන්නේ සිය සහෝදර ජනතාවට තමන්ගේ මිනිසෙකු අතින් සිදුවු වරද නිසා සමස්ත මුස්ලිම්වරුනට සිදු වුණු අවනම්බුව කොතෙක්ද යන්න ය. කාත්තන්කුඩිය මුස්ලිම් ජනයා සහෝදරත්වයේ දෑත් දකුණට දිගු කරමින් කියා සිටින්නේ, එක් උන්මත්තකයෙකු සිදු කළ ප්‍රහාරය සමස්ත මුස්ලිමුන් පිට නොපටවන ලෙස ය.
This article was originally published on the catamaran.com